2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

කොරෝනාවෙන් බේරෙන්න අපේ ආචාර සමාචාර ක්‍රම

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 167

වර්තමාන ශ‍්‍රී ලංකාවේ ජනතාව කොරෝනා වෛරසය නිසා ප‍්‍රබල ගැටලුවකට මුහුණ පා ඇති බව පැහැදිලිය. මෙය සරල නොවන බෝවන මාරාන්තික රෝගයක් බවට අපට අවබෝධ වන්නේ මෙහි ප‍්‍රතිඵල මගින් දැනටමත් ලෝකයෙහි රටවල් 195න් 176කට වඩා ප‍්‍රබල ලෙස බලපෑමට ලක්වී 220,313 රෝගීන් බවට පත්කොට ඇති බැවිනි. ඉතා ප‍්‍රබල සහ චණ්ඩ ලෙස මෙම වෛරසයෙහි ව්‍යාප්තිය වර්තමාන විද්‍යාත්මකව ඉතා දියුණු යැයි කියනු ලබන සමාජයන්ටද මිනිස් ජීවිත අහිමි කරමින් සමාජය විසංවිධානයට පත්කොට තිබේ. ආර්ථික, දේශපාලනික සහ සමස්ත සමාජ ක‍්‍රියාවලිය අක‍්‍රීය කරමින් දැනටමත් මරණ 8,981 කටත් වඩා සිදුකොට ඇති මෙය නිෂ්පාදනය වූයේ කෙසේද යන්න පිළිබඳ ගැටලුව ලෝකය තුළ තවමත් අර්බුදයක් බවට පත්වී තිබේ. මෙය ඉබේ හටගත් වෛරසයකටත් වඩා මිනිසා විසින් මිනිසාවම බලය අරමුණු කරගෙන විනාශ කරලීම සඳහා නිෂ්පාදනය කරන ලද්දක් බව දැනටමත් පැහැදිලි කොටගෙන ඇත. බොහෝදුරට ධනවාදී සමාජ ආකෘතික රටාවෙහි බලයෙහි සහ චින්තනයෙහි අර්බුදය මෙලෙස සමාජවාදී පරිසරයක් තුළින් මතුවීම අනාගතයෙහි තවද ප‍්‍රබල ගැටලුවල ආරම්භයක් සටහන් කරන්නක් ලෙසටද මෙය හඳුනාගැනීම වැදගත්ය. කෙසේවුවද, වර්තමානයෙහි සහ අනාගතයෙහි මෙම ගැටලුවෙහි ස්වරූපය ඒ ඒ සමාජවල ශක්තීන්හි ස්වරූපවලට අනුව හැඩගස්වනු ඇත. ඒ අනුව මෙම රෝගය මර්දනය කරමින් නිරෝගී ලෙස මිනිසුන්ට ජීවත්වීමට අදාළ පරිසරය සකස්කර දීම හෝ රෝගය වර්ධනය වීම තුළින් මිනිසුන්ගේ මරණය තීරණය වනතෙක් නොහැකි මිනිසුන් ලෙස සමාජයෙහි ජීවත්වීම දැකගත හැකිවනු ඇත.

