2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ඡන්දෙට සැරැසෙන ඇල්පිටිය

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 175

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව
සභික සංඛ්‍යාව - 28 (සමානුපාතික 17යි නම් කරන ලද 11 කොට්ඨාස මට්ටමින්)
ඡන්ද මධ්‍යස්ථාන - 47
ග්‍රාම නිලධාරී වසම් - 51
ඡන්දය ප්‍රකාශ කිරීමට 
සුදුසුකම් ලැබුවෝ - 53384

ජනතාවගේ දේශපාලන අයිතිය හා අභිමතය ප්‍රකාශ වන ආකාර දෙකක් ඇති බව අපගේ පිළිගැනීමය. එක ආකාරයක් වන්නේ මැතිවරණ පවත්වා ජනතාවගේ කතිරයෙන් පාලන ත්‍රන්තයට අදාළ නායකයන් පත්කර ගැනීමය. තව ආකාරයක් වන්නේ ජනතාව වීදි බැස උද්ඝෝෂණ පවත්වා සටනින් පසු පාලන තන්ත්‍රයට අවශ්‍ය නායකයන් පත්කර ගැනීමය. 1931 සිට ශ්‍රී ලංකාවේ ජනතාවට කතිර බලය ලැබී ඇත.

ජනතාවගේ පැත්තෙන් ගත්කළ ඡන්දය නොහොත් කතිරය යනු ඉතා වටිනා දෙයකි. මේ වටිනා දෙය භාවිත කළ යුත්තේ කෙසේද යන්න ජනතාවම තීන්දු කළ යුතුව තිබේ. ඡන්දය යනු අතිශය පෞද්ගලික හා රහසිගත දෙයක් වශයෙන් සැලකෙයි. කෙසේ වුවත් ඡන්ද පාවිච්චි කිරීම අතින් ආසියාවේ ප්‍රමුඛ තැනක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එය හොඳ තත්ත්වයකි. එම අයිතිය තවදුරටත් තහවරු කරගැනීම සඳහා ඡන්දය පාවිච්චි කළ යුතුය. පළාත් පාලන මැතිවරණ ඔස්සේ සක්‍රීය වන්නේ ජනතාවට සමීපතම දේශපාලන ආයතන සමූහයයි. මහනගර සහා විසිතුනක්, නගර සභා හතළිස් එකක් සහ ප්‍රාදේශීය සභා 276ක් මේ මගින් සක්‍රීය වෙයි. ගම, නගරය හා ප්‍රධාන නගර නියෝජනය කරන ජනතාවගේ කුදු - මහත් ගැටලු විසඳීමට මේ ආයතනය බැඳී සිටියි.

පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයන් 8356ක් තෝරා පත්කර ගත් පුංචි ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී මේ වනවිට වසර එක හමාරකටත් වැඩිය. මැතිවරණ බල ප්‍රදේශ 341ක පුංචි ඡන්දය මුළු රටේම එකවර පැවැත් වීමට නියමිතව තිබුණද එය පළාත් සභා ආයතන 340ක් දක්වා සීමාවූයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ජනවාරි 30 වැනිදා මැතිවරණ කොමිසමට හා එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාට නියෝග කිරීමත් සමඟය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් නාම යෝජනා ඉදිරිපත් කළ තිදෙනකු විසින් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් එම පෙත්සම විභාගකොට අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි අදාළ අතුරැ තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

සිය නාමයෝජනා පත්‍රය තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේපකොට ඇත්තේ පක්ෂයේ මහලේකම්වරයා විසින් නම් කරන ලද බලය ලත් නියෝජිතයා විසින් ඉදිරිපත් නොකිරීමේ පදනම මත බව මෙහිදී විතානගේ ආරියරත්න, ඩී.කේ. ඕපාත සහ ඒ. දිසානායක යන පෙත්සම්කරුවෝ අධිකරණයට පෙන්වා දුන්හ.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා අදාළ සිදුවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ පක්ෂයේ ලේකම්වරයා විසින් බලය පවරන ලද බලය ලත් නියෝජිතවරයා විසින් නාමයෝජනා පත්‍රය තේරීම්භාර නිලධාරියා වෙත බාරදුන් අවස්ථාවේදී එය බාර නොගෙන යම් වෙලාවක් කල්මරමින් සිට ලේඛනය නියෝජිතයා සමඟ ඒ අසලම අසුන්ගෙන සිටි ආධාරකරුවන්ගේ අතරඳවා තිබියදී ඔහුගෙන් ඉල්ලා එය බාරගන්නා ලද බවත් එසේ එය බාරගත් ඔහු විසින්ම ඊට පසුව නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බවත්ය.

