2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ඡන්ද වේදිකාව හොල්ලන පාස්කු බෝම්බ වාර්තාව

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රටේ සියලු අංශ එක්වී පරීක්ෂණ කළේය. පාස්කු ප්‍රහාරයට පෙර තිබූ උවමනාවට වඩා වැඩේ සිදුවුණු පසුව ඒ ගැන සොයා බැලීමට තිබූ උවමනාව, කැපවීම එක් පැත්තකින් පුදුමසහගතය. මේ නිසා මීට සම්බන්ධ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමටත්, තවත් ප්‍රහාර රැසක් අවම කරන්නටත් එම පරීක්ෂණ නිසා හැකිවිය.

කෙසේ වෙතත් එම පරීක්ෂණවලට අමතරම තවත් ස්වාධීන යැයි කියන පරීක්ෂණ දෙකක් දේශපාලන අධිකාරිය විසින් සිදු කෙරිණි. එකක් ප්‍රහාරය සිදුවීමත් සමඟ ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමයි. එම කමිටුව මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් කවුද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සිදුකළේය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දුන්නේය. එහෙත් පුදුමය නම් එකී වාර්තාව අද වනතෙක් එළියට නොපැමිණීමයි. එයද තවත් ජනාධිපති වාර්තාවක් වූවා පමණි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ඉල්ලීම පරිදි 2019 මැයි 22 දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සඳහා අනුමැතිය ලබාගනු ලැබීය. ඒ හරහා ආරක්ෂක අංශයේ ප්‍රධානීනුත්, දේශපාලන නායකත්වයත් කැඳවා ප්‍රශ්න කර මේ ප්‍රහාරයට වගකිව යුත්තන් කවුද යන්න රටන අනාවරණය කිරීමට තීරණය විය. ඒ සඳහා කාරක සභාවට සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා යෝජනාවක් කරමින් ඉල්ලා සිටියේ කාරක සභාවේ කටයුතු සජිවීව මාධ්‍යට විවෘත කරන ලෙසටය. ඒ අනුව සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත කළ අතර එහෙත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඇතැම් තොරතුරු රටට සජීවී ලෙස අනාවරණය නොකිරීමට කාරක සභාව තීරණය කළේය. ඒ අනුව කාරක සභාවේ වැඩකටයුතු දින 19ක් පුරා පැවැත්වුණු අතර එහි වාර්තාව පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

බොහෝ දෙනා බලා සිටි එම වාර්තාව තුළ අඩු වැඩි වශයෙන් එක එක්කෙනා වගකීම බරපතළකම මගහැරීම ගැන මෙහි අනාවරණ කර තිබේ. මෙම වාර්තාවට අනුව වැඩිම චෝදනාවක් එල්ලවන්නේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වෙතය. ඔහු තම රාජකාරිය නිසි ලෙස ඉටුකළා නම් පාස්කු ප්‍රහාරය වළකා ගැනීමට අවස්ථා විශාල ප්‍රමාණයක් තිබී බව වාර්තාව හෙළිකරයි.

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වශයෙන් ඔහුට මේ ප්‍රහාරය පිළිබඳව මුල්ම තොරතුර ලැබී ඇත්තේ අප්‍රේල් 04 වැනිදාය. එහෙත් ඔහු ඒ ගැන අදාළ අංශ වෙත දැනුවත් කර නැත. පසුව දෙවැනි තො‍රතුර අප්‍රේල් 08 වැනිදා ලැබී ඇති අතර ඔහු ඒ ගැන ආරක්ෂක ලේකම්වරයාට පමණක් දන්වා ඇත. පුදුමය නම් ඒ තොරතුරට අනුව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට එම ප්‍රහාරයේ අවදානම එල්ල වී ඇති බවට දැනුම් දී තිබීමයි. එසේම ඒ වනවිට ඉන්දියානු ආරක්ෂක ලේකම් සිට ඇත්තේ ද මෙරටය. එසේ අවදානමක් තිබියදී පවා රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම ගැන එම වාර්තාවෙන් උපුටු දක්වා ඇත.

