
සැප්තැම්බර් පොත් වසන්තය නිමා විය. මෙවර පැවැතියේ 21 වැනි පොත් ප්‍රදර්ශනයයි. ප්‍රකාශන ආයතන 220කට අයත් කුටි 450 ක් පමණ මෙවර පැවතියේය. සාමාන්‍යයෙන් සති අන්තවල හැර සතියේ දිනවල විශාල පිරිසක් පැමිණෙන්නේ නැත. මෙවර පැවැති අහිතකර කාලගුණික තත්ත්වය යටතේ වුවද ප්‍රදර්ශනය පැවැති දින දහය පුරාම විශාල පාඨක පිරිසක් ප්‍රදර්ශනයට පැමිණ සිටියහ. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙවැනි ප්‍රදර්ශනයක් පැවැත්වීමේ අරමුණ අනාගත පරපුර කියවීමට හුරුකිරීමේ පරමාර්ථයෙන් යැයි පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පරිපාලන සහකාර හසිත කොළඹගේ මහතා සඳහන් කරයි. ඔහුට අනුව මෙවර ප්‍රදර්ශනය සඳහා ලක්ෂ අටත් දහයත් අතර පාඨක පිරිසක් පැමිණ සිටියහ.
පොත් කර්මාන්තය දිනෙන් දින වර්ධනය වන කර්මාන්තයකි. මින් 21 වසරකට පෙර පොත් ප්‍රදර්ශනය ආරම්භ කෙරැණු අවස්ථාවේ ඉතා සුළු පොත් ප්‍රකාශකයන් පිරිසකගෙන් ආරම්භ වූ එය මේ වන විට වෙළෙඳ කුටි 450කට අධික ප්‍රමාණයක් දක්වා ව්‍යාප්තව තිබීම ඊට කදිම නිදසුනකි. මෙවර පැවැති ප්‍රදර්ශනය ඔවුන්ට බලපෑවේ කෙබඳු ආකාරයකට ද යන්න පිළිබඳව පොත් ප්‍රකාශකයන් කිහිප දෙනකුගෙන් අපි විමසා බැලුවෙමු. අපට ප්‍රථමයෙන් අදහස් දැක්වූයේ පළමු ප්‍රදර්ශනයේ සිටම එය නියෝජනය කරන මෙරට ඇති පැරණිතම ප්‍රකාශන ආයතනයක් වන දයාවංශ ජයකොඩි සමාගමේ හිමිකරු වන දයාවංශ ජයකොඩි මහතාය.
රටේ ජනතාවට ඇති ආර්ථික ප්‍රශ්න නිසා ගියවර ප්‍රදර්ශනයේ තරම් පොත් අලෙවියක් තමන්ට නොතිබූ බව දයාවංශ ජයකොඩි මහතාගේ අදහසයි. එම සමාගම මෙවර අලුත් කෘති පහක් පමණ නිකුත් කළ අතර ඒ අතරින් වැඩිම අලෙවියක් පැවතියේ ජයකොඩි සෙනෙවිරත්න මහතාගේ කඩුපුල් මල් නවකතාවටය. ඉන් පිටපත් 500ක් පමණ අලෙවි වී තිබිණි.
පසුගිය ප්‍රදර්ශනවලට අප අනුග්‍රහය දැක්වූවත් විශාල වියදමක් ඒ සඳහා දැරීමට සිදුවන හෙයින් මෙවර අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණා. ඒ නිසා මෙවර අපි විශාල කුටියක් ගත්තෙ නැහැ. අනුග්‍රහකත්වය සඳහා වැයවන මුදල උපයා ගැනීම අසීරුයි. මෙවර ආර්ථික වශයෙන් විශාල ප්‍රතිලාභයක් නැහැ. සහභාගීත්වය වැදගත් බැවින් හැම වතාවකම අපි සහභාගී වනවා.
සූරිය ප්‍රකාශන ආයතනය උසස් සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ නමක් දිනූ ආයතනයකි. මෙවර ප්‍රදර්ශනය සඳහා එම ආයතනය අලුත් කෘති 12 ක් ඉදිරිපත් කර තිබිණි. ඒ අතර වූ කත්‍යානා අමරසිංහගේ ධරණි නවකතාවේ පිටපත් 11,000 ක් පමණ අලෙවි විය. කෝමා නමැති පරිවර්තන කෘතියේ නව මුද්‍රණය හා ෆෙඩ්‍රික් ෆෝසයිත්ගේ පොත්වලට වැඩි ඉල්ලුමක් පැවැති බව එම ආයතනයේ අධිපති අතුල ජයකොඩි මහතා පැවසීය. ඒ හැර නමක් දිනූ පරිවර්තකයන්ගේ පරිවර්තන කෘති සඳහා වැඩි ඉල්ලුමක් පැවැති බවද ඔහු සඳහන් කළේය.
