කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහිව ජූනි 5 වැනිදා වනවිට ලැබී තිබුණු පැමිණිලි ප්‍රමාණය 733කි. මේ වනවිට කාන්තාවන් හාරසිය විසි එක්දෙනකු ඇතුළු පුද්ගලයන් 534 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත. ඒ අතර විශේෂඥ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් 6ක් ඇතුළු වෛද්‍යවරුන් 26 දෙනක් සිටිති. හෙද හෙදියන් 69 දෙනෙක් හා රෝහල් කාර්ය මණ්ඩල සේවකයන් 18ක් සිටිති. මේ අතර සිසේරියන් සැත්කම් කිරීමේදී වන්ධ්‍යකරණයට ලක්කළා යැයි කියන චෝදනාවට එරෙහිව ඇති නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ මස 27 වැනිදා කැඳවීමට නියමිතය.
කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කාන්තාවන් වඳ කළායැයි කියන චෝදනාව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් හටගත් සිංහල - මුස්ලිම් අර්බුදයට වඩා වේගවත්ව පැතිරුණේය. පොලීසිය උපුටු දක්වමින් මාධ්‍ය වාර්තාවක් පළවූ සිදුවීම පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගැනුණ ද ඒ වනවිටත් අදාළ චෝදනාවට එරෙහි පැමිණිල්ලක් නැති බව අනාවරණය කෙරිණි. කෙසේ නමුත් වෛද්‍ය මොහොමඩ් සාෆි මෙයට සම්බන්ධතාවක් ඇතැයි කියන ප්‍රකාශයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි.
විශ්ව විද්‍යාල ආචාර්යවරයකු විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළකළ තොරතුරට ප්‍රතිචාර යොමු කළ පිරිස් ඊට විවිධ අර්ථකථන දෙමින් සිට ඇත. අදාළ තොරතුරු පිළිබඳව මොහොමඩ් සාෆි වෛද්‍යවරයා හා ඇගේ බිරිය විසින් පොලීසියට පැමිණිලි කිරීමට යාමට සූදානම්ව සිට ඇත.
&23 වෙනිදා අපි පොලීසියට යන්න හිටියත් යන්න බැරිවුණා. අවශ්‍ය තොරතුරු මේසය උඩ තියෙද්දි 24 වැනිදා පොලීසියෙන් කියලා සිවිල් දෙන්නෙක් අපේ ගෙදර ආවා. ඔවුන් කීවේ මහත්තයාට කට උත්තරයක් ගන්න පොලීසියට යමු කියලයි. ඒ දෙන්නත් අපේ වාහනයකට නැගලා ගියේ. මඟදි වාහනය හරස් කරලා ජිප් එකකට මහත්තයා දාගෙන තියෙනවා. එතකොටයි අපි හිතුවේ මේක සැලසුම් සහගතව කරපු දෙයක් කියලා” මේ අදහස් පළකළේ වෛද්‍ය සෙයිගු ශියාවේදීන් මොහොමඩ් සාෆි මහතාගේ බිරිය වන ඉමාරා මහත්මිය විසිනි.
අදාළ සිදුවීමෙන් හෝරාවකට පමණ පසුව වෛද්‍යවරයා කැටුව පොලිස් නිලධාරීන් කීපදෙනකු නැවත නිවසට පැමිණ ඇත. ඔවුන් එසේ රැඳී සිට තිබුණේ තවත් පිරිසක් එහි එන තෙක්ය. අනතුරුව සිදුකර තිබුණේ නිවසේ තිබූ සී.සී.ටී.වී කැමරාවල පටිගත වීමේ කොටස් ගලවා ගැනීමය.
පසුව සම්පූර්ණ නිවස පරික්ෂා කර ඇති අතර වෛද්‍යවරයාගේ ලිපි ලේඛන, චෙක් පොත් හා පරිගණක ආදිය ඔවුන් භාරයට ගෙන ඇත. එසේ සිදුකළ පිරිස වෛද්‍යවරයාත් රැගෙන නිවසින් පිටව ගොස් තිබුණේ පසුදා අළුයම් කාලයේදීය.
වෛද්‍ය මොහොමඩ් සාෆිට එරෙහිව වත්කම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් විමර්ශනය සඳහා වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුට එරෙහිව වඳ සැත්කම් චෝදනාවක් තිබුණේදැයි විමසීමේදී මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේ මැයි 25 වැනිදා දහවල් 12 වනතෙක් එවැනි පැමිණිල්ලක් හෝ ඒ සම්බන්ධ විමර්ශනයක් නොමැති බවය. ඒ බව කුරුණෑගල පොලිස් අධිකාරී කාර්යාලය තහවුරු කළ බවද දන්වා සිටියේය.