ඒ අනුව වර්තමානයෙහි මෙලහකටත් ගැටලු නිර්මාණය කොට ඇති මෙම වෛරසය අනාගත මිනිසාගේ පමණක් නොව සමස්ත ගෝලීය සමාජ හැඩගැසීම් ස්වරූපද අර්බුදයට යැවීම පමණක් නොව සමාජ සංස්කෘතික ස්වරූපද වෙනස් කරන බව වර්තමානය තුළින් පැහැදිලි කරගත හැකිය. ඒ අනුව මිනිසාට මිනිසා ඉදිරියේ පැවැත්මේ අර්බුදය ගොඩනැගීම පමණක් නොව ඔහුට ස්වාධීනව ජීවත්වීමේ අයිතිය පමණක් නොව ඊට අදාළ සීමාවන්ද සටහන් කරගැනීමේ ගැටලුවෙන් පීඩාවට පත්වන නිසා මිනිසාට මිනිසාගේ නිදහස පමණක් නොව ඔහුට ඔහුව අහිමිවීමේ තර්ජනයටද ඔහුට  මුහුණ දීමට සිදුවීමට ලැබීම අතිශය වේදනාකාරී බව අවබෝධ කර ගැනීමට කාලය පැමිණ ඇති බැව් පැහැදිලි වේ. මෙවැනි  රෝගයන්ගෙන්  වැළකීම සඳහා මිනිසාට ප‍්‍රබල අවබෝධයක් තිබිය යුතුවේ. එනම් සමාජය පිළිබඳ ගොඩනගාගනු ලබන අවබෝධය පමණක් නොව ඔහු විසින් ඔහු පිළිබඳව ගොඩනගාගනු ලබන අවබෝධයයි. ලෝකයෙහි මිනිසාට අඩුවෙන්ම පවතින්නේ තමා පිළිබඳව ගොඩනගාගත් දැනුමයි. මෙය ඔහුගේ ක‍්‍රියාකලාප තුළින් අපට පැහැදිලි කොට ගත හැකිය.

එසේ වනවිට ඔවුහු රජය විසින් සිදුකරන නිරෝධායනය හෝ ස්වකීය නිවස තුළ ගොඩනගාගනු ලබන ස්වයං නිරෝධායන ක‍්‍රමවේදයෙන්ද පලා නොයන අතර නිරෝධායන කටයුතුවලට කිසිදිනක හෝ  විරුද්ධව ද කෑ නොගසනු ඇත. ශ‍්‍රී ලංකාව පමණක් නොව දකුණු ආසියාතික කලාපයේ සියලු රටවල් පවුල කේන්ද්‍රීය සමාජයන් බවට පත් වී තිබෙන බව සමහරවිට නිරෝධායනය මගහරින පුද්ගලයින්ට අමතක වී තිබේ නම් එය පිළිබඳවද අවබෝධ කරදීම කාලීන සමාජ වගකීමක් බවට පත්වනු ඇත. රෝගය වැළඳී තිබීම නිසාම පමණක් නොව නිරෝධායනයට පුද්ගලයා පත්වීම පවුල් සංරක්ෂණ ක‍්‍රමවේදයෙහිද ප‍්‍රබල කාරණාවක් බවට පත්වනු ඇත. එසේ නොවන්නෝ පවුල පිළිබඳ අවබෝධයක් නොමැති අය පමණක් නොව පවුල් වගකීම් රටාවෙන්ද බැහැර වන්නන් බව අප පැහැදිලි කරගත යුතුය. මෙවැනි අවස්ථාවක පුද්ගලයා ඔහු පිළිබඳව ගොඩනගාගනු ලබන වගකීම් අතිශය වැදගත් වන අතර පවුල පිළිබඳ සහ සමාජය පිළිබඳ ගොඩනගන වගකීමද අතිශය වැදගත් වන්නේ නිවැරැදි පුද්ගල සහ සමාජ ක‍්‍රමයක්ද ගොඩනගා ගැනීම අරමුණු කරගෙනය. 

එමනිසා මෙවැනි අවස්ථාවක රාජ්‍ය වගකීම් සහ සමාජ වගකීම් පමණක්ම නොව තමා පිළිබඳවද වගකීම් මඟ හරින පුද්ගලයින්ට දඬුවම් දෙනවාට වඩා සිරගත කොට හෝ ශ‍්‍රී ලාංකේය සමාජ ක‍්‍රියාවලිය පිළිබඳ පමණක් නොව ලෝකයේ ස්වරූප පිළිබඳ පමණක්ද නොව ඔවුන්ගේ පුද්ගල වගකීම් පිළිබඳවද අවබෝධ කරදීම වගකිවයුත්තන්ගේ ප‍්‍රබල සමාජ කාරණාවක් බවට පත්වනු ඇත.