පොත් සල්පිලට සහභාගී වන පාඨකයන්ගේ අවධානයට වැඩියෙන්ම යොමුවන ප්‍රදර්ශන කුටි අතර විදර්ශන ප්‍රකාශන ආයතනයට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ ඔවුන් සම්භාව්‍ය නවකතා සහ ලෝක සාහිත්‍යයේ උසස් නිර්මාණ රුසක් සිංහල පාඨකයාට තිළිණ කරන බැවිනි. එහි අධිපති ජනක ඉනිමංකඩ මහතාට අනුව මේ වසරේ එම ආයතනය පොත් 22 ක් පළ කර තිබේ. ඔවුන්ගේ පොත් අතරින් වැඩිම ඉල්ලුමක් තිබුණේ ලියනගේ අමරකීර්තිගේ රතුඉරි අඳින අත නමැති කෘතියටය.
නවක ප්‍රකාශයන් රුසක් ද මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටියහ. පසුගිය කාලයේ තරුණ පිරිස් අතර නමක් දිනූ ප්‍රකාශන ආයතනයක් වූයේ මියුසස් ප්‍රකාශන අයතනයයි. එහි හිමිකරැ කවීෂ නඳුන් කග්ගොඩආරච්චිය. මේ ප්‍රදර්ශනය පිළිබඳ ඔහුගේ අත්දැකීම්ය.
ගියවර ප්‍රදර්ශනයේ දී අප සතුව තිබුණේ පොත් වර්ග කිහිපයක් පමණයි. ඒත් මෙවර අප පොත් 20කට ආසන්න සංඛ්‍යාවක් එළිදැක්වූවා. ඒ අතුරින් වැඩිම අලෙවියක් තිබුණේ 12.12.12 කෘතියට. එයින් පිටපත් 6000 ක් පමණ අලෙවි වුණා. ඇමසෝනියා, ආර්යා, හඬ නිහඬ, බිග් ලිට්ල් ලයිස්, වැනි පොත් ද මුද්‍රණ වාර දෙක බැගින් නිකුත් කළා. ඒවාටත් හොඳ අලෙවියක් තිබුණා. මෙවර ප්‍රදර්ශනය ඉලක්ක කර ගනිමින් අපේ සැලසුමක් තිබුණා. ප්‍රදර්ශන කුටියට 1,39,000 ක් ගෙවා කර්තෘභාග, මුද්‍රණ වියදම් සියල්ල පියවාගෙන එම සැලසුම සාර්ථක කර ගැනීමට අපට හැකි වුණා.
පොත් සඳහා ලබාදෙන වට්ටම 20%කට සීමා කිරීම අසාධාරණ බව බොහෝ පාඨකයෝ ප්‍රකාශ කළහ. සියලුම ප්‍රකාශන ආයතන එකම වට්ටමක් ලබා දිය යුතු බවට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර තිබිණි. එහෙත් පාඨකයන්ගේ අදහස වූයේ මෙය පොත් සල්පිලක් බැවින් වැඩි වට්ටමක් ලබා දිය යුතු බවටය. ඇතැම් ප්‍රකාශකයන් පවසන්නේ සියලු වියදම් වැඩි වී ඇති සමයක 20%ක වට්ටම සාධාරණ බවකි. එහෙත් ඔවුන් පොත් වෙළෙන්දන්ට 35%, 40% වැනි ප්‍රමාණයක වට්ටම් ලබාදෙන හෙයින් අවම වශයෙන් 30%ක්වත් පාඨකයන්ට ලබා දීමෙන් ප්‍රකාශකයන්ට අලාබයක් සිදු නොවන බව පාඨකයෝ පවසති.
ප්‍රභා ප්‍රකාශන ආයතනය පාඨකයන්ට 30% වට්ටමක් ලබා දෙයි. ඒ සම්බන්ධයෙන් එහි අධිපති සේනාරත්න වීරසිංහ මහතා පළ කළේ මෙවැනි අදහසකි. අපට පොත් අලෙවිහලක් නැහැ. අපේ පොත් අලෙවි කරගත හැකි එකම ස්ථානය පොත් සල්පිලයි. ප්‍රභා ප්‍රකාශන සියල්ලටම 30%ක වට්ටමක් ලබාදීමට අප කටයුතු කරනවා. මා ආයතනයක් නඩත්තු නොකරන නිසා පිරිවැය අඩුයි. මෙහි ඇති සියලු පොත් මා විසින් පරිවර්තනය කළ කෘති. ඉතින් අපට කර්තෘභාග ගෙවීමට මුදලක් වෙන් කළ යුතු නැහැ. එය අපට පාඨකයාට දිය හැකියි. නිෂ්පාදන වියදම පියවාගෙන සුළු ලාබයක් යටතේ පොත් අලෙවි කළ හැකියි. එහෙත් මහ පරිමාණ ප්‍රකාශකයන්ට එසේ කිරීම අසීරුයි. ඔවුන්ට මුද්‍රණ වියදම්, ආයතන වියදම්, පඩිනඩි, අර්ථසාධක, ප්‍රවාහන ගාස්තු වැනි වියදම් අධිකයි. යන්න ඔහුගේ මතයයි.
මෙවර පැවැති සියලු සම්මාන උළෙලයන්හි සම්මානයට නිර්දේශ වූ හා සම්මානයට පාත්‍ර වූ වැඩිම කෘති සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ සුරස ප්‍රකාශන ආයතනයයි.. ප්‍රදර්ශනය සහ පොත් අලෙවිය සම්බන්ධයෙන් අප අදහස් විමසා බැලුවේ සුරස ප්‍රකාශන අධිපති ප්‍රේම් දිසානායක මහතාගෙනි.
මේ අවුරුද්දෙත් වෙන වසරවල මෙන්ම පොත්වලට ආදරය කරන පාඨකයන්ගේ සහභාගීත්වය ඉහළින්ම තිබුණා. රටේ පැවැති අනාරක්ෂිත තත්ත්වය නිසා ජනතාව තුළ සැකසංකා තිබියදීත්, කාලගුණික අර්බුදයක් පැවැති තත්ත්වයක් යටතේ වුවත් විශාල පිරිසක් ප්‍රදර්ශනයට සහභාගී වීම සුවිශේෂී සිදුවීමක්. පොත්වල අලෙවිය ද ඉහළ මට්ටමක පැවතුණා. සුරස ප්‍රකාශන ආයතනය මෙවර අලුතින් කෘති 78 ක් ඉදිරිපත් කළා. ඉන් විශාල ප්‍රමාණයක් ස්වර්ණ පුස්තක, රජත පුස්තක, රාජ්‍ය සම්මාන, බෞද්ධ සාහිත්‍ය සම්මාන, ගොඩගේ සම්මාන යන සම්මාන උළෙලයන්හි සම්මානවලට නිර්දේශිත හා සම්මානයට පාත්‍ර වුණා. ඉන් කෘති 12 ක් සම්මානවලට නිර්දේශ වූ අතර 6 ක් ප්‍රධාන ධාරාවේ සම්මාන දිනා ගත්තා. නවකතා සහ පරිවර්තන කෘතිවලට තිබූ ඉල්ලුම ඉහළයි. ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර වූ කපිල කුමාර කාලිංගගේ අදිසි නදිය කෘතියට විශාල ඉල්ලුමක් තිබුණා. එයින් පිටපත් 15,000 ඉක්මවා අලෙවි වුණා. චූලාභය ශාන්ත කුමාරගේ මා, චමින්ද වෙලගෙදරගේ සන්තිපරම් හා පී.බී. ජයසේකරගේ මා ප්‍රතිමා යන කෘතිවලටත් හොඳ ඉල්ලුමක් තිබුණා. එමෙන්ම නවක ලේඛිකාවක වන රන්මිණි ජයකොඩිගේ හඳුනාගත්තොත් ඔබ මා නමැති නවකතාවටත් විශේෂ අවධානයක් හිමිවුණා. රන්ජිත් කුරුප්පුගේ ප්‍රේම සැඳෑවෝ පරිවර්තනයේ 6 වැනි කොටස මෙවර නිකුත් කළ අතර එයටත් විශාල ඉල්ලුමක් තිබුණා. වැඩිහිටි සහ තරුණ යන දෙපිරිසම පොත් මිලට ගත්තා. දැන් සිටින තරැණ පිරිස් පැරණි සාහිත්‍ය කෘති කියවීමට නැඹුරුවක් දක්වන බව පෙනෙනවා. යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රභා ප්‍රකාශන අධිපති සේනාරත්න වීරසිංහ මහතා විසින්ම පරිවර්තනය කරන කෘති සඳහා වෙන්වූ පාඨකයන් පිරිසක් සිටිති. මෙවර ප්‍රදර්ශනය හා පාඨක ප්‍රතිචාර සම්බන්ධයෙන් ඒ මහතා මෙලෙස අදහස් දැක්වීය.
