2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

නිශාන්ත පළායාමෙන් ගැස්සුණු සී.අයි.ඩීය

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 382

පැවති වසර හතරක ආණ්ඩු පාලනය තුළ විශාලතම චෝදනාව එල්ල වුණේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙනි. බුද්ධි අංශ අඩපණ කිරීමත්, රණවිරුවන්ට විරුද්ධව පරීක්ෂණ සිදුකිරීමත් ආදී වශයෙන් මෙකී ජාතික ආරක්ෂාව අඩපණ වූ බව යුද ජයග්‍රහණයට උරැමකම් කී බොහෝ දෙනාගේ චෝදනාව විය. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩු කාලය තුළ එම චෝදනාව තව තවත් බරපතළ වන්නේ 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයත් සමඟය. එම ප්‍රහාරයත් සමඟ ජාතික ආරක්ෂාව තවදුරටත් අවදානමක ඇති බව ආණ්ඩුව රටට සක්සුදක් සේ තහවුරු කර පෙන්වීය.

මෙකී බරපතළ අඩුලුහුඬුකම් නිසා මෙවර මැතිවරණයේදී ලක්ෂ 69ක් වූ ජනතාව ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තැබූහ. එලෙස බලයට ආ ගෝඨාභය රාජපක්ෂ පවා ජනතාව ඉදිරියේ දුන් ප්‍රධානම පොරොන්දුව වූයේ නිදහස් රටක් ජනතාවට ලබාදෙන බවය. ඒ අනුව නව ජනපතිවරයා පළමුව තමන්ට විශ්වාසවන්ත, තම අභිමතය අනුව වැඩ කළ හැකි ආරක්ෂක ලේකම්වරයකු පත් කරලීය. ඔහු විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ අත්දැකීම් අනුව මේ වන විට ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කරමින් පවතී. විශේෂයෙන් ජාතික බුද්ධි කාර්යාංශය, රාජ්‍ය බුද්ධි ඒකකය, යුද හමුදා බුද්ධි අංශය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන කෙරෙහි දැඩි අවධානය යොමුව ඇත.

ප්‍රධාන බුද්ධි අංශ ත්‍රිත්වය පසුගිය කාලයේ අඩපණ වීම හේතුවෙන් ජාතික ආරක්ෂාව අවදානමකට ලක්වූ බව වර්තමාන ජනාධිපතිවරයාගේ මතයයි. ඒ හේතුවෙන් නැවතත් බුද්ධි අංශ තොරතුරැ සුපුරැදු පරිදි ලබාගැනීම හා ඒවා විශ්ලේෂණය කොට පරීක්ෂණ පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඍජු ලෙස මැදිහත් වී සිටිති.

මේ අතර පසුගියදා ජනාධිපතිවරයා ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය. ඒ මහජන ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීම සම්බන්ධයෙනි. ඒ අනුව යුද, ගුවන්, නාවික යන හමුදා ත්‍රිත්වය ජනතාව ගැවසෙන ස්ථානවල යෙදවීමට තීරණය කරනු ලැබීය. මේ තීරණය සම්බන්ධයෙන් ඇතැමුන් චෝදනා කරන්නේ මෙය අයෝග්‍ය ක්‍රියාවක් බව කියමිනි. යුද්ධයක් හෝ හදිසි අවස්ථාවක් නොමැතිව මෙලෙස ත්‍රිවිධ හමුදාව යෙදවීම බරපතළ ගැටලුවක් බවට විරුද්ධ පක්ෂයේ පිරිස් පෙන්වා දෙති. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබාදෙමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ මෙය මිලටරීකරණයක් නොව ජාතික ආරක්ෂාව සඳහා ගනු ලැබූ තීරණයක් බවය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ද බරපතළ තීන්දු ගණනාවක් ගනු ලැබීය. ඔහුගේ ආරක්ෂාවට සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ 2250ක පමණ පිරිසක් ඉන් ඉවත් කර රට පුරා සාමාන්‍ය පොලිස් සේවාවන් සඳහා යොමු කිරීම පළමුව සිදු කරනු ලැබීය. ඒ අනුව ඔහුගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක රථ දෙකක් පමණක් යොදාගෙන ඇති අතර කොමාන්ඩෝ සෙබළු පිරිසක් ළඟ තබාගැනීමට ද තීරණය කර ඇත.

