2020 ජුනි 27 වන සෙනසුරාදා

වෙලේසුදාට හිරගෙදරදී ක්‍රිකට් ගැස්සූ බන්ධනාගාර ලොක්කෝ

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 465

මුළු මහත් බන්ධනාගාර පද්ධතියම තවදුරටත් කුඩු ජාවාරමුන්ගේ හා පාතාල කෙරුමන්ගේ කෙළිබිම් නොවන්නට නව කොමසාරිස් ජනරාල් තුෂාර උපුදෙණිය මහතාට වැඩ වැඩි නොවන්නට ඉඩ තිබිණි. සියල්ල උඩු යටිකුරු වෙමින් පවතින්නේ ද ඒ නිසාය. දූෂිත නිලධාරීන් ආරක්ෂා කරන පාතාල කෙරුමන් ද, පාතාල කෙරුමන් ආරක්ෂා කරන දූෂිත නිලධාරීන් ද තිගැස්සී ගොස්ය. මේ වන විටත් දූෂිත නිලධාරීන් තිදෙනකුගේම වැඩ තහනම් වී හමාරය. මත්කුඩු ජාවාරමුන්ට හා පාතාල අපරාධකරැවන්ට ජංගම දුරකතන හා සිම්පත් දෙන්නට ගොස් මාතර, මහර හා මීගමුවේ නියාමක නිලධාරීන් තිදෙනකුම අතටම අසුවී අවසන්ය.

මීගමුවේ හිටපු සහකාර බන්ධනාගාර අධිකාරීවරයා සංචිතයට මාරුකර ඇතත් ඔහු අදටත් අසනීප නිවාඩුය. පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධීන් ගණනාවක්ම ඇසුණේ මීගමුව බන්ධනාගාරයෙන් බවට කතා ගොඩක් ද ඇත. සුද්දාගේ නීතිය රජයන බන්ධනාගාර ආඥා පනතින් සිරකරුවන්ට සලකන්නට ශීතකරණ දිය හැකි බවද මෙහිදී ඇසෙන්නේය. හිටපු පරිපාලන ලොක්කකු ද මෙය සාධාරණීය කළේ එලෙසිනි. එහෙත්, එම සිරකුටියේ සිටි නමගිය මත්කුඩු ජාවාරමුන්ට ශීතකරණවල දමා චීස්, අයිස්ක්‍රීම්, යෝගට් මෙන්ම ඇපල්, මිදි දෙන්නට කියා තිබුණු බවක් නම් දැනගන්නට නැත.

මත්කුඩු චෝදනා මත මරණ දඬුවම නියම වූ සිරකරුවකු ද මෙම සිරකුටියේ රඳවා තැබීම ගැන විවේචන එමට ඇත. එහෙත් සියල්ල යටපත් වේදෝයි සිතන්නට ඉඩක් නැත්තේ රහස් පොලිස් පරීක්ෂණ නිසාය. මේ වන විටත් නව කොමසාරිස් ජනරාල්වරයා දූෂිත නිලධාරීන්ට උපදෙස් පත්‍රිකාවක් මගින් රතු එළි දල්වා අවසන්ය. මෙම 23 වැනිදා මීගමුව බන්ධනාගාරයට නව අධිකාරීවරයකු පත්කර, එහි නිරීක්ෂණ චාරිකාවක ගොස් නිලධාරීන් දැනුම්වත් කර ඇත්තේ යළිත් දූෂණ සිදු නොවන අයුරින් වගබලා ගන්නා ලෙසට අවවාද කරමිනි.

1997 න් පසු දශක දෙකකට අධික කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාලනය කර ඇත්තේ පරිපාලන සේවයේ නිලධාරීන්, විශ්‍රාමික මහේස්ත්‍රාත්වරුන් හා විශ්‍රාමික හමුදා නිලධාරීන් විසිනි. 1997ට පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ස්වර්ණමය යුගය ආරම්භ වූයේ ජේ.පී. දෙල්ගොඩ මහතාගේ කාලයේ බවට පැරණි නිලධාරීහු අදටත් සිහිපත් කරති.

