2020 මැයි 23 වන සෙනසුරාදා

මාස්ක් දාගෙන ව්‍යායාම කළොත් වැඩ වැරදියිද?

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

කොවිඩ් 19 වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමත් සමග මුව ආවරණ පැළඳීම ලොව සෑම රටකම පාහේ අනිවාර්ය අංගයක් විය.  ජනතාව නිවෙස්වලට සීමා වූ අතර ඉන් ඔවුහු දැඩි මානසික අසහනයකට පත් වූහ. ලොක්ඩවුන්, ඇඳිරි නීති හා සමාජ දුරස්ථකරණයක් පනවා තිබූ හෙයින් ශාරිරික සුවතාව සඳහා ව්‍යායාම කිරීමට නොහැකි තත්ත්වයක්ද පැවතිනි. ක්‍රමයෙන් එම දැඩි නීති ලිහිල් කිරීමත් සමඟ ජනතාව එළිමහනේ ව්‍යායාම කිරීමට පියවර ගත්හ. වෛසරයෙන් වැළකීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට ඔවුනට සිදුව තිබේ. එහෙයින් ව්‍යායාමවල නිරතවීමේදී පවා මුව ආවරණයක් පැළඳ සිටීමට සිදුව ඇත. මුව ආවරණ පැළඳ ව්‍යායාම කිරීම එතරම් සුදුසු නොවන බවට රාවයක් පවතී. එලෙස මුව ආවරණ පැළඳ ව්‍යායාම් කළ චීන ජාතිකයන් දෙදෙනකු ස්වසන ආබාධ හේතුවෙන් මරණයට පත් වූ බවද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළේය.

මුව ආවරණ පැළඳ ව්‍යායාම කිරීම සුදුසුද? පුද්ගලයකුට ඉන් කිසියම් හානියක් විය හැකිද? යන්න අප විමසා බැලුවේ රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වාගෙනි. 

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මුව ආවරණයක් පැළඳීම ඉතා වැදගත්. සාමාන්‍ය වර්ගයේ රෙදි හා ශල්‍ය (sergical mask) මුව ආවරණයක් පැළඳ ඕනෑම පුද්ගලයකුට ව්‍යායාමවල යෙදිය හැකියි. කොවිඩ්  වැනි වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක මුව ආවරණයක් පැළඳ ව්‍යායාම කිරීම ඉතා වැදගත්. සාමාන්‍ය අවස්ථාවකට වඩා ව්‍යායාම් කරන විට වේගයෙන් හුස්ම පිට කරන බැවින් එම වාතය මීටරයේ දුරට වඩා ඈතට ගමන් කරනවා. ඒ නිසා ව්‍යායාමයේ යෙදෙන හෝ දුවන පුද්ගලයකු මුව ආවරණ පැළඳ සිටීම අත්‍යවශ්‍ය කරුණක්. අපි මුව ආවරණයක් පළඳින්නේ අනික් පුද්ගලයා ආරක්ෂා කිරීමට. ඔවුන් පළඳින්නේ අප ආරක්ෂා කිරීමට. You protect me. I protect you යන අදහසින් තමයි මුව ආවරණ පළඳින්නේ.

සමාජයේ ගැවසෙන බොහෝ පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළද රෝගය පවතින්න පුළුවන්. ඒ නිසා මුව ආවරණ පැළඳීම ඉතා වැදගත්. ශ්වසන රෝග සහිත වැඩිහිටි පුද්ගලයන්ට මුව ආවරණයක් පැළඳ ව්‍යායාම කිරීම අසීරැ වන අවස්ථාවක නියමිත දුරස්ථභාවය රැකෙන පරිදි මුව ආවරණයක් නොමැතිව ව්‍යායාමයේ යෙදිය හැකියි. එහෙත් නිරෝගී පුද්ගලයකු ව්‍යායාමයේ යෙදෙනවා නම් එම තැනැත්තා අනිවාර්යයෙන්ම මුව ආවරණයක් පැළඳිය යුතුයි.

මුව ආවරණ පැළඳ ව්‍යායාම කරන විට ශරීරියට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අවම වනවාදැයි යන්නට මහාචාර්යවරයාගේ පිළිතුර වූයේ සාමාන්‍ය මුව ආවරණයක් පළඳින නිරෝගී පුද්ගලයකුට එවැනි බලපෑමක් ඇති නොවන බවයි.

හුදෙකලා ස්ථානයක ව්‍යායාමයේ යෙදෙන පුද්ගලයකු මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නැහැ. එහෙත් N 95 වර්ගයේ (රෙස්පිරේටර්ස්) මුව ආවරණ පැළඳ ව්‍යායාම කිරීම එතරම් සුදුසු නැහැ. එවැනි මුව ආවරණයකින් වාතය පෙරහන්වී එන බැවින් ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අවම වනවා. එවිට හුස්ම ගැනීමේ අසීරුතා ඇතිවිය හැකියි. එවැනි මුව ආවරණයක් පැළඳ ව්‍යායාමයේ යෙදෙන පුද්ගලයකුට මුලින්ම හුස්ම ගැනීමට අසීරැ විය හැකියි. පසුව ක්ලාන්ත ගතිය, අධික ලෙස දහදිය දැමීම, හිසරදය වැනි වෙනත් සංකූලතා මතුවිය හැකියි. එහෙත් එවැනි සංකූලතා ඇතිවීමට පෙර හුස්ම ගැනීමට අපහසු වෙන බැවින් මුව ආවරණය ගලවා දැමිය යුතුයි. 

