2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ඩොලර් කෝටි 7ක් පිල්ලි යැවූ බෙලිඅත්ත කෝච්චි පාර

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 76

දූෂණය අල්ලස වූ කලී ලාංකික සමාජ දේශපාලන ව්‍යූහයට වැළඳී ඇති මාරාන්තික පිළිකාවකි. එහි අක්මුල් සොයා ප්‍රතිකර්මයක් සෙවීම කෙසේ වෙතත් එය පැතිරී ගිය තවත් ඉසව් පිළිබඳව හෙළිදරව් කිරීමට අපි උත්සුක වෙමු. විමර්ශන සහ ප්‍රතිකාර වෙදැදුරන්ට බාරය. මේ හෙළිදරව්ව පසුගියදා විවෘත වූ දක්ෂිණ දුම්රිය මාර්ගය සහ යෝජිත එහි දෙවැනි අදියර පිළිබඳවයි.

මාතර සිට කතරගම දක්වා ඉදිවන දුම්රිය මාර්ගයේ පළමු අදියර වූයේ මාතර බෙලිඅත්ත කොටසයි. කිලෝමීටර් විසි හතක් වන මෙම කොටසේ කොන්ත්‍රාත්තුව සිදුකරනු ලැබුවේ චීන සමාගම් වන චයිනා මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කම්පැණි (CMC) නම් ආයතන විසිනි. මෙහි කොන්ත්‍රාත් වටිනාකම ඩොලර් මිලියන දෙසිය හැත්තෑ අටකි. (278) මේ සඳහා ණය ගනුදෙනු ලබා දෙනු ලැබුවේ චීනයේම එක්සිම් බැංකුවෙනි. මේ සඳහා වන ත්‍රෛපාර්ශ්වික ගිවිසුම ශ්‍රී ලංකා රජය එළඹියේ 2010 වර්ෂයේදීය. මෙහිදී පළමුව ඇති වූ ගැටලුව නම් CMC ආයතනයේ සුදුසුකම් පිළිබඳ ගැටලුවයි.

අපට දැනගන්නට ලැබුණ පරිදි මීට පෙරදී මෙම ආයතන දුම්රිය මාර්ග ඉදිකිරීම් සිදුකර නැත. ඔවුන් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ චීන සමාගමකි. කෙසේ වෙතත් ණය ආධාර රැගෙන පැමිණි මෙම සමාගමට අදාළ ව්‍යාපෘතිය හිමිව තිබේ. නමුත් සුදුසුකම් ගැටලු ගිවිසුම් ගතවන මුල් අවස්ථාවේදීම මතුව ඇත. මෙහිදී ගිවිසුම් ගතවීමට පූර්ව කටයුතු දෙස අප එකින් එක අවධානය යොමුකළ යුතුය.

පළමුව ශක්‍යතා වාර්තාව පෙන්වා චීන එක්සිම් බැංකුවෙන් ව්‍යාපෘතිය ණය අනුමත කරගැනීමේදී මෙම සමාගමේ ක්‍රියාකලාපය ගැටලු සහගතය. මොරටුව විශ්වවිද්‍යාල සහ කොරියානු සමාගමක් විසින් කලකට ඉහතදී කරන ලද ශක්‍යතා අධ්‍යයනයක් උපයෝගී කරගෙන ඔවුන් අදාළ වාර්තාව සකසා ඇති බව කියැවේ. එය සත්‍යයක් නම් CMC ව්‍යාපෘතිය වෙනුවෙන් නිසි ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නැත. එසේම ඔවුන් විසින් මෙම මාර්ගය ඉදිකිරීමට අදාළ සැලසුම නිර්මාණය කරගැනීම තවත් චීන සමාගමක් යොදාගෙන තිබේ. කෙසේ වෙතත් එම සමාගමද චීනයේ දුම්රිය මාර්ග සැලසුම් කිරීමේ ප්‍රවීණතාවය අතින් ඉහළින් සිටි සමාගමක් නොවන බව දැනගන්නට ලැබුණි. එසේ නමුත් අවසානයේ කටයුතු සියල්ල සම්පූර්ණ කොටගෙන ගිවිසුම් ගතවීමට සූදානම් වීමේදී මුදල් අමාත්‍යාංශය පූර්ව ව්‍යාපෘති සුදුසුකම් පිළිබඳ CMC සමාගමෙන් ප්‍රශ්න කර තිබේ. ඒ හරහා මෙම සමාගම බලාපොරොත්තු නොවූ ගැටලුවකට මුහුණදීමට සිදුව ඇත.