කෙසේ වෙතත් වසර තුනකට වැඩි කාලයක් මුළුල්ලේ ඇදෙමින් පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරා පත්කරගන්නා ලද ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 30 වැනිදා නියෝග කළේය. ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගත් අතර ඔවුන් විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවත් සමඟ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත් වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මෙතෙක් ප්‍රමාදව තිබූ ඇල්පිටිය ප්‍රදේශයේ පුංචි ඡන්දය පිළිබඳව දේශයේ අප ඇල්පිටිය ප්‍රදේශයේ ජනතාව සහ තවත් පාර්ශ්ව කිහිපයකින් විමසීමක් කළෙමු. ඒ මෙම මැතිවරණය ගැන ජනතා අපේකයා කවරේද යන්න හරි හැටි දැනගැනීමටයි


ඡන්දෙ තියෙනඑක අපට හොඳයි
ඒ.එම්. සෝමාවතී - ඉගළ

අපි මුලින්ම බිස්නස් කළේ ඇල්පිටිය බස් නැවතුම ඉදිරිපිට ඒ වුණාට දැන් මාසයක විතර ඉඳන් අපි මේ බිස්නස් කරන්නේ බස් නැවතුම පිටිපස්සේ. මෙතන මිනිස්සු ගැවසෙනවා අඩුයි. අපිට බිස්නස් නැහැ. අපි අනවසර වෙළෙන්ඳන් කියලා අපිට මේ පැත්තට ගෙනාවා. නමුත් අපි බදු ගෙවනවා. ඉක්මනට මේ ඡන්දය පවත්වන එක හොඳයි. ඡන්දය පැවැත්වූවම අපිට පුළුවන් ඉක්මනටම තීරණයක් ලබාදෙන්න. මේ ප්‍රශ්නවලින් අපි දුක්විඳිනවා එදාවේල හම්බකරන් කාලාතමයි අපි හිටියේ. අපි වෙනුවෙන් පෙනී ඉන්න නියෝජිතයෙක් නැති නිසා තමයි අපිට මේ ප්‍රශ්නය උදාවුණේ. කවුරු ඡන්දය දිනුවත් අපට කමක් නැහැ. නමුත් අපි වෙනුවෙන් පෙනීසිටින අයෙක් ඉදිරිපත් වුවොත් අපි අනිවාර්යෙන්ම ඔහුට ඡන්දය දෙනවා.


පොරොන්දු ඔක්කොම ඡන්ද කාලෙට විතරයි
එස්.එම්. ගුණසේන - කැටපල

ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරුන් තේරීපත්වුණා කියලා එහෙම නැත්නම් මන්ත්‍රීවරුන් තේරීපත් වුණේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. සභාවෙන් වෙන්න ඕන සියලුම කටයුතු සභාවේ ලේකම්තුමිය යටතේ සිදුකෙරෙනවා. මේ සභාවට මහජන නියෝජිතයන් තේරීපත් වුණත් ජනතාවට ඔවුන්ගෙන් සහනයක් බලාපොරොත්තු වෙන්න විදියක් නැහැ. මොවුන් හැමෝම ඡන්දකාලෙට විතරයි පොරොන්දු ලබා දෙන්නේ. ඊට පස්සේ මේ පොරොන්දු කිසිවක් නැහැ. අපිට මේ ගැන හොඳට අත්දැකීම් තියනවා. ඒ නිසා මේ ඡන්දය තිබ්බත් නැතත් අපට ගැටලුවක් නැහැ.

