2019 ජුනි 08 වන සෙනසුරාදා

අපේ න්‍යෂ්ටික කිරණ ගබඩා ආරක්ෂිත නැද්ද?

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 24

පාස්කු ඉරිදා 21/4 සිදුවූ මූලධර්මවාදී අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය මගින් අපේ සමාජ දේහය තුළ ඇතිකළ කම්පන ත්‍රස්ත රැල්ල තවමත් ප්‍රකම්පනය වෙමින් පවතී. මේ නිසාම සමාජ ආරක්ෂාවට බලපානා විවිධ අංශයන් ගැන දැන් දැඩි අවධානය යොමුවෙමින් පවතී. ලෝක ත්‍රස්තවාදය සිය ගොදුරු සපුරා ගැනීම සඳහා දැන් අලුත් උපාය උපක්‍රම සොයමින් සිටිනා අවදියකි. ඒ සඳහා ඔවුන් විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව යොදාගන්නා අතර කිරිච්චිය උණ්ඩය වෙනුවට අලුත් පන්නයේ අවි ආයුධ වෙත අවධානය යොමුකර තිබේ. ඒ අතර ප්‍රධාන තැනක් රසායන අවි, ජෛව විද්‍යාත්මක අවි සහ න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය වෙතට හිමිව තිබේ. CBRN ලෙස කෙටියෙන් හැඳින්වෙන මේ සමාජ හිතකාමී එහෙත් අනතුරුදායක ලෙස යොදාගත හැකි ක්ෂේත්‍රවල සුරක්ෂිත භාවය ගැන දැන් දැඩි අවධානය යොමුව තිබේ. ඒ අතරින් වඩාත් දැඩි අවධානය යොමුව ඇත්තේ න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය සහ ඒවායේ සුරක්ෂිතතාව පිළිබඳවය.

ජාතික ආරක්ෂාව ගැන සැලකීමේදී අපේ රටේද න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය භාවිතය, ආනයනය, ගබඩා කිරීම යන කාර්යයන් හිදී ලබාදී ඇති සුරක්ෂිතතාව ගැන අවධානය යොමු කිරීමට දැන් කාලය එළැඹ තිබේ.

ඉතා සුළු ප්‍රමාණයක විකිරණ හා න්‍යෂ්ටික ද්‍රව්‍ය කොටසකින් සිදුකළ හැකි මාරාන්තික හානිය පිළිබඳ සලකන විට මේ ද්‍රව්‍ය අනාරක්ෂිතව ත්‍රස්තවාදීන් හට පහසුවෙන් ළඟාවිය හැකි මට්ටමකට නිදැල්ලේ පවතින බවට සැක සංකා මතු වුවහොත් එයම තවත් මහා අලකලංචියකට මග පාදනු නියතය. ලංකාවේ දැනට න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා වන්නේ ක්ෂේත්‍ර කිහිපයක සුබසිද්ධිය උදෙසාය. 2014 සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය මේ අතරින් ප්‍රමුඛ ස්ථානයකි. ගැමා පිරිසැකසුම් සහිත සංවර්ධන සහ පර්- යේෂණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන මෙහි සෞඛ්‍ය අංශය ප්‍රමුඛ විවිධ අංශවලට අයත් නිරෝධායන සහ විෂබීජ හරණ කටයුතුවලට මුල්තැන ලබාදී තිබේ. සෞඛ්‍ය අංශයේදීද බහුලව විකිරණ භාවිත වේ. ඊළඟට ලංකාව තුළ භාවිතා වන සහ භාවිතයෙන් ඉවත් කළ විකිරණශීලී සහ වෙනත් න්‍යෂ්ටික ද්‍රව්‍ය ගබඩා කරන ස්ථාන අතිශය වැදගත්ය. මේ ස්ථානවල සුරක්ෂිතභාවය නිසි ලෙස තහවුරු කිරීම සඳහා වන නීතිමය වගකීම පැවැරී ඇත්තේ රජයේ ආයතනයකටය. ඒ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවයි. 

