2020 මාර්තු 14 වන සෙනසුරාදා

මාස්ක්-වාදය පතුරවන කොවිඩ්-19

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 281

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 චීනයෙන් හටගත් අලුත්ම කොරෝනා රෝගය ලෝක වසංගතයක් බවට ප්‍රකාශ කළේය. ඒ සමඟම අපේ රටේ පළමු රෝගියා වාර්තා වූයේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධවය. මේ අව් අස්සේ අධ්‍යාපන අමාත්‍යංශය පාසල්වලට හදිසියේ නිවාඩු දෙන්නටත් එය අප්‍රේල් 20 දක්වා දීර්ඝ නිවාඩුවක් කරන්නටත් පියවර ගත්තේය. රට තුළ මේ නිසා සිදුවූයේ දෙබරයට ගල් ගැසූ තත්ත්වයකි. මිත්‍යා කතා සහ ඕපාදූප පියාපත් ලැබ ඉගිල යද්දී පසුගිය කාලේ තදින් හිස ඔසොවා පහළ බැස තිබූ ‘මාස්ක් - වාදය’ (Mask - වාදය) නැවත හිස එසැවූයේය.

පසුගිය බ්‍රහස්පතින්දා ෆාමසි වටේ රවුමක් ගිය විට අපට දකින්නට අසන්නට ලැබුණේ ‘මාස්ක් - වාදයේ’ අලුත්ම තත්ත්වයයි. බොහෝ ෆාමසිවල ‘මාස්ක්’ තිබුණේ නැත. අප හිතවත් ඖෂධ හිමියකු කීවේ බොහෝ වෙළෙඳුන් සතුව ඇත්තේ දැන් විකුණන්නට කියන මිලට වඩා වැඩි මුදලක් දී ගත් ‘මාස්ක්’ බවය. ඒ නිසා ඔවුන් අඩු මිලට ඒවා විකිණීමෙන් වැළකී සිටින බවය. දැන් ඔවුන්ගේ මේ මාස්ක් - වාදය නිසා අමාරැවේ වැටී ඇත්තේ හුදි ජනතාවය. මේ දෙවැනි වතාවටය. කලින් රජය මැදිහත් වී සහන මිලක් නිර්දේශ කළ ද ‘මාස්ක් - වාදීන්’ට එහි වගේ වගක් නැත.

රට පුරා පැතිරි Mask වාදයේ තවත් පැතිකඩක් වූයේ mask ඇතත් ඒවායේ මිල ගිනි ගණන් වීමය. සමහර ස්ථානවල සාමාන්‍ය mask එකක් රු. 65/- දක්වා ගියේය. වඩා සුවිශේෂී බව කියන දින ගණනක් එකදිගට පැළැඳිය හැකි බවට වෙළෙඳුන් සහතික දෙන තවත් මාස්ක් එකක් රුපියල් 165 සිට ඉහළට මිල කර තිබුණි. ඒ අතරේ සිංහල බෙහෙත් බඩු කඩවලද බඩු හිඟයකි. ප්‍රධානම හිඟය පෙරැම්කායම්ය. වෙනිවැල්ගැට, බිංකොහොඹ, පත්පාඩගම් සහ කටුවැල්බටු ද සියලු තොග විකිණී ගොසිනි.

රටේ බොහෝ තැන්වල සුපිරි වෙළෙඳසල් සිල්ලර වෙළෙඳසල් අසල බ්‍රහස්පතින්දා සවස් වන විට සෙනඟ පොදි ගැසී තිබුණේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගන්නටය. හාල්, පරිප්පු, සීනි, සිල්ලර බඩු තොග පිටින් පොදි ගසාගෙන යන්නට ඇති හැකි අය කටයුතු කළහ. නැති ඇත්තෝ ජීවිතයේ අනියත බව නොදත් මේ අනුවණ පිරිස දෙස සාංකාවෙන් යුතුව බලා උන්හ.