කෑ ගැහැව්වට වැඩක් නෑ. වැඩ නැත්නම්
ඒ.ජී.පී. සුදර්ශන - ඇල්පිටිය සමගි ත්‍රීරෝද රථ සංගමයේ සභාපති

අපි බදු ගෙවනවා ඒ වුණාට අපිට මේ ජීවිකාව හරියට කරගෙන යන්න ක්‍රමයක් නැහැ. හැම තැනම වළවල් හයර් එකක් යන්න කවුරුත් ආවත් මඩවළට බැහැලා ඕන ත්‍රීවිල්එකට ගොඩවෙන්න පවුල් 21ක් විතර මේ මගින් ජීවත් වෙනවා. මේ වෙනකොට අනවසර වාහන නවතා තබනවා. ඡන්දයෙන් පත්වෙන අය මේවට විසඳුම් ලබාදෙයි කියලා විශ්වාසයක් තබන්න අමාරුයි. අපි ඉල්ලා සිටින්නේ මොන පක්ෂය මේ ඇල්පිටියේ බලයට ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඉල්ලා සිටින්නේ මේ අපිට නගරයේ තිබෙන මූලික අවශ්‍යතා ටික සපුරා දෙන්න කියලා. බලයට කෑදරකමට ස්ටේජ් ගානේ නැගලා කෑ ගැහුවට වැඩක් නැහැ. මොනව හරි සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නැත්නම්.

පළාතේ ප්‍රශ්න විසඳන්න පුළුවන්
තුසිත් - ඇල්පිටිය

ඇත්තටම මේ ඇල්පිටියේ ඡන්දයට පවත්වන්න තීරණය කරපු එක හොඳයි. අනිවාර්යෙන් අපිටත් මහජන නියෝජිතයන් සිටිය යුතුයි. මොකද අපට තිබෙන ප්‍රශ්න මේ මහජන නියෝජිතයන් මගින් තමයි විසඳීමට තිබෙන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් ග්‍රාමසේවා කොට්ඨාස සියල්ලකම වගේ පාරවල් කැඩිලා තියනවා. සමහර ගම්මානවල යටිතල පහසුකම් නිසි ලෙස නඩත්තු වෙන්නේ නැහැ. හැබැයි මහජන නියෝජිතයන් හිටියානම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ ඡන්දය පවත්වන්න තීරණය කරපු එක ඉතාම හොඳයි.

එන පිරිස එක්ක සුහදව වැඩ කරනවා
එම්.එල්.සී. ඉන්දිකා මිය - ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්

පළාත් පාලන නියෝජිතයන් නැතුව වුණත් මේ ප්‍රාදේශීය සභාවේ නඩත්තු කටයුතු මේ වනතෙක් ගැටලුවක් නැතුව කරගෙන යාමට අප සමත්වෙලා තියනවා. හිටපු මහ ඇමතිතුමා, ආණ්ඩුකාරතුමා, සහකාර කොමසාරිස්වරිය ඇතුළු පිරිසකගෙන් ඒ සඳහා විශාල සහයෝගයක් ලැබුණා. මේ සභාවේ සේවය කරන සේවක මඩුල්ලත් කැපවීමෙන් කටයුතු කරනවා. මේ වනතෙක් මට මේ සභාවේ වැඩකටයුතු කරගෙන යන්න කිසිම බාධාවක් එල්ලවෙලා නැහැ. මේ වනතෙක් හිටපු සෑම සභාපතිවරයෙක්ම සහ මන්ත්‍රීවරුන් සෑම දෙනෙක්ම ඉතා සුහදශීලීව කටයුතු කර තිබෙනවා. ඒ නිසා මෙවරත් ඡන්දයෙන් පස්සේ කුමන පක්ෂයක් ජයග්‍රහණය කළත් ඔවුන් සමඟත් සුහදශීලීව වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා. 

ඡන්දෙ තිබ්බත් එකයි නැතත් එකයි
පියසේන - බටුකනත්ත

පෞද්ගලික මට ඇත්තටම මේ දේශපාලනයට කැමති නැහැ. ඒ වුණාට මේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දය පැවැත් වූ නැති එකෙන් ජනතාව බොහෝ දුෂ්කරතාවයට පත්වෙලා ඉන්නවා. සමහර නඩත්තු කටයුතු ඇනහිටිලා තියනවා. මහජන නියෝජිතයන් හිටියත් අතළොස්සක් තමයි මේ සභාවට වැඩ කරන්නේ. ඇතැමුන් තමන්ට හම්බවෙන කොමිස් කුට්ටියට කෑදරකමට තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඇත්තටම සමහර මිනිසුන්ට මේ ඇල්පිටියේ ඡන්දය තිබ්බේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඔවුන්ගේ කටයුතුවල නියැලෙනවා. ඒ නිසා පුද්ගලිකව මම කියන්නේ මට නම් මේ මැතිවරණය තිබ්බත් එකයි නැතත් එකයි. 

 සටහන - හසිත් අංජන
    සේයාරූ - සුමුදු හේවාපතිරණ