කොළඹ නගරය ගතහොත් එහි ඇති වාහන තදබදය විශාල සමාජ ආර්ථික ගැටලුවක් බවට පත්ව තිබේ. උදෑසන, දහවල හා සන්ධ්‍යාවේ වාහන තදබදයට අනුව පැයක ධාවන කාලය කි.මී. දහයට අඩු බව සොයාගෙන තිබේ. එය පයින් ගමනකට සමානය. මේ මගින් රටට අහිමි වන මිනිස් ශ්‍රමය කොපමණද? මේ මගින් ජනතාවට ඇති වන පීඩනය කොපමණද?
කොළඹ නගරයේ වාහන තදබදයට විසඳුම් ලෙස නොයෙක් යෝජනා ඉදිරිපත් වූ බව අපට මතකය. එහෙත් ඒ එකක්වත් සාර්ථකව ක්‍රියාත්මක වී නැත. අඩුම තරමින් මංතීරු නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නේනම් බොහෝමයක් ගැටලු නිරාකරණය කරගත හැකිය. මීට පෙරද එක් වතාවක් මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු ලැබීය.
මංතීරු නීතිය සකස් කර ඇත්තේ කරුණු දෙකක් මූලික කරගෙන යැයි කියන්නට පුළුවන. එක රථවාහන අනතුරු අවම කිරීමය. දෙක මහා මාර්ගවල ඇති වාහන තදබදය අවම කිරීමය. මංතීරුවක වාහනයක් පසුපස අනෙක් වාහනය ධාවනය කළ යුතුය. ඉස්සර කිරීමට අවශ්‍යනම් අවස්ථාව එනතුරු බලා සිටිය යුතුය. රථවාහන අනතුරු වැඩියෙන්ම සිදුවන්නේ වාහන ඉස්සර කිරීම නිසා යැයි සමීක්ෂණවලින් හෙළි වී ඇත. පොලීසිය පෙන්වා දෙන පරිදි මංතීරු නීතිය වැඩියෙන්ම උල්ලංඝනය කරන දෙපිරිසක් සිටිති. එක පිරිසක් යතුරුපැදිකරුවෝය. අනෙක් පිරිස ත්‍රිරෝද රථකරුවෝය. මේ දෙපිරිසම කුඩා වාහන භාවිත කරන බැවින් ඕනෑම තැනකින් රිංගා යා හැකිය. නමුත් මොවුන් එසේ සිදු කරන්නේ නැත. එහෙත් සියලු දෙනා මෙලෙස නීතිය කඩ කිරීමට ගියහොත් නැවත අවුලක් මතුවනු ඇත. එබැවින් හොඳම තීන්දුව විය යුත්තේ නීතිය කාටත් සමාන ලෙස අකුරටම ක්‍රියාවේ යෙදවීමය. අනෙක් අතට එය රට පුරාම ක්‍රියාත්මක වීමද වැදගත්ය.
මෝටර් වාහන සඳහා මංතීරු නීතිය වලංගු වුවද එය රියදුරන් නිසි අයුරින් පිළිනොපැදීම හේතුවෙන් පසුගිය කාලයේ සිදු වූ රථවාහන වැරදි සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබිණි. මෙම දිනෙන් දින සිදුවන රථවාහන අනතුරුත් සමඟ දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව පසුගිය 27 වැනිදා සිට නැවතත් මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට කර ඇත. එමෙන්ම ඊට අනුගත වීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දී ඇති අතර ලබන 10 වැනිදා සිට මංතීරු නීතිය අකුරට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ප්‍රධාන හේතු දෙකක් තියෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර
මොකද්ද මේ මංතීරු නීතිය?
මංතීරු නීතිය කියලා වෙනම නීතියක් නැහැ. එය නීති කිහිපයක එකතුවක්. එය මෝටර් රථ සහ වාහන පනතට අදාළයි. මේ නීතියට අනුව හැමවිටම බර වාහන ගමන් කරන්න ඕන පාරේ වම් පැත්තෙන්. දුර ගමන් යන වාහන වේගයෙන් යන වාහනවලට දකුණු පස මංතීරුවල ගමන් කරන්න පුළුවන්. යම් වාහනයක් දකුණු මංතීරුව හිරකරගෙන ප්‍රධාන මාර්ගය අවහිරවන ලෙස වාහන පැදවීම වරදක්. ඒ වගේම මංතීරු කිහිපයක් තිබෙන විට මංතීරු හරහා අපරික්ෂාකාරීව ගමන් ගන්නවානම් මංතීරු නීතියට අනුව එය වරදක්. මෝටර් රථ හා වාහන පනතට අනුව එය අපරික්ෂාකාරීව රිය පැදවීමේ වරද වෙනවා.