එහෙත්  රෝගය මතු වූ චීනයෙහි මරණය සංඛ්‍යාව මේ වනවිට වේගයෙන් අඩුකර ගැනීමට චීන බලධාරීන්ට පමණක් නොව ජනතාවටද හැකි වී ඇති බැව් පැහැදිලිය. ලෝකයෙහි වැඩිම ජනගහනයක් සිටින චීනය වැනි රටක රෝග පාලනය සරල නොවේ. එහෙත් ඔවුන්ගේ ඇති සක‍්‍රීය බව සහ නිරෝගී බවට අදාළ සාම්ප‍්‍රදායික සහ දේශීය සෞඛ්‍ය සංරක්ෂණ ක‍්‍රමවේද අනුගමනය කිරීම මෙහි ව්‍යාප්තිය නතර කිරීමට ප‍්‍රබල හේතුවක් බව ඔවුන් පෙන්වා දෙයි. වසර 5000 කටත් වඩා දිගු ඉතිහාසයක් ඇති චීනයෙහි දේශීය සහ සාම්ප‍්‍රදායික ඖෂධ ක‍්‍රමවේද පමණක් නොව නිරෝගී බව ගොඩනගන චර්යාත්මක කාරණාද ප‍්‍රබල බැව් පැහැදිලිය.

ඕනෑම රටකට දේශීය සහ සාම්ප‍්‍රදායික ඖෂධ ක‍්‍රමවේද සහ ආහාර රටා පමණක් නොව එම සමාජ සහ භූගෝලීය පරිසරයට අනුගත ලෙස ගොඩනැගෙන චර්යාත්මක කාරණාද දැකිය හැකිය. ඒවා රෝග නිවාරණය සඳහා ප‍්‍රබල ලෙස හේතුවන බව අමුතුවෙන් සාකච්ඡා කළයුතු කරුණක්ද නොවේ. ඕනෑම රෝගයක් පිළිබඳව සැලකීමේදී එය පුද්ගලයාට බාහිර සාධක නිසාම නිරන්තරයෙන්ම නිර්මාණය වන්නක් බව අප පැහැදිලි කර ගැනීමට කාලය පැමිණ තිබේ. පුද්ගලයාගේ මානසික රෝගයක් වුවද නිර්මාණය වන්නේ බාහිර සාධකයන් මූලිකව බව පැහැදිලිය. කායික රෝග රටාවන්ගේ ස්වරෑපයද එයම වන අතර ඒ අනුව පරිබාහිර සාධක පාලනය කර ගැනීමට යමෙකු සහ යම්  සමාජයකට පුළුවන්කම ලැබෙන්නේ නම් ඒ සමාජය නිරෝගී බවට අදාළ සාධක ගොඩනගාගනු ඇත. නිරෝගී බව මිනිසාගේ මූලික ලක්ෂණය වුවත් රෝගී බව පරිබාහිර සාධක තුළින් නිර්මාණය කිරීමක් බව බටහිර සහ දේශීය පමණක් නොව ආයුර්වේදීය වෛද්‍ය ක‍්‍රම පිළිබඳ අවබෝධ කරගැනීමේදීද අපට කරුණු පැහැදිලි කරගත හැකි වේ.

