2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඡන්දය ඇතුළේ කැරකෙන කළු සල්ලි!

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 152

ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ තිස් පස්දෙනකු ඉදිරිපත් වනු ඇතැයි කිසිවකු කල්පනා කළේ නැත. ශ‍්‍රී ලංකාවේ පුරවැසියන් අතුරින්  ඕනෑම අයකුට විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වීමට බාධාවක් නැත. ජනාධිපතිවරණ ඡන්දයට ඉදිරිපත් වීමට අයිතියක් තිබේ. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වශයෙන් සැලකේ. ව්‍යවස්ථාවේ දහනම වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරණයට තරග කළ හැකි අවස්ථා සීමා කළේය. දෙවතාවකට වඩා ධුරය ඉසිලීම වැළැක්වීම හා ද්විත්ව පුරවැසියකුට බාධා පැමිණවීම එයින් ප‍්‍රධානය. ව්‍යවස්ථාපිත නීතිය අනුව පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකුට තරග කළ හැකිය. ස්වාධීන අපේක්ෂකත්වය සඳහා අවම වශයෙන් වසර පහක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබීම අවශ්‍යය. පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කිරීම ද පහසු නැත. දේශපාලන පක්ෂයක් වශයෙන් කටයුතු ආරම්භ කර ජනතාව සමඟ වසර පහක් ක‍්‍රියාකාරීව සිටි බව ඔප්පු කළ යුතුය. බැංකු ගිණුම්, පක්ෂ සම්මේලන වාර්තා, සාමාජික අත්සන් ලේඛන යනා දී තොරතුරැ සෑහෙන ප‍්‍රමාණයක් අවශ්‍යය. අද දේශපාලනයේ ක්‍රියාත්මක කර්කශ ආකාරය කොපමණ ද යත් ඇතැම් අපේක්ෂකයෝ පක්ෂ මිල දී ගනිති. තවත් සමහර පක්ෂ අපේක්ෂකයෝ සම්බන්ධ කරගන්නා බව අනාවරණය වෙයි.

අපේක්ෂකයෝ හතළිස් එක් දෙනකු ඉදිරි විධායක ජනාධිපතිවරණයට ඇපමුදල් තැන්පත් කර තිබුණි. නාම යෝජනා භාර දෙන අවස්ථාවට එයින් ගණනාවක් පැමිණියේ නැත. තරග වදින පිරිස තිස් පස් දෙනකුට සීමා විය. කෙසේ වෙතත් මෙපමණ විශාල පිරිසක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම ඉතිහාසගත වන අවස්ථාවකි. මෙම පිරිස අතරින් ජනතාවගේ සියුම් අවධානය දිනා ගත් ප‍්‍රධාන අපේක්ෂකයන් හතර පස් දෙනකුට හැර අනෙකුත් අයවලුන්ගේ ඉරණම පැහැදිලිය. මැතිවරණ කොමිෂන් සභාව දක්වන අන්දමට අපේක්ෂකයන්ට අවස්ථා ගණනාවක් ලැබේ. නොමිලේ විද්‍යුත් මාධ්‍ය ගුවන් කාලය ලැබීම ප‍්‍රධානය. තැපැල් පහසුකම් ද ඉල්ලා සිටිය හැකිය. ඡන්දපොළ නිරීක්ෂකයන් පත් කළ හැකි අතර එක් අපේක්ෂකයකුට දෙදෙනකු බැගින් නම් කළහොත් එක ඡන්ද මධ්‍යස්ථානයක හැත්තෑවක නියෝජිත පිරිසක් ගැවසෙන්නට ඉඩ තිබේ. අවධානයට ලක් නොවූ කාරණාවක් ද සඳහන් කළ යුතුය. ඡන්දය අවසන් වූ පසු ජය නොලබන අපේක්ෂකයන්ට විදේශ රටක දේශපාලන රැකවරණ ඉල්ලා සිටිය හැකිය. මැතිවරණ කොමිසම දක්වන අන්දමට එක අපේක්ෂකයකුට රට පුරා කාර්යාල දොළොස් දහසකට වඩා පිහිටුවිය හැකිය. නිල වශයෙන් ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයක් හා ඒවායේ ප‍්‍රදර්ශනය කළ හැකි කටවුට් ප‍්‍රමාණයක් ද තිබේ. සැරසිලි හා පෝස්ටර් තහනම් නමුත් රැස්වීම් පවත්වන බව ප‍්‍රදර්ශනය කළ හැකිය.