වෛද්‍ය සාෆි 2015 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරගකොට මනාප 54000ක් ලබාගෙන තිබුණි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ ඥාතියකුට අයත් බව කියන කුරුණෑගල නගරයේ රියෝ බාර් නැමැති ගොඩනැගිල්ල තිබූ ඉඩම අලෙවියට සූදානම් වී ඇත්තේ මීට වසර හතරකට පෙර 2015දීය. එහි වටිනාකම කෝටි 13ක් බව වාර්තා විය. වෛද්‍ය සාෆිට හිතවත් මන්ත්‍රීවරයෙක් හා තවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු සමඟ එක්ව ඉඩම මිලට ගැනීමට සූදානම්ව ඇත. විශාල මුදලක් නොවූයෙන් පළමු අදියරේදී කෝටි හයක් ගෙවා ඉතිරිය මාස හයකදී කොටස් වශයෙන් ගෙවීමට හිමිකරු සමඟ ගිවිසුම් අත්සන් තබා ඇතැයිද වාර්තා විය. එහිදී එක් අයකුට අයත් වාරිකය එක්කෝටි පනස් ලක්ෂයක්ව තිබී ඇත.
මේ අතර වෛද්‍ය සාෆි මහතාගේ බිරිය පවසන්නේ අදාළ ගොඩනැගිල්ල හා ඉඩම යම් වෙළෙඳ සංගමයක් විසින් ඔවුනට ලබාදෙන ලෙස සාෆි මහතාගෙන් ඉල්ලා තිබූ බවකි. ඒ සඳහා වැඩිපුර මුදලක් ලබාදීමට උත්සාහ කර ඇතත් වෛද්‍ය සාෆි ඇතුළු පිරිස ඊට අකමැති වී ඇතැයි කියති. වෛද්‍ය සාෆිගේ බිරිය ඉමාරා කියන පරිදි අවසානයේ කතාව පැතිර ඇත්තේ රුපියල් කෝටි 13ක් ගෙවා ඉඩම මිලට ගත්තේ වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් බවටය.
මීට වසර දෙකකට ඉහතදී කුරුණෑගල රෝහලේ සේවය කළ වෛද්‍යවරියක සාෆි වෛද්‍යවරයා පිළිබඳව වඳ කතාවක් කියා ඇත. එම කතාවෙන් සාෆිට අපහාසයක් වන නිසා ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයිද ඒ පිළිබඳ විමර්ශනයක් සිදු නොවූ බවද වෛද්‍යවරයාගේ බිරිය පවසන්නීය. මේ අතරතුර කුරුණෑගල රෝහලේම සේවය කරමින් සිටි සාෆි වෛද්‍යවරයාගේ බිරියට ස්ථාන මාරුවක් ලැබී ඇත. ඊට සාෆි වෛද්‍යවරයා විරෝධය පළකර තිබෙන අතර එතැන් සිට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා හා සාෆි අතර අමනාපයක් ඇති වූ බවද පවසන්නීය.
කුරුණෑගල රෝහල ආසන්නයේ තිබෙන සය මහල් ගොඩනැගිල්ලක මහල් දෙකක් සාෆි වෛද්‍යවරයාගේ ඥාතීන් කුලියට ගෙන තිබේ. එහි මැද පෙරදිග රටවලට යන පිරිස් සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කරයි. එම ව්‍යාපාරය වෛද්‍ය සාෆිගේ මාමා නමට ලියාපදිංචි කොට ඇතැයි වාර්තා වේ. මැයි මස මුල් සතියේ එහි ගිය පොලිස් නිලධාරීන් පිරිසක් වෛද්‍ය සාෆි මහතාගේ වත්කම් පිළිබඳව විමසා තිබිණ. මේ ආසන්න දිනවලදී වෛද්‍ය සාෆි විසින් බිළිඳකු මාරු කළේයැයි කියන චෝදනාව පිළිබඳ විමර්ශනයක් අරඹා ඇත. ඒ අතර සැත්කමකදී කාන්තාවකගේ මුත්‍රාශයට හානි වූවායැයි කියන සිදුවීමට ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මේ සිදුවීම් පෙළ අතර වඳ කතාව එළියට ආවේ රටට මහා ආන්දෝලනයක් ඇති කරමිනි. ඒ වනතෙක් වඳ කතාව පිළිබඳව වෛද්‍ය සාෆි පිළිබඳ කතාවක් නොවුණද රෝහලේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා තිබුණේ වඳ සැත්කම්වලට අදාළව වෛද්‍ය සාෆිට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරන ලෙසය. ඒ අතර රෝහල් අධ්‍යක්ෂවරයා කියා තිබුණේ සැකකාර වෛද්‍යවරයාට එරෙහිව තොරතුරු නැතත් පුවත්පත් වාර්තාව නිසා එම ඉල්ලීම කළ බවය.
කාන්තාවන් වඳ කිරීම පිළිබඳ කිසිදු පැමිණිල්ලක් නොමැතිව එවැනි කතාවක් ජනමාධ්‍ය වෙත ලබාදුන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පිළිබඳව රහස් පොලීසිය පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ. පරීක්ෂණ අතරතුර සාෆි වෛද්‍යවරයාගේ ගිණුම් පරික්ෂා කර ඇතත් එහි ශේෂයන් රුපියල් දහයට අඩු බවද පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ වෙතත් සැකකාර වෛද්‍යවරයාගේ සමස්ත වත්කම රුපියල් කෝටි 9 ඉක්මවා පවතින බවට රාවයක් තිබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර