2019 ජුනි 08 වන සෙනසුරාදා

විදෙස් හමුදාවලට දොර ඇරියාද?

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

රට තුළ පැතිර යන ඇතැම් අදහස් හා මතවාද දෙස බලන විට එක් අතෙකින් පුදුම හිතෙන්නත් පුළුවන්.. ශ්‍රී ලංකාවට සාම සාධක හමුදාවක් ගෙන්වන බවටද විදේශීය ආක්‍රමණයක් සිදුවිය හැකි බවටද මේ වනවිට මතයක් සමාජ ගතවෙමින් ඇත. එවැන්නක් සිදුවීමට එරෙහිව ආගමික නායකයන්ගේ සංදේශයක් මේ වනවිට ඉදිරිපත් වී තිබේ. එහෙත් සාම සාධක හමුදාවක් රටට ගෙන්වීමට අදාළ කිසිදු සාක්ෂියක් මේ වෙනතෙක් ඉදිරිපත් වී නැත. නමුත් ඒ සම්බන්ධව අනියත බියක් මේ  වෙනකොට පැතිර ගොස් ඇත. එම භීතිය රටේ සාමාන්‍ය පැවැත්මට සුබදායක වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ ජගත් මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගෙනඒමට වෙරදරන මෙරට ආරක්ෂක අංශයේ නිලධාරීන් බොහෝ දෙනකු අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. අමෙරිකාවට මේ වනවිට උවමනා වී ඇත්තේ ඒකාබද්ධ හමුදාමය සම්බන්ධතා ගොඩනගාගැනීමට බව විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම වෘත්තීයවේදීහු ද පවසති..

විදේශ හමුදාවක් ලංකාව තුළ ස්ථාපිත කිරීමේ හැකියාව සෝෆා ගිවිසුම, ඇක්සා ගිවිසුම මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කම්පැනි ගිවිසුම යන ගිවිසුම ත්‍රිත්වය සාර්ථක කරගැනීමට ඉඩම් පිළිබඳ විශේෂ විධිවිධාන ගැන රජයේ ඉඩම් හා බැංකු පනත සහ ප්‍රතිත්‍රස්ත පනත විදේශීය බලවේගයන්ට උවමනා පරිදි සකස් කිරීමේ වැඩපිළිවෙළ හරහා මෙය ක්‍රියාත්මක වෙනු ඇතිබවට මේ වනවිට සමාජය පුරාවටම කතාබහක් මතුවී තිබේ.

ශ්‍රී ලංකා භූමිය විදේශිකයන්ට අවශ්‍යය පරිදි භාවිත කළහැකි වන කිසිදු ගිවිසුමකට එළඹෙනවාට විරැද්ධව මල්වතු, අස්ගිරි හිමිවරැන් සහ කාදිනල් හිමියන් විසින් ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත්කර ඇත. 
විදෙස් සාම - සාධක හමුදා මෙරටට ගෙන්වීම පිළිබඳ සමාජයේ මේ වනවිට ඇතිවී තිබෙන කතාබහ පිළිබඳව දේශයේ අපි පාර්ශව කිහිපයකින් ප්‍රශ්න කළෙමු. 

අපේ රට ජාත්‍යන්තරයට පාවා දෙන්න හදනවා

පියල්  නිශාන්ත - ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී

අද වෙනකොට ජාත්‍යන්තර ප්‍රබල රටවල් කිහිපයක් අපේ  රට ග්‍රහණයකට ගන්න බලාපොරොත්තු වෙනවා.. මේ විදියට මේ ජාත්‍යන්තරයේ ඇතැම් රටවල් අපේ රට ග්‍රහණයට ගන්න බලන් ඉන්නේ වෙනත් කිසිදු කාරණයක් නිසා නෙවෙයි මේ රටේ තියන ආරක්ෂක ස්ථාන අත්පත් කරගැනීමට. අද මේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරැන් පවා තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න ජාත්‍යන්තරයට රට පාවලා දෙනවා. ඒ වගේම තමයි ජාතින් අතර අසමගිය ඇති කරන්නට මොවුන් දැඩි උත්සහයක නිරත වෙනවා. මේ රටේත් ත්‍රස්තවාදය වැටලීමට ජාත්‍යන්තර හමුදා එනවා කියන්නේ ලෝකයේ ත්‍රස්තවාදය තිබුණු අනෙක් රටවලට සාම හමුදා ඇවිත් වූ විනාශයම තමයි වෙන්නේ.. මොන තරම් දේ කිව්වත් මේ නායකයන්ට රට ගැන කිසිම හැඟීමක් නැහැ. අපි මේ ජාත්‍යන්තර හමුදා රටට එන එකට තරයේ විරැද්ධයි. අපේ රට අපි ආරක්ෂා කරගත යුතුයි.

