2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

කවදාවත් ඉටු නොවූ ඡන්ද පොරොන්දු

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 11

අපේ මැතිවරණ ඉතිහාසය ඡන්ද පොරොන්දුවලට නම් දරා තිබේ. ඇත්තවශයෙන්ම මෙතෙක් කල් පැවැත්වූ හැම මැතිවරණයක්ම පොරොන්දු මත දිවෙන මැතිවරණ විය. ඡන්ද ලබාගැනීම සඳහා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මෙන්ම අපේක්ෂකයෝ ද විවිධ පොරොන්දු ඉදිරිපත් කරති. දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ලේඛන ඉදිරිපත් කරන විට ඒවායේ වැඩි ප්‍රමාණයක් අඩංගු වන්නේ ප්‍රතිපත්තිවලට වඩා පොරොන්දුය. ඒවා හැර ඇතැම් අපේක්ෂකයන් සහ පක්ෂ නායකයන් මැතිවරණ වේදිකාවලදී තමන් ජයගතහොත් කරන දේ පිළිබඳ විවිධ ප්‍රකාශ කරන බව දැකගත හැකිය. මේ කතාවලදීද වැඩි හරියක් ප්‍රකාශ කෙරෙන්නේ ජනතාවට වන පොරොන්දුය. මෙවැනි පොරොන්දු දෙන්නේ ඡන්දදායකයන් තමා වෙත නම්මාගෙන ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමටය. මෙහිදී දෙන පොරොන්දු ඇත්තවශයෙන්ම ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ ඒවා දෙන අය ගවේශණයක යෙදෙන්නේ නැත. ඇතැම්හු කටට එන පලියට ප්‍රකාශ නිකුත් කරති. ඒවා ඉටුකිරීම පිළිබඳ සැලසුම් ඔවුන් ළඟ නැත. බොහෝ ඡන්දදායකයෝ මෙම ඉටුනොවන පොරොන්දු පිළිබඳ විශ්වාසය තබා තම ඡන්දය ප්‍රකාශ කරති.

පක්ෂ හෝ කණ්ඩායම්වලට එකම පොරොන්දු මාලාවක් තිබිය යුතු අතර ඡන්ද අපේක්ෂකයන්ට වේදිකා මතට නැගී තමන්ට වෙනම පොරොන්දු දීමට හැකියාවක් නැත. එසේ දෙනවා නම් ඒවා බොරැ පොරොන්දුය. ඡන්ද දායකයන් රවටා ගැනීමට දෙන ව්‍යාජ පොරොන්දු ජයගත් පසු හමස් පෙට්ටියට යයි. එයට හේතුව ඇත්තටම ඒවා ක්‍රියාත්මක කළ නොහැකි වීමය.

පක්ෂ සහ ඡන්ද අපේක්ෂකයන් දෙන මේ පොරොන්දු වැඩි හරිය ආර්ථික පොරොන්දු වෙයි. ජනතාවගේ ආර්ථිකය පිළිබඳ දෙන පොරොන්දුවලින් ඔවුන් ලෙහෙසියෙන් රවටා ගැනීමට හැකිය. එනිසාම වැඩි වශයෙන් එවැනි සරල පොරොන්දුවලට නැඹුරැ වෙති.
19 – 20 වැනි ශතවර්ෂවල ඡන්ද පොරොන්දුවලට විෂය වූයේ පාන් සහ සහල් පිළිබඳ පොරොන්දු වේ. කූපන් පොතට සහල් වැඩි ප්‍රමාණයක් දීම, සහල් සේරු දෙකම නොමිලේ දීම, එක සේරැවක් නොමිලේ දී අනෙකට ශත 25ක් අයකිරීම මෙම සහල් පොරොන්දු අතර විය.