ජනාධිපතිවරණය ගැන ජනතාව තුළ උනන්දුවක් ඇති කරන මෙම විශාල අපේක්ෂක ප‍්‍රමාණය රට තුළ කොපමණ ආර්ථික කලබැගෑනියක් ඇති කරනු ඇති ද යන්න හඳුනා ගැනීමට මුලින් සඳහන් කළ කරුණු ප‍්‍රමණවත්ය. එක ඡන්ද පොළ නියෝජිතයකු නම් කර ඔහුට ආහාර පාන සැපයීම පවා ප‍්‍රශ්නයක් වන බව පෙනෙන අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින බව පෙනේ. මැතිවරණ කොමිසම සඳහන් කරන අන්දමට සියලු අපේක්ෂකයන් වත්කම් හා බැරකම් ප‍්‍රකාශයක් ද නාමයෝජනා සමඟ භාර දිය යුතුය. අපේක්ෂකයන් දක්වන වත්කම් ගැන අධ්‍යයනය කළහොත් ඡන්දයකට ඉදිරිපත් වීම සඳහා ධනය නැති බව පැහැදිලි වනු නිසැකය. නමුත් මෙම අපේක්ෂකයෝ වටා ආධාරකරුවෝ පෙළ ගැසෙති. දිනන බව පෙනෙන අපේකෂකයන් වටා යහමින් ද, අනෙක් පිරිස වටා ඥාතීන් හා හිතවතුන් ද පෙළ ගැසෙති. සෑහෙන මුදල් ප‍්‍රමාණයක් එකතු කෙරේ. අපේක්ෂකයෝ දින වෙන් කර විශේෂ හමුවීම් අතුරතුර මුදල් පාර්සල් භාර ගන්නා බව රහස්‍ය තොරතුරකි. සමහර ආධාරකරුවෝ ප‍්‍රධාන අපේක්ෂකයෝ දෙතුන් දෙනාටම මුදල් පොදි බෙදති. 

මෙරට නීතිය අනුව මැතිවරණ වියහියදම් ප‍්‍රකාශයට පත් කළ යුතු නැත. ප‍්‍රධාන දේශපාලන පක්ෂ වාර්ෂිකව අයවැය ප‍්‍රකාශ කළ යුතුය. පක්ෂ හා නිලධාරීන්ට වාර්ෂිකව වත්කම් හෙළි කිරීමට බලකර ඇත. නමුත් ඒවා කෙරෙන්නේ බොහොම සුළුවෙන් බව සඳහන් කළ යුතුය. එයට හේතුවක් තිබේ. දේශපාලනයේ දී වියදම් කරන ධනය නීත්‍යානුකූලව උපයා ගත් ඒවා නොවේ. කළු සල්ලි යනුවෙන් ප‍්‍රකටය. උපයාගත් ආකාරය අනාවරණයකළ නොහැකි මෙම මුදල් මැතිවරණවල දී අත දිග හැර වියදම් කරන අතර ආණ්ඩුවක් බලයට පත් වූ පසු ඒවායේ ප‍්‍රතිලාභ උපයා ගැනීම සිදුවෙයි. එය ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ක‍්‍රමය තුළ පවතින කුප‍්‍රකට තත්ත්වයක් බව දැක්විය යුතුය.

මැතිවරණ කොමිසමේ තොරතුරුවලට අනුව 2019 ජනාධිපතිවරණය මෙහෙයැවීම සඳහා රුපියල් මිලියන 45,000 ක් වෙන් කර තිබුණි. අපේක්ෂකයන් ගණන ඉහළ යෑම හේතුවෙන් එම පිරිවැය තවත් වැඩි වනු ඇතැයි සැලකේ. කලින් සුළුවෙන් මුද්‍රණය කළ හැකි යැයි සිතා සිටි ඡන්ද පත‍්‍රිකාව දැන් අඩි දෙකකට වඩා දිග වී තිබේ. ඒවා බහාලන ඡන්ද පෙට්ටි අලුතින් පිටරටින් ආනයනය කරන්නට සිදුවී ඇත. අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය දෙගුණ තෙගුණ වී ඇති පසුබිමක තවත් රජයේ වියදම ඉහළ යෑම වැළැක්විය නොහැකිය. මහජනතාවගෙන් අය කරගන්නා බදු වලින් ඡන්දවලට වෙන් කරන්නට සිදුවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අන්තිම නරක තැනකට පක්ව මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 2.7 ක් වනු ඇතැයි පුරෝකථනය වී තිබිය දී රාජ්‍ය ආදායම තවත් පහත වැටෙනු නිසැකය. එවැනි පසුබිමක දී ආණ්ඩුවේ මෙම ඡන්ද පිරිවැය ඉදිරි කාලයේ දී ජනතාව මත පටවන අලුත් බදුවලින් පියවා ගනු නිසැකය.