එස්.බී. කරල්ලියද්ද මහතාගෙන් ආරම්භ වූ 1997න් පසු සමය තුළ මහ පුටුව හෙබවූ පිටස්තරයන් ගණන 8 දෙනෙකි. 2016 – 2017 වසරේදී දෙපාර්තමේන්තු නිලධාරියකු වන නිශාන් ධනසිංහ මහතාගෙන් පසු මහ පුටුව නැවත අත්පත් කරගනු ලැබුවේ නව කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වීම විශේෂත්වයකි. වයසින් අඩු එකම කොමසාරිස් ජනරාල්වරයා මෙන්ම බන්ධනාගාරය තුළ දැනුමින් පිරිපුන් එකම නිලධාරියා ද ඔහුය.

සහකාර බන්ධනාගාර අධිකාරීවරයකු ලෙස සේවයට එක්වූ ඒ මහතා බන්ධනාගාර අධිකාරී, කොමසාරිස් (පාලන), බුද්ධි හා මාධ්‍ය ප්‍රකාශක ලෙස කාගේත් හිත හොඳ දිනාගත් නිලධාරියකු වූයේ සේවය උසස් කොට සැලකූ හෙයිනි. බන්ධනාගාර පද්ධතිය තුළ සැබෑ වෙනසක් සිදුවෙමින් පවතින්නේ ද ජනාධිපතිවරයා දුන් එම උපදෙස් අනුව ඔහු රාජකාරි ඉටුකරන බැවිනි.

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව 1844 පනවන ලද බන්ධනාගාර ආඥා පනත යටතේ පිහිටුවනු ලැබූ දීර්ඝ ඉතිහාසයක් ඇති ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවකි. අධිකරණයක් මගින් බන්ධනාගාරගත කරන ලද හෝ රිමාන්ඩ් භාරයට පත් කරන ලද සෑම තරාතිරකම සිරකරුවන් පිළිගැනීම, ඔවුන්ට ආරක්ෂාව සැපයීම හා නඩත්තුව සැලසීම එහි මූලික කාර්යභාරය බව සඳහන් කොට ඇත.

එසේ වුවද මේ රටේ වැඩියෙන්ම කතාබහට ලක්ව ඇති දෙපාර්තමේන්තු අතර ඉහළින්ම සඳහන් වන්නේ ද මෙම දෙපාර්තමේන්තුවය. කෝප් කමිටු වාර්තාවේ සඳහන් දූෂිත රාජ්‍ය ආයතන අතරට එක්ව ඇති මෙම දෙපාර්තමේන්තුව ඒ නරාවළෙන් ගොඩගන්නට හිටපු පාලකයන්ට හැකි වී නැත. පාලන ක්‍රමයේ පවතින දුර්වලකම් හේතුවෙන් නීතිගරුක නිලධාරීන් මෙන්ම, අහිංසකව දඬුවම් විඳින සිරකරුවන් ද අසරණව සිටිනුයේ වෙන කරකියාගත හැකි දෙයක් නොමැතිවය.

මෙවැනි දූෂිත වාතාවරණයක් නොතිබූ අතීතයක් මෙම දෙපාර්තමේන්තුව තුළ මීට දශක විස්සකට පෙර තිබූ බවද අමතක කළ නොහැකිය. එම කොමසාරිස්වරුන් අතර තිබූ දැනුම, අවබෝධය, අත්දැකීම් කොතරම්ද යන්න සිහිපත් වන්නේ 2015 වසරේදී පත්වූ පරිපාලන සේවයේ කොමසාරිස් ජනරාල්වරයකු බන්ධනාගාරය සතු නිල නිවෙස පවා රජයේ වෙනත් කොමසාරිස් ජනරාල්වරයකුට පැවරීමත් සමඟය. 1997ට පෙර 60 දශකයේදී පමණ එවකට කොමසාරිස් තනතුර හෙබවූ දෙපාර්තමේන්තු නිලධාරියකු වූ ජේ.පී. දෙල්ගොඩ මහතා සිරකරුවන් ලවා කොළඹ 7, මළලසේකර මාවතේ ඉදිකළ කොමසාරිස් ජනරාල් නිල නිවෙස අද අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සතුය.

