2019 ජුනි 08 වන සෙනසුරාදා

කැඳ හැලියක් වූ නිල ඇඳුම් චක්‍රලේඛය

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 11

රජයේ සේවකයන් යනු රජය නියෝජනය කරන නිලධාරීන් පිරිසයි. මේ නිසා ඔවුන්ට පෞද්ගලික අංශයේ අයට මෙන් හිතු හිතු සෙල්ලම් දමමින් ඇඳුම් මෝස්තරවලින් සැරසී වැඩට පැමිණීමට නොහැක. බොහෝ රාජ්‍ය ආයතනවලට සම්මත කළ නිලඇඳුමක් පවතින්නේ එහෙයිනි. පොලීසිය සහ හමුදා ඇතුළු ආරක්ෂක අංශවලට, හෙද හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට පමණක් නොව විධායක නිලධාරීන්ද ග්‍රාමසේවකවරැන්ටද නිලඇඳුමක් පවතී. ඇඳුම් දීමනාවක්ද ලබාදෙන අතර ඔවුන් අනිවාර්යයෙන් නිලඇඳුමෙන් සැරසී සිටිය යුතු වේ.

නිලඇඳුම් කලින් කලට වෙනස් වන්නේ භාවිතයේ පහසුව සඳහා හෝ කාලීන අවශ්‍යතා පිරිමසා ගැනීමටය. 70 දශකයේ කොට කලිසම හැඳ සිටි පොලිස් රාළහාමිලා 80 දශකය වනවිට දිග කලිසමට මාරැ වූහ. එලෙසම 2014 මාර්තු මාසයේදී කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා පැවති ගවුමට අමතරව කාන්තා පොලිස් කොස්තාපල් සහ සැරයන් තනතුර සඳහා දිග කලිසම සහ කමිසයද අනුමත කෙරිණි.

2017 දී රජය නිවේදනය කළේ විධායක ශ්‍රේණියේ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ටයිපටිය සහ කබාය සහිත නිලඇඳුම සැමවිටම අත්‍යවශ්‍ය නොවන බවය. එලෙසම 2017 දී ගැබිනි ගුරුවරියන්ට අනිවාර්ය වී තිබුණු ඔසරිය හෝ සාරිය වෙනුවට පහසු ගවුමක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහා ප්‍රචාරයක් දෙමින් හඳුන්වා දුන්නේය. නීතිඥවරියන්ටද සාරිය හෝ ඔසරියට අමතරව විකල්ප ඇඳුමක් පසුගිය කාලයේ ඉදිරිපත් කෙරිණි.

නිලඇඳුමේ වෙනස්කම් කිරීමෙන් සිදුවිය යුත්තේ එය දරා සිටින නිලධාරියාට වඩාත් පහසුවක් සැලසී තෘප්තිමත් සේවයකට ඉඩ සැලසීමයි.

රටේ සෑම අංශයකටම වාගේ වින කළ තව්හිද් ජමාත් බෝම්බ ප්‍රහාරය රජයේ සේවක නිලඇඳුමටද කොකා පෙන්නූ බව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් පසුගිය මැයි 29දා නිකුත් කළ නිලඇඳුම් පිළිබඳ චක්‍රලේඛ 13/2019න් පෙනේ.

බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් කාන්තාවන් තම ඇඳුම නිසා විවිධ අපහසුතාවන්ට ලක්වූ බව නොරහසකි. ජනාධිපතිවරයා විසින් මුහුණ නොපෙනෙන සේ අඳින බුර්කාව සහ නිකාබය තහනම් කළේ ආරක්ෂක හේතූන් මත පැමිණි විරෝධතා සැලකිල්ලට ගනිමිනි. එහෙත් මුස්ලිම් කාන්තා ඇඳුම සම්බන්ධ අන්තවාදයක්ද ක්‍රියාත්මක වන බව රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. මුහුණ පෙනෙන සේ අඳින හිජාබයෙන් සැරසී පැමිණි පාසල් ගුරැවරියන් පාසල්වලට පැමිණෙනවාට පවා සමහර ප්‍රදේශවලින් විරෝධතා එල්ල විය. එමෙන්ම බොහෝ රාජ්‍ය ආයතනවල සහෝදර සේවකයන් පවා තම මුස්ලිම් සේවිකාවන්ගේ ඇඳුම දෙස බැලුවේ සැකයෙනි.

ඉහත චක්‍රලේඛය නිකුත් කළේ එම කරැණු සැලකිල්ලට ගෙන රජයට අයත් කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම යන ශීර්ෂයෙනි. චක්‍රලේඛයට අනුව පහත සඳහන් කරුණු අනුගමනය කළ යුතු වේ.

I රජයේ නිලධරයන් රාජකාරී වේලාව තුළ ස්වකීය කාර්යාල පරිශ්‍රයට පැමිණීමේදී පිරිමි නිලධරයන් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර කාන්තා නිලධාරිනියන් සාරිය හෝ ඔසරිය යන ඇඳුමින් සැරසී සිටිය යුතු වේ.

II දැනටමත් නිලඇඳුමක් හෝ නිලඇඳුම් දීමනා ලබන නිලධරයන් තමාගේ අනුමත නිලඇඳුමින් සැරසී රාජකාරියේ යෙදී සිටිය යුතුය.

