2020 මැයි 23 වන සෙනසුරාදා

ලෝක ප්‍රසිද්ධ ගල්පරයත් වසාගෙන අලුත්වෙන ගල්කිස්සස මුහුදු වෙරළ

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 73

වෙනදාට ගල්කිස්ස මුහුදු තීරයේ දක්නට ලැබෙනා ඒ දසුන් දැන් දක්නට නැත. වෙනදා මෙන් ගල්කිස්ස මුහුදු වෙරළේ කුඩා දරුවන් තැනූ වැලි මාලිගාද නැත. වෙනදා තරම් සෙල්ලම් කරන, මුහුදේ නාන්නට ආ පිරිස්ද වෙරළ තීරයේ නැත. එදා වේල පිරිමහා ගන්නට අන්නාසි උරයක්, කඩල ගොට්ටක් විකුණන්නට වෙරළට ආ වෙළෙඳුන්ද සිටියේ නැත. ඉහළ අහසේ ලෙලදුන් සරුංගල් තිබුණේද නැත. ඒ සියල්ලම ඇඳිරි නීතියෙන් පාළුවට ගිය මුහුදු වෙරළේ මතකයන් පමණක් ඉතිරි කොට තිබුණි.
ඈතින් පෙනෙන ගල්කිස්ස මහ හෝටලයට යාබද මුහුදු තීරය ඒ සමඟ වෙනදාටත් වඩා වෙනස්ම වී තිබුණි. වෙනදා මුහුදු රැලි පැමිණ මහ හඬක් නගමින් හැපෙන ඒ විශාල ගල්පරය අද සම්පූර්ණයෙන්ම දකින්නට නොලැබුණි. ඒ වෙනුවට සිප්පිකටු රාශියකගෙන් සමන්විත වුණු ඉතා විශාල වැලි පිට්ටනියක් අපට දැකගත හැකි විය.

අප එහි යාමට දින කිහිපයකට පෙර මෙම මුහුදු තීරය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණි. ඉතා විශාල පිට්ටනියකට සරිලන ඉඩ ප්‍රමාණයක් සහිත මෙම මුහුදු වෙරළ අතීතයේ සිට ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය මුහුදු වෙරළක් වී තිබූ බවද සඳහන් කළ යුතුය.
සිනමා පට මෙන්ම ටෙලිනාට්‍ය බොහෝමයක් මෙම සීමාවේ රූගත කරන ලද්දේ ඒ සුන්දරත්වය නිසාමය. බොහෝ පෙම්වතුන් තම ආදරණීය මතකයන් ඡායාරූපයට ගත්තේද, ඡායාරූප ශිල්පීන් බොහෝ මංගල ඡායාරූප සහ “ප්‍රී ෂූට්” ඡායාරූපයට නගන්නේද මෙම ගල්කිස්ස මහ හෝටලයට යාබදව පිහිටා ඇති මේ වෙරළ තීරයේදීය. නමුත් වර්තමානයේ කෘත්‍රිමව අතුරන ලද වැල්ල ඒ සියලු දෑ වෙනස් කර දමා තිබේ.

“මේ සිදුවීම ඉතා ඉක්මනින් හදිසියේ කරපු ක්‍රියාවලියක් නෙමේ. අපි විසින් කළුතර කැලිඩෝ වෙරළ තීරයටත්, රත්මලාන සිට අඟුලාන වෙරළ තීරයටත්, ගල්කිස්ස මහ හෝටලයට යාබදව ඇති වෙරළ තීරයටත් සම්බන්ධ ව්‍යාපෘතියක් ආරම්භ කළා. මේ වෙරළ තීර තුනම එකම ව්‍යාපෘතියක් හැටියටයි අපි ක්‍රියාත්මක කළේ. කළුතර කැලිඩෝ වෙරළ තීරය ඉතා දරුණු ලෙසින් වෙරළ ඛාදන තත්ත්වයට මුහුණදුන් වෙරළ තීරයක්. ඒ වගේම රත්මලාන - අඟුලාන වෙරළ තීරයද කාලයක් තිස්සේම ඛාදනය වෙමින් තිබෙන වෙරළක්. ඒ නිසාම ඒ ධීවර ජනතාව විශාල ලෙසින් පීඩාවට පත්වුණා. ගල්කිස්ස මුහුදු තීරයේදී මෝසම් කාලයේදී අපි වැලි කොට්ට දමා ආරක්ෂා කරන්නට සිදුවුණා.... මේ නිසාම තමයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ.”