මෙය රටේ නායකයකු විසින් මෑත ඉතිහාසයේ ලබාගත් අඩුම ආරක්ෂාව ලෙස පෙන්වා දිය හැක. තමන්ගේ පරමාදර්ශීත්වය අනුව අනෙකුත් අමාත්‍යවරුන්ට ද පරිවාර රථ රැසක් තබාගැනීමටද මේ වනවිට සීමා පනවා තිබේ. එය සැබැවින්ම වටිනා තීරණයකි. මෙලෙස ප්‍රභූ ආරක්ෂක රථ විශාල ලෙස ගමන් කිරීම කාලයක් පුරා මහ මග ගමන් ගන්නා ජනතාව හා රියැදුරන් මුහුණ දුන් අමිහිරිතම අත්දැකීමක් විය. මෙම රථ කිසිදු මාර්ග නීතියකට අවනත නොවෙමින් අශීලාචාර ලෙස මාර්ගය තුළ හැසිරීම අනෙකුත් රථවාහන දැඩි අපහසුතාවට ලක් කරන්නකි. යුද්ධයක් අවසන්ව ඇති මොහොතක මෙලෙස ජනතා මුදල් නාස්ති කරමින් ආරක්ෂක රථ පිරිවරා පිස්සු නැටූ සංස්කෘතියට තිත තැබීම ගැන ජනාධිපතිවරයාට පුරවැසියන් ප්‍රශංසා කරන බව සඳහන් කළ යුතුය.

මේ අතර ජනාධිපතිවරයාගේ දැඩි අවධානයක් යොමුව ඇති ආයතනයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළ හැකිය. සී.අයි.ඩී.ය පැවැති ආණ්ඩුව විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුකළා යැයි කියන බොහොමයක් දූෂණ වංචා සහ ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ කළ ආයතයනයකි. ඇවන්ඩ්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව, තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, කීත් නොයාර් පැහැර ගැනීම ඇතුළු ඝාතන සහ බැඳුම්කර වංචාව ඇතුළු දූෂණ වංචා රැසක් පිළිබඳව පරීක්ෂණ සිදුකළේ රහස් පොලීසිය විසිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ දින කිහිපයක් ගතවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහකාර තනතුරට පොලිස් කොමිසම විසින් මාරැ කරනු ලැබීය. කෙසේ වෙතත් මෑත ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ සහකාර තනතුරට පත්කළ පළමු අවස්ථාව මෙය විය. මෙම මාරැවීමට බලපෑ ප්‍රධාන කරැණ වූයේ ඔහු පැවැති ආණ්ඩුවට පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට වූ චෝදනාවය. 

කෙසේ නමුත් මේ කියන අය යම් වරදක් කළා නම් ඔවුන්ට විරුද්ධව නීතියට අනුව හෝ විනය සංග්‍රහයට අනුව කටයුතු කිරීම වැදගත් වේ. එය සිදු නොකර මාධ්‍ය සාකච්ඡා තබමින් ඔවුන්ගේ නම් ගම් කියමින් චෝදනා එල්ල කිරීම තවත් දේශපාලන ක්‍රියාවක් පමණක් වනු ඇත. ඒ නිසා කළ යුත්තේ වැරදි කළ අය හඳුනාගෙන ඒ අයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමය. ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් පිරිසක් පහර දී ඇතැම් තොරතුරැ නම්, ගම් හෙළි කරන ලෙසට අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් පැවසූ බවට කීවත් ඔවුන් අධිකරණය ඉදිරියේ හෝ මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගතව හෝ මෙවැනි සිද්ධීන් අනාවරණය කොට නැත. නමුත් නාරාහේන්පිට පොලීසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා වන සුමිත් පෙරේරා මාධ්‍ය හමුවක් තබමින් ශානි අබේසේකර යම් යම් අයගේ නම් කියන ලෙස තමන්ට බලපෑම්කොට පසුව රිමාන්ඩ් කරපු බවට චෝදනා නැගීය.