ප‍්‍රාථමික සෞඛ්‍ය යනුද රෝගයක්  වැළඳීමට පෙර නිවාරණයට අදාළ ක‍්‍රමවේද තුළින් ගොඩනගා ගන්නකි. බටහිර ආචාර ධර්මද රෝග ව්‍යාප්තියට හේතුකාරක වන බව දැන් බොහෝදෙනෙකුට අවබෝධ වෙමින් පවතින බව පෙනේ. අතට අතදීම සහ සිප වැළඳ ගැනීම වැනි ආචාරධර්මීය කාරණා අප සමාජය තුළින්  ගොඩ නොනැගුණත් අප සමාජය ප‍්‍රබල ලෙස එවැනි ක‍්‍රම අනුගමනය කරන බැව් පෙනේ. අප සමාජයෙහි “ආයුබෝවන්” යන්න ප‍්‍රබල ආචාර ධර්මීය කාරණාවක් වන අතර එහි අරුත් වන්නේ “ආයුෂ බොහෝ වේවා” යනුවෙන් එකිනෙකා හමුවන විට ආශීර්වාද කර ගැනීමයි.  මෙම දේශීය ආචාර විද්‍යාත්මක කරුණු පිළිබඳ බටහිර චින්තනය අවදි කර ගැනීමක් මෙම රෝගය තුළ අපට දැකිය හැකිව තිබේ. ඇමරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් වැන්නන් මෙන්ම බි‍්‍රතාන්‍යයෙහි චාල්ස් කුමාරයා වැන්නන්ද ආයුබෝවන් කීමට පෙළඹී තිබේ. 

ඒ අනුව බටහිර ක‍්‍රමයට වඩා දේශීය ක‍්‍රමයට නැඹුරුවීම තුළ කායික, මානසික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා හේතුවන බැව් පැහැදිලිය. අපි ආයුබෝවන්  කියන විට පුද්ගලයන් අතර පරතරය මීටරයකට වඩා ගොඩනගාගනු ලබයි. මුඛයෙහි දුර්ගන්ධය පමණක් නොව එකිනෙකාගේ දහඩිය ගඳද නොහමන තරමට  ඈතින් සිට සිදුවන මෙම ආචාර ධර්මය අතිශය වැදගත් වන බව පැහැදිලි වේ. ආයුබෝවන් යනුවෙන් ප‍්‍රකාශ කරන විට දෙපාර්ශවයෙහි සිතිවිලිද ඒ හා සම්බන්ධවෙමින් දෙපාර්ශ්වය එකිනෙකාට ආශිර්වාද කර ගනු ලබන අතර දෙපාර්ශවයෙහි ස්පර්ශ නොවීම තුළ ගොඩනැගෙන ගෞරවයද මෙහිදී අතිශය වැදගත් වනු ඇත. අප සමාජයෙහි පමණක් නොව ලෝක සමාජයෙහි ස්පර්ශයට වඩා අස්පර්ශනීය ස්වරෑපය තුළ ගෞරවය ප‍්‍රබල වන බව අප පැහැදිලි කරගත යුතුය.”