ඇදුම වැනි රෝගයකින් පෙළෙන පුද්ගලයකුට නම්  N 95 වර්ගයේ මුව ආවරණයක් පැළඳ ව්‍යායාම කිරීම ඉතා අසීරැයි. එවැනි රෝගියකුට මෙවැනි මුව ආවරණයකින් නාසයට ඇතුළුවන දුහුවිලි ප්‍රමාණය අවම කෙරුණද ව්‍යායාමවල යෙදීමේදී එවැන්නක් පැළඳීම සුදුසු නැහැ.* යනුවෙන් ප්‍රකාශ කළේය.

ඇමෙරිකානු වෛද්‍ය සඟරාවක සඳහන් වන පරිදි සාමාන්‍ය හුස්ම ගැනීම හා සසඳන විට, ඕනෑම ආකාරයක මුව ආවරණයක් පැළඳීමෙන් පෙනහලුවලට වාතය ගලා යාම අඩු වන බව භෞත චිකිත්සකයකු සහ විකලාංග විශේෂඥ වෛද්‍යවරයකු වන ස්කොට් මැකාෆි සඳහන් කර තිබේ. නිපදවා ඇති  ද්‍රව්‍යයේ ඝණකම අනුව විවිධ මුව ආවරණවලින් ඇතුළු වන වායු ප්‍රමාණය වෙනස් වන බවද මැකාෆි පවසයි.

පෙනහලුවලට අඩු ඔක්සිජන් ප්‍රමාණයක් සැපයීම මගින් සිදුවන්නේ රුධිරයේ  සහ මාංශ පේශිවලවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අවම වීමය. ඒ අනුව ව්‍යයාමයේදී ශරීරයේ ඇති ග්ලූකෝස් [සීනි] ශක්තිය බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සීමා වන බවද, ඉහළ ශාරීරික යෝග්‍යතාවයක් ඇති පුද්ගලයකු වුවද මුහුණු ආවරණයක් සහිතව ව්‍යායාම කිරීමේදී කඩිනමින් තෙහෙට්ටුවට පත්විය හැකි බවද ඔහු පෙන්වා දෙයි. ඇතැම් විට සති කිහිපයක් ගතවන විට එම පුද්ගලයා එයට අනුවර්තනය විය හැකි වුවද කරකැවිල්ල, අසමතුලිතතාවය හෝ අධික තෙහෙට්ටුව දැනෙන්නට පටන් ගන්නේ නම් වහා ව්‍යායාම කිරීම අත්හිටුවිය යුතු යැයි මැකාෆි සඳහන් කරයි.  

මුව ආවරණ පැළඳ ව්‍යායාමයේ යෙදීමේදී හුස්ම ගැනීමේ ප්‍රතිරෝධය වැඩිවන අතර මුව ආවරණයක් නොමැතිව ව්‍යායාමයේ යෙදෙන අවස්ථාවලට වඩා වේගයෙන් හුස්ම ගැනීමට සිදු වේ. මුව ආවරණයක් පැළඳ සිටින විට පුද්ගලයකු සතු කාර්යක්ෂමතාවද අඩුවන අතර ව්‍යායාම කිරීමේ ශක්‍යතාවද මඳ වශයෙන් අඩු විය හැකිය.

ඉහළ යෝග්‍යතා මට්ටමක් ඇති කෙනෙකුට මුව ආවරණයෙන් ඇතිවන බලපෑම ව්‍යායාමවල යෙදෙන ආධුනික තැනැත්තකුට තරම් දැඩි ලෙස නොදැනෙන නමුදු ඔවුන්ටද සාමාන්‍ය පරිදි කටයුතු  කිරීම අසීරු වනු ඇතැයි ඔහු පවසයි.

මුව ආවරණ පැළඳ ව්‍යායාම කිරීමේදී, විශේෂයෙන් දැඩි වෙහෙසකර ව්‍යායාම වන බර ඉසිලීම, ක්‍රොස්ෆිට්, එච්.අයි.අයි.ට, හෘද ව්‍යායාම වැනි කාර්යන්හිදී ශරීරය ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද සුළු හිසරදය, කරකැවිල්ල, හුස්ම හිරවීම හෝ හිරිවැටීම වැනි අපහසුතාවයක් ඇති වේ නම් පැළැඳ සිටින මුව ආවරණය ඉවත් කොට වාඩි වී විවේක ගත යුතු බවද සඳහන් කරන වෛද්‍ය මැකාෆි එහිදී දුරස්ථකරණ ගැන සැලකිලිමත්වීම අනිවාර්ය බව ප්‍රකාශ කර තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා