2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

මනාප පොරයෙන් ඇවිලෙන ඡන්ද ගැටුම්

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක දේශපාලනයේ වැදගත්ම සාධකය වන්නේ මහජන ඡන්දයයි. එය නිවැරදිව හා බුද්ධිමත්ව භාවිත කිරීමෙන් රටට යහපත් අනාගතයක් ඇතිකළ හැකිය. රටේ දේශපාලනය ගැනද මහජන නියෝජිතයන් ගැනද මහජනතාවගෙන් විවේචන රාශියක් පවතී. බොහෝ අපේක්ෂකයන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වී තමන් හැදෙන අතර මහජන සේවය නොසලකා හරින බවට බලවත් චෝදනාවක් පවතී. මේ චෝදනාව මහජන නියෝජිතයන්ගෙන් බහුතරයකට එල්ල කළ හැකිය. පසුගිය පාර්ලිමේන්තුවේදී මහජනයා වෙනුවෙන් එක වචනයක්වත් කතා නොකළ මන්ත්‍රීවරු මෙන්ම එකම විවාදයකට හෝ සහභාගි නොවූ අයද ඕනෑ තරම් සිටියහ.

මහජනයාගේ ඡන්දයෙන් පත්වන නියෝජිතයා හැමවිටම ප්‍රමුඛතාව දිය යුත්තේ ජනතා සේවයටය. පාර්ලිමේන්තුව සඳහා අවංක, උගත් පුද්ගලයන් පත්කළ යුතු යැයි මතයක් ජනතාව අතර පවතී. එහෙත් මැතිවරණවලදී ජනතාව එම මතයට අනුව කටයුතු කරන්නේද යනු ගැටලුවකි. දේශපාලන පක්ෂයට, ජාතියට, ආගමට, පරම්පරාවට අනුව පමණක් නොව කුල සාධකයට අනුවද ඡන්දය දෙන ප්‍රවණතාවක් අපේ දේශපාලනය තුළ තිබේ.

මනාප පොරය අපේ ඡන්ද ක්‍රමයේ ඇති අයහපත් ලක්ෂණයකි. ඡන්ද ක්‍රමය වෙනස් නොකොට එය නිවරැදි කිරීම අපහසුය. පවත්නා තත්ත්වය යටතේ ඊට මුහුණදීමට සිදුවේ. මනාප පොරය නිසා එකම පක්ෂයේ මහජන නියෝජිතයෝ ගැටෙන අවස්ථාද ඕනෑතරම් පසුගිය කාලයේදීද දැකගත හැකි විය. පසුගිය දිනක අගමැති මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ මනාප පොරය අතහැර සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට සහයෝගය ලබාදෙන ලෙසය.
කෙසේ වෙතත් පෙර මැතිවරණවලට සාපේක්ෂව මෙවර මහ මැතිවරණයේදී මැතිවරණ පැමිණිලිවල මෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බව නිරීක්ෂණ සංවිධාන පවසන අතර ඔවුන් පෙන්වා දෙන්නේ එකම පක්ෂයේ අපේක්ෂයන් විසින් මනාප ලබාගැනීම සඳහා නීතිවිරෝධී භාණ්ඩ ලබාදීමේ සිදුවීම් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවය.

 

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය වෙත පසුගිය සිකුරාදා දහවල් වනවිට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 835 ක් වාර්තාවෙලා තිබුණා. ප්‍රධාන පක්ෂ තුනක අපේක්ෂයන් තමයි ඉන් මැතිවරණ නීති වැඩි ප්‍රමාණයක් උල්ලංඝනය කිරීම් කරලා තිබුණේ. නමුත් 1977 සිට 2015 දක්වා කාලය තුළ තිබුණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මේ පසුගිය කාලය තුළ අඩුවීමක් දක්නට තිබුණා. නමුත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සාපේක්ෂව අපේක්ෂයන් මේ පොදු දේපල අවභාවිතා කරන ආකරයක් පෙනෙන්නට තිබෙනවා. මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට වඩා පොදු දේපල අවභාවිතාව දඬුවම් ලැබිය හැකි වරදක්.

 

 කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස්

මෙවර මහ මැතිවරණයට අදාළව කැෆේ සංවිධානය වෙත පැමිණිලි 796ක් වාර්තාවෙලා තිබෙනවා. පෙර මැතිවරණවලට සාපෙක්ෂව මෙවර මහ මැතිවරණයේ පැමිණිලිවල අඩුවක් තමයි කැෆේ සංවිධානයට දක්නට තියෙන්නේ. ඒ වගේම තමයි මෙවර මැතිවරණ ව්‍යාපාරයේ දක්නට ලැබුණ ප්‍රබල සාධකයක් වෙන්නේ අපේක්ෂයන් සමාජ ජාල තුළින් අනෙකාට මඩ ගැසීමේ ක්‍රියාවලියක නියැලී ඉන්න බවක් ඒ වගේම රට පුරාම සෑම පක්ෂයකම අපේක්ෂකයන් නීති විරෝධී ලෙස භාණ්ඩ ‍බෙදාදීම් කටයුතු වල නියැලී සිටිනවා. මැතිවරණයේ නිහඬ කාල සීමාව තුළදීත් අපේක්ෂකයන් එවැනි ක්‍රියාවල නියැලෙමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරනවාද යන්න කැෆේ සංවිධානය අවදියෙන් ඉන්නවා.
 
 

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

මහ මැතිවරණයට අදාළව පැෆරල් සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 1785 ක් ලැබිලා තියනවා. පසුගිය සිකුරාදා දිනය වනවිට ඉන් සිද්ධීන් 84ක්ම අපි තහවුරු කරලා තිබෙනවා. ඒ වගේම මැතිවරණය ප්‍රකාශයට පත් කළ මුල් කාලය තුළ දක්නට නොලැබුණු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් සති දෙක තුළ දැකගන්න ලැබිලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය දේපල අවභාවිත කිරීමේ සිදුවීම් කිහිපයකුත් පැෆරල් සංවිධානය වෙත වාර්තාවෙලා තිබෙනවා. ඒ වගේම අපෙක්ෂකයන් නීති විරෝධී භාණ්ඩ බෙදාදීම් පිළිබඳව අපි තවදුරටත් අවධානයෙන් පසුවනවා. කොහොම වුණත් මැතිවරණයට පෙරත් මැතිවරණ දිනයේ මෙන්ම මැතිවරණයෙන් පසුව කාලසීමාව තුළත් අපෙක්ෂකයන්ගේ හැසිරීම් පිළිබඳ අපි විමසිල්ලෙන් කටයුතු කරනවා.

සටහන: හසිත් අංජන