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් එසේ පැවසීය.

ඔවුන් පවසන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා ජනපති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ලැබී ඇත. කලක් තිස්සේ කළ ඉල්ලීමට අනුව මෙම වසරේ ජනවාරි මස 14 වැනිදා මේ ව්‍යාපෘතියට අනුමැතිය ලැබී ඇත. ජනාධිපතිවරයා කැලිඩෝ වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගි වී සිටියේය. අනුමැතිය ලැබුණු මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු පෙබරවාරි 29 වැනිදා ආරම්භ කරනු ලැබීය.

“මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන දවස්වලදී මේ රටේ කොරෝනා වසංගතයක් පැවතුණේ නැහැ. මාර්තු මාසයේදී මෙම වසංගතය අපේ රටේ ඇතිවේවි කියලවත් කවුරුත් දැනගෙන හිටියේ නැහැ. මේ ව්‍යාපෘතියට අවශ්‍ය තාක්ෂණය ලංකාවේ නොමැතිකම නිසා විදේශ සමාගමක් සමඟ මෙම ව්‍යාපෘතිය කරලීමකට ගිවිසුමකට එළඹුණා. ඔවුන් අප්‍රේල් 30 වෙද්දී මෙම වෙරළ තීර තුනේම වැඩකටයුතු නිමකර බාරදීමට පොරොන්දු වුණා.”

ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පැවසීය. බොහෝ දෙනා චෝදනා කරන්නේ ඇඳිරි නීතිය කාලයේදී මෙම ක්‍රියාවලිය සිදුකර ඇත්තේ කාටත් හොරෙන්ම එය සිදුකිරීම සඳහා බවයි. නමුත් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ මෙය මාස කිහිපයකට පෙර සිටම සැලසුම් කර තිබූ ව්‍යාපෘතියක් බවය.

කළුතර කැලිඩෝ, රත්මලාන සහ ගල්කිස්ස ඇතුළුව සම්පූර්ණ ව්‍යාපෘතියට වැයවන මුදල රුපියල් මිලියන අටසිය අනූවකි. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වැලි යොදාගනු ලැබුවේ එකම ස්ථානයකිනි. රත්මලාන ඈත මුහුදේ සිට එම වැලි ලබාගැනීම සිදුවිය. එය වෙරළ සංරක්ෂණ සහ වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවට වෙන්කරන ලද ස්ථානයකි. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයෙන් සහ පරිසර අධිකාරියෙන්ද මේ ව්‍යාපෘතියට අවසරයද ලබා ඇත. 2014 වසරේදී උණවටුන වෙරළ තීරයේ ඇතිවුණ දරුණු වෙරළ ඛාදනයේදී එය වැළැක්වීමට වැලි ගනු ලැබුවේද මෙලෙසින්මය.

වැලි කියුබික් ලක්ෂ තුනක් කළුතර කැලිඩෝ මුහුදු වෙරළටත්, වැලි කියුබ් තුන් ලක්ෂ පනස්දාහක් රත්මලාන අඟුලාන කොටසටත්, වැලි කියුබ් එක් ලක්ෂ පනස් පහක් ගල්කිස්ස මුහුදු වෙරළටත් පොම්ප කර තිබේ.