විකිරණශීලී හෝ න්‍යෂ්ටික ද්‍රව්‍ය හේතුවෙන් අනාරක්ෂිත බවක්, හානිදායී බවක් අපේ ජන සමාජය වෙත බලපානු ඇතිදැයි යන සැකය මෑතකාලීන 21/4 ප්‍රහාරයත් සමඟ පැතිර ගොස් තිබේ. ඒ අනුව දැන් මේ ආයතනයේ ක්‍රියාකාරකම් පිළිබඳ අවධානය අලුත් වීමකට ලක්ව හමාරය.

ශ්‍රී ලංකාව න්‍යෂ්ටික විද්‍යා තාක්ෂණය හා විකිරණ සම්බන්ධ කටයුතුවලට අත ගසන්නේ 1957 තරම් ඈත කාලයක සිටය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පුරෝගාමී සාමාජිකයකු වන්නේ එලෙසය. ඉන්පසු 1967 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විකිරණ සමස්ථානික ඒකකය පිහිටුවීමත් 1969 දී අංක 19 දරන, පරමාණුක ශක්ති අධිකාරි පනත මගින් පරමාණුක ශක්ති අධිකාරිය පිහිටුවීමත් සිදුවිය. ඒ මුල් කාලයේ අධිකාරියට පැවරැණ රාජකාරිය වූයේ ශ්‍රී ලංකා ජනතාවගේ සුබසිද්ධිය උදෙසා න්‍යෂ්ටික තාක්ෂණය උපයෝගී කරගත හැකි විවිධ අංශ ඒ සඳහා දිරිගැන්වීමයි. අනෙක් කාරණය විකිරණ තාක්ෂණය හා සම්බන්ධව ක්‍රියාකාරකම්වල යෙදී සිටින සේවකයන් සහ පොදු ජනතාව විකිරණවල භයානක විපත්වලින් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි.

මේ අන්දමට වසර 2014 දක්වා පරමාණුක ශක්ති අධිකාරිය විකිරණශීලී ද්‍රව්‍ය හා විකිරණ භාවිතය පිළිබඳ නියාමන අධිකාරිය ලෙස කටයුතු කළේය. එය වෛද්‍ය අංශය, කර්මාන්ත, කෘෂිකර්මය යන ක්ෂේත්‍ර සඳහා න්‍යෂ්ටික තාක්ෂණය භාවිතාව උදෙසා පහසුකම් සපයන ජාතික ආයතන වූ අතර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නියෝජිතයාද හැටියට කටයුතු කරන ලදී.

2014-15 කාලයේ පරමාණු ශක්ති අධිකාරියට ඉහළ මට්ටමේ පර් යේෂණාගාර පහසුකම් සහිත නව ගොඩනැගිලි සහ යටිතල පහසුකම් ලැබුණි. ඒ හේතුවෙන් ආයතනයේ කටයුතු වඩාත් පුළුල් විය. එහෙයින්ම වඩාත් පුළුල් ස්වාධීන නියාමන අධිකාරියක අවශ්‍යතාව මතුවිය. 

ඒ අනුව 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත 2014 ඔක්තෝබර් මස නීතිගත කරන ලදී. එම පනතට අනුව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය යනුවෙන් ආයතන දෙකක් බිහි වූයේය. නියාමන සභාව 2015 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වීම ඇරැඹීය. මෙයින් පරමාණුක බලශක්ති නියාමන සභාවට පැවරුණේ ජනතාවට ප්‍රයෝජනවත් සාමාකාමී කටයුතු සඳහා විකිරණ ද්‍රව්‍ය යොදා ගැනීමේදී ඒවායින් ජනතාවට හෝ පරිසරයට හෝ හානි නොවන අයුරින් ආරක්ෂාව සහතික කිරීමය. ඒ සඳහා වූ නීති රීති රෙගුලාසි සැකසීමේ කාර්යය භාර වූයේද මේ සභාවටය. ඒ අනුව විකිරණ සහ විකිරණශීලී ද්‍රව්‍ය භාවිතා කරන සියලුම පුද්ගලයන් සහ ආයතන සඳහා බලපත්‍ර නිකුතුව සහ අදාළ පුද්ගල ආයතන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතුව තිබුණි. එසේම විකිරණශීලී ද්‍රව්‍ය අපනයන හා ආනයනය පාලනයත්, විකිරණශීලී අපද්‍රව්‍ය බැහැර කිරීම කළමනාකරණයත්, එය සතුය. එසේම විකිරණශීලී ප්‍රභවවල භෞතික ආරක්ෂාව සහතික කිරීමද, ආපදාවකදී ප්‍රතිචාර දැක්වීමේ හැකියාව දියුණු කිරීමද, න්‍යෂ්ටික ආරක්ෂක ගිවිසුම් සම්බන්ධ ලංකාවේ බැඳීම් ඉෂ්ඨ කිරීමද මෙය සතුවන අතර ඒ සඳහා අවශ්‍ය වන නීති හා රෙගුලාසි ඇතුළත් නියාමන යාන්ත්‍රණය සැකැසීම මේ ආයතනයට පැවරී ඇති වගකීමකි.

