2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

නඩුවෙන් රත්වුණු සතියක්

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 236

ජනාධිපතිවරණය සම්බන්ධ තවත් තීරණාත්මක සතියක් අවසන් විය. අප මේ සතියේ සිදුවූ සිදුවීම්වල දේශපාලන බලපෑම් විමසා බැලිය යුතුවේ. පසුගිය සතියේ සමස්ත අවධානය එජාපය දිනාගත් අයුරින් වැඩි අවධානයක් මෙවර පොහොට්ටුව වෙත යොමුවිය.

සතිය ආරම්භයේ ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂක ලෙස හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා නම් කිරීම ඉතා සුවිශේෂී පුවතක් විය. සමාජ මාධ්‍ය ඔස්සේ අනපේක්ෂිත ප්‍රතිචාරයක් හිටපු හමුදාපතිවරයාට ලැබීම හරහා බලපෑමට ලක්වූයේ පොහොට්ටුව සහ ජනතා විමුක්ති පෙරමුණය. අප කළ අධ්‍යයනය අනුව මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේදී වෙනසක් අපේක්ෂාවෙන් ඡන්දය ලබාදී පසුව කලකිරීමට ලක්වූ තරැණ ඡන්දදායකයන් මෙම පාර්ශව වෙත ආකර්ෂණය වන බවක් පෙනේ. එම ඡන්ද පොහොට්ටුව සහ ජවිපෙය තමන් වෙත ආකර්ෂණය කර ගැනීම බලාපොරොත්තුවෙන් සිටි බව ඉතා පැහැදිලිය.

ජාතික ජනතා බලවේගය ලෙස ජවිපෙ ජනාධිපතිවරණට පැමිණියේද එම අරමුණ පෙරදැරිවය. නමුත් ඔවුන්ගේ අපේක්ෂකයා නම් කිරීමේදී ඇතිවූ අර්බුදයක ප්‍රතිඵලයක් ලෙස විකල්ප බලවේගයක් ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් බිඳී ගියේය. ජාතික ජනතා ව්‍යාපාර නමින් ගොඩනැගෙන්නේ එම බලවේගයයි. සිංහල ඡන්ද දෙකට කැඩීමේ උපායක් එන්.ජී.ඕ. හවුල් ලෙසින් මෙම ව්‍යාපාර ආරම්භයේදීම චෝදනාවට ලක්විය. සමාජ ජාල තුළ මෙය ප්‍රබල ගැටුමක් බවට පත්වූ අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙය මගහැර ගියේය. නමුත් සතිය ආරම්භයේදී ඉතා ප්‍රබල නැගුණද ඔවුන්ගේ හඬ සතිය මැද මතුවූ දේශපාලන කරුණු නිසාවෙන් බිඳී ගියේය.

ගෝඨාභය පුරවැසිභාවය අභියෝගයන්ට ලක්කිරීම නම් සංවාදය මේ සතියේ ඉතා ප්‍රබල නැගුණු සංවාද විය. ගෝඨාභය රාජපක්ෂ, ගාමිණී වියන්ගොඩ, චන්ද්‍රගුප්ත තේනුවර යන අය විසින් අභියාචනාධිකරණය ගොනුකරන ලද මෙම පෙත්සමක් හරහා ඇති වූ දේශපාලන බලපෑම මෙම ජනාධිපතිවරණයේ තීරණාත්මක සංධිස්ථානයකි. සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වය එජාපය ප්‍රමුඛ බලවේගය සමඟ සමීව ගනුදෙනු කිරීමේ එක්තරා වාසියක් ලෙස මෙය අපට ගෙනහැර දැක්විය හැකිය. නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මෙම පෙත්සම් විභාගයේදී සුවිශේෂී විය.

