මුහුණු පොත හරහා හඳුනාගත් යහළුවෝ කණ්ඩායමක් පසුගියදා හරි අපූරැ කටයුත්තකට අත ගැසූහ. මුහුණු පොත (Facebook) හරහා එකතු වුණු මේ කණ්ඩායම Generation Green (හරිත දේශයක් උදෙසා) නමින් අලුතින් කණ්ඩායමක් (Group) ඇති කරගත්හ. සැබෑවටම මොවුන්ගේ එකම අරමුණ වූයේ සුන්දර ලංකාවක් බිහිකරලීමට අත දීමටය. මෙම කණ්ඩායම ආරම්භ කරන ලද්දේ තක්ෂිලා ගිම්හානි විසිනි.
ඔවුහු විල්පත්තුවේ ගස් කැපීම සම්බන්ධයෙන් ද දැඩි ලෙස විරැද්ධ වූහ. ඒ සඳහා ඔවුහු විහාරමහාදේවි උද්‍යානය ඇතුළු බොහෝ තැන්වල සැරිසරමින් ජනතාවගෙන් අදහස් ගත්හ. මුහුණු පොත හරහා මෙයට විරැද්ධව දැඩි මතවාද පළකළහ.
රට පුරා එකතු වුණු Generation Green කණ්ඩායමේ සගයන්ගේ ප්‍රථම හමුව විහාරමහාදේවී උද්‍යානයේදී පවත්වනු ලැබීය. ඉතා විශාල සංඛ්‍යාවක් මෙම කණ්ඩායමේ නාමිකව සාමාජිකත්වය ලබා සිටිය ද පැවැත්වූ හමුවේදී ඔවුන්ගේ පැමිණීම ඉතා අල්ප විය. පැමිණ සිටි සංඛ්‍යාව තිස් පහක් පමණ විය. නමුත් කිසිම මොහොතක ඔවුහු අධෛර්යමත් නොවූහ. ගාල්ල, පානදුර, කොළඹ, වත්තල ආදි බොහෝ ප්‍රදේශ නියෝජනය කළ අය ඒ අවම පිරිස අතරේද සිටීම මොවුන්ගේ සතුටට හේතුවක් විය.
පළමු මුණගැසීම අපතේ නොයවන්නට ඔවුහු තීරණය කළහ. ඔවුහු පැය හතරක් ඇතුළත මුළු පිටකොටුවම පිරිසිදු කළහ.
අපේ ගෘෘප් එක පටන්ගත්තේ මේ රට ලස්සන කරන්න. අපි එකතු වුණු පළවෙනිම දවසේ අපි හිතුව තරම් පිරිසක් ආවේ නැහැ. හැබැයි ඒ නොපැමිණීම අපිව අධෛර්යමත් කළේ නැහැ. අපි පැය හතරක් ඇතුළත කාලයකින් පිටකොටුවම පිරිසිදු කළා. කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් මේ වැඩේට හරි හරියට හවුල් වුණා.
Generation Green කණ්ඩායමේ සගයෙක් වුණු චමත් භාෂිත විජේසිංහ දේශයට පැවසීය.
පැය හතරක් ඇතුළත ඔවුන් කොටුව දුම්රියපොළ, බස් නැවතුම ඇතුළු බොහෝ තැන් සුද්ද පවිත්‍ර කළහ.
මම පදිංචි වෙලා ඉන්නේ වත්තල. ඒ නිසා නිතරම මම හුණුපිටිය හරස් මාර්ගය දකිනවා. එතන හරිම අපිරිසිදුයි. හැමෝම පෝස්ටර් අලවන්නේ ඔය කොටසෙයි. ඒ නිසාම කිසිම පිළිවෙළක් ඒ අවට දකින්න නැහැ. මේ නිසා මේ විදිහට චිත්‍ර ඇඳීමක් කළොත් හොඳයි කියලා අපිට හිතුණා
චමත් විජේසිංහ වැඩිදුරටත් පැවසීය.
මෙවැනි විශාල ඉඩ පරාසයක චිත්‍රයක් ඇඳීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා අවශ්‍ය තීන්ත ඇතුළු අනෙකුත් සියල්ලත් වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. මේ නිසාම Generation Green කණ්ඩායම මුහුණ දුන් අභියෝගය වූයේ ඒ සඳහා අනුග්‍රාහකයන් සෙවීමේ කර්තව්‍යය වෙනුවෙනි. කණ්ඩායමේ සියල්ලන්ම තමන්ට හැකි පමණින් මුදල් මේ සඳහා බැර කළහ.
මෙම wall art සඳහා එකතු වූයේ ඒ සඳහා ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වුණු ඩොමිනික්ය. Generation Green කණ්ඩායම පාස්කු ඉරිදාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරය අළලා චිත්‍රයට ඇඳීමට පළමුව තීරණය කළද අවසානයේදී ඒ තීරණය වෙනස් කෙරිණි. පසුව එකතු වීම අළලා චිත්‍රයක් ඇඳීමට ඔවුහු තීරණය කළහ.
