2019 ජුනි 01 වන සෙනසුරාදා

ටයිටැනික් නිවුන්නා සාගර තරණයට!

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 25

වයිට් ස්ටාර් ලයින් නැව් සමාගම 1912 නිපැයූ ඓතිහාසික ඛේදවාචකයට මුල්වූ ලොව අපූර්වතම නෞකාව ටයිටැනික් නැවතත් පුනරුප්පත්තිය ලබන්නටයි සුදානම. වසර 107කට පෙර අත්ලාන්තික් සාගර පත්ලේ ගිලීගිය මුල් නැව හා සර්ව සම ටයිටැනික් 2 නමින් හඳුන්වන අලුත් නැව බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමේ  නිපැයුමක් ලෙස කලඑළි බසින්නකි. පුරාවෘත්තයක් බවට පත්වූ නොගිලෙන නැව ලෙස පුරසාරමට ලක්වූ ටයිටැනික් නැව ගැන ඉදිරිපත් වූ මතයක් වුණේ මේ කාලයේ එය හදන්නට ගියොත් අඩුම තරමේ ඩොලර් මිලියන 400ක්වත් වැයවන බවය. ඒ නිසා එය නැවත තැනෙන්නට ඉඩක් නැති අතීතයට අයත් පුරාවෘත්තයක් වනු ඇති බවය.  එනමුත් 1997දී මුල් ඛේදවාචකය ගැන හැදූ ටයිටැනික් චිත්‍රපටිය, මේ වෙද්දී ඩොලර් බිලියන 1.84කට වඩා මුදලක් උපයා ඇති නිසා ඕනෑනම් ඒ මුදලින් ටයිටැනික් නැව් එකට පහක් හදන්න පුළුවන් බවට අදහසක්ද ඉදිරිපත්ව තිබුණා. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මේ අදහස යථාර්ථයක් බවට පත් කරන්නට දැන් වැඩ අරඹා හමාරයි.

බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමට අයත් මේ කියන අලුත් ටයිටැනික්  II යාත්‍රාව 2022 දී ගමන් ආරම්භ කිරීමටයි නියමිත. මුල් නැවට ගෞරව කිරීමක් වශයෙන් එය ගමන් කළ ගමන් මාර්ගයේම අලුත් නැවත් හා..හා... පුරා කියා ගමන් කරවීමටයි  නැව් සමාගම තීරණය කර තිබෙන්නේ. 1912 දී සිය මංගල ගමන සවුතැම්ප්ටන් හා නිව්යෝර්ක් නගර අතර සිදු කිරීමේදී මුල් නැව අයිස් කන්දක වැදීමෙන් මුහුදුබත්ව ගියේ ලෝක ඉතිහාසයේ සදා නොමැකෙන කඳුළු සටහනක් තබමිනුයි.

RMS Titanic නෞකා අනතුර ඉතිහාසයේ සිදුවූ දරුණුම නාවික අනතුර වශයෙන් සැලකෙනවා. එවකට ලෝකයේ ඉහළම ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවා තිබූ විශාලතම චලනය වන වස්තුව (Largest moving object ever built) වූයේද Titanic නැවයි. කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) ලෙස සැලකුණු Titanic නෞකාව සිය ප්‍රථම ගමනේදීම උතුරු අත්ලාන්තික් සාගරයේදී විශාල පාවෙන අයිස් පර්වතයක ගැටීමෙන් සමස්ත ලෝකමය කම්පාවට පත්කරමින්‍ මුහුදුබත් වූණා.

එවකට විශාලතම නෞකාව ලෙස ලෝ සුපතල වූ නෞකාව අඩි 900 ක් දිගින් සහ මහල් 25ක උසකින් ද යුක්ත වුණා. යුගයේ හොඳම තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවූ Titanic ටොන් 46000 ක ඇදහිය නොහැකි ස්කන්ධයකින්ද සමන්විත වුණා. විශේෂතම කරැණ නම් මෙය සැලකුණේ කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) වශයෙන් වීමයි. ඊට හේතුවක් තිබුණා. සාගරයේදී සිදුවිය හැකි දරුණුම අනතුර වන්නේ නෞකා 2 ක් එකිනෙක ගැටීමයි. එවැනි අනතුරකට මුහුණ දුන්නත් Titanic නැව මුහුදේ දින 2- 3 ක් සුරක්ෂිතව පාවෙමින් තිබෙන ආකාරයටයි නැව නිර්මාණය කර තිබුණේ. සාමාන්‍යයෙන් අනතුරකදී එම කාලය වෙනත් නැවක සහය ලබාගන්න හොඳටම ප්‍රමාණවත්. කෙසේ නමුත් ඒ සියලු විශ්වාස පුස්සක් කරමින් 1912 අප්‍රේල් 14 වැනිදා Titanic නැව අයිස් කුට්ටියක වැදීමෙන් පසු පැය 3 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී ගියා.

