2019 ජුනි 29 වන සෙනසුරාදා

බ්ලියන ගණනක් මකර කටට යැවූ ලෙඩ කිරි හරක් ගනුදෙනුව

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන විවිධ දූෂණ අක්‍රමිකතාවලට අදාළ පැමිණිලි පිළිබඳව වංචා සහ දූෂණ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම පරීක්ෂණ සිදුකරමින් පවතී. අදාළ පරීක්ෂණ සඳහා සාක්ෂි ලබාදීමට රාජ්‍ය නිලධාරීන්, ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් ඇතුළු පාර්ශ්ව රාශියක් මේ වනවිටත් සහභාගී වී ඇත. දේශීය කිරි නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමට ග්‍රාමීය කටයුතු අමාත්‍යංශයේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් 2017 වසරේදී ඕස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වූ ප්‍රීසියන් කිරි ගවයන් 20,000කට අධික සංඛ්‍යාවක් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බවත් එයින් පිරිසක් පසුව මියගොස් ඇති බවත් අනාවරණය වී තිබුණේද මෙම කොමිසම ඉදිරිපිටදීය.

වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පශු පර් යේෂණ නිලධාරී වෛද්‍ය හේමාල් කොතලාවල මහතා ප්‍රකාශ කර තිබුණේ 2017 වසරේ ඕස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කළ කිරි ගවයන් 20,000 අතරින් බහුතරය අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බවත් ඔවුන්ට Bovine viral diarrhea නම් පාචන රෝගය වැළඳී සිටි බවත්ය. අනතුරුව දෙවැනි වටයේ පරීක්ෂණ සිදුකිරීමේදී එම සතුන් මියගොස් ඇති බව අනාවරණය වූ බව ද පවසා තිබිණි.
මේ අතර දේශීය ආයෝජකයකු සහ මහා පරිමාණ කිරි ව්‍යාපාරිකයකු වන අමල් සූරියගේ මහතා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර දන්වා තිබුණේ අදාළ කිරි ගවයන් ගැබිනි කාලයේ දිනකට කිරි ලීටර් 20ක් ලබාදෙනු ඇති බවට ග්‍රාමීය කටයුතු අමාත්‍යංශයේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසා තිබුණත් බොහොමයක් ගවයන් කෙටි කාලයකදී මියගිය බවය. එසේම එක් ගවයකු මිලදී ගැනීම සඳහා රජය රු.265,000ක් වැයකර ඇති අතර කිරි ගොවියෙක් එක් ගවයෙක් සඳහා රුපියල් 200,000ක් වියදම් කර ඇතැයි ද එම පැමිණිල්ලේ දක්වා ඇත.

සමස්ත ලංකා කිරිගොවි සම්මේලනයේ උප සභාපති අමල් සූරියගේ මහතා පවසන්නේ පවතින ආණ්ඩුවේ ග්‍රාමීය කටයුතු අමාත්‍යංශය දියත් කළ ව්‍යාපෘතියක් මත විශ්වාසය තබා එක් ගවයකුට රුපියල් ලක්ෂ 2 බැගින් මුදල් ගෙවා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වූ කිරි ගවයන් 200ක් මිලට ගත් බවය. සතුන් මිලට ගත්දා සිටම සතුන්ගේ පැවති සෞඛ්‍ය දුර්වලතා සම්බන්ධයෙන් ග්‍රාමීය කටයුතු අමාත්‍යංශයේ ව්‍යාපෘතිය බාර ඉහළ නිලධාරිනියකට සියලු තොරතුරු දැන්වීමට කටයුතු කළද එම පාර්ශ්වයෙන් කිරි ගොවීන්ට සහනයක් ඉටුකොට නැත. අදාළ අමාත්‍යංශයේ ව්‍යාපෘතියට සම්බන්ධ සෙසු සියලු නිලධාරීන්ට කරැණු ඉදිරිපත් කළද ඵලක් නොවූ බවත් අමල් සූරියගේ මහතා පවසයි.