අමාත්‍ය මණ්ඩල තීරණවලට අනුව සිදුවූ මෙම බාහිර පත්කිරීම් හේතුවෙන් පසුගිය දශක දෙකක් තිස්සේම දෙපාර්තමේන්තුවේ සමස්ත පරිපාලන ක්‍රියාවලිය අක්‍රීයව, දූෂ්‍යව පැවතීම මත එහි අනිසි ප්‍රතිඵල නීතිගරුක නිලධාරීන් මෙන්ම අහිංසක සිරකරුවෝ ද අඩුවැඩි නැතිව භුක්ති විඳිති. බන්ධනාගාරගත වන්නන්ගේ දඬුවම් ක්‍රියාත්මක කිරීම, සමා ක්‍රමය හා පුනරුත්ථාපන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන කේ. අංශය අදටත් එකම නිලධාරීන් තිදෙනකුගේ ඒකාධිකාරියක් බවට පත්ව ඇති බවට සෙසු නිලධාරීහු චෝදනා කරති.

සිරකරුවන් වෙනත් බන්ධනාගාරවලට මාරුකිරීම, රුකවරණය සැලසීම, සුබසාධනය හා සිරකරු විනය, පාලනය පිළිබඳ නීති හා රෙගුලාසි හෑල්ලුවට ලක්වීම ද පසුගිය කාලය තුළ දැකගත හැකි විය. පත්වූ පිටස්තර ප්‍රධානීන්ට ඒ පිළිබඳ අවබෝධයක් නොතිබීම ද බරපතළ ප්‍රශ්නයකි. එහෙත්, ගතවූ කාලය තුළ පත්වූ පිටස්තර නිලධාරීන්ට බන්ධනාගාර විෂය පිළිබඳ ගැටලුවක් වන්නේ දෙපාර්තමේන්තුව තුළ අවනීතිය රජවීමට හේතු වූ සාධක සොයා බැලීමේදීය.

සිරකරැවන් සම්බන්ධයෙන් ස්ථාපිතව ඇති රෙගුලාසිමය නෛතික තත්ත්වය පිළිබඳව දැනුමක් මෙතෙක් පත්වූ පිටස්තර ප්‍රධානීන්ට නොතිබීම හේතුවෙන් පසුපෙළ නිලධාරීන්ගේ උපදෙස් අවශ්‍ය වූ අයුරු දක්නට තිබිණි. ඒ අතර සිටි දූෂිත නිලධාරීන් වැඩි දෙනෙක්ගේ ග්‍රහණයට පිටස්තර නිලධාරීන් හසුවීම අරුමයක් ද නොවන්නේය.

මුළු මහත් බන්ධනාගාර පද්ධතියම මේ නිසා දූෂිතයන් අතට පත්වීමත්, ඒ තුළ අපරාධකරුවන් පිනුම් ගැසීමත් අරුමයක් නොවන්නේය. මේ නිසාම, ඇතිවූ බන්ධනාගාර මාෆියාවට අනුව මුදල් වියදම් කළ හැකි නම්, සිරකරුවාට තමන් කැමැති සිරවාට්ටුවකට හෝ වෙනත් බන්ධනාගාරයකට මාරු වී යාම හෝ දඬුවම ලිහිල් කර ගැනීමටත්, ඕනෑම පහසුකමක් භුක්ති විඳීමටත් හැකිය. ආන්දෝලනාත්මක මීගමු බන්ධනාගාර සිද්ධියේදී වූයේ ද එවැන්නක් බවට කතා අදටත් ඇසේ.

දූෂිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නිලධාරීන්ට ක්ෂණිකව මුදල් උපයා ගැනීමට ද, විවිධ ක්‍රම බන්ධනාගාර තුළින් බිහි විය. ජංගම දුරකතන, මත්කුඩු, දුම්කොළ, සිම්පත්, බැටරි, චාජර් රුගෙන යාම, වැටුපට වඩා ආදායම් ඉපැයීමත් වී තිබුණේ ඒ නිසාය. ජංගම දුරකතනයක් මේ වන විට බන්ධනාගාර තුළ රුපියල් 25000කට අලෙවි වේ.