පෙරදිග සංස්කෘතිය ගොඩනැගී ඇත්තේ පුද්ගල සහ සමාජීය නිරෝගී බව මූලික කරගනිමිනි. දේශීය වෛද්‍ය ක‍්‍රමයත්, ඉන්දියාව තුළ සම්භවය ලැබූ ආයුර්වේදීය වෛද්‍ය ක‍්‍රමයත්, බුදුදහමේ ආයුර්වේදීය ක‍්‍රමයත් මිනිසාගේ නිරෝගී බවෙහි ඓක්‍යය නිර්මාණය කරන දීර්ඝායුෂ කේන්ද්‍රීයව වන නිසා එය “ආයුෂ ගෙනදෙන විද්‍යාව” යනුවෙන්ද හඳුන්වනු ලැබේ. ඒ අනුව ශ‍්‍රී ලාංකේය මිනිසාගේ මූලයන් මෙම සංස්කෘතික මූලයන් හා සබැදෙනු විනා මැක්ඩොනල්ඩ් සංස්කෘතිය හා නොගැළපෙන බව අප අවබෝධ කරගත යුතුය. දරුවන්ද ඒ සඳහා නොපෙළඹවිය යුතු බව අපට අවබෝධ කර ගැනීමට කාලය පැමිණ ඇති බැව් පෙනේ. දියවැඩියාව, අධික රැධිර පීඩනය සහ පිළිකා රෝගී දරුවන්ගේ වේගවත් වර්ධනයක් වර්තමානයෙහි ශ‍්‍රී ලාංකීය සමාජය තුළ දැකිය හැකි ය. මෙය ශ‍්‍රී ලාංකීය ආහාර සහ අදාළ චර්යාත්මක සංස්කෘතියෙන් බැහැර වීම මෙන්ම ශ‍්‍රී ලාංකීය මිනිසා අන්සතු වීමේ ප‍්‍රතිඵලයක් බව බොහෝ වගකිවයුත්තන් අවබෝධ කරගත්තද, එය ප‍්‍රකාශ කිරීමට මැලිවීමට අදාළ කරුණු හෝ නොදැනුවත්කම් අප සමාජය තුළ ඇති බව තේරැම් ගැනීමටද කාලය පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකාවේ පවුල් රටාවෙහි මව මූලික වෙමින් ගොඩනැගූ ආහාර රටා ශරීරය තුළ ප‍්‍රතිශක්තිය නිර්මාණය කළ බව පැහැදිලි කරුණකි. ක්ෂණික ආහාර සංස්කෘතියක් ද අප රට තුළ තිබූ අතර එය වර්තමානයෙහි මෙන් ගොඩනැගුණක් නොවන අතර නිවසෙහි මනා සැලසුම්කරණයක ප‍්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූවකි. මෙම සංස්කෘතික වටිනාකම් රෝග රටාවන් නිවාරණ කලාව පමණක් නොව පුද්ගල සහ සමාජ ප‍්‍රතිශක්තියද නිර්මාණය කළ බව පැහැදිලිය. ඒ අනුව නිවස සහ මව කේන්ද්‍රීය වූ ආහාර රටාවකට අනුගතවීම නීරෝගී බව සඳහා ප‍්‍රබල ලෙස හේතුවේ. අපගේ නිරෝගී බව අපගේ දරුවන්ගේ නිරෝගී බව සඳහාද හේතුවන බව අප කිසි දිනක අමතක නොකළ යුතුය. අනෙක් අතට දරුවන්ගේ නිරෝගි බව අපගේ කාර්යක්ෂමතාව සඳහා හේතුවන බව ද අප තේරුම් ගත යුතුය.

ඒ අනුව මතුවී ඇති ගැටලුව පමණක් නොව බොහෝ රෝගවලින් මිදීම සඳහා අප සමාජ සංස්කෘතික පද්ධති තුළ ගොඩනැගූ දේශීය සහ සාම්ප‍්‍රදායික දැනුම ප‍්‍රයෝජනයට ගැනීම අතිශය වැදගත් වේ. වර්තමානයෙහි භාවිත මත්පැන් සහ දුම්පානය යන්න ප‍්‍රතිශක්තිකරණ අඩු කිරීමෙහිලා ප‍්‍රබල කාරණා වන බව අප අවබෝධ කරගත යුතුය. එහෙත් දේශීය සහ ආයුර්වේදීය ක‍්‍රමවේදය තුළ පෙන්වා දෙනු ලබන දුම්පානය සහ මත්පැන් යන්න නිරෝගී බව සඳහා සැලසුම් කළ ඒවා බව පැහැදිලි වේ. ඒ අනුව විදේශයන්ගෙන් ආනයනිත මෙම භාවිත මත්ද්‍රව්‍ය හා ක‍්‍රමවේදවලට වඩා වෙනස් වූ ක‍්‍රමවේද අප තුළ තිබූ බැවින් ඒ පිළිබඳ පර්යේෂණ කොට නිවැරදි ලෙස සමාජ භාවිතාව සඳහා යොමුකිරීම වගකිව යුත්තන්ගේ කාරණාවක් වනු ඇත. මෙම දුම්පානය සහ මත්ද්‍රව්‍ය පිළිබඳව ආයුර්වේදීය වෛද්‍ය ක‍්‍රමයෙහි සඳහන් වේ. සාම්ප‍්‍රදායිකව අප තුළ පැවති දුම් ඇල්ලීමේ ක‍්‍රමය සහ කොළ තම්බා දුම් ඇල්ලීම වැනි ක‍්‍රම ද වර්තමාන මෙම කෝවිඩ් -19 රෝගී රටාවෙන් මිදීම සඳහා අනුගමනය කළ හැකි ප‍්‍රබල උපක‍්‍රම බවද බටහිර වෛද්‍ය ක‍්‍රමවේද පවා වර්තමානයෙහි පිළිගෙන ඇති බව ඔවුන්ගේ ප‍්‍රකාශ තුළින් පැහැදිලි වේ.