මෙම මැතිවරණ ක්‍රියාවලිය සමගාමීව නීතිය නැවීම නම් වූ නීතිපති දෙපාර්තමේන්තුවේ අර්බුදය මෙහිදී යම් බලපෑමක් කළ බව ඇතැම් විචාරවලදී පෙනෙන්නට තිබුණි. කෙසේ නමුත් මෙම ක්‍රියාවලියේ පොහොට්ටුවේ බිම් මට්ටම කෙරෙහි එල්ල කළ බලපෑම යහපත් නොවීය. මේ අතර අර්බුදයක් ඇති වී ගෝඨාභය රාජපක්ෂහට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නොහැකි වුවහොත් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සංවාද ජාතික මට්ටම තුළත් බිම් මට්ටම තුළත් දක්නට ලැබුණි. කුමාර සංගක්කාර වැනි අයගේ නම් පවා කට කතා අතර විය. කෙසේ නමුත් ජාතික මට්ටමේ එකඟතාව චමල් රාජපක්ෂ හට විය.

පොහොට්ටුව ලකුණේ අර්බුදය සහ සජිත් ජනාධිපති සාකච්ඡා පිළිබඳවද දේශපාලන උණුසුමක් ඇතිවන බව පෙනිණි. නමුත් සජිත් රනිල් සාකච්ඡා එකඟතාවක් නොවීය. පොහොට්ටුව ලකුණේ අර්බුදය ප්‍රබල වූ අතර පොහොට්ටුවේ යම් නම්‍යශීලී බවක් පෙන්නට පටන්ගත් අතරේම ගෝඨාභය නඩුව සම්බන්ධ අර්බුදය මතුවූයෙන් එම සංවාද යට ගියේය. කුමාර වෙල්ගම ජනාධිපතිවරණයට එන පුවත ප්‍රචලිත වුවද ඔහු ඇප තැම්පත් කරන බවක් සතිය පුරා පෙන්නට නොතිබිණි.

මේ සියල්ල අතරේ එක්සත් ජාතික පක්ෂ මහ සමුළුව යම් අවධානයක් දිනා ගත්තේය. පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා හටත් අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස හටත් ස්ථීර වූ මෙම සමුළුවේදී හේමා ප්‍රේමදාස වේදිකාවට කැඳවීම රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව කාගෙත් අවධානය දිනා ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ සංවිධානය කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ කටයුතුවල නිරතව සිටින බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් මෙම සතිය අර්බුදය රුසක් සපිරි තීරණාත්මක සතියක්ම විය.

සතියේ පත්තුව 

ගෝඨාගේ නඩුව

ඔන්න මේ සතියේ පත්තු වුණේ ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන කතාව. වැඩේ පත්තු කරේ ඕං ගාමිණී වියන්ගොඩ මහත්තයායි චන්ද්‍රගුප්ත තේනුවර මහත්තයායි. එකම අලකලංචියක් තමා සිද්ධ වුණේ. පොහොට්ටුව කට්ටියට හීන්දාඩිය දැම්මා. ඒ අතර සමහරැ දෙස් දෙවොල් තිබ්බා. වැඩේ කියන්නේ උසාවියට පෙත්සම දාන්න කලින්ම සුවපති ඇමතිතුමා මෙන්න මෙහෙම දෙයක් හෙට වෙනවා කියලා කිව්වානේ. පොහොට්ටුවේ කට්ටියේ ඔන්න ඕක අල්ලගෙන තමා වැඩිපුර නැටුවේ.‍

ඒ අතරේ බුකියේ අමුතු අමුතු කතා පැතුරුණා. ගෝඨාභය නැත්නම් චමල්ට තමයි දෙන්නේ කියලා කට්ටියක් කියනකොට කොහෙවත් හිටපු සංගක්කාරවත් මේකට සමහරු ගාවගත්තා. ආරංචි විදිහට පොහොට්ටුවේ ලොක්කොත් ටිකක් විතර කලබල වෙලා රුස් වුණා. සාකච්ඡා කළා. වැඩේ කියන්නේ මේවා මෙහෙම වෙද්දී හිටපු හමුදාපති මහතැනගේ පැත්තට කට්ටිය ටික දෙනෙක් කතාකරනවා සෝෂල් මීඩියාවල.