ඒ සමඟම, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන නිලධාරීන්, බලධාරීන් හමුවේ නිවට නියාලුන් බවට පත් වී අවනීතිය ක්‍රියාත්මක වීම ද සුලභ කරුණක් බවට පත්ව ඇත. මුදල් රෙගුලාසි හෝ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව නිලධාරීන්ට ලැබිය යුතු සහන ද නිසි කලට නොලැබෙන බවට චෝදනා ද නැත්තේ නොවේ. 

වැටුප මත ජීවත්වන නිලධාරීන් මෙවැනි තත්ත්වයක් මත දෙපාර්තමේන්තුව කෙරෙහි දැඩි කලකිරීමෙන් පසුවීම ද පුදුමයට කරුණක් නොවේ. එසේ තිබියදී කෑගල්ලෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රුගෙන ආ මත්කුඩු ජාවාරම්කරු අතරමගදී අතුරුදන්ය.

මීට වසර කිහිපයකට පෙර එනම්, 2010 වසරේදී චන්ද්‍රසිරි ගජදීර විෂය භාර හිටපු අමාත්‍යවරයාගේ සමයේ මාතර පොසොන් උදානයට රැගෙන ගිය එල්.ටී.ටී.ඊ. ඉංජිනේරුවා (සිරකරුවා) රාත්‍රියේම පලා ගොස්ය. පිටස්තර උසස් නිලධාරීන්ගේ පරිපාලනය යටතේ 2009 වසරේදී සිදු වූ වැලිකඩ සිරකරු ඝාතන සිද්ධියත්, 2012 වසරේදී මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලත් අමතක කළ නොහැකිය. නිලධාරීන්ටත්, සිරකරුවන්ටත් නොදැන නොව බන්ධනාගාර නිල නොවන අයුරින් පාලනය කරන මත්කුඩු ජාවාරමුන් පාතාල අපරාධකරුවන් අද වන විට හිසරදයක් බවට පත් වී ඇත. පසුගියදා ආරක්ෂක ලේකම්වරයාත්, නීතිපතිවරයාත් බන්ධනාගාර හමගසන ලද්දේ ද නිකමට නොවේ. බන්ධනාගාර අපරාධකරැවන්ගේ අභ්‍යාස විද්‍යාල බවටත්, කෙළිබිම් බවටත් පසුගියදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට නීතිපතිවරයා කළ ප්‍රකාශය සත්‍යයක්මය.

එම කතාව කළ අවස්ථාවේ අසල සිටි එක්තරා උසස් නිලධාරියකු වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාව සිටි සමයේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම් හේතුවෙන් මරණ දඬුවම් විඳින වෙලේසුදා ඇතුළු සිරකරුවන් කණ්ඩායමක් යොදවා ක්‍රිකට් ගැසූ අන්දම ගැන හෙළි කළේ ද බන්ධනාගාර නිලධාරියෙකි. එම උසස් නිලධාරියා 2017 වසරේදී පමණ එවකට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරීවරයාව සිටියදී මහා පරිමාණ මත්කුඩු ජාවාරමකු වන පසුව පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් කුඩු ලාලිත්‍ය ලවා සිරකරුවන්ගේ මානසික වින්දනය සඳහා යැයි රුපියල් ලක්ෂ 10ක වියදමක් දරා දියඇල්ලක් නිර්මාණය කළ අතර, එය අදටත් ගලා හැලෙන්නේ එම නිලධාරියාගේ නම ද සිහිපත් කරමිනි. අද එම නිලධාරියා වත්මන් කොමසාරිස් ජනරාල්වරයාගේ දකුණු අත වීම ද දෛවයේ හාස්කමක් බඳුය.