කෙසේ වෙතත් ඊට පසුදින බුද්ධි සමාලෝචන රැස්වීම පවත්වා තිබිණි. එහිදී රාජ්‍ය බුද්ධි ප්‍රධානියා හට තම අදහස් පවසන ලෙසට සියලු දෙනා ඉල්ලා ඇත. එහෙත් ඔහු එම අවස්ථාව පවා මග හැර ඇති බවත් ඒ අවස්ථාවේ හෝ මේ ගැන දැනුම් දුන්නා නම් සියලුදෙනා දැනුවත් වන බවත් එම වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඔහු ඊට නිදහසට කරුණු දන්වමින් පවසා ඇත්තේ ඒ අවදානම ගැන ජාතික බුද්ධි ප්‍රධානියා අදාළ අංශ දැනුවත් කරනු ඇතැයි තමන් සිතූ නිසා බවය.

නමුත් ඒ සියල්ල මග හැරුණ ද අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදි පුපුරවා හැරීමත් සමඟ එයින්ද ඔහු දැනුවත් වී ඇත. එහෙත් පුදුමය නම් ඒ තොරතුරු හුවමාරු කර ඇත්තේ අප්‍රේල් 19 වැනිදා එනම් දවස් තුනකට පසුව වීමයි. කෙසේ වෙතත් එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු ජනපතිට නොකියූ බවට ඔහු සඳහන් කළත් ජනපති සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා අතර පවතින සම්බන්ධය හේතුවෙන් එය විශ්වාස කළ නොහැකි බවය. එසේම 21 වැනිදා උදෑසනද මෙම ප්‍රහාරය ගැන තොරතුරු ලද අවස්ථාවේ ඔහු ඉහළ නිලධාරින් දැනුවත් කිරීමට පෙර බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රථමයෙන් දැනුවත් කර ඇත.

කෙසේ වෙතත් විස්මයට කරුණ නම් ඔහු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වුවත් ලංකාවේ මෙතෝදිස්ත පල්ලි ඇති ස්ථාන සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටීමය. එසේම ඔහුට කොළඹ ගැනද එතරම් දැනුවත් නැති බවද එම වාර්තාවේ පෙන්වා දෙයි. මෙකී රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගේ කටයුතු පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවකට එම වාර්තාවේ පිටු අංක 154 සිට 162 දක්වා වෙන්කර ඇත.

එසේම මෙහිදී පොලිස්පතිවරයාගේ අඩුපාඩු සම්බන්ධයෙන්ද ප්‍රශ්න රැසක් ඉස්මතු කර තිබේ. එනම් පොලිස්පතිවරයාට ජාතික බුද්ධි ප්‍රධානියා සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් ලබාදුන් සාක්ෂි අනුව දැනුම් දී ඇත්තේ අප්‍රේල් 8 වැනිදා මේ අවදානම සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි. එදිනම ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වී තිබුණ ද එහිදී පොලිස්පතිවරයා කිසිදු දෙයක් සම්බන්ධයෙන් සහභාගී වූවන් දැනුවත් කර නැත.

පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා සහ අදාළ ආරක්ෂක අංශ කිසිදු මොහොතක දැනුවත් කර නොමැති බවද හෙළිදරව් වී ඇත. ඒ තබා අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරැපැදි පුපුරවා හැරීම ගැන අඩුම තරමින් නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ දැනුවත් නොකළ බවද මෙහිදී හෙළිදරව් වී ඇත.