මේ ආකාරයට ගොවීන් 47 දෙනකු විසින් කිරි ගවයන් මිලට ගෙන තිබිණි. එම පිරිස රජයට කියා ඇත්තේ සතුන් නැවත අමාත්‍යංශය බාරයට ගෙන තමන්ගේ මුදල් නැවත ලබාදෙන ලෙසය. මේ වනවිටත් එසේ සහනයක් නොලැබීම නිසා පෙර කී කිරි ගොවීන් 47 දෙනා ආර්ථික වශයෙන් අසරණව සිටින බව අමල් සූරියගේ මහතා පැවසීය. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ඇති මෙම සතුන් පිළිබඳ පැහැදිලි පැටිකිරිය පිළිබඳව වාර්තාවක් රජය විසින් ඉදිරිපත් කර නොතිබුණි. රෝගී තත්ත්වයේ පසු වූ ගවයන් පිළිබඳ විමර්ශනයේදී හෙළි වී තිබුණේ දැනට ලංකාවේ වාර්තා නොවූ විදෙස් රටවල ගවයන්ට වැළඳෙන වයිරස් හා බැක්ටීරියා රෝග දෙකක් එම සතුන්ට පැවති බවය. ඒ අනුව පැහැදිලි වන්නේ ඕස්ට්‍රේලියාවේදී මේ සත්වයන්ට නිසි ප්‍රතිකාරයක් හෝ සෞඛ්‍ය වශයෙන් සත්කාරයක් සිදු කර නැති බවය. ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ එම සතුන් ලංකාවට ගෙන්වාගෙන රට තුළට ගැනීමට මත්තෙන් නිරෝධානය ක්‍රමවේදයකට භාජනය කර නැති වීමය. මේ ආකාරයට කිරි ගවයන් රටට ගෙන්වා සිදුකොට තිබෙන වංචාව සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් කරැණු දැක්වීමට එම ව්‍යාපෘතිය ආරම්භයේ සිට ක්‍රියා කළ අංශ ගණනාවක ඉහළ නිලධාරීන් 20ක් පමණ වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණ තිබුණි. එම සියලුම නිලධාරීන් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණේ අදාළ ගනුදෙනුව දූෂිත බවත් ව්‍යාපෘතිය අසාර්ථක බවත්ය.

සමස්ත ලංකා කිරිගොවි සම්මේලනයේ උප සභාපති අමල් සූරියගේ මහතා ප්‍රකාශ කරන්නේ මෙම දූෂිත කිරිගව ගනුදෙනුව පසුපස මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගමක් සිටින බවය. ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් රැරල් එක්ස්පෝර්ට් නැමැති සමාගම ගනුදෙනුවේ සැපයුම්කරුය. මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ සමාගමට අවස්ථාව ලබා දී ඇත්තේ පෙර පැවති ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසිනි. ඒ අනුව පැහැදිලි වන්නේ පැවැති ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් යන දෙකම මෙම දූෂිත ගනුදෙනුව පවත්වාගෙන ගොස් ඇති බවය.

රජයේ හිටපු සහ සිටින දූෂිත පාලකයන් සහ නිලධාරීන් නිසා මේ වනවිට ව්‍යාපාරිකයන් හා ගොවීන් 47 දෙනකුගේ ව්‍යාපාර බංකොලොත් වී ඔවුන්ගේ දේපල පවා සින්න වී ඇතැයි අමල් සූරියගේ මහතා පෙන්වා දෙයි. අදාළ චෝදනා පිළිබඳව ජනපති කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි ගණන 1370කි. මෙහිදී අනාවරණය වී ඇත්තේ ආගන්තුක රෝග සහිත ගවයන් 3030 දෙනකු විදේශවලින් ලංකාවට රැගෙනවිත් ඇති බවය. මේ ආකාරයට ව්‍යාපාරික අරමුණු මත ක්‍රියා කරන මහා පරිමාණ ව්‍යාපාරිකයන් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පවා සිය උගුලට හසුකරගන්නා බව අමල් සූරියගේ මහතා කියයි. ආණ්ඩු දෙකක ප්‍රබල ඇමැතිවරැන් කීපදෙනකු මේ දූෂිත ව්‍යාපෘතියට පටලවා ඇත්තේ ද එම ව්‍යාපාරික ආයතනය විසින් බව සූරිගේ මහතාගේ අදහසය. ඒ අනුව වඩාත් පැහැදිලි වන්නේ ව්‍යාපෘතිය මගින් එහි ඉහළ පෙළේ නිලධාරීන් පිරිසකට කොමිස් මුදල් හිමිව ඇති බවය. මෙවැනි ව්‍යාපෘති ඒවා මෙහෙයවන ව්‍යාපාරික ආයතනයට හා ඔවුන්ගේ හෙංචයියන්ගේ සාක්කුවලට වාසියක් වූ බව පමණක් සැබෑවකි.

දේශීය කිරි ගොවීන් ශක්තිමත් කිරීමට යැයි කියමින් අසරණ ගොවීන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ සේසත සූරා කන පාලකයන් තණකොළ උලාකන ලෙඩ ගවයන් විදේශවලින් ගෙන්වා ඇත. එය දේශීය කිරි ගොවීන්ට කෙසේ වෙතත් දේශපාලනයන්ට හා හිතවත් ව්‍යාපාරික ආයතනවලට මහජන මුදල් හොරා කෑමට තෝතැන්නක් වී තිබේ.

මහජන මුදල් ගසා කෑමට පක්ෂ බේදයකින් තොරව පැවති හා පවතින ආණ්ඩුවේ බලධරයන් ක්‍රියාත්මක වී ඇත්තේ අදාළ ව්‍යාපෘතිය සහමුලින්ම රටට අසාර්ථක එකක් බව දැනගෙනමය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ රැපියල් බිලියන ගණනක් වැයකොට මේ රටට ලෙඩ කිරි හරකුන් ගෙන්වීම පිටුපස සිටින ආයතනවලට සහ නිලධාරීන්ටත් දේශපාලනඥයන්ටත් එරෙහිව මේ වනතෙක් කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුව අපොහොසත් වීමය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00