සියල්ල එලෙසින් සිදුවෙද්දී, 2000ක පමණ නිලධාරී හිඟයට පිළියම් යෙදීම ද අවශ්‍යම කරුණකි. මේ වන විට නිලධාරීන් බඳවා ගැනීමට කළ අවස්ථා 3ක්ම පසුගිය යහපාලන රජය ව්‍යවර්ථ කර දමා වසර ගණනකි.

සිරකරුවන් 25,000 ක් පාලනය කරන්නට දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ නිලධාරීන් 5000කට නොවැඩි පිරිසක් බවද අප අමතක කළ යුතු නැත. සිරකරුවන් අතරින් 1200ක්ම මරණ දඬුවම, ජීවිතාන්ත සිරදඬුවම් හා ඇපෑල් ඉදිරිපත් කර සිටින්නන් බවද එහි වාර්තාවල දැක්වේ. මේ වන විටත් බන්ධනාගාරවල සිදුවන දූෂණ පිළිබඳව නව කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් පත්‍රිකාවක් යවා ඇත්තේ මින් ඉදිරියට ඒවායේ කිසිවක් සිදුනොවන බවට වගබලාගන්නා ලෙසට අවවාදයක් ද කරමිනි. අධිකාරීවරයා වගකිවයුතු බවද එහි දැක්වේ.

ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන්, රාජ්‍ය අනුග්‍රහය යටතේ නිදහස ලබා ගිය වකවානුවක මෙවැනි උපදෙසක් ලැබීම ද ආශ්චර්යයකි. රටක්, සමාජයක් ලෙස අප කළ යුතු වන්නේ සිරගෙවල් බිහිකිරීම නොව, වැඩි වැඩියෙන් ඒවා හිස් කිරීමය. ඒ සඳහා යළි යළිත් බන්ධනාගාරගත නොවන තැනට පුද්ගලයන් බන්ධනාගාර දොරටුවෙන් පිටමං කළ යුතුය.

බන්ධනාගාර ගතවන කිසිවකුත් සදාකාලික වරදකරුවන් යැයි දියුණු සමාජය අදටත් පිළිනොගන්නා බවද මතක් කළ යුතුය. බන්ධනාගාර ගතවන ඕනෑම පුද්ගලයකු යහපත් මිනිසුන් ලෙස සමාජගත කිරීමේ වගකීම පැවරී ඇත්තේ ද බන්ධනාගාරයටම බවද අමතක නොකළ යුතුය. එහෙත් අද සිදුවන්නේ එයමදැයි හදවතට තට්ටු කර බලන ලෙසට නීතිපතිවරයා කළ හෙළිදරව්ව රටවැසි කාගේත් පැසසුමට ලක්ව ඇති බවද කිව යුතුය.

දූෂිත නිලධාරීන් පිළිබඳව දෙපාර්තමේන්තුව පැත්තෙන් නම් ලැයිස්තුවන් ගැන කතා ඇහෙන්නේ කලක සිටය. උසස් යැයි කියන නිලධාරීන් කිහිප දෙනකු හිටිහැටියේම කෝටිපතියන් වූ හැටි අවංකව සොයා බලන්නේ නම්, දූෂිත නිලධාරීන්, නිලධාරිනීන් කවුරුන්ද යන්න හෙළිවනු නොඅනුමානය. මෙම දූෂිත ඉහළ නිලධාරීන් සතු දේපළ, වත්කම් ප්‍රමාණය ගැන “බන්ධනාගාර පොඩ්ඩන්” පවසන දේ බැහැර කළ නොහැක්ටෙක් ද එබැවිනි.

මීට වසර 5කට පමණ පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වෙලේසුදාගෙන්” මුදල් ගත් බවට 7 දෙනකුට චෝදනා එල්ල වී වැඩ තහනමකට පවා ලක්වුවද, උසස් නිලධාරීන්ගේ නම් ඒ තුළින් හැලී ගිය ආකාරය ගැන එකල කොතෙකුත් කතා ඇසුණ ද අද ඒ ගැන හාහූවක් ද නැත.

 ජයන්ත සමරකෝන්

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00