කොඩිව්-19 තවමත් ලංකාවට පැන්නා පමණි. රට තුළට එන්නට බලා සිටින අපේ රටෙන් පිට සේවයට ගිය පිරිස තවත් සිටිති. ඔවුන් එන්නට නියමිතව ඇත්තේ ද දකුණු කොරියාව, ඉතාලිය, මැදපෙරදිග වැනි දැනට තත්ත්වය භයානක අතට හැරී ඇති රටවල සිටය. මේ නිසාම එසේ පැමිණෙන අය නිරෝධායනයට මුල්තැන දීමට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රමුඛ රජය තීන්දු කර තිබේ. පොදු යහපත සඳහා ගත් මේ විද්‍යාත්මක පියවර දැන් බොහෝ අයගේ දෝෂාරෝපණයට ලක්ව තිබේ. තැනෙක පිටරට සිට ආ අය තමන් නිරෝධායනයට ලක් කිරීම සිරගත කිරීමක් සේ සලකා මැසිවිලි නගති. තර්ජන ගර්ජන කරති. තවත් තැනක තමන්ගේ ගමට නිරෝධායන මධ්‍යස්ථාන එපා කියා හයිරන් පාන අමුතු ආගන්තුක මිනිසුන් පිරිසකි.

අපිට තවදුරටත් කොවිඩ්-19 තදබල තත්ත්වයකට පැමිණියහොත් එය පාලනය කර ගන්නට හැකියාවක් පවතීද? සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ තමන්ට අවශ්‍ය සහාය ලබා දෙන්නේ නම් ලබා දී ඇති සෞඛ්‍ය උපදේශන අනුව ජනතාව කටයුතු කරන්නේ නම් චීනයේ හෝ ඉතාලියේ මෙන් නගර වසා දැමීමේ අපහසුදායක තත්ත්වයට මුහුණපාන්නට සිදු නොවන බවය. දැනට ලංකාවේ සෞඛ්‍ය අංශය මේ කොවිඩ්-19 සටන සඳහා හොඳින් සන්නද්ධව සිටින බව අප හා කතාබහක එක්වූ විද්වතුන් කිහිප දෙනෙක්ම පෙන්වා දුන්හ.

ඒ අතුරින්, කොළඹ වෛද්‍ය පර් යේෂණායතනයේ ජාතික ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානයේ වෛරස විද්‍යාඥ ජූඩ් ජයමහ අප සමඟ කතාබහට එක්වූයේ එකදිගටම දින 23 ක් පර්යේෂණ කටයුතුවල නිරතව සිටිය දී ලද සුළු ඉසිඹුවකදීය.

ඔහු පෙන්වා දුන්නේ ආයතනය වෙත ලබා දුන් සාම්පලවලින් දෙකක් පමණක් රෝගය සහිත බවට සනාථ වූ බවයි. ඒ සාම්පල චීනයේ හුබේ පළාතෙන් වාර්තා වූ වෛරස මාදිලියට සමානකම් දැක්වූ බව ඔහු කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමානයන්ට අනුව සිය පර්යේෂණාගාර පහසුකම් ඉහළ නංවා ඇති බව ඔහු පෙන්වා දේ. ඒ අනුව අවශ්‍ය නම් වෛරස රෝග 16 ක් එකවර හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කිරීමේ තාක්ෂණය තමන් සතු බව ඔහු පෙන්වා දෙයි. එසේම දැනට වෛද්‍ය පර්යේෂණායතනය ආශ්‍රිතව ක්‍රියාත්මක වෛරස හඳුනා ගැනීමේ පරීක්ෂාව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් අනුරාධපුර, නුවර සහ කරාපිටිය රෝහල් වෙත ද විමධ්‍යගත කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට අනුව මේ වනවිට දිවයිනේ රෝහල් 11 ක් තුළ රෝගය වැළඳී ඇතැයි සැක කෙරෙන 64කට ආසන්න සංඛ්‍යාවක් සිටිති. ඔවුන්ගෙන් 02ක්ම විදේශිකයන්ය. මේ අතරින් දැනට රෝගය වැළඳී ඇති බව සනාථව ඇත්තේ තිදෙනකුට පමණි. ඉන් එක් අයෙක් විදේශිකයෙකි. ඔවුන් ජාතික උණ රෝහලට යොමු කරවා තිබේ.

වෛද්‍ය සුදත් සමරවීරට අනුව දැනට 2000 – 2500 ක් අතර ප්‍රමාණයක් නිරෝධායනයට හැකියාව පවතියි. ඉදිරියේ දී තත්ත්වය සංකීර්ණ වුවහොත් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් සකසා තිබේ. නිදසුනක් ලෙස චීනය, ඉතාලිය වැනි දරුණු රෝගී පැතිර යාමක් සිදු වුවහොත් රටේ ප්‍රධාන රෝහලක් හිස් කර මුළුමනින්ම කොවිඩ්-19 සඳහා වෙන් වූ කොරෝනා රෝහලක් බවට පත් කිරීම වැනි ක්‍රියාමාර්ගයකට එළැඹීමට හැකි බව ඔහු පෙන්වා දේ.