පළමු සුදුසුකම් නොමැති බව ඔවුන් විසින් පිළිගෙන තිබේ. නමුත් නව උපායක් CMC ය භාවිතා කළේය. ඒ අනුව මෙම සමාගම චීනයේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ ප්‍රමුඛම සමාගම වන චයිනා රේල්වේ නම් සමාගමේ නො.05 ඒකකයත් සමඟ ද්විපාර්ශ්විකව ගිවිසුමකට එළඹීමය. එම ගිවිසුම හේතුවෙන් චයිනා රේල්වේ සතු සුදුසුකම් ලංකා රජයට ගෙනහැර පෑමට CMC ආයතනයට හැකි වී තිබේ. එම සුදුසුකම් පරීක්ෂාවෙන් පසු පළමු එකඟතාව ගොඩනැගී ඇත්තේ ඉහත සමාගම් දෙකම සමඟ ශ්‍රී ලංකා රජය ගිවිසුම් ගතවීමටයි. නමුත් අදාළ ගිවිසුමට චයිනා රේල්වේ නිසි පරිදි ඇතුළත් කොටගෙන නැත. එසේ වූයේ කෙසේද යන්න ගැටලු සහගතය. අවසානයේ සිදුව ඇත්තේ උප කොන්ත්‍රාත්තුව CMC ය විසින් චයිනා රේල්වේ නො.05 වෙත ලබාදීමයි.

මේ අනුව කොන්ත්‍රාත්තුවේ හිමිකරු සැබෑ ඉදිකරන්නා නොවන බව පැහැදිලි වේ. මෙහිදී CMC ය සම්පූර්ණ කොන්ත්‍රාත්තුවෙන්, ඩොලර් මිලියන 278න් සියයට විසි අටක් පමණ තමන්ගේ ලාබය ලෙස තබාගත් බව කියැවේ. ඉදිරියේදී කෙරෙන විමර්ශනයකින් එහි සත්‍යතාව තහවුරු කරගතහොත් ඇමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑවක් පමණ නිකරැණේ ලක් රජයට අහිමිවූ බව අනාවරණය වනු ඇත.

මෙම ව්‍යාපෘතිය සිදුකිරීමේ වගකීම නාමික CMC ය දැරැවත් ඉදිකිරීම් සිදුකළේ චයිනා රේල්වේ නො.05 ඒකකය විසිනි. මීළඟට අප අවධානය යොමු කරන්නේ ඉදිකිරීම් අතරේ ඇතිවූ ගැටලුවක් සම්බන්ධයෙනි. මෙහි සැලසුම නිර්මාණය කර තිබුණේ පෙරකී පරිදි වෙනත් චීන සමාගමකි. එය ලංකාවේ සැබෑ අවශ්‍යතාව හඳුනාගෙන කරන ලද්දක් නොවීය. ඇතැම් දුම්රිය ස්ථාන අනවශ්‍ය තරම් විශාල විය. තවත් තැනක ලංකාවේ පාරිසරික තත්ත්වයන් පිළිබඳ අනවබෝධයෙන් මෙම සැලසුම් නිර්මාණය කර තිබූ බව පෙනෙන්නට තිබුණි. මෙහිදී ශක්‍යතා වාර්තාවේ ගැටලුද සිහිවේ. අනූව දශකයේ මුල පටන් පැවැති මාතර කතරගම දුම්රිය මාර්ග සංකල්පයේ පූර්ව අවශ්‍යතාවන්ට අනුව බොහෝ කලකට ඉහතදී මෙහි ඇතැම් වාර්තා සකස්කොට තිබූ බව කියැවිණි.