උදා: රියදුරු, කාර්යාල කාර්ය සහායක, ග්‍රාම නිලධාරී වැනි තනතුරැ දරන්නන්

III රජයේ සේවයේ නියුතු නිලධාරිනියන් ගර්භනී සමය තුළ සේවයට පැමිණීමේදී පහසු හා සුදුසු ඇඳුමකින් සැරසී සේවයට පැමිණිය හැක.

IV කිසියම් ආගමික චාරිත්‍රයකට අනුව තම ඇඳුම සකස් කරගෙන සිටින නිලධරයන් වේ නම් ඔවුන්ට ඉහත I හි පරිදි ඇඳුමින් සැරසීමෙන් අනතුරැව එකී ආගමික අනන්‍යතාවය තහවුරු වන ලෙස හා නිලධරයන්ට සම්පූර්ණ පැහැදිලිව හඳුනාගත හැකිවන ලෙස අතිරේක පැළඳුමක් භාවිත කළ හැකිය.

V සේවාලාභියකු ලෙස රජයට අයත් පරිශ්‍රයකට ඇතුළු වීමේදී හෝ රජය මගින් දෙනු ලබන සේවාවන් ලබාගැනීමට පැමිණීමේදී සෑම තැනැත්තකුම තමන් පැහැදිලිව හඳුනාගත හැකි ආකාරයේ ඇඳුමකින් සැරසී පැමිණිය යුතු බවට විධිවිධාන පැනවීමට සියලුම ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.

ඉහත චක්‍රලේඛයේ කරුණුවලට අනුව එය තවත් කැකිල්ලේ තීන්දුවක් බව පෙනේ. නිලඇඳුම සම්බන්ධයෙන් ගැටලු පැන නැගුණේද ජනතාවගේ සැකයට භාජනය වුණේද මුස්ලිම් කාන්තාවන්ය. ඔවුන්ගේ සැරසිය යුතු ඇඳුම ගැන ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වුවද රාජ්‍ය ආයතනවලට එය තහනම් වී ඇති බව මෙම චක්‍රලේඛයෙන් පෙනේ. එහි දැක්වෙන්නේ සියලු කාන්තා නිලධාරිනියන් සාරිය හෝ ඔසරියෙන් සැරසී සිටිය යුතු බවත් මුහුණ ආවරණය නොකර සිටිය යුතු බවත්ය. ඒ නිසා එය මගින් හිජාබයෙන් සැරසී ගවුම අඳින මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් වන බව පැහැදිලිව පෙනුණි. ඒ පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විවේචනද එල්ල වුණි.

ජූනි 02දා වාර්තා වූයේ චක්‍රලේඛය සම්බන්ධයෙන් පැන නැගුණු විරෝධතා නිසා එය ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන බවයි. ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ චක්‍රලේඛය සංශෝධනය කර ඉදිරියේදී නිකුත් කරන බවයි. වසර 30කට පෙර නිකුත් කළ චක්‍රලේඛයට යම් සංශෝධන සිදුකර ඉකුත්දා නිකුත් කළ බවද එය තවදුරටත් සංශෝධනය කළ යුතු බවද ඇමැතිවරයා පවසා සිටී.

එහෙත් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මාධ්‍යවලට පැවසුවේ චක්‍රලේඛය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බවයි. ඔහු පවසා ඇත්තේ අදාළ චක්‍රලේඛය අවලංගු කිරීමට බලය ඇත්තේ තමන්ට පමණක් බවත්, තමන් එය කිසිවිට අවලංගු කිරීමට පියවර ගෙන නොමැති බවත්ය.

ඉහත ප්‍රතිවිරුද්ධ අදහස්වලින් පෙනෙන්නේ රජයේ ආයතනවල ආරක්ෂාව කෙසේවෙතත් චක්‍රලේඛය සම්බන්ධයෙන් පවා බලධාරීන් අතර එකඟත්වයක් නැති බවයි. සාරි ඔසරි චක්‍රලේඛය ගැන වගකිවයුත්තන් බෝලය පාස් කරමින් සිටිනා අතර මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය පිටු තුනක ලිපියක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ඉදිරිපත් කරලීය. ඇය සඳහන් කරන්නේ ඒ චක්‍රලේඛය මගින් මානව හිමිකම් කඩවන බවය. රජයේ පිරිමි සේවකයන් සාමාන්‍යයෙන් කලිසම, කමිසය හැඳ සිටියද කාන්තා පාර්ශ්වයේ සේවිකාවන් සාරි ඔසරිවලට අමතරව සාය, හැට්ට, සල්වාර් කමිස, විධායක ව්‍යාපාරික ඇඳුම් ඇතුළු විවිධ ඇඳුම් හැඳ සේවයට පැමිණෙන බවය. ඒ අනුව ඔවුන් සාරිය සහ ඔසරියට සීමාකිරීම ඔවුන්ගේ මානව අයිතීන් කඩවීමක් බව ආචාර්ය උඩගම සඳහන් කරන්නීය. ඒ නිසා ඇය ඉල්ලා සිටින්නේද ඔවුන්ගේ කැමැත්තට බාධා නොකොට මෙම චක්‍රලේඛය වහාම අත්හිටුවන ලෙසයි.

 කුසුම්සිරි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30