2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

මෙදා මනාප සටනේ අමුතු කියුම් කෙරුම්

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

සාම්ප්‍රදායික දේශපාලනයේ මහමැතිවරණ මනාප සටන මෙරට ඓතිහාසික ලෙස වෙනස් වූයේය. එනිසාම මෙවර මැතිවරණයේ මනාප උදෙසා වූ සටන උපාය උපක්‍රම මතින් නිමැවුණි. අප ඒ පිළිබඳ විමර්ශනාතම විමසීමකට මුල පිරුවේ එබැවිණි.

මෙවර බොහෝ අපේක්ෂකයෝ තමන්ගේ සුදුසුකම් ප්‍රදර්ශනය කරමින් මනාප ලබා ගැනීමට උත්සුක වූහ. ඒ අතර තම පක්ෂයට නායකයාට හිතෛෂීභාවයද ප්‍රදර්ශනය කිරීම හරහා මනාප ලබාගැනීම ඇතැම් අපේක්ෂකයෝ උත්සාහ කළහ. එසේම සාම්ප්‍රදායික මනාප උපාය දිනා ගැනීමේ උපායන්ද ක්‍රියාත්මක වූවා නොවේ. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වෙත අපේක්ෂකයන්ගේ ප්‍රමුඛ අවධානය යොමුවී තිබිණි.

ව්‍යාජ සමාජ ජාල ගිණුම් හරහා කරන ලද අපේක්ෂක ප්‍රවර්ධන සහ මඩ ප්‍රචාර මෙවර කැපී පෙනුණි. අප කළ අධ්‍යයනයට අනුව ප්‍රධාන ධාරාවේ අපේක්ෂයන් බොහෝ දෙනා සමාජ මාධ්‍ය වෙනුවෙන්ම එහි ක්‍රියාකාරීන් සහ ප්‍රවීණයන් කුලියට ගෙන තිබුණි. ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය වූයේ අපේක්ෂක ප්‍රතිරෑපය ප්‍රවර්ධන සහ ආරක්ෂා කිරීමයි. මනාප පොරය මූලික කරගෙන එල්ල වෙන මඩ ප්‍රහාරයන්ට ඔවුහු ක්ෂණික ප්‍රතිචාර දැක්වූහ. එසේම මුහුණ පොතේ විශාල ග්‍රාහක සංඛ්‍යාවක් හිමි පිටුවල හිමිකරුවෝද මෙයට සම්බන්ධව වී සිටියහ. එක් පෝස්ටුවක් සඳහා රුපියල් අට දහසේ සිට රුපියල් පහළොස් දහස දක්වා පැකේජ ඔවුන් අපේක්ෂයන් වෙත ඉදිරිපත් කර තිබිණි. බොහෝ අපේක්ෂකයෝ මෙම පැකේජ භාවිතා කරමින් සිය ප්‍රවර්ධන කටයුතු කරන්නට වූහ.
විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය සඳහා සාම්ප්‍රදායිකව මහමැතිවරණයකදී ලැබෙන ආකර්ෂණය මෙවර තරමක් අවම වූයේ එබැවිණි. එනිසාම ප්‍රධන ධාරාවේ එම මාධ්‍ය ආයතන විශේෂිත උපක්‍රමයක් භාවිතා කරන්නට විය. තමන්හට දැන්වීම් ලබාදෙන අපේක්ෂකයන් උදෙසා සම්මුඛ සාකච්ඡා මෙන්ම තවත් වැඩසටහන් ලබාදීමට ඔවුහු යෝජනා ඉදිරිපත් කළහ. මේ අනුව යමින් ඇතැම් අපේක්ෂකයන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙත යොමුවූවද බොහෝ දෙනා මෙවර ඊට මුල්තැනක් දුන්නේ නැත.
තවත් අපේක්ෂකයෙක් දෙදෙනෙක් අපූරු උපක්‍රමයක් භාවිතා කළ බව අපට දැනගන්නට ලැබුණි. ඔවුහු මත්පැන්හල් හිමිකරැවන් වූ අතර සිය ආධාරකරුවන්ට මදුවිතෙන් සංග්‍රහ කළහ. රටේ සීත ප්‍රදේශයක අපේක්ෂයෙක් මත්වීම අවැසි මත්පැන් ලබා ගැනීමට කූපන් සිය ආධාරකරුවන්ට ලබා දුන්නේය. එය රැගෙන යන අයට නම් කරන ලද බාර්වලින් සූර්වීමට ඇවැසි මත්පැන් සපයන ලදී. මෙම උපක්‍රමය සදාචාරය සම්පන්න නොවුණද ප්‍රායෝගික වූ බව සත්‍යයකි. මත්ලෝලීන් බොහෝදෙනා ඔහු වටා රොද බැඳගත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මේ අතර අපේක්ෂකයන් කිහිපදෙනෙක් ප්‍රසිද්ධියේ වැළපුණහ. මෙය මනාප උදෙසා අපේක්ෂක උපක්‍රමයක් යැයි කීම කොතරම් සාධාරණද යැයි ගැටලුවකි. කෙසේ නමුත් ජනතාව විසින් යම් යම් හේතූන් මත අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමේදී මෙම උපක්‍රම භාවිතා ක්‍රම තිබිණි. එහෙත් මෙම දේශපාලන වැළපීම් බහුතරය ජතාවගේ උපහාසයට ලක්වූයේය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රුසකද මෙම වැළපීම් වෙනුවෙන් විශාල ඉඩක් වෙන්කරන අයුරු නිරීක්ෂණය විය.

