2020 මැයි 16 වන සෙනසුරාදා

ගමන නිම කළ හිතහොඳ තිස්ස

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

සිංහල සිනමා වංශ කතාවේ තවත් එක් ප්‍රේමණීය පරිච්ඡේදයක් සනිටුහන් කළ ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර පසුගියදා අප අතරින් සදහටම සමුගත්තේ මෙලොව සියලු දේ අනිත්‍ය බව අප හට පසක් කරමින්ය.

රිදී තිරයේ බොක්ස් ඔෆිස් කුමරා කාගෙත් සිත්ගත් සොඳුරු මිනිසෙකු වූ අතර ඔහුගේ ආදරණීය මතකයන් බොහෝ අයගේ සිත් තුළ සදාතනික ලෙස රැඳී තිබෙනු ඇත. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වර්ණවත් කළ තිස්ස විජේසුරේන්ද්‍ර මිය යන විට 71 වැනි වියේ පසුවිය.

70 දශකයේ ආරම්භයත් සමඟම සිනමා අඹරට පෑයූ අලුත්ම තරුව කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවෙකි. සංකීර්ණ චරිතවලට වඩා තිස්සට මුල් අවධියේ පටන්ම ලැබුණේ සැහැල්ලු, සරල ප්‍රේමවන්ත චරිතය. ඔහු ඒවාට සාධාරණය ඉටු කළේ ඔහුටම ආවේණික රංග කුසලතාවන් ප්‍රකට කරමිනි.

සැබෑ දිවියේද තිස්ස සරල සුන්දර මිනිසකු ලෙස කාගෙත් ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ අපූරු චරිතයකි.

ඔහු අපූරු රසවතෙකු විය. අප හමු වූ බොහෝ අවස්ථාවල ඔහු තම අතීතය ස්මරණය කළේ කලා ශිල්පියකු ලෙස දශක 5ක් මුලුල්ලේ ඔහු මුහුණ දුන් අභියෝග වගේම ඔහුගේ අත්දැකීම් අප හා බෙදා හදා ගනිමින්ය. ඒ කතාබහ තුළ රසමුසු තැන් වාගේම නෙතට කඳුළක් උනන තරම් සංවේදී අවස්ථා ද නොතිබුණා නොවේ.

කිසි දිනෙක නළුවෙකු වීමේ හීනයක් නොතිබූ තිස්සට රංගන වරම් හිමි වන්නේ අහඹු ලෙසය. එය සැබැවින්ම දෛවෝපගත සිදුවීමකි.

1949 අප්‍රේල් මස 3 වැනි දින පානදුර සරික්කාමුල්ලේදී උපත ලද දොන් භාතිය තිස්ස විජේසුරෙන්ද්‍ර පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විදුහලේදීය.

උසස් පෙළ විද්‍යා විෂයන් හැදෑරූ තිස්ස සතියකට වරක් පැවැත්වෙන රසායන විද්‍යා අමතර පන්ති තිබෙන දිනවල කොළඹ ඔහුගේ මාමා කෙනකුගේ නිවසට ගොස් දිවා ආහාරය ගෙන නැවත යන්නට ඔහු පුරැදුව සිටියා. එවැනි එක්තරා දවසක ඔහු පාසැල් නිල අඳුමින්ම මාමාගේ නිවසට ඇතුළු වෙනවාත් සමඟම එම නිවසට පැමිණ සිටි අමුත්තන් දෙදෙනා කඩවසම් තරැණ තිස්ස දෙස පුදුමයෙන් බැලූ බව ඔහුට මතකය.

ඉන් අනතුරුව ඒ දෙදෙනාම මෙයා තමයි කොල්ලා. මෙයා තමයි අපි හොයන කොල්ලා. කියමින් සතුටු වුණා.

ඇත්තටම ඒ දෙන්නා කවුද කියලා මම දැනගත්තේ පස්සේ. ඒ තමයි චිත්‍රපට නිෂ්පාදක ජේ. ජේ. ජග්තියානි සහ චිත්‍රපට අධ්‍යක්ෂක කිංස්ලි රාජපක්ෂ. ඒ දෙන්නා එකතු වෙලා එකල ජනප්‍රිය වූ දෝස්ති චිත්‍රපට කතාව පාදක කොටගෙන සිංහල චිත්‍රපටයක් කරන්නට සැලසුම් කරගෙන තියෙනවා. ප්‍රධාන චරිතය සඳහා හොඳ සුදුසු කොල්ලෙක් ඒ සඳහා හොය හෙයා ඉන්න කාලේ තමයි මාව අපේ මාමලා ගෙදර හදිසියේ ඒ දෙන්නා දැක්කේ. ඒ දෙන්නා මගේ මාමගේ හොඳ යාළුවෝ. මම මුලින්ම ඒ යෝජනාවට කැමති වුණා. මොකද මගේ දෙමාපියන්ට ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. ඒත් දෛවය මගේ ගමන් මාර්ගය වෙනස් කරලා මාව නළුවකු කළා. මගේ රංගන ජීවිතය ගැන මම ඇත්තටම සතුටු වෙනවා. මා රඟපෑ චිත්‍රපට 70කට අධික සංඛ්‍යාවක් බොහෝ නිර්මාණ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලුවා. තිස්ස මෑතකදී අප හා පැවසුවා.