ජනාධිපතිවරයා ලබාදුන් සාක්ෂි අනුව අප්‍රේල් 12 වැනිදා පොලිස්පතිවරයා ජනාධිපතිවරයා සමඟ නැගෙනහිර පළාතට ගොස් තිබේ. ඊට අමතරව අප්‍රේල් 14 වැනි දින සුබ පැතීමට ජනාධිපතිවරයා හමුවී ඇත. 16 වැනිදා ජනාධිපතිවරයා ඉන්දියාව සහ සිංගප්පූරුව බලා පිටත්වන අවස්ථාවේ දඹුලු ගුවන් තොටුපළට පැමිණ ඇත. එහෙත් ඒ කිසිම අවස්ථාවක පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කර නැත. එපමණක් නොව බිම් මට්ටමේ ආරක්ෂක වැඩපිළිවෙළවල් ගැන දැනුවත් කිරීම්ද තම පහළ නිලධාරින්ට සිදුනොකළ බවට හෙළිදරව් වී ඇත. පොලිස්පතිවරයාගේ අඩුපාඩු සම්බන්ධයෙන් එම වාර්තාවේ පිටු අංක 165 සිට 167 දක්වා සටහන් කරමින් හෙළිදරව් කර ඇත.

මීට අමතර ජාතික බුද්ධි ප්‍රධානියාගේ අතපසුවීම්ද මෙලෙස සඳහන් කර ඇත. එනම්  ඔහු අප්‍රේල් 9 වැනිදා බුද්ධි තොරතුරු සම්බන්ධීකරණ රැස්වීමේදී පොලිස්පතිවරයා සමීපයේ අසුන්ගෙන සිටිය ද ඒ අවස්ථවේ පවා මෙහි පරීක්ෂණ ගැන පොලිස්පතිවරයාගෙන් විමසා නොතිබීමය. මීට අමතර ජාතික බුද්ධි ප්‍රධානියාගේ හෙළිදරව්ව බරපතළය. එනම් ඔහු සඳහන් කර ඇත්තේ තමන් සහ අනෙකුත් අයට අදාළ බුද්ධි පුහුණුව නොතිබුණු බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමට එම අඩුපාඩුව පාදක වී ඇති බවත් පිළිගෙන තිබීමයි. කෙසේ වෙතත් ඒ අඩුපාඩුව රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් තම වාසියට ගෙන කී දෙයක් බවත් එම වාර්තාවේ සඳහන් කර තිබේ. පැහැදිලිව ඔහු තම රාජකාරිය ඉටුකිරීමට අපොහොසත් වූ අයකු බව සඳහන් වී ඇත. මීට අමතරව හමුදා බුද්ධි ප්‍රධානියා මේ සෑමදෙයක්ම මුලසිට දැන සිට ඇති බව දැනගන්නට ඇත. ඔහුට නවතම බුද්ධි තොරතුරු පවා ලැබී තිබියදීත් එවකට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා දැනුවත් නොකීරිම බැරෑරුම් ප්‍රශ්නයක් බව එහි සටහන් වී තිබේ. විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධිකරණය නොවීමත්, අනවශ්‍ය ප්‍රමාදයනුත් නිස විශාල ගැටලු රැසක් සිදුව ඇත. ඒ නිසා එම දෙපාර්තමේන්තුව තුළ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතු බව පෙන්වා දී ඇත.

එසේම මෙම වාර්තාවෙහි දේශපාලන නායකත්වය පිළිබඳව වෙනම දන්වා තිබිණි. එනම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිව තිබූ ආරවුල හේතුවෙන් අගමැතිවරයාත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාත් ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොතිබීමයි. එසේම ඇතැම් ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම්වලට පොලිස්පතිවරයා කැඳවීමෙන් වැළකී සිටීමටත් ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. කවුන්සිලය තුළ කතාවෙන ඇතැම් තොරතුරු මාධ්‍ය වෙත වාර්තා වීම ගැන ජනාධිපතිවරයාට සැකයක් ඇතිව තිබිණි. නිකාබය තහනම් කිරීමට අග්‍රාමාත්‍යවරයා අකැමැති වූ බව 2016 අගෝස්තු 21 සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවී තිබේ. මේ සියල්ල හේතුවෙන් මෙය දේශපාලන වාසි තකා අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් සිදුකරන ක්‍රියාවක්ද යන්න ජනාධිපතිවරයාට සැකයක් පැමිණ ඇත. මේ නිසා 2018, ඔක්තෝබර් 7 වැනිදායින් පසුව අග්‍රමාත්‍යවරයා නොකැඳවූ බවට ජනාධිපතිවරයා පවසා තිබේ. එහෙත් එය නිදහසට කරුණක් නොවන බව කාරක සභාව පිළිගනියි.