අපෙ අම්මා ළඟ එනවා - හාල් සේරු දෙක දෙනවා
මේ කවි පදය තැනුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මුල්වරට ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු සමයේය. ඒ 1960 ගණන්වලය. අනතුරුව දෙවැනි වර 1970 දී බලයට පත්වූ ඇයට බත් කෑම තහනම් කර හාල් පොලු දැමීමට සිදුවීම දෛවයේ සරදමක් මිස අන් කුමක්ද? ඒ කාලයේ පාන් ගෙඩිය ශත 25ට දීම ද තවත් ඡන්ද පොරොන්දුවක් විය. අඩු මිලට පාන් දීම නිසා ජනතාව බත් කෑමෙන් ඉවත්වීම නිසා වැඩි කලක් නොගොස් සහල් පිටරටින් ගෙන්වීමට අපට සිදුවිය. එසේම ඩඩ්ලි සේනානායක අගමැතිව සිටි කාලයේ මයිසූර් පරිප්පු ආනයනය තහනම් කළ විට මිනිස්සු ඩඩ්ලිගෙ බඩේ - මසල වඩේ යැයි කියමින් එම ව්‍යායාමය උපහාසයට ලක් කළහ. සිරිමාවෝ සමයේ ඇපල්, මිදි, පරිප්පු, මිරිස් ආදිය ගෙන්වීම තහනම් කළ විට ජේ.ආර්. ජයවර්ධන 5/6 බලය ලබාගත්තේ එම තහනම් ආහාර ද්‍රව්‍ය ආනයනයට අවසර දෙන බවට පොරොන්දු වෙමිනි. ජේ.ආර්. ජයගත් පසු ඊළඟ සතියේ සිට කොළඹ පදික වේදිකාවල පිටරට පළතුරැ අලෙවි කළ වෙළෙඳුන් කෑගැසුවේ මේවා ජේ.ආර්. ගේ පළතුරැ කියලාය. 1960 දශකයේ අධ්‍යාපන ඇමැතිව සිටි ඩබ්ලිව්. දහනායකට බනිස් මාමා යන නම පටබැඳුණේ සිසුන්ට බනිස් ගෙඩිය බැගින් දීම නිසාය.

එම අතීතයෙන් වර්තමානයට එන විට විවිධ රජයන් නොයෙක් ආර්ථික පොරොන්දු දෙමින් ජනතාවගේ ඡන්දය ලබාගැනීමට සටකපට වූ අයුරු අපට මතකය. මෙවර මහ මැතිවරණයේ දීද ප්‍රධාන පක්ෂවල ඡන්ද පොරොන්දුවලින් වැඩි කොටස සමන්විත වන්නේ ආර්ථිකයට සම්බන්ධ ඒවායිනි. එක් පක්ෂයක් දෙන පොරොන්දුව අභිබවා යමින් එයට වඩා වැඩි පොරොන්දුවක් දීමට අනිත් පක්ෂය කටයුතු කරයි. ඒ සියලු පොරොන්දු හුදු කටට එනවාට කියන ව්‍යාජ ඒවා මිස ප්‍රායෝගිකව ඉටුකළ හැකි පොරොන්දු නම් නොවේ. විශාල ලෙස මුදල් වැයවන එම පොරොන්දු ඉටුකළ නොහැකි බව ඒ කවුරුත් නොදන්නවාද නොවේ. මෙම ඉටු නොවන පොරොන්දු නිසා සිදුවන්නේ අසරණ ඡන්දදායකයා රුවටීම මිස අනෙකක් නොවේ.
ශක්තිමත් රටක් - තෘප්තිමත් ජනතාවක්* යන තේමා පාඨය යටතේ දුරකතන ලාංඡනයෙන් තරග වැද සිටින සමගි ජනබලවේගය විසි වැදෑරුම් ක්‍රියා පිළිවෙතක් ඉදිරිපත් කරයි. එයින් 14ක් පමණ ඍජුවම ආර්ථිකයට සම්බන්ධ වන පොරොන්දු මිස ප්‍රතිපත්ති නොවේ. 2020 මාර්තු සහ අප්‍රේල් මාසවල විදුලි සහ ජල බිල්පත් සම්පූර්ණයෙන් කපා හැරීම, රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රුපියල් 24,000 දක්වා වැටුප සහ විධායක ශ්‍රේණිවල රුපියල් 15,000ක දීමනාව සහ වැඩි කළ විශ්‍රාම වැටුප වහාම ලබාදීම, කොවිඩ් වසංගතය නිසා සිදු වූ ආර්ථික පීඩාව වෙනුවෙන් පවුලකට රුපියල් 20,000 දක්වා ගෙවීම, විදේශ සංචාරකයන් සඳහා නොමිලේ වීසා ලබා දී PCR පරීක්ෂණ ද නොමිලේ සිදුකිරීම, බලයට පත්වූ වහාම ඉන්ධන මිල පහළ හෙළීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ දැරිය හැකි මිලකට ලබාදීම, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 50,000ක් සංවර්ධනය කිරීම, කුඩා වැව් 5000ක් වසර 5 තුළ ප්‍රතිසංස්කරණය කිරීම, වතු කම්කරු වැටුප දිනකට රුපියල් 1500 දක්වා ඉහළ නැංවීම, ගොවියන්ට නොමිලේ පොහොර ලබාදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වැඩිහිටි දීමනාව ඉහළ නැංවීම ආදී මූල්‍ය සහන ලබාදීම ඒවා අතර වෙයි. ග්‍රාම රාජ්‍ය සහ නගර රාජ්‍ය සැලසුම අනුව ග්‍රාමසේවා වසම් 14,022ක ගම්මාන 51,000ක් සංවර්ධනය කිරීම එම සංවිධානයේ ප්‍රධාන ආර්ථික පොරොන්දුවකි.