මේ අතර ඔය නඩුව දාපු තේනුවර මහත්තයාගේ මලයා ප්‍රසිද්ධ ජයාරෑප ශිල්පියෙක්නේ. එයා බුකියේ පෝස්ට් එකක් දාලා අයියා දේශපාලන ඉත්තෙක් වෙලා කියලා. ඒ අතර අර්ජුන් මහේන්ද්‍රන් ගැනත් කට්ටියට මතක් වෙලා. එයා සිංගප්පූරුවෙ පුරවැසියෙක්නේ. හැබැයි නඩුවේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ෆයිල් වගයක් නැතිවුණ කතාවකුත් ඇදුණා. ඔක්කොම එකට දිගට පත්තු වුණේ රතිඤ්ඤා වැලක් වගේ. හැබැයි කාල බෝම්බේ පත්තු වුණේ ගිය සතිෙය්. ඒ්ත් අන්තිෙම්දී මේ සිකුරාදා මේ නඩුව විභාගයට ෙනාෙගන වීසී කරන්න අැපැල් උසාවිය තීන්දු කළා. ගෝඨා ඡන්දෙට සළුවුණා.

ජනපතිවරණ ඩයරිය

ඉරිදා (29)

මහින්ද, ගෝඨාභය සහ බැසිල්ට, මෛත්‍රී ජනපති තමන්ගේ ස්ථාවරය දැනුම් දුන්නා. ගෝඨාභයට ඡන්දේ දෙන්න අපිට පුළුවන් වුණත් පොහොට්ටුව ලකුණුට ඡන්දේ දෙන්න අපිට බෑ. ඔන්න ඔහොමයි ජනාධිපතිතුමා කිව්වේ. ඔන්න හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකත් ජනපති සටනට ආවා.

සඳුදා (30)

ගෝඨාභයගේ ශ්‍රී ලංකික පුරවැසිභාවය පිළිගන්න එපා! අභියාචනාධිකරණය පෙත්සමක් ආවා. වැඩේ ටිකක් පත්තුවෙලා කට්ටියක් තක්කු මුක්කු වෙලා. තව අය පුදුම සතුටින්. හිටපු හමුදාපති තමා අනික් ලොකුම මාතෘකාව. මුහුණු පොතේ සිංහල ඡන්ද කැඩෙන කතාවකට කට්ටිය ගහ මරා ගන්නවා ඔන්න.

අඟහරුවාදා (01)

ජනාධිපතියි අපේක්ෂක සජිතුයි අද රෑ සාකච්ඡාවක. ඒක ටිකක් අමුතු වැඩක්. එයාලා නම් කියන්නේ රටේ තත්ත්වය ගැන කතාව කියලා. ගෝඨාභයගේ නඩු කතාවයි පාස්පෝට් කතාවයි නැගලා යනවා. අදත් නඩුව නම් කල් දැම්මා. ගෝඨාභයට ඡන්දේට එන්න බැරිවෙයිද කියලා ඔන්න සමහරැ අහනවා.

බදාදා (02)

ගෝඨාභය ද්විත්ව පුරවැසි ලේඛනවලට හිටපු ජනාධිපති අත්සන් කෙරුවේ විධායක බලතලවලට අනුව කියලා නීතිපති දෙපාර්තමේන්තුවට උසාවිය කිව්වා. ආ ඊයේ සජිත් - ජනපති සාකච්ඡා එකඟතාවකින් තොරව ඉවරවුණා කියලා තමයි කියන්නේ. සාකච්ඡා මහ රෑ වෙනකල් තිබ්බත් කවුරැත් මාධ්‍යයට මුකුත් කීවේ නෑ.

බ්‍රහස්පතින්දා (03)

සජිත්ගේ අපේක්ෂකත්වය එජාප මහ සමුළුවේදී තහවුරැ වුණා. ගෝඨාභයට රට යන්න පාස්පෝට් එක ලැබුණා. ජනාධිපතිවරණය ගැසට් එක අවලංගු කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ආවා ගාල්ලේ හිටපු නගරාධිපතිගෙන්. සිදුවීම් බහුල දවසක්... හැම පැත්තම රත්වෙලා.