එසේම ආරක්ෂක කවුන්සිලය අක්‍රමවත් ලෙස පවත්වා ඇත. ඇතැම් අවස්ථාවල හදිසියේ කැඳවා ඇති බවත් මෙහි සටහන්වේ. මේ නිස උදාසීන බවක් කවුසිලය තුළ පැවැති බවත් ඊට ජනාධිපතිවරයා වගකිව යුතු බවත් පෙන්වා දී ඇත. එසේම පොලිස්පතිවරයා දුරකථන දෙක සමඟ නිතර සම්බන්ධ වී සිටි බවත් කිසිදු රැස්වීමකට අවධානය යොමු නොකළ බවත් ජනාධිපතිවරයා සිය සාක්ෂි හමුවේ පවසා තිබේ. එහෙත් ඔහුව කවුන්සිලයෙන් ඉවත් කළේ ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියෙන් පසුව බවත් ඒ ගැන ප්‍රශ්න ගණනාවක් සභාවට ඇති බවත් කාරක සභාව සිය වාර්තාවේ පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා පොලිස්පතිවරයාව ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් කිරීම ගැන පවසන චෝදනා පිළිගත නොහැකි බවද කාරක සභා වාර්තාවෙන් පෙන්වා දී ඇත. එක් අවස්ථාවක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එල්ටීටීඊ සාමාජිකයකු බවට ආරක්ෂක කවුන්සිලයේදී පවසා ඇත. ඒ 2018 නොවැම්බර් 11 දාය. පසුව 16 වැනි දින නැවත රවීන්ද්‍ර මහතා ජනාධිපතිවරයා හමුවී ඇත. ඊට පසුව නොවැම්බර් 18 වැනිදා නිශාන්ත සිල්වාට මාරුවක් ලබාදී ඇත. මෙලෙස ස්වාධීන පරීක්ෂණයකින් තොරව කට වචනයකට පමණක් මාරුවීම් කිරීම කනස්සල්ලට හේතු වන බව කමිටුව සඳහන් කර තිබේ.

ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා අතර තිබී ඇත්තේ දුරස්ථ ගනුදෙනුවකි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක කවුන්සිලය අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති අතර එයට සහභාගි නොවන ලෙසට ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් කාරක සභාව තැවුලට පත්වන බව සඳහන් වේ. මේ තත්ත්වය දේශපාලන වියවුල් නිසා ඇති වූ බවද පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ලබාදුන් සාක්ෂිවලට අනුව ඔහුට එම ප්‍රහාර ගැන දැනුවත් කර ඇත්තේ ප්‍රහාරවලට පෙරය. එනම් ලංකාවේ වේලාවෙන් 7.30-8.30 අතර දීය. සිංගප්පූරු වේලාවෙන් උදෑසන 10-11 අතරදීය. එසේම ප්‍රහාරවලින් පසුව ජනාධිපතිවරයා රටින් බැහැරව සිටි නිසා හැකි ඉක්මනින් මෙරට පැමිණීම අවශ්‍යම දෙයක් බව කාරක සභාවට විවිධ සාක්ෂි මතින් තහවුරැ වී තිබුණි. එහිදී වේලාසනින් ලංකාවට පැමිණීට අවස්ථාවක් තිබුණේදැයි ජනාධිපතිවරයාගෙන් විමසූවිට ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියලු ගුවන් යානා පිරී තිබුණු බවයි. එසේම සිංගප්පූරු රජයෙන් ගුවන් යානයක් තමන්ට ලබාදීමට උත්සාහ ගත් බවත් ඒ ගුවන් ගමන් වේලාව සහ තමන් වෙන්කළ ගුවන් යානයේ කාලය එක සමාන බැවින් එය ප්‍රතික්ෂේප කළ බවත් පවසා ඇත.

පසුව කාරක සභාව විසින් අප්‍රේල් 21 මෙරටට පැමිණීම සඳහා ගුවන් යානයක ඉඩ තිබුණා ද නැද්ද යන්න වග ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පරීක්ෂා කර ඇති අතර එදින හෙළි වී ඇත්තේ කොළඹට ගුවන් ගමන් තුනක් සිදුව ඇති බවය. ඒ යූ.එල් 307, 303 සහ 309 ගුවන් යානාය. එහෙත් ඒ ගුවන් යානා තුනේම ව්‍යාපාරික පන්තියේ සහ සකසුරුවම් පංතියේ අසුන් තිබී ඇති බවට කාරක සභාවට තහවුරු වී ඇත. ඒ නිසා ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ තොරතුරු පරස්පර බව සඳහන් වේ. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසුව ජනාධිපතිවරයා මෙරටට පැමිණීම හෝ ජනතාවගේ බිය තුරන් කිරීමට සන්නිවේදනයෙන් හෝ බැඳී සිටීමට අපොහොසත් වී ඇති බව දැක්වෙයි. අඩුම තරමින් සමාජ මාධ්‍ය හරහා හෝ සන්නිවේදන කිරීමට අවස්ථාවක් තිබුණු බව කාරක සභාව පෙන්වා දෙයි. කෙසේ වෙතත් මේ ප්‍රහාරය දින දහයකට පෙර ජනාධිපතිවරයා එය තමන් දැන නොසිටි බවට ප්‍රකාශ කිරීමත්, අප්‍රේල් 21 වැනිදා සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට ගුවන් ආසන නොමැතිවීමත් යන කාරණා කාරක සභාව නොමග යැවීමක් බව සඳහන් කරයි. ඒ නිසා අනෙකුත් ප්‍රකාශ ගැන ප්‍රශ්නාර්ථයක් මතුවන බව පෙන්වා දෙයි.

එසේම අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් එල්ලවන වර ද වන්නේ ඔහුව ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් කර තිබියදී මාස හයක් යනතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු  ප්‍රකාශයක් අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකිරීමය. ආරක්ෂක රාජ්‍ය අමත්‍යවරයාගේ ද දෝෂය ලෙස පෙන්වන්නේ ඔහුව ආරක්ෂක කවුන්සිලයෙන් ඉවත් කර ඇත්නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ හෝ ප්‍රකාශයක් සිදුකළ යුතුව තිබූ බවයි.

ඒ අනුව මේ ප්‍රහාරයට වගකිව යුතු අය කවුද යන්න මේ ලිපියෙන් පැහැදිලි වනු ඇත. යම් යම් දේශපාලන මතිමතාන්තර හේතුවෙන් ගනු ලැබු ඒක පාර්ශ්වික තීරණ මහා විනාශයට කෙතරම් බලපෑමක් සිදුකරන්න ඇතිද යන්නත් බැලූ බැල්මට පෙනෙනු ඇත. එපමණක් නොව තමන් සතු වැරදි වසා ගැනීමට බොරු කීමත් මේ සියල්ලෙන් පෙනෙනු ඇත. එසේ නම් මේ සියල්ලටම වගකිවයුත්තන් නීතිය හමුවේ සිටීද යන්න තවමත් ජනතාවට ඇති ප්‍රශ්නයකි.
► ගයාන් ගාල්ලගේ

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07