පොහොට්ටුව යටතේ මහ මැතිවරණය සඳහා තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම පොරොන්දු හෝ ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් නොකර ඇති අතර, ඔවුන් පවසන්නේ සුරක්ෂිත රටක් - සෞභාග්‍යමත් දේශයක් යන ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම අනුව රටේ දිශානතිය නව මාවතකට ගෙන යන වගයි.

එම පෙරමුණේ නායක කාරකාදීන් වේදිකාවලදී පවසන්නේ මැතිවරණයෙන් පසු දිළිඳු පවුල් සඳහා රුපියල් 10,000ක මාසික දීමනාවක් ලබාදෙන අතර දැනට දෙන සමෘද්ධි දීමනාව සහ දිළිඳු සහන දීමනාව රුපියල් 1000 බැගින් ඉහළ නංවන බවය. මැතිවරණයෙන් පසු නවතා ඇති උපාධිධාරී පත්වීම් 50,000 වහාම ලබාදෙන අතර, ඔවුන් ඇතුළු 1,50,000කට රුකියා ලබාදෙන බවද කියයි. තවද විරුකියාවෙන් පෙළෙන උපාධිධාරීන් 18,000කට ගුරු පත්වීම් ප්‍රදානය කරන අතර, රැකියා විරහිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා උගත් තරැණ තරුණියන් ලක්ෂයක් සඳහා ශ්‍රම බලකායක් පිහිටුවා රුකියා දෙන බව සඳහන්ය.
සැමට ජලය සපයන Water fir All ව්‍යාපෘතිය අනුව සියලු ජල මූලාශ්‍ර පවිත්‍ර කර පානීය ජලය ලබාදෙන අතර, කෘෂි ආර්ථිකය ශක්තිමත් කර ස්වයංපෝෂිත රටක් ඇතිකිරීම ද තවත් ඡන්ද පොරොන්දුවක් වෙයි. පොදු ප්‍රවාහනය විධිමත් කිරීම මෙන්ම කිලෝමීටර් 50,000ක මහා මාර්ග නිර්මාණය කිරීම ද ඇතුළත් වේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දැනට පවතින ජාතික පාසල් 373 සංඛ්‍යාව 1000 දක්වා වැඩි කරන බවද ප්‍රකාශ කර තිබේ. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව දුරුකිරීම ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ පොරොන්දුවලට ඇතුළත්ය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසන්නේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් සෑම පවුලක් සඳහාම මාසිකව රැපියල් 10,000ක දීමනාවක් ලබාදෙන අතර, සෑම පවුලකම අවම වශයෙන් එක් අයකුට හෝ රැකියා අවස්ථා සපයන බවය. තවද රැකියා අහිමි වූ අයට ද මාසිකව රුපියල් 10,000ක දීමනාවක් ලබාදෙන අතර, විදේශවල සේවය කර රැකියා අහිමි වූ අය ද මෙම කොටසට ඇතුළත් කර ගන්නා බව කියයි.