“මේ වෙරළ තීරවල සිදුවී තිබෙන පාරිසරික හානියන් වැළැක්වීම සඳහා අපි මේ ව්‍යාපෘතිය සිදුකළා. වෙරළ ඛාදනයක් සිදුවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පිළියමක් යෙදීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරයයි. මේ සඳහා ගල්වැටි, වැලි කොට්ට අපිට යොදන්නට පුළුවන්. නමුත් ඒවායින් මේ වෙරළ තීර අපිට අහිමි වෙනවා. ධීවර කර්මාන්තය නිසි පරිදි කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. එමෙන්ම වෙරළ තීරයක් නොමැතිකම සංචාරක කර්මාන්තය විශාල ලෙස බලපෑමක් සිදුකරනවා. “මේ සඳහා හොඳම විසඳුම ලෙස ලෝකයම පිළිගනු ලබන්නේ මේ කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතියයි. මේ ක්‍රමය ලෝකයේ බොහෝ රටවල් භාවිත කර තිබෙනවා. මීට පෙර මෙවැනි කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘති උණවටුන, මාරවිල, උස්වැටකෙයියාව සිදුකරලා තිබෙනවා. මෙමගින් අපිට අහිමි වී ගිය භූමි ප්‍රමාණය නැවත ලබාගන්නට අපිට හැකිවුණා. එමඟින් සිදුවී තිබෙන පාරිසරික හානිය වැළැක්වීමක් වුණා.” චන්ද්‍රකීර්ති මහතා කියයි.

මුළු රටම ඇඳරි නීතිය පවතින කාලයේදී මෙවැනි ව්‍යාපෘතියක් සිදුකරලීම පිළිබඳව ප්‍රදේශවාසීන් මෙන්ම තවත් බොහෝ දෙනෙක් චෝදනා කරති. ඒ පිළිබඳව නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේ විදෙස් සමාගමක් සමඟ කළ ගිවිසුමට අනුව ඒ නියමිත කාලයේදී මෙම ව්‍යාපෘතිය නිමකළ යුතුව තිබුණ බවය. යම් ලෙසකින් රජය මගින් මෙම ව්‍යාපෘතිය ඇඳිරි නීතිය හේතුවෙන් තාවකාලිකව හෝ නතර කළහොත් එකී විදෙස් සමාගමට (කොන්ත්‍රාත් ආයතනයට) පැයකට රුපියල් ලක්ෂ දෙකක විශාල වන්දි මුදලක් ගෙවීමට රජයට සිදුවන බවය. යම් හෙයකින් එලෙස මුදල් ගෙවීමට සිදුවුවහොත් ඒ ගෙවනු ලබන්නේද මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්ය. මේ ව්‍යාපෘතිය පැය විසිහතර පුරා වැඩකළ ව්‍යාපෘතියක් බවද ඔහු කියයි.

ව්‍යාපෘතිය පවතින කාලය පුරාවටම ගල්කිස්ස මුහුදු වෙරළ ආශ්‍රිතව පොලිස් ආරක්ෂාව යොදා තිබුණි. මේ නිසාම සමහරැ මෙය රජය විසින් හොර රහසේ ඇඳිරි නීතිය පවතින කාලයේදී කරගෙන ගිය ව්‍යාපෘතියක් බවටද චෝදනා කළහ. මේ පිළිබඳව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ ව්‍යාපෘතිය මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට අලුත් ව්‍යාපෘතියක්. මේ ක්‍රියාවලියේදී විශාල ලෙසින් මුහුදු බෙල්ලන් එකතු වී වෙරළ තීරයට එනවා. ඒවා එකතු කරන්න කැලිඩෝ වෙරළ තීරයට විශාල වශයෙන් සෙනඟක් ආවා. මේ නිසා මිනිස්සු බොහෝ පිරිසක් මේ තැන්වලට එන්න පටන් ගත්තා. මෙවැනි කාලයකදී ඒක ලොකුම ප්‍රශ්නයක් වෙනවා. ඒක වළක්වන්නට තමයි අපි මෙතැනට පොලිස් ආරක්ෂාව යෙදෙව්වේ....”

අප්‍රේල් 22 වැනිදා වනවිට මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් කර තිබුණි. ගල්කිස්ස මුහුදු වෙරළේ මෙම වෙරළ තීරය අසල ඉතා දර්ශනීය විශාල ගල්පර ගණනාවක් තිබුණි. ඇතැමුන් චෝදනා කරනු ලැබුවේ මේ ගල් යම්කිසි පිරිසක් විසින් ගලවාගෙන ගොස් ඇති බවය.