මෙම ව්‍යාපෘතිය වසර පහක් නිමාවේදී 2016 අගෝස්තු පමණ වනවිට අවසන් කළයුතුව තිබිණි. එයද නිසි පරිදි සිදු නොවීය. ව්‍යාපෘතිය කළමනාකරණයේදී ඇතිවූ ගැටලු නිසා කාලය දීර්ඝ විය. නමුත් ඒ වෙනුවෙන් ලංකා රජයට ගත හැකි පියවරක් අදාළ ගිවිසුමේ තිබුණේ දැයි ගැටලු සහගතය. පමා වූ වසර දෙකහමාරක කාලය තුළ ණය සඳහා පොලිය ගෙවීමට රජයට සිදුවිය. ඒ කිසිදු ආදායමක් නොලබාමය. අද වනවිට මෙම සමස්ත සිදුවීම් පෙළ නිමාව දැක තිබේ. මාතර බෙලිඅත්ත දක්වා දුම්රිය ගමන් කරයි. පෙනෙන්නට අඩුපාඩු නැත. සියල්ල සාමකාමීය. මෙය හෙළිදරව් කරන මොහොත දක්වා කිසිවකුගේ අවධානය මීට යොමුවී නැත. එහෙත් ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් දියත් වී තිබේ. එයට අද ඇත්තේ අඳුරැ කතාවකි. මීළඟට

අප හෙළිදරව් කරනුයේ එයයි.

දෙවැනි අදියර සඳහා චයිනා මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කම්පැණි (CMC) ආයතනයට කොන්ත්‍රාත්තුව ලබාදීමට බලධාරීන් උත්සුක වන බවට තොරතුරු ලැබී ඇත. අප පෙර දැක්වූ ගැටලු කිසිවක් බරපතළ ලෙස නොගෙන සිදුවෙමින් පවතින ඇතැම් දෑ අතිශය ගැටලු සහගතය. ශක්‍යතා වාර්තාව පිළිබඳ අර්බුදය මෙහිදී නැවතත් මතුවේ. දෙවැනි අදියරේ ශක්‍යතා වාර්තාව සඳහා පළමු අදියරේදීම මුදල් වෙන්කර තිබුනත් ඒවා මේ වනවිට වැය වී ඇති බවත් කියැවේ. එවන් තත්ත්වයක් මත CMC ය මුදල් අය නොකොට ලංකා රජයට ශක්‍යතා අධ්‍යයන කරදීමට සූදානම් වන බව අසන්නට ලැබේ. ඒ කෙසේ නමුත් එම වාර්තාවද මොරටු සරසවි සහ කොරියානු වාර්තා පදනම් කරගෙන කරනු ලබන එකක් විය හැකිය. මන්ද ක්ෂේත්‍රයෙන් දැන ගන්නට ලැබෙන පරිදි නිසි ශක්‍යතා අධ්‍යනයක් කිරීමට වසරක් පමණ වේ. මේ අතර රජය විසින් ගෙන එන්නට යන කැබිනට් පත්‍රිකාවකට අනුව ශක්‍යතා අධ්‍යයන සිදුකරනු ලබන ආයතනයටම කොන්ත්‍රාත්තුවත් පිරිනැමෙන බවද කියැවේ. සිදුවෙමින් පවතින සියල්ල එකින් එකට බැඳී ඇති බව පෙනෙන්නේ මෙවිටය. කාට හෝ CMC යටම කොන්ත්‍රාත්තුව ලබාදීමේ වුවමනාවක් ඇති සෙයකි.