වම් මංතීරුවේ තිබෙන වාහනයකට දකුණට යන්න අවශ්‍යනම් වම් පැත්තේ තිබෙන වාහනය එකපාරටම දකුණට කපලා ගන්නවනම් ඒක වරදක්. විශේෂයෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලට මංතීරු කපා හැර සෙසු වාහනවලට ඉදිරියට යාම කළ නොහැකියි. නමුත් මාර්ගයේ වම් පැත්තේ තදබල ලෙස වාහන හිරවීමක් තිබෙනවානම් එවැනි අවස්ථාවක මාර්ගයේ දකුණු පැත්ත පැහැදිලිවම තිබෙනවානම් පමණක් යම් වාහනයක් දකුණු පැත්තෙන් ඉදිරියට යාම වරදක් නොවෙයි. මේ මංතීරු නීතිය එකපාරටම හඳුන්වා දීලා නැහැ. මෙය වසර ගණනාවක සිටම තිබුණා. බීමතින් රිය පැදවීමේ වරදට වසර ගණනක් සිටම රියදුරන් වරදට හසුවෙලා තියෙනවා. මංතීරු නීතිය ක්‍රියාත්මක වන්නේ කාලයක සිට නමුත් මේ මංතීරු නීතිය කියන නම එකතු වුණේ මෑතකදී. විශේෂයෙන්ම මංතීරු නීතිය හඳුන්වා දීමට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එනම් මංතීරුවල අපරික්ෂාකාරීව ගමන් කිරීමෙන් නිතරම ඇතිවන රථවාහන තදබදය වළක්වා ගැනීම සහ මාර්ග අපරික්ෂාකාරීව ධාවනයෙන් සිදුවන රිය අනතුරු වළක්වා ගැනීම. මෙම ක්‍රමය වලංගුව තිබුණා. නමුත් පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. පසුගිය 27 වැනිදා සිට එය නැවත ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා රියදුරන්ට අනුගත වීමට සති දෙකක කාලයක් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ මස 10 වැනිදා ඉඳලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.
පොලීසිය පෙන්වාදෙන ආකාරයට විශේෂ පොලිස් කණ්ඩායම් ගණනාවක් කොළඹ නගරයේ මහා මාර්ගවලට යොදවා ඇත. ඒ මංතීරු නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම සඳහාය. මේ හැරෙන්නට අවශ්‍ය ස්ථානවල සී.සී.ටී.වී. කැමරා සවිකර ඇති බවද පොලීසිය පවසයි. බොහෝවිට රියදුරන්ගේ සිරිත වී ඇත්තේ පොලීසිය දුටු සැණෙන් නීතිගරුකව රිය පදවා පොලීසිය නැති තැන සියලු නීති කඩමින් වාහනය ධාවනය කිරීමය. මෙම ක්‍රමය මංතීරු නීතිය හරහා බොහෝවිට වෙනස් වනු ඇත.
රථවාහන ධාවනය සම්බන්ධයෙන් ඉතා හොඳ නීති රීති පද්ධතියක් රටට තිබේ. එය පැහැදිලි වන්නේ රථවාහන සම්බන්ධයෙන් ඇති නීතිය කියවන විටය. එහෙත් මේ නීතිවලින් බොහෝමයක් මහ පාරේ ක්‍රියාත්මක වන්නේ නැත.
මහ පාරට නීතිය ගෙන එන්නේ කෙසේද යන්න දීර්ඝ සංවාදයක් අපට අවශ්‍යය. පොලීසියට පමණක් අනතුරු අවම කිරීමේ හැකියාවක් නැත. පොලීසියට පමණක් වාහන තදබදය නැවැත්වීමට හැකියාවක්ද නැත. එක් අතෙකින් අපේ මහා මාර්ග හා මාර්ග සංඥා පද්ධතිය නවීකරණයට ලක්විය යුතුය. තව අතෙකින් රටට ඔරොත්තු දෙන වාහන සංඛ්‍යාවක් පවත්වා ගැනීමට වගබලා ගත යුතුය. නාගරික ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීමෙන් වෙනත් රටවල් වාහන තදබදය නවත්වාගෙන තිබේ. දියුණු රටවල රථවාහන ධාවනය හා හැසිරවීම පිළිබඳ අත්දැකීම්වලින් අප තවම නිසි ප්‍රයෝජනයක් ලබාගෙන නැත.
සටහන - හසිත් අංජන