මේ අතර මෙකී චෝදනාව එල්ල වූ නිශාන්ත සිල්වා මහතා ස්විට්සර්ලන්තය බලා සිය පවුලේ පිරිස් සමඟ ගිය බවට වූ කාරණාව පසුගිය සතියේ ප්‍රධාන මාතෘකාව විය. ඔහු රටින් පැනගිය බව මාධ්‍ය මගින් අනාවරණය කළ අතර පොලීසිය මගින් එය තහවුරැ කරනු ලැබීය. කෙසේ වෙතත් ඔහු යන්නට ඇත්තේ දේශපාලන ආරක්ෂාව පතා විය හැක. එය තහවුරැ වන්නේ ඔහු පොලිසියට නොකියා මේ ගමන ගොස් ඇති බැවිනි. 

මොහු පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුවූ බව කියන ඝාතන, පැහැරගැනීම්, දූෂණ වංචා ගැන සොයා බැලූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාය. එහෙත් ඔහුට ශානි අබේසේකරට තරම් හෝ මාරුවීමක් ලබා නොදුන් අතර ඒ සියල්ල මැද ඔහු ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය බව සඳහන්ය. කෙසේ වෙතත් නිශාන්තගේ මෙකී විදේශගත වීම ගැන ඇතිවූ සැකය අනුව පොලිසිය දැනටමත් පරීක්ෂණ සිදු කරනු ලබයි. මීට අමතරව රහස් පොලිසියේ අනෙක් නිලධාරීන් ද විදේශගත වීමට ඇති ඉඩකඩ නිසා ඔවුන්ගේ නම් ගම් සඳහන් ලේඛනයක් ගුවන් තොටුපොළ වෙත නිකුත් කර ඇත. ඒ අනුව රහස් පොලිසියේ 704කට අවසරයකින් තොරව රට ගමන් තහනම් කර තිබේ.

මේ සියල්ල ගැන නිවැරදි සොයා බැලීමක් සිදු කරන තෙක් නිලධාරීන්ගේ නම් ගම් සඳහන් කරමින් වේදිකා තුළ දේශපාලන ප්‍රහාර එල්ල කිරීම කොතරම් සාධාරණදැයි අපි නොදනිමු. එම පරීක්ෂණවලට ඉදිරියේ දී යම් නිලධාරියකු සම්බන්ධ වේ නම් ඔවුන්‍ටද මෙය යම් ගැස්සීමක් වනු ඇත. ඒ නිසා ආරක්ෂක අංශ දේශපාලනයෙන් ඈත්කොට තබා ගැනීම වැදගත් වනු ඇත.

කෙසේ වෙතත් මේ අතර විශාල ආන්දෝලනාත්මක සිද්ධියක් පසුගිය සතියේ සිදුවුණේය. ඒ ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා සේවිකාවක් සුදු වෑන් රථයකින් පැහැර ගනු ලැබීමේ සිද්ධියකි. ඇය පැහැරගෙන ගිය පිරිස පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තය බලා පිටවූ ආකාරයත් තානාපති කාර්යාලය තුළ විස්තරත් ප්‍රශ්න කර සිටි බව සඳහන් වේ. මේ සඳහා ඇයව පැහැරගෙන පැය දෙකත් තුනත් අතර කාලයක් ප්‍රශ්නකර ඇති බව තානාපති කාර්යාලයේ නිලධාරීන් රජයට දන්වා ඇත.

කෙසේ වෙතත් මේ පැහැර ගැනීම රජයට එතරම් හිතකර වන්නේ නැත. මීට කවුරැන් හෝ සම්බන්ධ නම් ඒ ගැන වහා සොයා බැලීමක් සිදුකළ යුතුය. එසේ සොයා බලා මුළු ලෝකයටම එම වරද නිවැරදි කළ යුතුය.

