2019 ජුනි 01 වන සෙනසුරාදා

විපක්ෂයේ ආණ්ඩුව

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 13

දැනට කාලයකට පෙර ආණ්ඩුව ඇතුළෙන් විපක්ෂයක් ඇතිවීම දේශපාලන තීරු ලිපිවල ලොකු මාතෘකාවක් වී තිබුණි. වරින්වර එවැනි කතා එළියට පැමිණි අවස්ථාවල සැබෑ විපක්ෂය තිබුණේ සැබෑ ලෙසම දුර්වල වෙලාය. විපක්ෂය දුර්වල වනවිට ආණ්ඩුව ඇතුළේ ඇතිවෙන ආරවුල්වලට මුල්වන මැති ඇමැතිලා වැටුණේ විපක්ෂයේ ගාණටය. ඒවා තීරැ ලිපිවලට හොඳ කටගැස්මක් එකතු කළේය. හැබැයි දැන් නම් ඇහෙන්නේ පෙනෙන්නේ ආණ්ඩුව ඇතුළෙන් විපක්ෂයක් හැදෙන බව නොව ඒකේ අනෙක් පැත්තය. ඒ කියන්නේ විපක්ෂය ඇතුළෙන් ආණ්ඩුවක හඬක් නැගෙන බවය.

එහෙම වෙන්නේ ආණ්ඩුව දුර්වල වීම නිසාද නැත්නම් විපක්ෂය ශක්තිමත් වීම නිසාදැයි එකවරම කීම තාම අපහසුය. එහෙත් විපක්ෂ නායකකම මහින්දගේ අතට මාරුවීමෙන් පසුව ගෙවී ගිය මාස කිහිපය තුළදී රටේ ජනතාව කතා කරන්නේ ආණ්ඩුවට වඩා විපක්ෂය ගැනය. ජනතාවගේ අවධානය වඩාත්ම යොමුවන බව පෙනුණේ ආණ්ඩුවේ වැඩවලට වඩා විපක්ෂයේ කතාවලටය. ඇතැම්විට මැති සබයේ ඇතුළේ ගාලගෝට්ටි ඇති වනවිට ඒ වැඩවලට විපක්ෂය ඕනෑවට අත පොවන විට ඒවා ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වුණත් රටේ ඇතුළේ විපක්ෂය කරන කියන කටයුතුවලට ජනතාවගේ අවධානය වැඩිපුර යොමුවන බවක් පෙනී ගියේය. මෙහිදී දේශපාලන කරළියේ සක්‍රීයව කටයුතු කරන ඇතැම් ප්‍රබල භික්ෂූන් වහන්සේලාගේ කාර්යයද කැපී පෙනෙන මට්ටමින් ඉහළ ගියේය. ඒ හිමිවරුම වැඩිදෙනෙක් ආණ්ඩුවේ කටයුතු දැඩි ලෙස විවේචනයට ලක් කළහ. රටේ පාලනයේ ග්‍රහණය ආණ්ඩුවෙන් ගිලිහී යමින් පවතින බවට එය ප්‍රබල සලකුණක් විය. එහෙත් ආණ්ඩුව ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැත. ඒ නිසාම මහ වැරුද්දක් සිදුවීමට පෙර නිවැරදි වීමට තිබූ අවස්ථාව ආණ්ඩුව අතින් ගිලිහී ගියේය. 