ඡන්ද කාඩ්පත් මිලදී ගැනීම ඇතැම් ප්‍රදේශවල සිදුවිය. පසුගිය රජයේ රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක්ද මේ සම්බන්ධව අත්අඩංගුවට පත්විය. ඒ රුපියල් පන්දහසකට ඡන්ද කාඩ් මිලදී ගැනීමේ ඔහු නිරතවෙමින් සිටියදීය. හොර ඡන්ද දැමීමට වඩා ඔවුන් මෙහිදී උත්සාහ කර තිබුණේ වෙනත් අපේක්ෂකයෙක්ට ලැබිය හැකි මනාප නතර කිරීමයි. බස්නාහිර පළාතේ සුළුජාතීන් බහුතරයක් වාසය කරන ප්‍රදේශවල මෙම උපක්‍රමය කාලාන්තරයක් තිස්සේ භාවිත වී තිබේ. මෙවර ක්‍රියාත්මක වූයේ එහි දිගුවකි.
බඩු බෙදීම ලෙස ප්‍රකට මනාප උපක්‍රමය මෙවර තරමක් පසුගාමී විය. නමුත් ඇතැම් අපේක්ෂකයන් එම උපක්‍රම සහමුලින්ම අතහැර දැමීමට මැලි වී තිබිණි. ඔවුන් සිය ආධාරකරුවන්ට ක්‍රීඩා භාණ්ඩ වියළි සලාක ආදිය බෙදා තිබුණි. ඊට අමතරව මුඛ ආවරණවල සිය අංකය යොදා බෙදාදීම මෙවර පැමිණි අලුත්ම උපක්‍රමයක් විය. ටී ෂර්ට් මුද්‍රණය අපේක්ෂයන්ට වියදම් අධිකම ප්‍රචාරක උපක්‍රමය විය.

සාම්ප්‍රදායික පෝස්ටර් මෙවර බොහෝ සෙයින් අවම වී තිබුණි. ඊට හේතු වූයේ ජනපති පොහොට්ටුවේ අපේක්ෂකයන්ට සිය අංකය යොදා පොස්ටර් ඇලවීම සහමුලින්ම තහනම් කර තිබීමයි. එම නිසා විදුලි පහන් කණුවල සවිකර හැකි මනාප අංකය රහිත අපේක්ෂක ජායාරූප සහිත රැසක් මෙවර ඔවුහු භාවිතා කරන්නට වූහ. එයද ඉතා මිලාධික ප්‍රචාරක උපක්‍රමයක් වූයේය. කෙසේ වෙතත් නිර්මාණාත්මක ප්‍රචාරක උපක්‍රම වෙනුවෙන් බොහෝ අපේක්ෂකයෝ උත්සුක වූහ.
කොරෝනා සහනාධාර ලබාදීමේ වැඩපිළිවෙළ ඉතාම කෙටි කාලයක් ඇතුළත දේශපාලනීකරණය වූ අයුරු ද මෙහි දී කැපී පෙනුණි. ඇතැමුන් ත්‍රීරෝද රථ සඳහා ටයර් පවා ලබාදීමට කටයුතු කර තිබුණි. තවත් කැපී පෙනුණු සිදුවීමක් වූයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදාගත් රථවාහනයි. මෙහි රජයේ වාහන යොදාගැනීම සැලකිය යුතු ලෙස අවම වී ඇති බව පෙනී ගියේය. ඊට විකල්පය ලෙස ඇතැම් අපේක්ෂකයන් සිය හිතතුන්ගේ රථවාහන මාසික ලීසිං වාරිකය ගෙවීම පදනම මත ලබාගෙන තිබුණි. මෙය නව උපක්‍රමයක් වූ අතර මැතිවරණයෙන් පසු එම රථවාහන හිතවතුන්ට පෙරළා ලබාදීමට ඔවුන් කටයුතු කළ නිසාවෙන් ඉන්ධන වියදම හා මාසික ලීසිං මුදලක් ගෙවීම ඉතා වාසිදායක කටයුත්තක් විය.

මේ අතර සාම්ප්‍රදායික කැන්වසින් හෙවත් ගෙයින් ගෙට යාමේ උපක්‍රමයද ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් කොරෝනා හේතුවෙන් ඊට පෙර මෙන් විශාල පිරිසක් සහභාගී කරගැනීමේ හැකියාව ඔවුනට හිමිවිය. එසේම වෙනදා තරම් මුද්‍රිත කඩදාසි බෙදාදීම සිදුනොවීය. ඊට අමතර පොකට් මීටින් හෙවත් වතු රැස්වීම්වලට වැඩි බරක් යෙදීමට අපේක්ෂකයෝ උත්සාහ කළහ. එහිදී තම නාමය ප්‍රවර්ධනය වෙනුවෙන් උගත් කථිකයන් භාවිතා කිරීමට සියලුදෙනා උත්සාහ කළහ. එසේම වතු රැස්වීම් සංවිධානය කරන පිරිස් වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීමට ඇතැම් අපේක්ෂකයෝ කටයුතු කළහ.

මේ සියලු ව්‍යාපෘති සඳහා අධික වියදමක් අපේක්ෂකයන්‍ට වැයවූ බව පැහැදිලිය. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නීරීක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයට අනුව මිලියන 1500 කට අධික ප්‍රමාණයක් අපේක්ෂයන් සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර තිබුණි. කෙසේ වෙතත් එය සැබෑ වියදමින් සියයට තිහක පමණ ප්‍රමාණයක් විය හැකි බවද කියැවුණි. ඒ අනුව සැබෑ වියදම සාමාන්‍ය මහජනතාවට සිතාගත හැකි සීමාවෙන් පිටතින් පවතින බව කිවයුතුය.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00