නිදසුනක් ලෙස රජය සතු මෙරට ප්‍රධානම විකිරණ ද්‍රව්‍ය ගබඩා දෙක ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය (Sri Lanka Atomic Energy Board) සතුය. සක්‍රීය විකිරණ ප්‍රභව හෝ භාවිතා කර ඉවතලන විකිරණ ප්‍රභව සුරක්ෂිතව තැන්පත් කර තැබීමේ සියලු පහසුකම් මේ ස්ථාන සතුය. ඔරුගොඩවත්ත සහ බියගම පිහිටා ඇති මේ ගබඩා සතුව ලෝකයේ දැනට ඇති ඉහළම ප්‍රමිතියට අනුව විකිරණ කාන්දුවක් සිදුවීම හෝ විකිරණ ද්‍රව්‍ය අස්ථානගත වීමේ අවදානම වැළැක්වීම සඳහා වූ සුපිරිතම ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කෙරේ. එම ස්ථානවල භෞතික ආරක්ෂාව සඳහා ආරක්ෂිත අනතුරු සංඥා පද්ධති, කැමරා පද්ධති මෙන්ම විශේෂ කාර්ය බලකාය, ගුවන් හමුදාව, පොලීසිය යන අංශවල ආරක්ෂාවද ලබාදී ඇත. මේ ලිපිය පළවන මොහොත වනවිට එම ස්ථානවල තිබූ ආරක්ෂණ යාන්ත්‍රණයේ අඩුලුහුඬුකම් ඉවත් කර ඒවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බව අපට බලය ලත් නිලධාරියෙක් තොරතුරු වාර්තා කළේය.

විකිරණ විමෝචක ද්‍රව්‍ය යනු ඉතා අංශුමාත්‍ර ප්‍රමාණයකින් භාවිතා කිරීමෙන් අතිශය විනාශදායී හානියක් සිදුකළ හැකි ද්‍රව්‍යයන්ය. මේ නිසා ඒවා ගබඩා කිරීමද ඉතා සුපරීක්ෂාකාරී විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකළ යුතුය. ඒ සඳහාම නිපදවූ තනි කොන්ක්‍රීට් කුටීර සහ ජල ටැංකි ආදිය භාවිතා වන අතර මේවා තැන්පත් කිරීම සඳහා යන සේවකයන් හට පවා විශේෂිත ආරක්ෂක ඇඳුමකින් සැරසී සිටීම සිදුවෙයි. මේවා බොහෝවිට තැන්පත් කරනුයේ භූගතවය. 

මෙබඳු ආරක්ෂාවක් ලබාදෙන ඔරුගොඩවත්ත, බියගම ගබඩා ආශ්‍රිතව රෝහල් විකිරණ සේවා සඳහා අවශ්‍ය සක්‍රීය විකිරණශීලී ද්‍රව්‍ය වන (කොබෝල්ට්60) ඇතුළුව භාවිතයෙන් ඉවත් කරන ලද එහෙත් විකිරණ අවදානම සහිත යන්ත්‍ර සූත්‍ර කොටස් ආදියද ආරක්ෂා කිරීමට කටයුතු යොදා තිබේ. එසේම මේ ස්ථානවල භෞතික ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය බලශක්ති ද්‍රව්‍ය සුරක්ෂිතතාව පිළිබඳ අමෙරිකානු දෙපාර්තමේන්තුවේ (GMS) සහායද මූල්‍ය ආධාරද ලැබී ඇත. ඒ අනුව මහරගම ජාතික පිළිකා ආයතනය, මහනුවර, බදුල්ල, ගාල්ල, අනුරාධපුර, තෙලිප්පලෙයි රෝහල් ආශ්‍රිත විකිරණ චිකිත්සා කාමර, ශ්‍රී ලංකා ගැරා ප්‍රවිකිරණ මධ්‍යස්ථානය, මානව පටක බැංකුව, ආසිරි සර්ජිකල් රුධිර ප්‍රවිකිරණ ප්‍රභව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය පවත්වාගන යන භාවිතයෙන් වැය කළ පසු ඉතිරිවන විකිරණ ප්‍රභව ගබඩා කරන ස්ථාන, ශ්‍රී ලංකන් එයාර් ලයින් විකිරණශීලී ප්‍රභව ගබඩා පහසුකම මෙන්ම වෛද්‍ය කටයුතු සඳහා අත්මේස් නිපදවන ඇන්සල් ලංකා නිෂ්පාදන විෂබීජානුහරණය සඳහා වූ ලංකාවේ විශාලතම ප්‍රවිකිරණ තටාක ඇතුළු ස්ථාන 13කට ආසන්න සංඛ්‍යාවක් සඳහා භෞතික ආරක්ෂාව තහවුරු කර ඇති බව නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අනිල් රංජිත් පෙන්වා දෙයි. 
එසේම විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනයද සුළු පටු කාරණයක් නොවන අතර ඒ සඳහා ඊයම් කුටීර ඇති සුවිශේෂී බහාලුම් සහිත වාහන යොදාගනු ලැබේ. ඒවා විකිරණ පරීක්ෂාවට නිතර භාජනය කෙරේ. මේ ප්‍රවාහනයද සිදුවන්නේ ශ්‍රී ලංකා පොලීසිය හා විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සපයන ආරක්ෂාව යටතේය. එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ ඒකකයක් වන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී හා න්‍යෂ්ටික (CBRN) යන බහුවිධ හදිසි ආපදා කළමනාකරණය සඳහා පුහුණුව ලත් හමුදා කණ්ඩායමේ ආරක්ෂක සේවාවද මේ ආයතන සතු වේ.

මේ සියලු ආරක්ෂා සහිතව ඇති ඔරුගොඩවත්ත බියගම ගබඩා ආයතනවල පහසුකම් ලබාගැනීමට ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයකුට හැකි වේ. 

ඒ සඳහා වගකිවයුතු මේ රාජ්‍ය ආයතනය අය කරනු ලබන්නේ මේ කාලයේ හැටියට ඉතා සොච්චම් මුදලකි. ක්‍රියාකාරීත්වය අධික විශාල ප්‍රමාණයේ Category I මට්ටමට අයත් විකිරණ ප්‍රභවයක් ගබඩා කිරීමටත් මෙම ආයතනය දිනකට අය කරන්නේ රුපියල් 4000ක් බඳු මුදලක් බව වාර්තා වේ. එයට අමතරව එම ස්ථානයට එකී ද්‍රව්‍ය ප්‍රවාහනයට සහ එතැනින් පිටතට ප්‍රවාහනයට සැකැසීම සඳහා ෆෝර්ක් ලිෆ්ට් භාවිතාව උදෙසාද රැපියල් 10,000 බැගින් රුපියල් 20,000ක මුදලක් වැය වේ. මේ අනුව දින 10ක කාලයකට විශාල පරිමාණයේ විකිරණ ප්‍රභවයක් හෝ භාවිත කළ විකිරණ අබලි ද්‍රව්‍යයක් ගබඩා කර තැබීමට වැය කළ යුත්තේ රැපියල් 60,000ක් වැනි මුදලකි.

එවන් පහසු මිලකට ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂිත ගබඩා පහසුකම් මෙම රාජ්‍ය ආයතනය මගින් ලබා දෙද්දී නියාමන සභාවේ අනුමැතියට ලක් නොවූ පෞද්ගලික ස්ථානවල විකිරණ ද්‍රව්‍ය අනාරක්ෂිතව ගබඩා කර තැබීමේ අවශ්‍යතාවක් කිසිසේත්ම පැන නගින්නේ නැත. ප්‍රවාහනයේදී අතරමැදි නැවතුම් ස්ථාන ලෙස අනුමැතිය ලබාගන්නා අවස්ථාවේදී සඳහන් කරන ස්ථානයන්හි ඇති ආරක්ෂිත ශක්‍යතාවන් ගැනද නියාමන සභාවේ අවධානය යොමුවන බව එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