චිත්‍රය ඇඳීමට පෙර ඉතා වෙහෙසක් දරා එම ස්ථානයේ අලවා තිබූ පෝස්ටර් ගලවා පිරිසිදු කිරීමට ඔවුන්ට සිදුවිය. ඒ සඳහා තරුණයන් මෙන්ම තරුණියෝ ද හවුල් වූහ. කුඩා දරුවකුගේ මනසේ රට තුළ ඇතිවන හැඟීම ඇතුළත් චිත්‍රය ඇඳීම ආරම්භ වූයේ ඉන්පසුවය. මේ සඳහා දින තුනක කාලයක් ගතවුණි. මෙම චිත්‍රය ඇඳීම සඳහා Generation Green කණ්ඩායමට රුපියල් හැත්තෑපන්දහසක් වැනි මුදලක් වැය වී තිබිණි.
මෙම කටයුත්ත සාර්ථක කරගන්නට දිරි දුන් අය වගේම Generation Green කණ්ඩායම අධෛර්යමත් කළ පිරිසක් ද නොසිටියාම නොවේ. Generation Green කණ්ඩායමට බොහෝ දෙනා එකතු වුවද මේ දුෂ්කර කට්ට කෑමට අකමැත්තෙන් සමහරැ අතරමගදී මෙම කණ්ඩායම අතහැර ගියහ. තවත් අය රට ගැන කිසිම හැඟීමක් නැතිව ඕවා පිස්සු වැඩ. පාරවල් සුද්ද කරන්න පුළුවන්දැයි පවසමින් කණ්ඩායමෙන් නොකියාම ගියහ.
මේ අතර තවත් කෙනෙක් කණ්ඩායමට එකතු වී සෑදූ පළමු Facebook page එක උදුරා ගත්තේය. ඇතැම්හු මොවුන්ට මඩ ගැසූහ. පෝස්ටර් අලවන්නේ කොහේද කියමින් තවත් සමහරු මේ වැඩේට විරුද්ධ වූහ. නමුත් නොසැලෙන අධිෂ්ඨානයක් තිබූ Generation Green කණ්ඩායම ඒ සියලු බාධක මැද අවසානයේදී ජයගත්හ.
මේ ගෘෘප් එක පටන් ගන්නකොට අපිත් එක්ක දෙසීයක් තුන්සීයක් විතර හිටියා. හැබැයි ඒ බොහොමයක් සමාජ ජාලවල බොරුවට කතා කරපු අයයි. ඒ අය ඇත්තටම මේ වැඩේට ආවෙ නැහැ. ඒත් අපි අපේ ගමන ගියා. අපෙන් අයින් වුණු අය බොහෝමයක් ආයෙත් අපේ කණ්ඩායමට එන්න හැදුවා. අපි මේ වැඩේ මෙතනින් නවතින්නේ නැහැ. මේ වගේ තැන් පේන්ට් කරලා අපි මේ රට ලස්සන කරන්න උදව් කරනවා. හැබැයි අපි දේශපාලනය මේකට ගාවගන්නේ නෑ. දේශපාලනයට සම්බන්ධ කෙනෙක් මේ වැඩේට අනුග්‍රහය දැක්වුවත් අපි ඒ අයගේ නමක්වත් චිත්‍රයට දාන්නේ නැහැ. අපි ඊළඟට බණ්ඩාරගම අධිවේගී මාර්ගයේ තියෙන පාලමේ චිත්‍රයක් කරනවා. අපි ඇඳපු wall art එකට වත්තල ප්‍රාදේශීය සභාවෙන් ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඒ වගේම බොහෝ දෙනෙක් අපිට උදව් කළා. අපිට සහයෝගය දක්වපු අය වගේම අපේ කකුල්වලින් ඇදපු හැමෝටම ගොඩක් ස්තූතියි
චමත් විජේසිංහ අවසානයේදී එසේ දේශයට පැවසීය.
කණ්ඩායම් එකතුවකින් හරි අපූරු නිර්මාණයක් අවසානයේදී බිහිවුණි. එවැනි චිත්‍ර බොහෝමයක් රට තුළ විවිධ පළාත්වල ඇඳීම ඔවුන්ගේ පරමාර්ථය වේ. එහි ඊළඟ නැවතුම වන්නේ පානදුර බණ්ඩාරගම ප්‍රදේශයයි. ඒ සඳහා ඔබට ද හවුල් වන්නට පුළුවන්. එය දවසක ඔබේ හිතට සතුටක් ගෙන එනු නොඅනුමානයි. පහත දුරකථන අංකවලින් ඔවුන් සම්බන්ධකරගත හැකියි.
චමත් විජේසිංහ - 0717867547
දිනිනු සමරකෝන් - 0770625412
දිශානි ජයමාලි කරුණාරත්න