අපට සිටින පාඨක පිරිස සීමා සහිතයි. අපේ කුටියට එන්නේ පරිවර්තන සහ මගේ කෘතිවලට වැඩි කැමැත්තක් තියෙන පිරිස. ඔවුන් වසර ගණනක් තිස්සේ සෑම වාරයකම පැමිණෙන්නට හුරැ වී සිටින පිරිසක්. මෙවර කාලගුණය අයහපත් වුවත් අපට එතරම් බලපෑමක් වූයේ නැහැ. ගිය වසරට සාපේක්ෂව නම් අලෙවිය ටිකක් අඩුයි. ඒත් අපේ පැවැත්ම සඳහා අවශ්‍ය තරමට පොත් අලෙවියක් තිබුණා. අපේ කුටියේ වැඩි වශයෙන් ඇත්තේ මගේ පරිවර්තන කෘති. මෙවර මම අලුත් කෘති හතරක් ඉදිරිපත් කළා. ඒ අතරින් කුංෆු නමැති පරිවර්තනයට වැඩි ඉල්ලුමක් තිබුණා. බාල කාලයේ මිතුරෝ සහ විචාර කෘතියටත් හොඳ ඉල්ලුමක් තිබුණා. අපි මහා පරිමාණ ප්‍රකාශකයෝ නොවෙයි. ඒත් වියදම් පියවගෙන ලාබයක් ලැබිය හැකියි. යනුවෙන් ඔහු පැවසීය
පෙරට වඩා දැන් ප්‍රකාශන ආයතන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර. නිකුත්වෙන පොත් ප්‍රමාණයත් අධිකය. ඉන් ස්‍රුඵ පරිමාණ ප්‍රකාශකයන් වන ඔබට ඉන් බලපෑමක් ඇති නොවන්නේ දැයි මා ඇසූ පැනයට පිළිතුරු දුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය.
මිනිසුන්ගේ කියවීම් රටාව හා රැචිකත්වය එකිනෙකට වෙනස්. ඒ නිසා වැඩියෙන් පොත් නිකුත් වුණාට අපේ අලෙවියට බාධාවක් නැහැ. ගිය වසරේ වැඩි ඉල්ලුමක් තිබුණේ අද්භූත කතා, හොල්මන් කතා වැනි විෂය ධාරාවටයි. මේ වසරේ වඩාත් යථාර්ථවාදී කෘතිවලට වැඩි ඉල්ලුමක් තිබුණා. ජීවිතයට කිසියම් දෙයක් එකතු කරගත යුතුය යන හැඟීමකින් යුතුව ඒ සඳහා අවශ්‍ය පොත්වලට වැඩි නැඹුරුවක් දැක්වූ බව මට පෙනුණා. මෙවර තරුණ පිරිසගේ වැඩිවීමක් තිබුණා. පශ්චාත් නූතනවාදයට නැඹුරැවක් දැක්වූ තරුණ පිරිසක් හා සාම්ප්‍රදායික පොත්වලට කැමති පිරිසක් ඒ අතර සිටිනවා. ඔවුන් තුළ දේශපාලනික නැඹුරැවක් සහිත පොත්වලට එතරම් ඉල්ලුමක් තිබුණෙ නැහැ. විවිධත්වය තුළ පාඨක පිරිස මිශ්‍රවෙලා. රටේ පවතින දේශපාලනික අර්බුද, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න හා ආර්ථික ගැටලු නිසා වෙන වසරවලට වඩා මෙවර පළවූ පොත් ප්‍රමාණයේ අඩුවක් පෙනෙනවා. පොත් ප්‍රදර්ශනයට බොහෝ දුර බැහැර සිට හා විදේශවල සිටින ශ්‍රී ලංකිකයන් පවා සහභාගී වෙනවා. තමන් සිටින ප්‍රදේශයට හොඳ කෘති නොපැමිණෙන හෙයින් හබරණ ප්‍රදේශයේ සිට පොත් මිලට ගැනීමට පැමිණි බව එක් තරුණියක මට කිව්වා. එමෙන්ම අමෙරිකාව, ඉතාලිය, කැනඩාව වැනි රටවල සිට සාහිත්‍ය මාසයේ ලංකාවට පැමිණි පිරිස් හමු වුණා. තම දරැවන්ට මව්බස අමතක වීම වැළැක්වීම තම අරමුණ බවත් ඒ නිසා සෑම වසරකම සාහිත්‍ය මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ සිංහල පොත් මිලට ගන්නා බවත් ඔවුන් සඳහන් කළා. යනුවෙන් ප්‍රකාශ කළේය.