ජනතාව අනිසි බියට පත්වීම අවශ්‍ය නැති බව වෛද්‍ය සමරවීර ද අවධාරණය කර සිටියි. බියට පත්වී බඩු තොග, ආහාර ද්‍රව්‍ය ගොඩගසා ගැනීම අවශ්‍ය කාරණාවක් නොවේ. ඒ වෙනුවට දැනට ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම භාවිත කරමින් නිරෝධායන කටයුතු සඳහා සහාය ලබා දෙමින් එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය ලෙස ගත කිරීම සුදුසු බව ඔහු පෙන්වා දේ.

දැන් බහුලව පැතිර ඇති කොරෝනා සම්බන්ධ මිත්‍යාවන් ගැන සත්‍ය පැහැදිලි කරමින් ලොව පළමු පෙළේ වෛරස විශේෂඥයකු වන වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් දක්වන්නේ මෙබඳු අදහස්ය.

හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන මලික් පීරිස් මහතා 2003 වසරේ සාර්ස් වසංගතය අවදියේත්, 2015 මර්ස් වසංගතය අවදියේත් ඒවා පාලනය සඳහා මූලිකව කටයුතු කළ මේ අංශයේ ප්‍රධාන පෙළේ අත්දැකීම් සහිත විශේෂඥයෙකි.

මේ දිනවල පැතිර ඇති ‘මාස්ක් - වාදය’ සහ ඒ නිසා ලොව පුරා මෙන්ම මෙරට ද පැතිර යන ‘මාස්ක් - හිඟය’ ගැන මහාචාර්ය මලික් පීරිස් යථාර්ථය පැහැදිලි කළේ මෙලෙසිනි.

“මාස්ක් එකක් ඇත්තටම ඉතාමත් වැදගත් වන්නේ ඔබ රෝහලක වැඩ කරනවා නම් තමා. වෛද්‍ය කාර්ය මණ්ඩලයට, රෝගීන් රැකබලා ගන්නා අයට, රෝගය වැළඳී ඇති අයට ඒවා පැළඳීම වැදගත්. නමුත් නිරෝගී කෙනෙක් මාස්ක් පැළඳීම නිසා ඇතැම්විට වාසියක් සිදුවනවාට වඩා අවාසියක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. නිදසුනක් හැටියට ආසාදිත අයෙක් යවන කිඹිහුමක් නිසා පිටතට එන ‘බිඳිති’ මුහුණු ආවරණයේ පතිතව රුඳෙන්න පුළුවනි. පසුව එය ඇල්ලීමෙන් සකස් කරන්නට යාමෙන් සහ මුහුණ අතපත ගෑමෙන් අර විසබීජ අංශු ඔබේ අතේ තැවරෙනවා. පසුව ඇස, නාසය සහ මුඛය මාර්ගයෙන් ඒ විසබීජ පහසුවෙන්ම ඇතුළු වේවි.

දැන් අනෙක් කාරණය තමා මාස්ක් එකක් දින කිහිපයක් භාවිත කිරීම. මාස්ක් එකක් එකදිගට පළඳින විට අර කීව අවදානම තවත් වැඩියි. ඒ නිසා මාස්ක් එකක් දින 2 – 3 ක් දැමීම කිසිසේත්ම සුදුසු නෑ. එසේම එය පැළඳ සිටියදී එහි පිටත ආවරණය පැත්ත ඇල්ලීම කිසිසේත්ම සුදුසු නෑ.”

පසුගිය දින කිහිපය තුළ ජාඇල, මඩකලපුව වැනි ප්‍රදේශවල රටේ සමහරු වීදි බැස ‍ඩෙඟා නැටූහ. ඒ සිය ගමට නිරෝධායන මධ්‍යස්ථාන ගෙන ඒම ගැන අඳෝනා නගමිනි. මහාචාර්ය පීරිස් නිරෝධායන මධ්‍යස්ථානයක් භයානක ද නැද්ද යන්න ගැන ද කතා කළේය.