මේ තත්ත්වය එකවරම ඇති වූවක් නොවුණත් රට තුළ කිසියම් අනාරක්ෂිත බවක් ඇති කරන තරමට වැඩේ දුරදිග ගියේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් අතර පවතින විරසකය හේතුවෙනි. මේ විරසකයේ ඉතිහාසය බොහෝ ඈතට ගියත් පසුගිය වසරේ මැද භාගයේ සිටම එතෙක් ඇතුළේ පත්තු වෙමින් තිබූ ගිනි පුපුරු එළියේ ගිනි ජාලාවක් බවට පත්විය. ඔක්තෝබර් 26 වැනිදා එහි ලොකුම ගින්න ඇවිලුණේය. සමහර දේශපාලන විචාරකයන්ට අනුව මේ රටේ ප්‍රහාරයක් සිදු කිරීමට මාන බලමින් සිටි අන්තවාදී මුස්ලිම් කල්ලියට එය අවස්ථාවක් බවට පත්විය. වසර ගණනාවක් තිස්සේ ඇතැම් මුස්ලිම් දේශපාලන නායකයන්ගේ පා සෙවණේ අනුග්‍රහය ලබා ඔවුන් දැන්වත්ව හෝ නොදැනුවත්ව ත්‍රස්ත ප්‍රාහාරයකට මාන බලමින් සිටි සහ්රාන්ගේ කල්ලියට ඔක්තෝබර් 26 වැනිදා ඇති වූ බල පෙරලියත් ඒ සමඟ රට තුළ බිහි වූ අනාරක්ෂිත තත්ත්වයත් රටම සති කිහිපයක් අකර්මණ්‍ය වීමත් තමන්ගේ සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසූ බව ඒ අයගේ මතය විය. එහි ඇත්ත නැත්ත තවම තහවුරැ කර ගැනීමට හැකියාවක් නැත. එහෙත් එදා තිබූ ආණ්ඩුව විපක්ෂයට යවා විපක්ෂයට ආණ්ඩුව පැවරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව හරහා මේ රට විශාල අවදානමකට පත්වූ බව පැහැදිලිය.

ආණ්ඩුව විපක්ෂය වී විපක්ෂය ආණ්ඩුව වී සති හයකට පසුව අධිකරණ නියෝගයකින් එම තත්ත්වය නිරාකරණය වීමේදී සිදු වූයේ ජනාධිපති සහ අගමැති අතර තිබූ විරසකය තවදුරටත් ඔඩු දිවීමය. අගමැතිවරයාට අගමැති පදවිය නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එළිපිටදීමය. එහෙත් එය ඉටුකර ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට අගමැති ධූරය රනිල් වික්‍රමසිංහට බාර දීමට සිදු විය. ජනාධිපතිවරයා ඉන්පසුව දිගින් දිගටම ආණ්ඩුව ගණන් නොගන්නා මට්ටමින් ක්‍රියාත්මක විය. ඇමැති මණ්ඩලය පත්කිරීම ද සිදු වූයේ මහත් අවුල් සහගත අන්දමකටය. පොලීසිය භාර අමාත්‍යංශය ජනාධිපතිවරයා තමන්ගේ අතේ තබාගත්තේය. යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයන් කියන පරිදි ව්‍යවස්ථාවෙන් එම ඇමැති පදවිය අයිති වෙන්නේ අගමැති ප්‍රධාන ආණ්ඩුවටය. එය ආණ්ඩුවට නොදී තමන්ගේ සන්තකයේ තබා ගැනීමෙන් කර ගත්තේ බරපතළ වැරැද්දක් බව ජනාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා හෝ තේරැම් ගත්තා දැයි කියන්නට බැරිය.

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය එල්ල වීමෙන් පසුව හෝ සිදුවිය යුතුව තිබුණේ ජනාධිපති සහ අගමැති අතර පැවැති අර්බුදය විසඳාගැනීමය. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ එම අර්බුදය තවදුරටත් දිග්ගැසීමය. දේශපාලන වශයෙන් බරපතළ මතගැටුමකට යාමය. මේ තත්ත්වය කොතරම් දරුණු වූවාදැයි කිවහොත් මේ විරසක බව දැන්වත් අවසන් කර දමා රටේත් ජනතාවගේත් ආරක්ෂාව සැලසීමට ක්‍රියා කරන්නැයි මහ සඟරුවන ප්‍රමුඛ සෙසු ආගම් නායකයන්ගෙන් පවා අවවාද ලැබුණේය. එහෙත් විරසකය නැවතුණේ නැත. දැන් ජනතාව දකින්නේ නායකයන් දෙදෙනා දෙපැත්තකට වී දේශපාලන වශයෙන් දුම්මල ගසා ගනිමින් සිටින බවය.