රට ඇතුළේ භේද හදන්න විපක්ෂය කියන බොරුවක්

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ

අපේ රට ලෝකයේ සමහර රටවල් සමඟ ගිවිසුම්වලට එළඹිලා තියනවා සාම - සාධක හමුදා භට පිරිස් වෙන්න. ඒ වගේම ඔවුන් ඒ විදියට ගිහින් තම රාජකාරිය නිසිලෙස අකුරට ඉටුකරලත් තියනවා. ඒ වගේම තමයි දැන් රට තුළ මතයක් ඇතිවීගෙන යනවා. මේ සාම - සාධක හමුදාව එහෙම නැත්නම් විදේශීය රටවල හමුදා මෙරටට ඇවිත් රට තුළ කඳවුරු බැඳගෙන රටේ කටයුතුවලට බලපෑම් එල්ල කරන්න යනවා කියලා. නමුත් ඒක බොරුවක්. මේ වගේ ප්‍රචාර ජනතාව අතරට යවන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරැන් සහ කණ්ඩායම්. මොවුන්ට ඕනවෙලා තියෙන්නේ. රටේ ජාතිභේද ඇති කරලා වත්මන් රජය අපහසුතාවයට පත්කරන්න. ඒ වෙනුවෙන් මොවුන් කළහැකි සියල්ල කරත් ඒ කිසිවක් සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. සැබවින්ම මේ විදේශීය හමුදා මෙරටට ගෙන්වීමට කිසිදු අදහසක් රජයට නැහැ.

එහෙම හමුදා ගෙන්වීමට අවශ්‍යතාවක් නෑ

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ ලේකම් නිෂාන් කාරියප්පර්

අපි දන්නා ආකාරයට මෙරටට සාම - සාධක හමුදා ගෙන්වීමේ අවශ්‍යතාවයක් නැහැ. පසුගිය දිනවල සිදුවූ යම් යම් සිදුවීම් පිළිබඳ සැබවින්ම අපි කනගාටුවට පත්වෙනවා. ඒ අන්තවාදී කණ්ඩායම් විසින් රටට කරපු විනාශය පිළිබඳව. මේ රට තුළ ජාතිවාදී ආගම්වාදී කිසිම ප්‍රශ්නයක් නැහැ. සමගියෙන් රට තුළ ජනතාව ජීවත් වෙනවා. ඇතැම් පටු දේශපාලන අරමුණ ඉලක්ක කරගත් උදවිය තමයි මේ විදියට එක එක ගිවිසුම් මෙරටට ක්‍රියාත්මක කිරීමට ඉඩ සලස්වන්නේ..

අපේ රටට විදෙස් හමුදා මොකටද?

ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද

තිස් අවුරුදු යුද්ධයක් පැවති රට නිදහස් කරගත් රණවිරුවන් මෙරට ඉන්නවා. ඒත් දැන් කතාබහ වෙනවා මේ ත්‍රස්තවාදය මැඩලීමට විදේශීය හමුදාවල සහය ලබාගන්නා බවට. නමුත් අපේ මේ රටට විදෙස් හමුදාවල අවශ්‍යතාවයක් නැහැ. එහෙම වුණොත් සිදුවන්නේ මේ රටේ ජනතාවට නැවත ඒ පසුගිය කාලයේ අත්දැකීම් සිහියට නැගෙනවා. පසුගිය කාලය වගේම රටේ ඇවිදීමට පවා ජනතාව බයක් දක්වන යුගයක් උදාවෙනවා. ඇත්තටම මේ රටේ අන්තවාදී කණ්ඩායම් නැවත හිස ඔසවනවා වැනි තත්ත්වයක් තිබේ නම්. එය පාලනය කරගැනීමට මෙරට හමුදා නිලධාරීන්ට හැකිතාක් පවතිනවා. ඒ නිසා මෙවැනි විදෙස් බලපෑම්වලට කිසිවිටකවත් ඉඩදීමට හැකියාවක් නැහැ.

රට දෙකඩ කරන්න ආණ්ඩුවේ සැලැස්මක්

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දොස්තර ගුණදාස අමරසේකර

විදේශීය හමුදා මෙරටට ගෙන්වීම තුළින් රට දෙකඩ කිරීමේ උත්සාහයක තුන්වන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තමයි මොවුන් සැරසෙන්නේ. ප්‍රභාකරන් මේ රට දෙකඩ කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව ඒ අරමුණ ඉටුකර ගැනීම දෙමළ ඩයස්පෝරාවේ සහයෝගයන් ඇතිව තමයි මොවුන් මේ උත්සාහ කරන්නේ. ඒ වගේම මේ රට තුළ සිටින ඇතැම් ජාතිවාදී ප්‍රශ්නවලට ඉඩදීලා මොවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට සැරසීම පිළිබඳව අපි දැන් දීර්ඝකාලයක සිටම කතාබහ කරනවා. නමුත් රජය කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ රට තුනකට කඩන්න හදන කිසිම සිදුවීමකට අපි ඉඩ තබන්නේ නැහැ. මොකද ලෝකයේ අනෙකුත් රටවලට වුණු දේවත් මේ මාතෘභූමියට වීමට කිසිදු ඉඩක් තබන්නේ නැහැ.

 සටහන - හසිත් අංජන