“මේ කොවිඩ්-19 වෛරසය කෙනකුගෙන් තවත් කෙනකුට යන්නේ ශ්වසන මාර්ගය ඔස්සේ කුඩා බිඳිති ආකාරයට. ඇත්තටම ඒවා පැතිරෙන්නේ තමන් ළඟ ඉඳලා අඩි 3 – 4 ක් වගේ දුරකට. නිරෝධායනය රටක් හැටියට ගත යුතු අත්‍යවශ්‍ය පියවරක්. නිරෝධායන මධ්‍යස්ථානයක් තිබීම රටට වැදගත් කාරණාවක්. නිරෝධායන මධ්‍යස්ථානයක් තමන්ගේ ගෙවල් දොරවල් වලින් මීටර් 10 ක් වගේ දුරකින් නම් තියෙන්නේ ඇත්තටම එයින් අනෙක් අයට රෝගය බෝ වෙන්නේ නෑ. මේ වෙලාවේ අපි ලංකාවේ සෞඛ්‍ය අංශවලට උදව් කළ යුතුයි. නිරෝධායන මධ්‍යස්ථානයකින් කෙරෙන්නේ තවත් කෙනකුට මේ රෝගය පැතිරෙන්න තියෙන අවස්ථාව අඩුවෙන එකයි. ඒ වගේ තැනකට විරැද්ධ වෙන එක මේ වෙලාවේ හොඳ නෑ. යම් විදියකට ආසාදනය ඇති රටකින් කෙනෙක් ආවොත්, නිරෝධායනය නොකළොත් ඔහු කෙළින්ම සමාජයට යනවා. එයින් තවත් අයට ලෙඩේ බෝ වෙනවා. ඒ නිසා නිරෝධායනයට විරැද්ධ වෙන එක නුවණට හුරැ දෙයක් නොවේ.”

මහාචාර්ය මලික් පීරිස් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 රෝගය භයානක වන්නේ ඉතා වියපත් සහ දැනටමත් දියවැඩියාව, හෘද රෝග වැනි වෙනත් රෝගාබාධ වලින් පෙළෙන අයට බව දැනට ඇති දත්ත වලින් පෙනී යන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්තවලට අනුව මේ රෝගයෙන් ජීවිතක්ෂයට පත්වෙන්නේ 1% ක් 2% ක් අතර ප්‍රමාණයක් පමණයි. නමුත් මේ ගණනයට සුළු රෝග ලක්ෂණ සහිත අය සහ රෝහල්ගත නොවූ අය ඇතුළත් නෑ. ඒ පිරිසත් එකතු කර සලකා බැලුවාම කොවිඩ්වලින් සිදුවන මරණ අනුපාතය තවත් අඩුයි. අවුරුදු 50ට අඩු අය මේ රෝගයෙන් මියයාමේ අවස්ථාව දැන් පෙනෙන විදියට ඉතාමත් අඩුයි. මේක දරුණු විදියට බලපාන්නේ වයසක අයට. වැඩිපුරම මියගොස් ඇත්තේ වයස 60 හෝ 70ට වැඩි ආසාදිතයන්. 80ට වැඩි අය මියයාමේ ප්‍රතිශතය 15% ක් තරම් ඉතා ඉහළ අගයක්. නමුත් 50ට අඩු අය මියයන ප්‍රතිශතය 1%ටත් අඩුයි. ඒ නිසා නිරෝගි තරුණ සෞඛ්‍ය සම්පන්න අය මේකට බයවෙන්න ඕනෙ නෑ. නමුත් මේ අලුත් වෛරසය ලෝකය පුරා පැතිර යාම වැළැක්වීමට ගත යුතු පියර නම් වයස් බේදයකින් යුතුව ගත යුතුයි. ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. නමුත් කිසි විටෙකත් අනිසි කලබලයකට බියකට පත්වෙන්න ඕනෙ නෑ. පූර්ව ආරක්ෂාව වැදගත්. කලබල වීම නොවැදගත්!” ඒ ඔහුගේ අදහස්ය.

මේ වන විට කොවිඩ්-19 වැළැක්වීම සඳහා ඖෂධ සොයා ගැනීමේ ක්‍රියාවලිය පවතින්නේ කෙබඳු මට්ටමකද? මහාචාර්ය පීරිස් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 සඳහා මර්ස් සහ සාර්ස් රෝග සඳහා භාවිත කරන ඇතැම් ඖෂධ ප්‍රතිකාර සඳහා භාවිත කරන බවයි. නමුත් කොවිඩ්-19 සඳහාම වූ එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීමේ කටයුතු තාමත් ඇත්තේ පර් යේෂණ මට්ටමේ බවයි. ඒවායේ ප්‍රතිඵල ලැබීමට තවත් වසරක් හෝ ඊට වැඩි කලක් ගත විය හැකි බවය.