වර්තමානයෙහි මතුවී ඇති කෝවිඩ් - 19 වසංගතයෙන් ගැලවීම සහ ගලවා ගැනීම පුරවැසියාගේ සහ රජයේ ප‍්‍රබල වගකීමක් වේ. එම වගකීම් අතර පුද්ගලයා රෝගය වැළඳීමෙන් වැළකී සිටීම, ඔහුගෙන් සහ අනිත් පුද්ගලයාගෙන් ප‍්‍රචලිත වීම ළලක්වා ගැනීම, රෝගය බෝවීම වළක්වා ගැනීම සහ ඒ සඳහා කළයුතු ක‍්‍රියාවලීන් අනුගමනය කිරීම මෙහිදී ප‍්‍රබල වේ.

මේ සඳහා පුද්ගල ආචාර ධර්මවලට අනුගතවීම සහ ඒවා ප‍්‍රචලිත කිරීම, ජල පරිහරණය කිරීමේ දේශීය ක‍්‍රම අනුගමනය කිරීම, කිවිසුම් යාමේදී එය ආචාර විද්‍යාත්මකව සිදු කිරීම, අනුන්ගේ ඇඳුම් නොඇඳීම සහ ස්පර්ශයෙන් වැළකීම සහ කාලීනව සහ සමාජීයව නොගැලපෙන ගමන් බිමන් යෑමෙන් වැළකීම ආදිය ප‍්‍රමුඛ වේ. පානීය සහ පරිභෝජනීය ජලය පිළිබඳ දේශීය සංස්කෘතික ක‍්‍රමවේදය අති ප‍්‍රබලය. වර්තමානයෙහි බටහිර ප‍්‍රමුඛව සාකච්ඡා කළත් මුඛ ආවරණයන්හි සහ ජල පෙරහනයෙහි ආරම්භයද පෙරදිග සංස්කෘතික කාරණාවකි. 

ආහාර ගැනීමේ කාරණාව හෙවත් ආහාර මේසයෙහි සංස්කෘතිය පෙරදිග සමාජයෙන් ආරම්භ වූ අතර එය ඉතා ප‍්‍රබලය. ආහාර මේසය සකස් කරගැනීමේ ක‍්‍රියාවලිය පමණක් නොව ආහාර ගැනීමේ ක‍්‍රමවේදයද පෙරදිග වෙනස් වූ සංස්කෘතික කාරණාවකි.  ආහාර ගැනීමේ දී කතා නොකරන අතර කතා කිරීම තුළින්  අනෙක් පුද්ගලයාට සහ අනෙක් ආහාර බඳුන්වලට කෙළ විසිවීම නිරෝගීකම බිඳවැටීමට ප‍්‍රබල කරුණක් බවට පත් වේ. එම නිසා පෙරදිග සංස්කෘතියට අනුව ආහාර මේසය තුළ එකිනෙකා සාකච්ඡාවෙන් පවත්වනු නොලැබේ. ආහාර මේසයෙහි සාකච්ඡා කිරීම් තුළ අප අනෙකුත් අයගේ කෙළ කොතරම් අනුභව කොට ඇද්ද යනුවෙන් සිතීමටද කාලය පැමිණ ඇත.