“මේ වැලි පිරවීමෙන් ඒ ගල් සියල්ලම වැසී ගිහින් තියෙන්නේ. මේ තිබෙන විශාල වැලි ප්‍රමාණය ක්‍රමයෙන් උතුරැ දිශාවට ගමන්කර ඒ අවශ්‍ය ප්‍රමාණයට වෙරළ තීරය නිර්මාණය වෙනවා. පසුකාලයේදී ඒ ගල්පර නැවත මතුවෙනවා. අද ඒ ගල් නොපෙනී ගියත් යථා කාලයේදී ඒ සියල්ලම දැකගන්නට පුළුවන් වේවි. වෙරළ තීරය නිසි ලෙස නිර්මාණය වීමෙන් පසුව තමයි ඒ ගල්වැටිය දැකබලා ගන්නට පුළුවන් වෙන්නේ. එතැන තිබූ කිසිදු ගලක් අපි ඉවත් කරලා නැහැ.” යැයි නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

කළුතර කැලිඩෝ වෙරළ තීරය අවට ගම්වාසීන්ගෙන් ඉතා ඉක්මණින් එම ප්‍රදේශයේ කෘත්‍රිම වැලි පෝෂණ ක්‍රියාවලිය සිදුකරන්නට යැයි ඉල්ලීම් තිබුණි. රත්මලාන ප්‍රදේශයේ ධීවර ජනතාවගෙන්ද විශාල ඉල්ලුමක් මේ සඳහා තිබුණි. ප්‍රදේශ තුනෙහිම ජනතාව රැස්කොට මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් දැනුවත් කොට මෙම ව්‍යාපෘතිය ඇරඹීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කළද රට තුළ පැවතෙන ඇඳිරි නීතිය හමුවේ ජනතාව එක්රැස්කොට මේ පිළිබඳව දැනුවත් කිරීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබුණි. මෙතෙක් ධීවරයන්ට මාදැලක් අදින්නට ඉඩක් නැතිවුවද මේ වනවිට ඒ සඳහා ඉතා විශාල ඉඩක් වෙන්වී ඇත. එමෙන්ම ක්‍රීඩා කිරීමට විවේකයෙන් සිටීමට සුදුසු ඉඩක්ද ලැබී ඇත. මෙම ප්‍රදේශයේ දිය නෑමට, පිහිනීමට සුදුසු වන්නේදැයි යන්න නම් දෙවරක් සිතා බැලිය යුතු කරුණකි.

දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

මේ ව්‍යාපෘතිය නීතිවිරෝධියි
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ 

ඇත්තටම මේක නීති විරෝධී වැඩක්. මීට වසර කිහිපයකට (2014) උඩදී රෑමස්සල හෝටලයත් අසල මුහුදු ඛාදනයක් සිදුවන නිසා ඒක රජයේ වැලිවලින් පුරවන්න අවසරය ලබලා දීලා තියෙනවා. ඒ වැලි පුරවන්න ගෙනියන්න තිබුණේ රත්මලාන ප්‍රදේශයේ තැනකින්. 2014 වසරේදී අවසරය දුන්නත් ඒක මන්දගාමීව 2017 වසර වෙනතුරු දීර්ඝ වුණා. රත්මලාන සිට රූමස්සලට වැලි ගෙනියද්දී කළුතර කැලිඩෝ එකට වැලි ටිකක් පුරවන්නට අවසරය ඉල්ලුවා. ඒ නිසා එතනට වැලි පුරවන්න අවසරය දුන්නා. 2017 සිට කැලිඩෝ මුහුදු තීරය ක්‍රමවත්ව කරන්න පරිසර අමාත්‍යංශයේ රැස්වීම් මාලාවක් පැවැත්වූවා. නමුත් ඒ සඳහා විශේෂ අවසරයක් දීලා නෑ. 2017 වසරේදී ලබලා දුන් අවසරය විතරයි එතැන තියෙන්නේ. නමුත් වෙනම පරිසර වාර්තාවක් සකස් කරලා නැහැ. ඒක පුරවන ගමන් රත්මලානටයි, ගල්කිස්සටයි වැලි පුරවා ගත්තා. ඒ දෙකට පරිසර අධිකාරිය සමඟ සාකච්ඡා කරලා නැහැ. ඒ නිසා ඒ දෙකම නීති විරෝධියි.

 

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00