මෙහිදී අප මතක් කර දිය යුතුව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන සහ අනුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය සමීර සමරකෝන් ඇතුළු ලාංකීය විද්වතුන් මෙබඳුම වූ පවතින ඖෂධ ප්‍රති-අරමුණුගත කිරීමට හැකි බවට සිදුකළ සොයා ගැනීමයි.

කොවිඩ්-19 සඳහා නිසි ඖෂධයක් සෙවීමේ මෙහෙයුම් ඇරැඹෙන්නේ වයිරසය වාර්තා වී දින 42ක් ගතවෙද්දී එහි ජානමය හැඩ රැව ප්‍රකාශයට පත්වීමත් සමඟය. මුලින්ම ඒ වන විට භාවිතයේ පැවති ඖෂධ අතරින් වඩාත් සුදුසුකම් සැපිරූ ප්‍රතිවෛරස ඖෂධයක් චීනය තෝරා ගත්තේය. ඒ Favilavir ය. මෙය 70 දෙනෙක් යොදා ෂෙන්ෂෙන් සහ ග්වැන්ග්ඩොන්ග් හි රොහල්වල සිදුකළ සායනික පරීක්ෂාවේදී අවම අතුරැ ආබාධ සහිතව ඉහළම සඵලතාවක් පෙන්නුම් කළ ඖෂධයයි.

අමෙරිකානු සමාගමක් දැනට ඉන්ෆ්ලුවෙන්සා සඳහා නාසය ඔස්සේ භාවිත කරන එන්නත් ඉසිනයක් හා සමාන තනි එන්නතක් නිපදවා ඇත. දැන් එය සතුන් යොදා  පරීක්ෂා කරමින් පවතී. මේ වන විට ද පවතින තවත් එන්නතක් අලුතෙන් වැඩිදියුණු කර කොවිඩ්-19 මර්දනය සඳහා යොදාගන්නට අමෙරිකානු ජෛව තාක්ෂණික සමාගමක් චීනය හා එක්ව කටයුතු කර ඇත. එය මිනිසුන් යොදා පරීක්ෂාව අරඹන්නට යන්නේ අප්‍රේල් මාසයේදීය. හදිසියකදී භාවිතය සඳහා මෙහි මුල් එන්නත් දස ලක්ෂය මෙම වසර අගදී නිකුත් කෙරෙනු ඇත. තවත් සමාගමක් චීනය සමඟ එක්ව සාර්ස් සඳහා භාවිත කළ ඖෂධයක් සායනිකව පරීක්ෂාවට යොදා ඇත. රෝගීන් තුළ වෛරස ප්‍රමාණය අවම කිරීමට එය ඵලදායීව යොදාගත හැකිද යන්න මෙහිදී සොයා බැලෙයි.

කොරෝනා වයිරසයේ ඔටුනු හැඩ නෙරුම් එල්ල කර ක්‍රියාත්මක එන්නතක් සායනික පරීක්ෂාවට අප්‍රේල් අගවන විට එක් කරන්නට ප්‍රකට ඖෂධ සමාගමක් සැරුසේ. මේ අතර ඊශ්‍රායල සමාගමක් මුලින් බ්‍රොන්කයිටීස් සඳහා යෙදූ සහ පසුව කුරුළු උණ මැඩීමට සුදුසු ලෙස ප්‍රති සැකසූ එන්නතක් දැන් නැවතත් කොවිඩ්-19 පාලනයට ප්‍රථිඅරමුණු ගත කිරීමට කටයුතු යොදා ඇත. මුඛ මාර්ගයෙන් භාවිත කළ හැකි ලෙස සැකසූ මෙම එන්නත පූර්ව සායන භාවිතාවට තව සති 10කින් පමණ ඉදිරිපත් කරනු ඇත.

කල් ගියත් මතක හිටින සාර්ථක වැඩක් කරන්නට යන ඉන්දියාව කොවිඩ්-19 සාදන මූලීක කො‍රෝනා  වයිරසයට සමාන මාදිලියක වයිරසයක් භාවිත කර නව එන්නතක් තැනීමට කටයුතු කර ඇත. එහි පූර්ව සායන පරීක්ෂාවන් ඉදිරි මාස 6 තුළදී ඇරැඹෙන අතර එන්නත 2022 මුලදී වෙළෙඳපොළට නිකුත් කිරීමට ද බලාපොරොත්තු වෙයි.

► සුගත් පී. කුලතුංගආරච්චි

 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 මැයි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00