මෙවැනි බෝවන රෝගවලින් වැළකී සිටීම යනුද පරාර්ථකාමී ක‍්‍රියාවලියකි. පරාර්ථකාමය යනු දියුණු මිනිසාගේ මූලික ලක්ෂණයකි. එසේම පුද්ගල ප‍්‍රතිශක්තිකරණය පමණක් නොව සමාජයීය ලෙස ගොඩනැගෙන ප‍්‍රතිශක්තිකරණය ද පුද්ගල ආරක්ෂාව ගොඩනංවනු ලබයි. ඒ අනුව සෑම කෙනෙකුම සෞඛ්‍ය පිළිබඳ ගොඩනගාගනු ලබන අවබෝධය අතිශය වැදගත් වේ. පුද්ගල සහ සමාජ සෞඛ්‍ය සඳහා රෝග වළක්වා ගැනීම, රෝග හඳුනා ගැනීම, රෝගයන්ට ප‍්‍රතිකාර කිරීම, පුනරැත්ථාපනය සහ  ස්වයං නිරෝධායන ක‍්‍රමවේදය පමණක් නොව සෞඛ්‍ය පිළිබද අධ්‍යාපනයද අතිශය වැදගත් වේ. සෞඛ්‍ය යන්න පුද්ගලයා, පවුල, සමූහය, ප‍්‍රජාව, ගම, නගරය, රට, කලාපය සහ සමස්ත ලෝකය දක්වාම ප‍්‍රබල ලෙස සම්බන්ධ වේ. ඒ අනුව සෞඛ්‍ය යනු රෝගයන්ගෙන් වෙන්වී සිටීම යන්නම පමණක් අර්ථවත් නොවේ. කායික, මානසික සහ  සමාජීය සහජීවනය යන්නද සෞඛ්‍ය යන්නට අන්තර්ගත වේ. මෙම පොදු නියමයෙන්  කිසිවෙකුටද බැහැර විය හැකි නොවේ.

මෙවැනි ව්‍යසනකාරී මොහොතක තවද කළ යුතු බොහෝ දේ පිළිබඳ අවධාරණය කිරීමද වැදගත් වේ.  ඒවා අතර මෙම රෝගය නිවාරණය තෙක් නිවසට සීමාවීම, ගෙදරට යන එන අය සීමා කිරීම,  වෛද්‍යවරයාගෙන් රෝගය පිළිබඳ විමසීම, නිසි ලෙස ප‍්‍රතිකාර ගැනීමට කටයුතු යොදා ගැනීම,  පිරිසිදු වාතාශ‍්‍රය සහිත කාමරයක සිටීම,  නිවැරදි සහ පිරිසිදු ලෙස වැසිකිළි පාවිච්චි කිරීම, නිවැරදි පිළිවෙලට කුණු බැහැර කිරීම, අන් පුද්ගලයන් ස්පර්ශයෙන් වැළකී සිටීම සහ රාජ්‍යයෙහි, සෞඛ්‍ය අමාත්‍යංශයෙහි සහ අනෙකුත් වගකිවයුතු ආයතනය මගින් ලබාදෙන උපදෙස් පිළිපැදීම යනාදී ක‍්‍රියාවන්ට අනුගත වීම අතිශය වැදගත් වේ. 

මෙවැනි ව්‍යසනකාරී මොහොතක ශ‍්‍රී ලාංකික රාජ්‍යයෙහි සංවිධානාත්මක ක‍්‍රියාවලියද ප‍්‍රශංසාවට ලක්කිරීම අපගේ වගකීම සහ යුතුකම ද වනු ඇත.

ආචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රංජන්
අංශාධිපති (වැ.බ.)
ජනමාධ්‍ය අධ්‍යයන අංශය 
ශ‍්‍රීපාලි මණ්ඩපය
කොළඹ විශ්වවිද්‍යාලය

 

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00