තම රංගන ජීවිතය ගැන සතුටු වූවාට, තිස්සගේ වසර 50ක නළු වෘත්තිය තුළ ඔහුට කිසිදු දිනක සම්මානයක් හිමි වී නැත. වසර 5කට පමණ පෙර ඔහුට ලැබුණු කලාභූෂණ සම්මානය ගැන ඔහු කතා කළේ මහත් අභිමානයකින් යුතුවය.

තිස්ස කිසිම දිනෙක චරිත ඉල්ලා නිෂ්පාදකවරු, අධ්‍යක්ෂකවරු පසුපස ගිය අයෙකු නොවේ. ඒ ඔහුගේ හැටිය. රංගන ශිල්පියෙකු ලෙස ඔහුගේ නම ඈඳා කිසිම දිනෙක කට කතාවක් පැතිරී තිබෙනවා අප අසා නැත.

රසායන විද්‍යා පන්තිය නිසා තිස්ස විජේසුරේන්ද්‍රට හිමිවූයේ රංගන දිවිය පමණක්ම නොවේ. ඔහුගේ ජීවන සහකාරිය සාවිත්‍රි ඔහුට මුණගැසෙන්නේ ද රසායන විද්‍යා පන්තියේදීය. තිස්ස දියණියන් තිදෙනකුගේ දයාබර පියෙකු විය. ඔහුගේ වැඩිමල් දියණිය සුරනි රෑපවාහිනී නිවේදිකාවක් ලෙස ජනප්‍රිය වූවාය.

ජනප්‍රියත්වයේ හිණි පෙත්තේ රැඳී සිටි කාලය තුළ පවා තිස්ස ප්‍රමුඛත්වය දුන්නේ ඔහුගේ පවුල් සංස්ථාවටය.

මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සුමනා අමරසිංහ, ශ්‍රියානි අමරසේන, ජෙනිටා සමරවීර ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් සමඟ රිදී තිරයේ පෙළහර පෑ තිස්ස, ටෙලි නාට්‍ය කීපයකට ද පසු කලෙක දායක විය.

කොතරම් ජනප්‍රිය වුවත් ඔහු කිසිම දිනෙක මුල අමතක නොකළ රංගන ශිල්පියෙකු වූ බව ඔහු ඇසුරැ කළ කවුරැත් පාහේ සනාථ කරනු ඇත.

අප රටේ දැවැන්තම සිනමාකරැවා කවුදැයි ඇසුවහොත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නම හැර වෙනත් නමක් ක්ෂණයකින් අපේ මතකයට නැගෙන්නේ නැත. එහෙත් තිස්ස විජේසුරේන්ද්‍ර නම් වූ මිනිසා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කළ බව ඔබ අසා තිබෙනවාද?

තිස්සගේ හඬින් ඔහු අපට කී ඒ කතාව මෙහෙමයි.

&ලේස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ චිත්‍රපටයක වැඩ කරන්න ලැබෙන එක මොන තරම් භාග්‍යක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මටත් ඒ විරල වරම ලැබුණා. ලෙස්ටර් මහතා මට ආරාධනා කළා ඔහුගේ අක්කර පහ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න. ඒත් ඔහු ඉල්ලා සිටි දින පිළිබඳව මට ප්‍රශ්නයක් තිබුණා. මොකද මාව සිනමාවට හඳුන්වා දුන් කිංස්ලි රාජපක්ෂට මම ඒ වනවිටත් ඒ දින ලබා දී තිබුණා. ලෙස්ටර් මහතා වැනි දැවැන්තයකුගේ චිත්‍රපටය සඳහා ලැබුණු ඒ මහඟු අවස්ථාව වෙනුවෙන් මාව නළුවකු කළ කිංස්ලි රාජපක්ෂගේ හිත රිද්දන්න මට බැරි වුණා. මම ලෙස්ටර් මහතාට ඇත්ත කතාව කිව්වා. ඔහු ඒක ගෞරව පුර්ව ලෙස පිළිගත්තා.

තිස්ස විජේසුරෙන්ද්‍රෙග් මනුස්සකම ගැන මීටත් වඩා දෙයක් කිව යුතුද? අපි ඔහුට අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

 සටහන රමේෂ් උවයිස් 
සේයාරූ සුමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලයෙන්