2020 ජනවාරි 18 වන සෙනසුරාදා

අපි දුවගේ ආශාව ඉටුකළා ඒත් මේ එයාගේ වෙලාව....

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 342

ඔවුහු යන්නම යන්න ගියහ. ජීවිතයේ සමීපතමයන්ට මතකය පමණක් ඉතිරි කොට ඔවුහු දෑස් පියාගත්හ. මල්ෂා සංදීපනීත්, තාරුකා අමායාත් අක්ක නගෝ වූහ. අමෝද්‍යා මධුහංසි මොවුන්ගේ හොඳම යෙහෙළියක වූවාය. අසර්බයිජානයේදී ඔවුන් තිදෙනා අවසන් හුස්ම පොද වා තලයට මුදාහරිද්දීත් ශ්‍රී ලංකාවේ ජීවත් වුණු ඔවුන්ගේ මව්පියන් තම දියණියන්ගේ අනාගතය වෙනුවෙන් අපමණ බලාපොරොත්තු එකතු කරමින් සිටින්නට ඇත.

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ මහවත්ත පාරේ ජීවත් වුණු මල්ෂාත්, තාරුකාත් සුන්දර යුවතියන් දෙදෙනෙක් වූහ. කැස්බෑව ධර්මසේන අටිගල විදුහලෙන් සිප් සතර හැදෑරූ මල්ෂාත් තාරුකාත් උසස් පෙළ විභාගය සඳහා කොළඹ ලුම්බිණි විදුහලට ඇතුළත් වූහ.

පාසල් අධ්‍යාපනයෙන් පසුව මල්ෂාට පෞද්ගලික බැංකුවක රැකියාව ලැබිණි. තාරුකා ළදරු පාසල් ඩිප්ලෝමාවක් හැදෑරුවාය. මල්ෂාත් තාරුකාත් සහෝදරියන් සේම අපූරු මිතුරියන් දෙදෙනෙක් සේ හැදී වැඩුණාහ.

“මට අයි.ටී. උපාධියක් ගන්න පිටරටකට යන්න ඕනෙ. කොහොමහරි උපාධියක් ගත්තොත් ලංකාවට ඇවිත් හොඳ සැලරි එකකට රස්සාවක් කරන්න පුළුවන්.” එය මල්ෂාගේ සිහිනය විය.

“මටත් ෆැෂන් ඩිසයිනින් හොඳට ඉගෙන ගන්න ඕනෙ.” මෝස්තර කලාවට වැඩි කැමැත්තක් දැක්වූ තාරුකා එම අංශයෙන් ඉහළට යන්නට හීන ඇහින්දාය. 

නිශාන් සංජීව හා බිරිය දීපාගේ ඇස් දෙක මෙන් සිටියේ මල්ෂාත් තාරුකාත් පමණි.

“අපි දෙන්නට නැතිවුණේ බෝනික්කෝ වගේ දරුවෝ දෙන්නෙක්. ඒ දෙන්නගේ හිතේ මොන තරම් බලාපොරොත්තු තිබුණද? දුවලා දෙන්නටම ඕන වුණේ පිටරටකට ගිහින් උපාධියක් හදාරල ලංකාවට ඇවිත් හොඳ රැකියාවල් කරන්න. ඒ දෙන්නම තමයි අන්තර්ජාලය ඔස්සේ ඔය අසර්බයිජානයේ විශ්වවිද්‍යාලය පවා සොයාගෙන තිබුණේ. පොඩි දුවට ෆැෂන් ඩිසයින් කරන්න ලොකු ආසාවක් තිබුණා. ඒ වෙනුවෙන් මේ රටේ පාඨමාලා පිළිබඳව පවා එයා හොයල බැලුවා. ඒ බොහෝ ඒවාවල මිල වැඩි නිසාම එයා අක්කත් එක්ක පිටරට යන්න තීරණය කළා.” දීපා මහත්මිය දේශයට හැඬූ කඳුළින් පැවසුවාය.

ඒ අනුව මල්ෂාත් තාරුකාත් අසර්බයිජානයේ වෙස්ට්න් කැස්පියන් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීමට පිටත්ව ගියහ. ඒ ජූලි මස 16 වැනිදාය. මල්ෂා, තාරැකා මෙන්ම කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අමෝද්‍යාත් අසර්බයිජානය බලා යන ගුවන් යානයට ගොඩවුවද එය ඔවුන්ගේ අවසාන ගමන බව කිසිම විටෙක නොසිතන්නට ඇත. ඔවුන්ගේ මව්පියන්ද මේ තම දරුවන්ගේ මුහුණු දකින අවසන් මොහොත යැයි කිසි විටෙකත් නොසිතන්නට ඇත. එසේ වූවා නම් එම මව්පියන් ඉහළට එසවෙන ගුවන් යානය කෙසේ හෝ නතරකොට මල් වැනි වූ තම දියණියන් සිය තුරුලට ගන්නවා නොඅනුමානය.

මල්ෂාත් තාරුකාත් විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබන්නට හීන දකිද්දී බෝමිරියේ පදිංචිව සිටි වයස අවුරුදු 24 ක්වූ තවත් සොඳුරු තරුණියකගේ හිතටද පිටරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ හීනය එලෙසින්ම පැළපදියම් වී තිබිණි. ඒ බෝමිරිය ජාතික පාසලේ ආදි ශිෂ්‍යාවක වූ අමෝද්‍යා මධුහංසිටය. අමෝද්‍යා පවුලේ එකම දියණිය විය. බැංකු සේවයේ නිරත වූ වැඩිමහල් සොහොයුරා සමඟ ද ඇයට තිබුණේ අපූරු සහෝදර බැඳීමකි. 

“මගේ දුව අමෝද්‍යා මධුහංසි. අපිට හිටිය එකම දුව. බෝමිරිය ජාතික පාසලේ තමයි දුව ඉගෙන ගත්තෙ. දුව හරිම ආසාවෙන් හිටියේ විදෙස් ගතවෙලා උපාධියක් හදාරන්න. එයාම තමයි ඔය අසර්බයිජානයේ තියෙන විශ්වවිද්‍යාලය ගැනත් හොයාගත්තෙ. ඊටපස්සෙ අපි ඒ රට ගැන, විශ්වවිද්‍යාලය ගැන හොඳට හොයලා බැලුවා. ලංකාවේ ජීවත්වෙන තව දරුවෝ ඒ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ රට වුණත් කිසිම වරදක් නැහැ. ඒ නිසාම දුවගේ ආසාව නිසා අපි දුවට රට යන්න හැමදේම ලෑස්ති කරල දුන්නා. දුව එයාගේ අයියා එක්ක හරි එකතුයි. ඉස්කෝලේ යන කාලෙදි වුණත් දුව හැමදේම කිව්වෙ එයාගෙ අයියටයි. ඒ දෙන්නා අතරේ රහස් තිබ්බේ නැහැ. ඇඳුම් ගන්න වුණත් ගියේ දෙන්නා එකටමයි. ඒ තරමට සහෝදර බැඳීම හරියට යාළුවෝ දෙන්නෙක් වගෙයි. අනේ.. අපේ දුවට සිද්ධ වුණු දේ.. තාමත් ඒක හීනයක් වගේ.” 

හංසිගේ ආදරණීය මව දයාකාන්ති මහත්මිය දේශයට පැවසුවේ දැඩි වේදනාවකිනි.

බෝකුන්දර හා බෝමිරිය ප්‍රදේශවල ජීවත් වූ මේ තරුණියන් තිදෙනා එකට මුණගැසුණේ අසර්බයිජානයේදීය. එකම විශ්වවිද්‍යාලයේ අංශ තුනක උපාධිය හැදෑරූ ඔවුහු වසර පහ සම්පූර්ණ වී නැවත ලංකාවට පැමිණීමට පෙරුම්පිරූහ. නිතර නිතර තම මව්පියන්ට දුරකතනය ඔස්සේ කතා කර සුවදුක් පැවසූහ. බොහෝ දිනවල වීඩියෝ කෝල් හරහා අසර්බයිජානයේත් විශ්වවිද්‍යාලයේත් සුන්දර දසුන් තම මව්පියන්ට පෙන්වූහ. මල්ෂාත් තාරුකාත් අමෝද්‍යාත් නැවතී සිටියේ විශ්වවිද්‍යාලයට ආසන්නව තිබූ මහල් නිවාසයක ඉහළ මාලයේය.

“දුවලා දෙන්නා ඒ රටේ හිටියේ හරිම සතුටින්. අපිට නිතර නිතර කතා කළා. වීඩියෝ කෝල් අරගෙන ඒ රටේ ලස්සන තැන් අපිට පෙන්නුවා. දුවලා දෙන්නත් එක්ක හිටපු අනිත් දුවත් අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඒ රට වගේම ඒ රටේ මිනිස්සුත් හරිම හොඳයි කියලයි හැමවෙලේම කිව්වේ. දුවත් එක්ක ඉගෙන ගත්ත ලංකාවේ දරුවන් කිහිප දෙනෙක්ම අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඒ රටේදී දුවලට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ.” දීපා මහත්මිය පැවසුවාය.

“දුව අපිට නිතරම කතා කළා. අපිට ෆොටෝ එව්වා. ඒ කිසිම ෆොටෝ එකක දුව දුකින් ඉන්න ෆොටෝ එකක් නැහැ. ඒ තරමටම එයා ඒ රටේ හිටියෙ, ඉගෙන ගත්තෙ හරිම සතුටින්. අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා. එයා ඒ සතාට හරි ආදරෙයි. දුව ඒ සතාට කියන්නෙ (සුදු මැණික) කියලයි. ලංකාවේ ඉඳිද්දිත් එයා ඒ සුරතලා ගැන හොයලා බැලුවා. දුවට සුදු මැණිකත් හරි ආදරෙයි. ඒ රටට ගියත් “අම්මා.. සුදු මැණික කොහොමද? කන්න දුන්නද?” කියලා අහනවා. දුව හැමවෙලේම අපි හැමෝම ගැන හොයලා බැලුවා.” අමෝද්‍යාගේ මව වැඩිදුරටත් පැවසුවාය.

මේ අසර්බයිජානයට දැඩි සීත කාලගුණයක් සහිත සමයකි. සිය ජීවිතය මෙතැකැයි ඔවුන් නොසිතන්නට ඇත. සුපුරුදු පරිදි දහවල් දෙකට පමණ නවාතැනට ආ තිදෙනා තමන්ට පුරුදු පරිදි දොර වසාගත්හ. නමුත් ඒ ඔවුන්ගේ ජීවිත ඉබි යතුරු දමා වසාගත් අවසන් හෝරාවම විය. පහත මාලයේ හටගෙන තිබූ විෂ දුම ඉහළ මාලයට පැතිර යාමත් සමඟ ඔවුන්ගේ අවසන් හුස්ම අසර්බයිජානයට මුසුවීමට කාලය ළං විය. හිතේ කප්පරක් බලාපොරොත්තු ඇතිව අසර්බයිජානයට පැමිණි මල්ෂාත් තාරුකාත් දෑත් පටලවාගන්නට ඇත. අමෝද්‍යාට තම මව්පියන් මතකයට එන්න ඇත. මිතුරියන් තිදෙනා ඇතැම්විට අවසන් මොහොත දක්වාම එතැනින් ඉවත්ව යන්නට උත්සාහ දරන්නට ඇත. නමුත් ඒ සියල්ල මතකයට පමණක් ඉතිරිකොට තිදෙනාම අවසන් හුස්ම පොද අසර්බයිජානයට මුදාහැර තිබිණි. අහිංසක බලාපොරොත්තු ගොන්නක් අවසානයේ සුණු විසුණු වී ගියේය.

“මේ ආරංචිය ඒ රටෙන් අපිට කිව්වෙ දුවගේ යාළුවෙක්ගෙ මාර්ගයෙන්. අනිත් හැමෝම මට ඒ දේ මුලින් කිව්වේ නැහැ. පස්සේ තමයි මම මේ ආරංචිය දැනගත්තේ. අපේ ලෝකේ ඉවරයි. අපේ හිත් හදාගන්න හරි අමාරුයි. ඒත්.. මොනව කරන්නද? අපිට හිත හදාගන්නම වෙනවා. එයා ඒ රටේදී හරිම සතුටින් හිටිය දරැවෙක්. එයා ගිය දවසේ ඉඳන් ඔය සිද්ධිය වෙන දවස වෙනකම්ම හරිම සතුටින් හිටියේ. එදා කතා කරද්දිත් ඒ තුන්දෙනාම හිනාවෙලා තමයි හිටියේ. අදටත් අපිට මේ දේ හිතාගන්න බැහැ.”

අමෝද්‍යා මධුහංසිගේ මව දයාකාන්ති මහත්මිය දේශයට පැවසුවාය.

අවුරුදු 25 ක් තිස්සේ ඇගේ තුරුලේ හැදුණු වැඩුණු දියණිය අද ඇයට අහිමිය. හිත හදාගැනීමට අසීරුය. නමුත් කෙසේ හෝ හිත හදාගත යුතුව ඇත. එයද මොවුන් තේරුම්ගෙන තිබේ.

“අද බොහෝ දරුවන්ගේ කැමැත්ත වෙන්නෙ පිටරටක ඉගෙන ගන්නයි. ඒකට ලංකාවේ අධ්‍යාපනයට දොස් කියන්න බැහැ. මගේ දුවගේ ආසාව වුණෙත් පිටරටක ඉගෙන ගන්න. දුවගේ මරණය නිසා මේ රටටත් ඒ රටටත් අපි දොස් කියන්නෙ නැහැ. ඒ රට දරුවන්ට ඉගෙන ගන්න හොඳ රටක්. අපි අපේ දුවගේ ආසාව ඉෂ්ඨ කළා. ඒත් මේ එයාගේ වෙලාව.. දුව අපිට එවපු හැම ෆොටෝ එකකම එයා සතුටින් හිනාවෙලා හිටියා. ඒක මවාගත්ත හිනාවක් නෙමේ. එයා එහේ හරි සතුටින් හිටියේ.” ඇය කියන්නීය.

“දුවලා තුන්දෙනා නැති වුණාට පස්සේ අපිට එයාලව බලන්න ලංකාවට ගෙන්වන්න විදේශ කටයුතු අමාත්‍යාංශයේ දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා ඇතුළු සියලුම සේවක කාර්ය මණ්ඩලය ගොඩක් මහන්සි ගත්තා. ඒ වගේම ඉරාන තානාපති කාර්යාලයත් ගොඩක් මහන්සි ගත්තා. ඒ නිසාම තමයි අපේ දරුවන්ට රජයේ වියදමින් ඉක්මනින් ලංකාවට ගෙන්වාගන්න පුළුවන් වුණේ. නැත්නම් අපේ දරුවන්ගේ මුහුණු අවසානයටවත් බලන්න අපිට බැරිවෙනවා. අපි ගොඩක් අසරණයි. කවදාවත් අපේ දුව අපිට ඒ රටේවත් ඒ රටේ මිනිස්සුන්ගෙවත් වැරැද්දක් කියල නැහැ. ඒ රට ආරක්ෂිතයි කියලයි දුව අපිට කිව්වෙ. ලංකාවේ තව දරැවෝ ඒ රටේ ජීවත් වෙනවා. ඉගෙන ගන්නවා. ඒ නිසා ඒ රට ගැන වැරැද්දක් අපි දකින්නෙ නැහැ. මේ දැනෙන ලොකු වේදනාවත් එක්ක කියන්නෙ අපේ දුවට මෙහෙම වෙන්න ඇත්තෙ දුවගෙ දෛවයට වෙන්න ඇති. ඒ රටේ නැතිව ලංකාවේ හිටියත් මොනව හරි වෙන්න තිබුණා. එහෙම හිතලා අද අපි අපේ හිත හදාගන්න උත්සාහ කරනවා.” 
දයාකාන්ති මහත්මිය හැඬූ කඳුළින් පැවසුවාය.

මල්ෂාගේත් තාරුකාගේත් ජීවිතවලට සිදුවුණු මෙම අවාසනාවන්ත සිදුවීම මුලින්ම ආරංචි වූයේ ඔවුන්ගේ පියාටය.

“දුවලා ඉන්න ගොඩනැගිල්ලේ ගින්නක් ඇතිවෙලා තියෙනවා. දුවලා ගැන හරියටම විස්තරයක් කියන්න අමාරුයි. ඒත්.. කොහොමහරි තාත්තේ හිත හදාගන්න කියලා තමයි මට කෝල් කරලා දුවලගේ යාළුවෙක් කිව්වේ. ඒ කතාවෙන්ම මට අමුත්තක් හිතට දැනුණා. ඒ වෙලාවේ මගේ පිටිපස්සෙ හිටියේ මගේ අක්කා. මම මුලින්ම කිව්වේ එයාට. හැබැයි මේක දුවලගේ අම්මාට දැනෙන්න දෙන්න එපා කියලා මම එයාට කිව්වා. අක්කා බොහොම අමාරුවෙන් ඒ දුක හිරකරගෙන හිටියා. සමහර අයට කෝල් කරලා කිව්වෙත් අක්කයි.”නිශාන් සංජීව පැවසුවේය.

අඬා දොඬා දුක පිට නොකළද සුජීවාගේ හදවත මල්ෂාගේත් තාරැකාගේත් වියෝවෙන් දැඩි ලෙස ගිනිගන්නට ඇත. අවසානයේ තම සහෝදරයාගේ දරුවන්ගේ වියෝවෙන් සුජීවාගේ හදවතද නතර විය. මල්ෂාත් තාරුකාත් අසර්බයිජානයේ අවසන් හුස්ම හෙළද්දී ඊට හෝරා කිහිපයකට පසුව මොවුන්ගේ ආදරණීය නැන්දා වූ සුජීවා ප්‍රියංකා ලංකාවේදී අවසන් හුස්ම හෙළුවාය. සුජීවා දරුවන් තුන්දෙනකුගේ මවකි. බාල දියණිය ආබාධිත තත්ත්වයෙන් පසුවෙයි. එම දියණිය රැකබලා ගත්තේ ද සුජීවාය. තම දරුවන්ගේ වගකීම තම මළනුවන්ට පවරා මළනුවන්ගේ දියණියන් දෙදෙනා සමඟ සුජීවා අවසන් ගමන් ගියේ ද සංසාරගත බැඳීමකට වන්නට ඇත.

තනි නැහැ නේද නංගියේ දැන් නුඹ හට නම්
අක්කත් හිඳී දෙව්ලොව නුඹෙ අත අල්ලන්
උපදින කිසිදු මතු භවයක මේ ලෙස නම්
වෙන්නට එපා කිසි දිනකදි මේ වගෙ නම්
මල්ෂාත් තාරැකාත් වෙනුවෙන් මිතුරියක් එසේ සටහන් කර තිබුණි.

 දිශානි ජයමාලි කරුණාරත්න
    සේයාරූ:- සුමුදු හේවාපතිරණ

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30