තවද සුවසැරිය දෙවැනි පියවර ආරම්භ කරමින් මාර්ග තදබදය නිසා ගිලන්රියවලට රෝගියා සොයා යාමට අපහසු වන අවස්ථාවලදී වෛද්‍ය සහ‍යකයකු සමඟ සේවකයකු ස්කූටරයකින් රෝගියා ළඟට යැවීමට කටයුතු යොදන බවද කියයි.
දැනට රාජ්‍ය සේවකයන්ගේ අහිමි කර ඇති දීමනා සහ කපා දැමූ වැටුප් යළි ලබාදෙන බවට පොරොන්දු වන එ.ජා.ප. නායකයා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මිලියන 50කට වඩා අඩු ණය ගෙන තිබෙන අයට ණය ආපසු ගෙවීමට සහන සලසන බවද පවසයි. එසේම වතු කම්කරු වැටුප කිසිම කොන්දේසියකින් තොරව රුපියල් 1000 දක්වා ඉහළ නංවන බවද ඔහු පවසන අතර, භේදයකින් තොරව පාසල් සිසුන්ගේ දිවා ආහාරය යළි සපයන බවට ද පොරොන්දු වේ. සමස්තයක් ලෙස ගත් කල එ.ජා.ප. නායකයා වරින්වර මෙලෙස දෙන පොරොන්දු සියල්ලම පාහේ සෙසු පක්ෂ දෙන පොරොන්දු මෙන් ජනතාව සතුටු කිරීමට ඉදිරිපත් කරන ඒවා බව පෙනේ.
මාලිමාව යටතේ තරග කරන ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන්නේ හුදු මැතිවරණ පොරොන්දු ප්‍රකාශනයකින් එහා ගිය රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් තම කණ්ඩායම ජනතාවට ඉදිරිපත් කරන බවය. ඔහු පවසන්නේ රට තුළ ප්‍රධාන කුලුනු තුනක් ශක්තිමත් කළ යුතුය යන්නය. දූෂිත දේශපාලනය වෙනුවට දූෂණයෙන් තොර දේශපාලනයක් නිර්මාණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය යන කුලුන ගොඩනැගීමෙන් දැනට අහිමි වී ඇති ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මෙන්ම ජාතික සමගිය නැමැති කුලුන ඔසවා තැබීම ද තම අපේක්ෂාව බව ඔහු කියයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ක්ෂේත්‍ර හතරක් යටතේ තම පක්ෂය කටයුතු කරන බවකි. ණය අර්බුදයට පිළියම් යෙදීම, ආනයන අපනයන ගැටලුව විසඳීම, ජාතික නිෂ්පාදන කඩා වැටීමට පිළියම් යෙදීම හා ජනතාව අතර ආදායම බෙදී යාමේ විෂමතාව දුරුකිරීම තම අභිලාෂය බව ඔහු කියයි.
ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා සරල පොරොන්දු දේශපාලනයේ නොයෙදෙන බව ප්‍රකාශ කරන අතර, එකිනෙකා අභිබවා යන මනාප පොරයක් ද එම පක්ෂය තුළ පෙනෙන්නට නොමැති වීම විශේෂ ලක්ෂණයක් වෙයි.