ජනාධිපතිවරණය සමඟ බිහිවන ඡන්ද ආර්ථිකය අද පවතින කඩා වැටුණ තත්ත්වයට උත්තරයක් වීමට ද ඉඩ තිබේ. අසීමිත ආර්ථික ගැටලු මැදි වර්ධන වේගය අඩාල වී තිබේ. ආර්ථිකයේ සක‍්‍රීය බව සීමිතය. එවැනි අවස්ථාවක පෝස්ටර් මුද‍්‍රණය, ඒවා ඇලවීම, පුවත් පත්, ගුවන් විදුලි හා ටෙලිවිෂන් දැන්වීම් නිර්මාණය කිරීම හා පළ කිරීම, රුස්වීම් සංවිධානය කිරීම යනා දී වශයෙන් සෑම අංශයකටම ධනය අලුත් උත්පාදනයක් විය හැකිය. ඡන්ද රැස්වීමක් පවතින අවස්ථාවකට බත් පාර්සල් බෙදීම පවා අලුත් ආදායම් මාර්ගයකි. ඉදිරි දින තිස් තුනක පමණ කාලය තුළ එය හොඳ වාතාවරණයකි. එයින් පසු මහ මැතිවරණයක්, පළාත් සභා මැතිවරණයක් පැවැතිවෙනු බව සැකයක් නැත. ඡන්දය වෙනුවෙන් සෑහෙන මුදලක් වැය කරන නමුත් එයින් නව ආර්ථිකයක් පෝෂණය විය හැකි බව පෙන්නුම් කරයි. 

මුලින් සඳහන් කරන ලද පරිදි ඡන්දයක දී විසි කරන්නේ කළු සල්ලි බව නැවතත් මතක් කළ යුතුය. මේවා ලැබෙන්නේ කොතැනින්ද? ඒවා විහිදෙන්නේ කෙසේ ද යන්න ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇක්ෂන් කමිටුව 1998 වසරේ පැරිසියේ දී මුදල් විශුද්ධිකරණය සහ ජාත්‍යන්තරය ලෝකයේ රටවල් මුහුණ දී ඇති අනතුර ගැන හෙළිදරව්වක් කර තිබේ. එයට අනුව දළ වශයෙන් 1996 ඉලක්කම් මත පිහිටා අමෙරිකානු ඩොලර් බිලියන 600 ක් හෝ එයට වැඩි එනම් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක ධනයක් අවුරුදු පතා විශුද්ධිකරණය වන බව අනාවරණය කළේය. එයින් කියන්නේ අද වනවිට මෙම කළු සල්ලි ප‍්‍රමාණය එයටත් වඩා අති විශාල එකක් බවය. මෙම ව්‍යුහය කිසිසේත් ලෝකයේ කිසිම බලවතෙකුට පාලනය කරන්නට හැකියාවක් ලැබී නැත. එය දැනට ලෝකයේ සිදුවන ව්‍යාපාර අතරින් විශාලතම මුල්‍ය වටිනාකමින් තුන්වැනි තැන ගන්නා ව්‍යාපාරය බවට පත්ව ඇත.

අද වනවිට මෙරට ආර්ථිකය බලවේග අතරින් ප‍්‍රබලම ඒකකය මැදපෙරදිග ඇතුළු විදේශ රැකියාවලින් රටට එන ආදායමයි. රටට එහි ආදායම පෙනෙන්නට තිබේ. සංචාරක කර්මාන්තයෙන්, කෘෂි භෝග අපනයනයෙන් ධනයක් උපයයි. එම ධනය උපයන ව්‍යවසාය හරහා රට තුළ ධනෝත්පාදනයක් සහ රැකියා උත්පාදනයක් සිදුවෙයි. ඒවා ආර්ථික දත්ත වශයෙන් බැංකු වාර්තාවල සඳහන් වේ. ඒවා ගැනෙන්නේ සුදු ආර්ථිකයක් හැටියටය. ආර්ථිකයට නොගැනෙන ප‍්‍රමාණය කළු ආර්ථිකය වශයෙන් සැලකෙයි. එය කොපමණ එකක් දැයි සලකා බලන්නට රටට අවස්ථාවක් නැත. මත්ද්‍රව්‍ය. ත‍්‍රස්තවාදය හා අවි ආයුධ වෙළෙඳාම, මිනිස් ජාවාරම් වලින් කළු ධනය උපයන බව අනාවරණය වෙයි. මේවා හොයා බලා මුදල් හුවමාරැ වීම නතර කරන තද නීති පනවා ඇතත් දිනපතා සිදුවන මෙම ගනුදෙනු ප‍්‍රමාණය නොදනිති. ශ‍්‍රී ලංකාව කළු සල්ලි ගැන නිවැරදිව පරීක්ෂණ කරන්නේ කෙසේද? ජනාධිපතිවරණය මෙම කළු සල්ලි විසි කෙරෙන අවස්ථාවකි. එය සමහරවිට රටට යහපතක් වීමට ද ඉඩ තිබේ.

ගාමිණී සරත් ගොඩකන්ද

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30