විකිරණ කාන්දුවීමේ හැකියාව වැළැක්වීම සඳහා සුදුසු ජාත්‍යන්තර පරිමිතියන්ට අනුව සැකසූ ඊයම් කුටීර සහිත බහාලුම් යොදාගන්නා අතර එම බහාලුම් GSM හෙවත් ගෝලීය බලශක්ති ද්‍රව්‍ය සුරක්ෂිතතාව පිළිබඳ අමෙරිකානු දෙපාර්තමේන්තුව මගින් ලබාදී ඇති ට්‍රැකින් උපකරණ (T-Star) මගින් සැමවිටම ප්‍රවාහනය සිදුවන මාර්ගය පිළිබඳ විපරමකටද ලක් කෙරේ. මේ නිසා ඕනෑම අවස්ථාවක මෙම විකිරණ ප්‍රභවය සහිත බහාලුම ඇති ස්ථානය ගැන දැනගැනීමට හැකියාව පවතී. එසේම මේවා ප්‍රවාහනය කරන්නේ විශේෂ කාර්ය බලකාය සහ පොලීසියේ ආරක්ෂාව සහිතවය. ලංකාවේ ප්‍රධානම ප්‍රභවය ඇත්තේ ඇන්සල් සමාගම සතුවය. මේ සඳහා අවශ්‍ය සුරක්ෂිතතාව සැපැයීමටද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ භෞතික සුරක්ෂිත පද්ධති සඳහා වූ ක්‍රම භාවිතා කර ඇත.

එසේම ජාතික මට්ටමින් විය හැකි න්‍යෂ්ටික හෝ විකිරණශීලී හදිසි ආපදාවන් සඳහා තාක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ජාතික න්‍යෂ්ටික හෝ විකිරණශීලී හදිසි ආපදා කළමනාකරණ සැලැස්මක් සකසා ඇති අතර ඒ සඳහා පුහුණුව ලැබූ පිරිසද සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ CBRN කණ්ඩායම මෙහිදී විශේෂ වැදගත්කමක් සහිත වගකීමක් දරන පිරිසකි. ඔවුහු වර්තමාන ලෝකයේ ත්‍රස්තවාදීන් විසින් හානිදායී ප්‍රහාර සඳහා උපයෝගී කර ගන්නා විශේෂිත ආයුධ උපක්‍රම 4ක් වැළැක්වීම සහ එයින් සිදුවන ආපදාවන් සමනය කර ගැනීම සඳහා විශේෂිත පුහුණුව ලත් කණ්ඩායමක් වෙති. මේ විශේෂිත අංශ ලෙස රසායනික ©, ජීව විද්‍යාත්මක (B), විකිරණශීලී ® සහ න්‍යෂ්ටික (N) යන විද්‍යාත්මක තාක්ෂණය භාවිතා වන පැති හඳුනාගත හැකිය. ඉරාක යුද්ධයේදී වාර්තා වූ මස්ටඩ් වායු ප්‍රහාරය බඳු රසායනික ප්‍රහාරයන්, ඇන්ත්‍රැක්ස් බැක්ටීරියා ප්‍රහාරය බඳු ජෛව විද්‍යාත්මක ප්‍රහාරයන්, ජපානයේ පුකුෂිමා සිද්ධිය බඳු විකිරණශීලී හෝ න්‍යෂ්ටික ආපදාවන්වලදී CBRN කණ්ඩායමේ මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇත. 

විකිරණ ප්‍රභවයක් වන න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණයකින් පවා මාරාන්තික දැඩි හානියක් සිදුකිරීමට හැකියාව පවතී. මේ නිසාම ලෝකයේ මෙම න්‍යෂ්ටික - විකිරණ ප්‍රභව භාවිතය බලයලත් සහ එකී රාජ්‍යවල අධීක්ෂණය යටතේ සුරක්ෂිතව ඇති ආයතන හෝ පුද්ගලයන් සඳහාම පමණක් සීමාකර තිබේ. ඒ භයානක ත්‍රස්තවාදී පිරිස් අතට මේ විනාශකාරී ප්‍රහාරක බලය ලැබීම වැළැක්වීම සඳහාය. අමෙරිකාවේ 9/11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරයෙන් පසුව ලෝකය පුරා විකිරණ ද්‍රව්‍ය සුරක්ෂිතතාව පිළිබඳව එම රජයේ විශේෂ අවධානය යොමුව ඇති අතර එකී ආරක්ෂාවක් සපයා ගැනීම සඳහා GMS වැනි වැඩසටහන් මගින් ආධාර සහ පුහුණුව වෙනත් රටවලට ලබාදීමද ක්‍රියාත්මකය. ඒ හැර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය ගෝලීය විකිරණ - න්‍යෂ්ටික තර්ජන වැළැක්වීමේ වැඩ කටයුතු නිරන්තරව අධීක්ෂණයට ලක් කරමින් සිටී.