කෙසේ වුවද අද රටේ ඡන්දදායකයන් වැඩි දෙනා ප්‍රතිපත්තිගරැක දේශපාලනයක් ගැන අවධානය යොමු නොකරන අතර, ඔවුන් දේශපාලනඥයන්ගෙන් බලාපොරොත්තු වන්නේ තමාගේ එදිනෙදා ගැටලු විසඳාගැනීම පිළිබඳ සහනයක් ලබාගැනීමය. එය තමාට රැකියාවක් ලබාගැනීම, සමෘද්ධි දීමනාව හිමිකර ගැනීම, බැංකු ණය ලබාගැනීම, ගෙයක් හෝ ඉඩමක් ලබාගැනීම, රුකියාවක් සොයාගැනීම, උසස්වීමක් හිමිකර ගැනීම වැනි පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා වූ ඒවාය. එසේ නොමැතිව ආර්ථික ප්‍රතිපත්තිය ගැන හෝ ජාතික ප්‍රශ්න විසඳීම පිළිබඳ නැතිනම් රට සංවර්ධනය ආදිය පොදු යහපත් කරුණු උදෙසා ඡන්දය ප්‍රකාශ කරන අය විරලය. ඒ බව දන්නා කපටි දේශපාලනඥයෝ ඡන්දදායකයන්ට සීනිබෝල දී කතිරය ගස්සා ගැනීමට උත්සාහ කරති. මෙම තත්ත්වය තිබෙන තාක් කල් අපේ රට අගාධයට වැටීම වැළැක්විය නොහැකිය.

මෙවර මැතිවරණයේ දී වුවද විවිධ දේශපාලනඥයන් පවසන පොරොන්දු ඉටුකිරීම සඳහා අවශ්‍ය වියදම් ලබාගන්නේ කෙසේද යන්න ගැටලුවකි. පොරොන්දු දෙන ඒ කිසිවකුත් ඒවාට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට ගත යුතු සැලසුම් හෝ යෝජනා ක්‍රම පිළිබඳ කිසිවක් හෙළි නොකරන බව පෙනේ. ඒ සඳහා ඔවුන් හෝ ඔවුන්ගේ දේශපාලන පක්ෂවල කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව කිව යුතුය. ඒ නිසා අද රටේ ආර්ථික තත්ත්වය අනුව කියන දේවල් ඉටුකරලීම සඳහා ශක්තියක් නොමැති බව පෙනෙන්නට තිබේ. අද රට විශාල වශයෙන් ණය වී ඇති අතර, විදේශ ආධාර සහ ප්‍රදාන පවා ලබාගැනීමේ මාර්ග ඇහිරී තිබේ. කොවිඩ්-19 වැනි රෝගාබාධ පැතිර යාම නිසා රට වැඩි වශයෙන් අකර්මණ්‍යව තිබේ. ජනතාවගේ ආදායම අහිමිවීම රටේ ආර්ථිකයට ද විශාල ලෙස බලපායි. රජයට හිමිවිය යුතු ජාතික ආදායම පවා මේ වන විට අහිමිව ගොස් ඇත. ආදායම් එකතු කිරීමේ අපහසුතාව මෙන්ම රජය දේශපාලන වුවමනාකම් නිසා අනවශ්‍ය බදු සහන සැලසීම නිසා ද ජාතික ආදායම් මට්ටම පහළ වැටී ඇත.

පවතින වාතාවරණය තුළ දේශපාලනඥයන් වේදිකා මත දෙන ඡන්ද පොරොන්දු හුදු මායාවල් පමණක් බව ඡන්දදායකයන් අවබෝධ කරගත යුතු වේ.

 යසවර්ධන රුද්රිගූ

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48