සිකුරාදා (04)

ජනාධිපතිවරණයට එරෙහිව ගොනුකරලා තිබුණු ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නම් ප්‍රතික්ෂේප වුණා. පොහොට්ටු ලකුණෙ අර්බුදය විසඳන්න ආයෙත් ජනපති බැසිල් හෙට හම්බවෙනවාලු. අද චමල් රාජපක්ෂත් ඇප බැන්දා. ලොකුම කතාව තමයි ගෝඨාභයගේ අපේක්ෂකත්වය පිළිබඳව තීරණාත්මක නඩු තීන්දුව අද රෑට. 

ඇල්පිටියේ සටන

ඇල්පිටිය උණුසුම එන්න එන්නම වැඩි වී ඇත. මැතිවරණ නීති උල්ලංඝනය සම්බන්ධ සිදුවීම් 15ක් පමණද වාර්තා වී තිබේ. මේ අතර ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙක් වැඩිහිටියන් පිරිසක් රුගෙන චාරිකාවක් යාමට සැරසීම තුළින් මැතිවරණ නීති උල්ලංඝනය වීම පිළිබඳ කාගේත් අවධානය දිනා ගත්තේය. ඇල්පිටියේ ජයග්‍රහණය ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇතැයි මත පළවීම මෙම උණුසුම ඉහළ යාමට හේතුවයි. ජාතික මට්ටමේ දේශපාලනඥයන් බොහෝ දෙනෙක් අවසන් අදියරේදී ඇල්පිටිය මැතිවරණය මෙහෙයවීම වෙනුවෙන් සෘජුව මැදිහත් වී ඇති බව වාර්තා වෙයි.

ගණන් පාඩම

2018 ජන්ද හිමි නාමලේඛනය අනුව මෙවර ලියාපදිංචි සංඛ්‍යාව 15,992,096 කි. අප එය ආසන්න වශයෙන් එක්කෝටි හැට ලක්ෂයක් ලෙස සලකා අද පාඩමට පිවිසෙමු.

2015 ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 81.52 ක් විය. එම නිසා මෙවරද සියයට 80ක් ඡන්ද ප්‍රකාශ කරන බව අප සිතමු. එසේනම් මෙවර එක්කෝටි විසි අට ලක්ෂයක් ඡන්දය ප්‍රකාශයට පත් කරනු ඇත.

පසුගිය 2015 ජනාධිපතිවරණයේදී අවලංගු ජන්ද සංඛ්‍යාව 140,925 ක් විය. එම නිසා එක් ලක්ෂ පනස් දහසක් ඡන්ද මෙවර ප්‍රතික්ෂේප වේ යැයි අපි උපකල්පනය කළහොත් මෙවර වලංගු ජන්ද සංඛ්‍යාව එක්කෝටි විසිහය ලක්ෂ පනස්දහසක් වනු ඇත.
ජනාධිපතිවරණය ජය ගැනීමට නම් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහකුත් එක් ඡන්දයක් ලබා ගතයුතුය. එසේනම් ජනාධිපතිවරණය ජය ගැනීම මෙවර ඡන්ද හැට තුන් ලක්ෂ විසිපන් දහසකුත් එක් ඡන්දයක් ඇවැසි වේ. (63,250,000 + 01)
මතුසම්බන්ධයි

(සුළු පක්ෂ ඡන්ද ගණන් පාඩම ලබන සතියට)

 

Coming Up - next week

නාමයෝජනා භාරදීම - ඔක්තෝබර්  7 සඳුදා

ජනතා විමුක්ති පෙරමුණ පළමු ජනරැලිය තඹුත්තේගම - ඔක්තෝබර් 8 අඟහරුවාදා

පොදුජන පෙරමුණ පළමු රැලිය අනුරාධපුරය - ඔක්තෝබර් 9 බදාදා

එක්සත් ජාතික පක්ෂ පළමු ජනරැලිය ගාලුමුවදොර - ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ - ඔක්තෝබර් 11

 


I  චමිඳු නිසල්

 

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30