මේ වනවිට සුරක්ෂිතතාව පිළිබඳ ඉතිරිව ඇතැයි සැලකෙන අඩුලුහුඬුකම් සියල්ල සපිරෙන පරිදි අදාළ නව නීති කෙටුම්පත් සකසා අදාළ අංශ වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අප කළ විමසුමකදී තහවුරු කළේය. ඔහුට අනුව අප රටේ විකිරණ ගබඩා පහසුකම් මේ වනවිට ඇත්තේ ඉහළම සුරක්ෂිතතා මට්ටමකය. ඒ බව තහවුරු කෙරෙන ලිපියක් පසුගිය බ්‍රහස්පතින්දා වනවිට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබුණි. ඒ ජන සමාජය තුළ අනවශ්‍ය භීතියක් ඇතිකරවන දූෂමාන ප්‍රකාශයන්ගේ බොල් බව පසක් කරනු සඳහාය.

 


 සුගත් පී. කුලතුංගආරච්චි

විකිරණ ගබඩාවන්ට ආරක්ෂාව ඕනෑ තරම්!

අප ඔරුගොඩවත්ත පිහිටි අප ප්‍රධාන කාර්යාලය සහ භාවිතයෙන් ඉවත් කළ විකිරණ ප්‍රභව ගබඩාව (Spent Radioactive Source Storage) යන ස්ථාන දෙකටම ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අවි ගත් ගුවන් හමුදා බට කණ්ඩායම් මගින් ආරක්ෂාව සපයන ලද අතර අනතුරුව මෙම ප්‍රදේශයේ ආරක්ෂාව භාරව සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ කණ්ඩායමක් මගින් ආරක්ෂාව භාරගෙන ඇත. ඒ සමඟම රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ආරක්ෂකයන්ද යොදා ඇත. 

මීට අමතරව රක්නා ලංකා ආරක්ෂක සමාගමෙන් අභ්‍යන්තර ආරක්ෂක සේවාව ප්‍රධාන කාර්යාලය සඳහාත් මුළුගහ හන්දියේ පිහිටි නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය සඳහාත් බියගම පිහිටි ගැමා මධ්‍යස්ථානය සඳහාත් යොදා ඇත. බියගම පිහිටි ගැමා මධ්‍යස්ථානය සඳහා ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුර මගින් මෙම පරිශ්‍රයේ දිනකට අවම වශයෙන් දෙවතාවක් සංචාරය කෙරෙන අතර මා විසින් එම කඳවුරේ නිලධාරීන් සමඟ පවත්වන ලද සාකච්ඡාවෙන් පසුව ඔවුන් විසින් තවදුරටත් සංචාරක වාර ප්‍රමාණය වැඩි කර ඇත. දැනට බියගම පිහිටි ගැම මධ්‍යස්ථානය සඳහා ආයුධ සන්නද්ධ සේවාවක් රක්නා ලංකා ආරක්ෂක සමාගමෙන් ලබාදී ඇත. මේ අතර විටින් විට අදාළ අංශවල අදාළ ත්‍රිවිධ හමුදා, පොලිස් අංශවලින් බියගම ගැමා මධ්‍යස්ථානයට වැඩිපුර ආරක්ෂාවක් ලබාදීමට ප්‍රයත්න යෙදුවත් එසේ කර ගැනීමට අපහසුතාවයක් වූ නිසා අප විසින් ආරක්ෂක ලේකම්වරයා ආමන්ත්‍රණය කරමින් ස්ථානගත විශේෂ කාර්ය බලකා සේවාවක් ලබාගැනීම සඳහා කළ ඉල්ලීමට අවධානය ලැබෙමින් පවතී.

දීපාල් සුමන්ත්‍රි ගුණරත්නසභාපති
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30