මෙවර වැඩිම අලෙවියක් සහිත කෘති අතර සරසවි ප්‍රකාශන ආයතනය මගින් පළ කළ මකරානන්දයට විශාල ඉල්ලුමක් තිබිණි. ප්‍රදර්ශනය පැවැති දින කිහිපය තුළ එම කෘතියේ පිටපත් 15,000 ඉක්මවා අලෙවි විය. ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූයේ සරසවි ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශන කළමනාකාර ශ්‍රීපාලි පෙරේරා මහතාය.
ප්‍රදර්ශනය සඳහා පාඨක සහභාගීත්වය ඉතා ඉහළයි. මෙවර අප අලුත් කෘති 30 ක් පමණ ප්‍රකාශයට පත් කළ අතර ඉන් දෙකකට විශාල අලෙවියක් තිබුණා. විරාජිනී තෙන්නකෝන්ගේ මකරානන්දය පිටපත් 15,000 ක් පමණ හා ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ උත්තරීතර පිටපත් 5000 ක් පමණ අලෙවි වුණා. විවිධ විෂය යටතේ ප්‍රකාශයට පත් කළ කෘතිවලට ද හොඳ ඉල්ලුමක් තිබුණා. අයහපත් කාලගුණය යටතේ වුවත් බොහෝ දුර බැහැර සිට පැමිණි පිරිස අඩු වුණේ නැහැ. ප්‍රදර්ශනය පැවැති දිනවල ගුරැවරැන්ගේ වැඩවර්ජනයක් පැවති නිසා ගුරැවරැන් හා පාසල් සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් තිබුණා.
නන්දිකඩාල්, කඩොල් ඇත්තු හා උත්තර දේවි වැනි කෘති රචනා කළ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ නවතම කෘතිය වූයේ ගෝඨාභය කෘතියයි. ඉන් පිටපත් 15000 ක් මුද්‍රණය කෙරැණු අතර පිටපත් 12,500 ක් පමණ අලෙවි වූ බැව් එය බෙදාහැරි විජිත යාපා ප්‍රකාශකයන් සඳහන් කළේය.
පොත් අලෙවි කුටිවලට අමතරව පාවහන් අලෙවි කුටියක්ද ප්‍රදර්ශන භූමියේ තිබීම පාඨකයන්ගේ සිත් නොගත් බව පෙනිණි. ඇතැම් පිරිස් චෝදනා කළේ පොත් ප්‍රදර්ශනයක් තුළ සපත්තු කඩ දැමීම නොගැලපෙන ක්‍රියාවක් බවයි. එක් ආයතනයකට අවස්ථාවක් දුන් විට වෙනත් ආයතන ද පොත් ප්‍රදර්ශනය තුළ අලෙවි කුටි පවත්වාගෙන යෑමට අවසර පැතුවොත් එය පොත් ප්‍රදර්ශනයේ අරමුණට බාධාවක් බව ඔවුන්ගේ මතයයි. මේ සම්බන්ධයෙන් අප පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පරිපාලන සහායක හසිත කොළඹගේ මහතාගෙන් විමසීමු. ඔහුගේ පිළිතුර වූයේ ළමුන් සඳහා කිඩ්ස් කෝනර් නමින් කුටියක් පැවැත්වීමට සංගමය කටයුතු කළ අවස්ථාවේ එයට අනුග්‍රහය දැක්වූ සපත්තු සමාගමට අලෙවි කුටියක් ලබා දුන් බවයි. එම ස්ථානයෙන් පාසල් සිසුන් සඳහා විශේෂ වට්ටම් යටතේ එක් සපත්තු යුවලකට තවත් එකක් නොමිලයේ දුන් බවත් එය දරුවන්ගේ මව්පියන්ට විශාල සහනයක් වූ බවත් ඔහු කීවේය.
2019 පොත් මංගල්‍යය අවසන්ය. දැන් උදා වී ඇත්තේ පොත් කියවීමේ මාසයයි. පොත් ගුල්ලන් ලබන වසර සඳහා පොත් ගැනීමේ අරමුණින් යළිත් කැට පිරවීම ආරම්භ කර තිබේ. ප්‍රකාශකයන් ඉදිරි පොත් වසන්තය අරමුණු කර ගනිමින් අලුත් පොත් ප්‍රකාශයට පත් කිරීම යළි අරඹනු ඇත. මේ වන විට පොත් ප්‍රදර්ශනය හා සල්පිල මෙරට සංස්කෘතියේ අංගයක් බවට පත්ව තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
සේයාරූ I සුමුදු හේවාපතිරණ