මාස ගණනාවක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු සී.අයි.ඩී. නාලක සිල්වා එළියට පැමිණ ටික දවසකින් අනාවරණය වී තිබුණේ ඔහු 2018 වසරේ මුල භාගයේ පටන් සහරාන් පිළිබඳ ලැබුණු තොරතුරැ මත පදනම් වී සහ්රාන් සහ ඔහුගේ සෙසු ත්‍රස්තවාදී සහායකයන් අත්අඩංගුවට ගන්නැයි උසාවියේ ඉල්ලීමක් කර තිබූ බවය. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ තැතක් සම්බන්ධයෙන් සැකපිට ඩී.අයි.ජී. නාලකට සිර ගෙදරට යාමට සිදුවීමය. ඒ සම්බන්ධ අධිකරණ කටයුතු තවම සිදුවෙමින් පවතින බැවින් ඒ ගැන වැඩිදුර විස්තර පැවසීමට හැකියාවක් නැත. එහෙත් හිටපු ඩී.අයි.ජී. නාලක සිල්වා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ද කැඳවීමට නියමිතව සිටින බැවින් ඔහු එහිදී සිදු කරන ප්‍රකාශය ගැන රටේම අවධානය යොමු වීම වැළැක්විය නොහැකි වනු ඇත.

මහින්දගේ භූමිකාවට වඩාත්ම රටේ අවධානය යොමු වන්නේ මේ පසුබිම තුළය. පසුගිය ඔක්තෝබර් බල අර්බුදයට පසුව තරමක නිහැඬියාවක පසු වූ මහින්ද අළු ගසා දමා නැගිටගත්තේ අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුවය. එතෙක් පුවත්පත් නිවේදන සහ වරින්වර සිදු කරන මහජන හමුවීම්වලට පමණක් සීමා වී තිබූ ඔහුගේ විපක්ෂ නායක භූමිකාවට නියම උත්තේජනයක් ලැබුණේ අප්‍රේල් 21ට පසුවය. එම ප්‍රහාරයන්ට ප්‍රධාන හේතුව රටේ ආරක්ෂක කටයුතුවල තිබූ දුර්වලතාව බව ඉක්මනින්ම රට හමුවේ හෙළි වීම හේතුවෙනි. ජාතික ආරක්ෂාව දුර්වල වීම මහින්දගේ ලොකුම මාතෘකාව බවට පත්විය. විපක්ෂය ඇතුළෙන් ආණ්ඩුවක හඬ මතුවීමට පටන්ගත්තේ එහෙමය.

මහින්දගේ භූමිකාවට එහෙම පන්නරයක් ලැබුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඔහු පවත්වාගෙන ආ සම්බන්ධතාව නවත්වා දැමුවේ නැත. ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර නම් දිගටම ප්‍රකාශ කරන්නේ තමන්ගේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සිරිසේන මහතා බවය. ඔහු පොහොට්ටුව සමඟ සාකච්ඡාවලට යන්නේ එම පදනමේ සිටිමිනි. සිරිසේන මහතා තමන් ඉදිරිපත් වන බව තවමත් ප්‍රකාශ කරන්නේ නැත. එහෙත් ඔහු සිදුකරන සෑම දේශපාලන කතාවකම ගැබ් වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබෙන අපේක්ෂාවය. ඒ සඳහා ඔහු තමන් සතුව ඇති හොඳම අවිය වන කතා පැවැත්වීමට තිබෙන හැකියාව උපරිමව ප්‍රයෝජනයට ගනිමින් සිටින බවද පෙනෙන්නට තිබේ.