විශේෂයෙන් මෙකී පැහැර ගැනීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ආරක්ෂ අංශත් තානාපතිවරයා විසින් පෞද්ගලිකව හමුවී සාකච්ඡා කර ඇතැයි වාර්තා විය. ස්විස් රජය සිය නිවේදනයක් මගින් දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් රජයෙන් අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත් මෙය බරපතළ සිදුවීමක් වන අතර එය ඉවත්කර ගැනීම හෝ නොගැනීම රජය සතු වගකීමකි. එසේ නොවුණහොත් මෙය ජාත්‍යන්තරය පිළිකුල් කරන සිද්ධියක් වනු ඇත.

එසේම පසුගිය බදාදා උතුරේ ජනතාව වසර ගණනාවකට පසුව පූර්ණ නිදහසේ මහවිරු දින සැමරුම සිදුකළේය. පැවති රජයන් මීට දැඩි ලෙස විරුද්ධ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ආරක්ෂක අංශත් උතුරේ මියගිය මිනිසුන් වෙනුවෙන් පහනක් දල්වන්නට ඉඩ ලබාදී තිබුණේය. කෙසේ වෙතත් මේ පහන් දැල්වීම කාලයක් සිට උතුරේ කොටි නැගිටීමක් ලෙස දකුණේ ඇතැම් පිරිස් අර්ථගන්වා තිබුණත් එය ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දකුණේ සිංහල ඡන්දවලින් ජයග්‍රහණය කළ අයකු තේරැම් ගැනීම සැබවින්ම සතුටු වියයුතු අවස්ථාවකි. දකුණේ අපට යුද ජයග්‍රහණය සැමරීමට අවස්ථාවක් ඇතිසේම උතුරේ ජනතාවට තමන්ගේ පවුලේ පිරිස් මියයාම සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කරන්න පහනක් දල්වන්න ඉඩහසර ලබාදීම සතුටුදායක කරැණකි. ඇතැම් විට මේ අවස්ථාව ලැබුණේ ජනාධිපතිවරයාට ඉන්දීය සංචාරයකට ආරාධනා කිරීම නිසා වන්නටත් ඉඩකඩ ඇත. ඒ කෙසේ වුවත් උතුරත් දකුණත් වෙන්වන් රේඛාව කවදා හෝ කවුරැන් විසින් හෝ කැඩිය යුතුය. එය යුද ජයග්‍රහණයට සෘජුව සම්බන්ධ වූවන්ම මැදිහත් වීම සාධනීය කරුණකි.

මේ අතර ජනාධිපතිවරයාගේ නියෝගය අනුව මත්ද්‍රව්‍ය සහ පාතාල ම‍ර්දනය ත්‍රිවිධ හමුදාව වෙත පවරා දී තිබේ. පසුගිය කාලයේ තැන් තැන්වලින් ඉස්මතු වූ සන්නද්ධ කණ්ඩායම් කොටුකර ගැනීම මෙම මෙහෙයුමේ මූලික අරමුණ වී ඇත. කෙසේ වෙතත් ඒ සඳහා විශේෂ ඒකක පිහිටුවීමටත් රජය තීන්දු කර ඇත.

ඒ අනුව ඉදිරියේ විශාල ප්‍රතිසංවිධානයකින් පසුව ආරක්ෂක අංශ නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇති බවට ලකුණු පහළ වී තිබේ. එහි වරදක් නැත. එනම් රටේ ආරක්ෂක අංශවල අඩුපාඩු හෝ නුසුදුස්සන් ඇත්නම් ඔවුන් වහා වෙනස් කොට වැඩ කළ පිරිස් පත් කළ යුතුය. එහෙත් එම නිලධාරීන් යම් යම් දේශපාලනික කරැණු මත වේදිකාවල මාතෘකාවක් වනවා නම් එය ගැටලුවක් වනු ඇත. එපමණක් නොව සිදුකරගෙන ආ පරීක්ෂණ අතරමග නැවතෙනවා නම් එය ද ප්‍රශ්නයක් වනු ඇත. එම නිසා සිදුවිය යුත්තේ වැරදිකරු හෝ නිවැරදිකරු නීතියෙන් විසඳීම විනා පෙර ආණ්ඩුව කළ වරද නැවත සිදු නොකිරීමය. මෙය බොහෝ ආණ්ඩුවලටත් පාලකයන්ටත් අමතක වන කරුණකි.

 ගයාන් ගාල්ලගේ

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30