දෙවැනි අදියරට ඩොලර් මිලියන පන්සීයක් පමණ වැය වෙතැයි අපේක්ෂා කෙරේ. යම් හෙයකින් නැවත ව්‍යාපෘති කළමනාකරුගේ භූමිකාව සමග පැමිණෙන මෙම සමාගම සීයයට තිහක ලාබයක් තබා ගතහොත් ඩොලර් මිලියන එකසිය පනහක් ලංකා රජයට අහිමි වෙතැයි අපට සිතිය හැකිය. කෙසේ නමුත් මෙතැනදී මතුවී ඇති තවත් තර්කයක් නම් පළමු ගිවිසුමට අනුව ශක්‍යතා අධ්‍යනය මෙම ආයතනටම දියයුතු වීමයි. කෙසේ වෙතත් කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන්ද යම් ගැටලු මතුව තිබේ. මුදල් අමාත්‍යාංශය පළමු අදියරේ මෙම ගනුදෙනුව ප්‍රතික්ෂේප කළ බවත් නැවත නොමිලේ ශක්‍යතා වාර්තාවක් කිරීමේ යෝජනාවක් මතුවූයේ. ඊටපසුව බවත් අසන්නට ලැබුණි. තවද දෙවැනි කැබිනට් පත්‍රිකාවේ චීන තානාපති කාර්යාලයෙන් මෙම ආයතනයට අදාළ ව්‍යාපෘතිය කිරීමට අනුමැතිය නිර්දේශ ලබාදී ඇති බවද සඳහන්ව තිබේ. නමුත් චීන තානාපති කාර්යාලය නිකුත් කර ඇත්තේ එවන් නිර්දේශ නොව ආයතනය නිත්‍යානුකූලව මෙම ව්‍යාපෘතිය ලබාගතහොත් අදාළ ව්‍යාපෘතිය කිරීමට සමාගමට හැකි බව දැක්වෙන ලිපියකි. මෙසේ අප වෙත ළඟාවී ඇති තොරතුරු සත්‍යය නම් ඇතිවෙමින් පවතින තත්ත්වය ඉතා බරපතළය.

මේ සියල්ල අතරේ පළමු අදියරේ උප කොන්ත්‍රාත්තුව කළ චයිනා රේල්වේ සමාගම ඇතුළු තවත් සමාගම් දෙකක් ශක්‍යතා වර්තාව නොමිලේ කිරීම තමන් කැමති බව අමාත්‍යාංශය දන්වා තිබේ. එයින් පසු මිල ගණන් සහ සුදුසුකම් සසඳා දෙවැනි අදියර සුදුසු ආයතයක් වෙත ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත. නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් බලධාරීන් ලබාදී නැති බව කියැවේ. එහිදී ශක්‍යතා වාර්තාවේ ලබාදීමේ කාල පරාසය CMC වෙත අවශ්‍ය පරිදි කෙටි කොට සකසා ලංකා රජයේ අවශ්‍යතාව ලෙස දැක්වීමේ උත්සාහය පිළිබඳවද චෝදනා මතුවෙමින් තිබේ.

කෙසේ වෙතත් මෙම අර්බුදය පිළිබඳ විමර්ශනයක අවශ්‍යතාව අවසාන වශයෙන් අප පැහැදිලි කළ යුතුය. මේ සම්බන්ධ විමසීම අමාත්‍යාංශය ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළ බවද අවසාන වශයෙන් සටහන් කළ යුතුය. එහිදී මාතර ව්‍යාපෘතිය සම්බන්ධීකරණ කාර්යාලයේ දුරකථන අංකය අප වෙත ලැබුණමුත් ඔවුන් මේ සම්බන්ධ කරුණු දැනුවත් වී සිටියේ නැත. අමාත්‍යාංශයට සහ බලධාරීන්ට මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් වෙතොත් එයට අපි ගරැකරමු. නමුත් පුළුල්ව සිතා බැලිය යුතු ස්වාධීන විමර්ශන කටයුතුවල අකටයුත්තක් මේ සිදුවීම් පෙළ පසුපස ඇති බව දැනට ලැබී ඇති තොරතුරැ මත පෙනී යයි. අල්ලස් දූෂණ සහ අතපසු කිරීම් මත බිලියන ගණනින් රට අහිමි වන්නේ මහජන බදු මුදල් බව අමතක කළ යුතු නැත.

 චමිඳු නිසල් ද සිල්වා