මේ අතර යූ.එන්.පී.ය ප්‍රමුඛ ආණ්ඩුවද ජනාධිපති සමඟ තිබෙන මත ගැටුමට අමතරව තමන්ගේ පක්ෂය ඇතුළේද ගැටුම්වලට මුහුණ දෙමින් සිටී. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා රැකගැනීම සඳහා යූ.එන්.පී. ආණ්ඩුව මුලසිටම ක්‍රියාකළ ආකාරය රටේ ජනතාවගේ බලවත් විරෝධයට හේතු වී තිබේ. එය ඔවුන් දකින්නේ ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද දෙස බලාගෙන සිදුකරන දේශපාලන ක්‍රියාවක් වශයෙනි. කෙසේ වුවද රිෂාඩ් ඇමති රුකගැනීමට යූ.එන්.පී. ආණ්ඩුව ක්‍රියාත්මක වූයේ බ්‍රේක් නැතිව පල්ලමකට වැටුණු කාර් එකක තත්ත්වයෙන් බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵල වශයෙන් සිංහල බෞද්ධ ඡන්ද දායකයන් තුළ ලොකු සැකයක් ඇති විය. ආණ්ඩුව ඇතුළෙත් ප්‍රබල මත ගැටුම් නිර්මාණය විය. යූ.එන්.පී. ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාරට බැස ආණ්ඩුවට අභියෝග කරමින් සිටිති. ප්‍රබල ඇමැතිවරයකු වන චම්පික රණවක ආණ්ඩුවේ ඇතුළේම නිශ්ක්‍රීය වී සිටී. ඔහු දැන් පණපොවන්නේ වෙනම භූමිකාවකට බව පැහැදිලිය. රිෂාඩ්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදයට ගතහොත් එහිදී ඔහුගේ ඡන්දය ආණ්ඩුවේ මතයට එරෙහිව යන බව ඔහු පසුගිය බ්‍රහස්පතින්දා (30) නොකියා කිව්වේය. කාවින්ද සහ නිරෝෂන් කතෝලික මන්ත්‍රීවරැන් දෙදෙනා කෙළින්ම කියන්නේ තමන් රිෂාඩ් වෙනුවෙන් පෙනී නොසිටින බවය. පක්ෂය තුළ ඇතිවෙමින් පවතින තත්ත්වය කෙසේ හෝ කළමනාකරණය කර ගැනීමේ දැඩි වෑයමක යෙදී සිටින අගමැතිවරයාට තම සමීපතම ඇමැතිවරුන් දෙදෙනකු අතර සිදුවූ ගැටුමද ලොකු හිසරදයක් වූවාට සැකයක් නැත.

මලික් සහ සාගල ඇමැතිවරුන් අතර කැබිනට් මණ්ඩලයේදී සිදුවූ උණුසුම් වචන හුවමාරුවට හේතුවූයේ ඇමැති මලික්ගේ ඉල්ලීමක් සාගල ඇමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම බව පිටින් පෙනෙන්නට තිබුණත් එහි ඇතුළේ කතාව ඊට වඩා වෙනස් බවද ප්‍රකාශ වෙයි. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එක් ඇමැතිවරයකු විසින් කරන ලදැයි කියන ප්‍රකාශයක් මේ බහින්බස් වීමට සැබෑ හේතුව බව සඳහන්ය. එහි ඇත්ත නැත්ත තවම අනාවරණය වී ඇත.

කෙසේ වුවද දැන් පැමිණ තිබෙන්නේ 2015 ජනවාරි 08 වැනිදා සැබෑ වෙනසක් සඳහා පිහිටුවූ යහපාලන ආණ්ඩුවේ අවසන් මාස කිහිපයයි. මේ වනවිට බලයෙන් එදා පහකළ මහින්ද විපක්ෂ නායකයාය. බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් දෙපැත්තකය. ආණ්ඩුව ගෙන ඒමට තීරණාත්මක මතවාදී මෙහෙවරක් ඉටුකළ මාදුළුවාවේ සෝභිත හිමි අද නැත. එම මෙහෙවරේ කසකරුවකු වූ මහාචාර්ය සරත් විජේසූරිය ජනාධිපති සහ අගමැති දෙදෙනාම බලයට ගෙනඒමට හවුල්කාරයකු වීමේ පාපකර්මය හේතුවෙන් තමන්ටම සාපකර ගනිමින් සිටී. රටේ ජනතාව සුසුම් හෙළමින් වෙන්නේ මොනවාදැයි බලා සිටිති.

- ශෂීන්ද්‍ර

 

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30