2019 ජුලි 27 වන සෙනසුරාදා

වැසි ජල ගබඩාවලින් පණ ලබන ගම්වැසියෝ

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 22

ගංවතුරෙන් හා නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබාදීමේ ක්‍රමවේදයක් ලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය මගින් ක්‍රියාත්මක කරයි. මෙම වැසි ජලය රැස් කිරීමේ ව්‍යාපෘතිය කිළිනොච්චිය, මොණරාගල, බදුල්ල සහ මඩකලපුව වැනි ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවට නව මුහුණුවරක් ගෙන දී ඇත.

1996 මුල් භාගයේ දී ලංකා වැසි ජලය රැස්කරන්නන්ගේ සංසදය ඉතා අවිධිමත් අයුරින් ඇරඹුවද අද වනවිට එයින් වියළි කලාපවල ජීවත් වන වැසියන්ට සිදුවන සේවාව සුළු පටු වන්නේ ද නැත. දිවයිනේ ගංවතුර හා නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවලට ආරක්ෂිත පානීය ජලය සැපයීමේ තුන් අවුරුදු ව්‍යාපෘතිය අරඹන ලද්දේ 2016 වසරේදීය. අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට වඩාත් කාර්යක්ෂමව ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දෙන ලෙස ජලය සැපයීම, ආපදාවන්ට ලක්විය හැකි ප්‍රජාවන් ශක්තිමත් කිරීම හා ගංවතුර හා නියං කළමනාකරණයට අදාළ ආපදා අවදානම් අවම කිරීම මොවුන්ගේ උත්සාහය වේ.

මෙමගින් කිළිනොච්චිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි නිවාස තුන්සිය අනූ එකක ජීවත්වන පුද්ගලයන් දාහත් දහස් නවසීයකට ආසන්න පිරිසකට ආරක්ෂිත පානීය ජලය ලබා දී ඇති අතර පාසල් හතළිස් අටක් සහ වෛද්‍ය සායන දහයක වැසි ජලය ටැංකි ස්ථාපනය කර ඇත. ගබඩා පහසුකම් හා ධාරිතාවය අනුව ලීටර් අටදාහක ධාරිතාවයකින් යුත් ගබඩා ටැංකි ගෘහස්ත භාවිතය සඳහා ද, රෝහල් සඳහා ලීටර් දසදහසේ සිට දාසයදහස දක්වා ධාරිතාවයකින් යුත් ටැංකි ද, පාසල් සඳහා ලීටර් තිස්දහසක ධාරිතාවයකින් යුත් ටැංකි ද සවිකර ඇත. වසරකට මිලිලීටර් නවසීයකට වඩා අඩු වර්ෂාපතනයක් ලබන වියළි කලාපයේ සවිකර ඇති ගෘහස්ත වැසි ජලය රැස් කිරීමේ ටැංකි මගින් ලීටර් හැටත් හැත්තෑවත් අතර ප්‍රමාණයක ජල ධාරිතාවක් ආහාර පිසීම සහ පානය සඳහා ද, වියළි කාලගුණයක් සහිත දිනයන්හි මීටර් පනහ දක්වා කුඩා වහලයක් වැනි කොටසක් මගින් ලබාගත හැක.

“අපි ලීටර් අටදාස් පන්සීයක විතර සිමෙන්ති ටැංකියක් බැඳලා තියෙනවා. ඒකට වහලයට වැටෙන වතුර එකතු වෙනවා. ඒ ටැංකියෙන් බටයක් දාලා තමයි අපි ටැංකියට එකතු කර ගන්නේ. වැස්ස නැති කාලෙට අපි ප්‍රයෝජනයට ගන්නෙත් ඒ වතුරයි. ඒවා පිරිසුදු වතුර. අපි ඒ වතුර බොනවා. කෑම පිහන්නත් ගන්නේ ඒ වතුරයි. අපි ගෙවතු වගා කරනවා. ඒ පැළවලට වතුර දාන්නෙත් ඒ වතුරෙනුයි. හරකුන්ට වතුර නැතිවුණාම ඒකෙන් වතුර දෙන්නත් අපි ගන්නවා. මගේ අම්මා වකුගඩු රෝගියෙක්. එයා නාන්නේ, බොන්නෙත් මේ වතුරෙන්ම තමයි. ඒවා ඉතා පිරිසුදු වතුරයි.” යැයි මහියංගණ අරාවිට පදිංචි ඩී.එම්. සාමාවතී දේශයට අදහස් දැක්වීය.

සමස්ත මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ම නිවාස 30%ක පමණ නළ ජල පහසුකම් ඇති අතර බොහෝ දෙනකුට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ජලය බෙදාහැරීමේ පහසුකමක් නැත. එබැවින් මෙම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ඉමහත් අසීරුතාවයට ලක්ව සිටිති. මේ අතර මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක, ග්‍රාම නිලධාරී කොට්ඨාස විසිපහක පවුල් හාරදාස් දෙසීයක් සඳහා ආරක්ෂිත පානීය ජලය සැපයීම සහ සනීපාරක්ෂක පහසුකම් ප්‍රවර්ධනය කිරීම සිදු කරයි. රජයේ පාසල් පනස් හතරක් සඳහා මෙමගින් පිරිසුදු පානීය ජලය පහසුකම් ලබා දී ඇති අතර එමගින් සිසුන් දසදහසක් පමණ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටිති.

“වැසි ජලය රැස් කිරීම පිළිබඳව පළමු ප්‍රකාශය සිදු කළේ මහා පරාක්‍රමබාහු රජතුමා විසිනුයි. මිනිස් පරිභෝජනයට යොදා නොගෙන වැසි ජලයෙන් එක බිංදුවක්වත් මුහුදට ගලා යාමට ඉඩ නොදෙන ලෙසයි ඔහු පැවසුවේ. අපේ පුරාණ රජවරුන්ගේ වාරිමාර්ග අරුමයන් මෙම තාක්ෂණයේ ජීවමාන ප්‍රතිමූර්තියක් වන අතර එය තවමත් කෘෂිකාර්මික ඉඩම් අක්කර ගණනාවක් පෝෂණය කරනවා. මේ නිසා වැසි ජලය රැස් කිරීම අපගේ රටට අලුත් දෙයක් නෙමේ. පෙර නොවූ විරූ පරිදි දේශගුණික විපර්යාස සිදුවී ඇති මෙම කාල වකවානුවේදී මෙම පැරණි ක්‍රමවේදය නූතන තාක්ෂණයට ඔබින ලෙස වෙනස් කරමින් රටේ මිනිසුන්ට හොඳ යමක් ලබා දෙන්න අපි උත්සාහ ගන්නවා.” යැයි ලංකා වැසි ජලය රුස්කරන්නන්ගේ සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිනී, ආචාර්ය තනූජා ආරියනන්ද පැවසීය.

වැසි ජලය එය පතිත වන ස්ථානයෙන් එකතු කරගන්නා අතර ඒවා පසුව භාවිත කිරීමට හැකිවන සේ ගබඩා කර තබාගනී. මෙලෙස රැස් කරගත් වැසි ජලය ගබඩා කරගත හැකි ක්‍රම කිහිපයකි. ශක්තිමත් කොන්ක්‍රීට් සිමෙන්ති ටැංකි හෝ ප්ලාස්ටික් ටැංකිවල මේවා එකතු කරගත හැක. මෙය පොළොවට ඉහළින් හෝ භූගතව හෝ අර්ධ භූගතව තැන්පත් කළ හැකිය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30