1912 අප්‍රේල් 10 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ස්ටන් වරායෙන් RMS Titanic නැව දියත් වුණා. නැවේ ගමනාන්තය වූයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර වරාය. නැව් කාර්ය මණ්ඩලයට අමතරව 2227ක මගීන් පිරිසක් මෙහි යාත්‍රා කළා. නමුත් ගමනාන්තය වූ නිව්යෝර්ක් වෙත ළඟා වූයේ මුලු පිරිසෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් පමණයි.

1912 අප්‍රේල් 14 වැනිදා රාත්‍රි 11.35ට පමණ අති විශාල අයිස් කන්දක් නෞකාවට සැතපුම් කාලක් පමණ ඉදිරියෙන් දර්ශනය වුණා. නැව් කාර්ය මණ්ඩලය වහාම නැවේ වේගය අඩාල කර හැරවීමට උත්සහ කළත් නෞකාවක් අති දැවැන්ත ස්කන්ධය නිසා එය ඉතාමත් අපහසු වුණා.

රාත්‍රී 11.40ට Titanic අයිස් පර්වතය හා වේගයෙන් ගැටුණු අතර අඩි 900ක් වූ නැව් බදේ අඩි 300 කට ඉන් හානි වුණා. ගැටීමෙන් නැවේ ප්‍රධාන අංගන 16න් 6 කට දරුණු ලෙස හානීවී තිබුණා. මධ්‍යම රාත්‍රිය එළඹෙන විට නැවේ පහල අංගන ක්‍රමයෙන් ජලයෙන් පිරෙමින් පැවතුණා.

අළුයම 1.20 වනවිට ජලය ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් පැවතුණා. 2.00 පමණ වනවිට නැවේ ඉදිරි කොටස දක්වාම ජලය පිරී තිබුණා. එක්වරම නැවේ අවරපෙති (propellers) සහිත කොටස ජලයෙන් ඉහළට එසවුණා. නෞකාව සුවිසල් ස්කන්ධයකින් යුක්ත වූ නිසා මධ්‍යයෙන් දෙකට වෙන්වුණා. 20 වන සියවසේ මුල් භාගයේ මිනිසා විසින් නිපදවූ විශාලතම චලනය වන වස්තුව සිය අවසන් ගමන් ගියේ ඒ අයුරින්. ගණිතයානුකූලව නෞකාවේ විනාශයට ඍජුවම බලපෑ කරුණ අයිස් පර්වතයේ ගැටීම වුවත් ඊට අමතරව වක්‍රව බලපෑ කරුණු රාශියක් තිබෙනවා.

Titanic නැවට හානි කළ උතුරු අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කුට්ටිවල කතාව ආරම්භ වූයේ මීට වසර 3000 කට පමණ ඉහත සිටයි. ග්‍රීන්ලන්තයේ සිට කඩාවැටෙන හිම කවදාවත් දිය නොවේ. එලෙස පහළට කඩාහැලෙන හිම දීර්ඝ කාලයක් සම්පීඩනය වීමෙන් විශාල ග්ලැසියර බවට පත්වේ. නමුත් ඒවායේ ඇති සුවිසල් ස්කන්ධය නිසා මේවා මුහුදට වැටී දිනකට අඩි 65ක් පමණ අත්ලාන්තික් සාගරයේ එහා මෙහා චලනය වේ. ඇතැම් අයිස් කුට්ටි අඩි 670ක් පමණ දිගින් හා අඩි 240ක් පමණ උසකින්ද යුක්ත වේ. Titanic නැව හා ඝට්ටනය වූයේද එවැනි විශාල අයිස් කන්දකි.

කෙසේ නමුත් උතුරු අත්ලාන්තික් සාගරයේ මෙලෙස පාවෙන අයිස් කඳු නාවිකයන්ට නම් නුහුරු නුපුරුදු දේවල් නොවේ. අනෙක් අතට එදා නැවේ කපිතාන්වරයා වූ ජෝන් ස්මිත් ඉතාමත් පලපුරුදු කපිතාන්වරයෙකි. ඒ නිසා ඔහුට මෙවැනි අයිස් පර්වත අනපේක්ෂිත අලුත් දෙයක් විය නොහැකිය. ඇතැම් විට Titanic නැවේ ඇදහිය නොහැකි ස්කන්ධයත්, ශක්තිමත් භාවයත් නිසා එදා ඔහු මෙවැනි පාවෙන අයිස් කඳු සුළුකොට තකන්නට ඇති. කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය වූයේ ගමන් කළ මුලු මගීන් 2227 න් 1517 කට මහමුහුද සොහොන බවට පත්වීමයි. 1900-1912 වර්ෂවල නිරීක්ෂිත පාවෙන අයිස් කුට්ටිවල දත්ත අනුව කැපී පෙනෙන විශේෂත්වය නම් 1912 වර්ෂයේ ඉතාමත් වැඩි වශයෙන් පාවෙන අයිස් කඳු නිරීක්ෂණය කරන්නට හැකි වීමය. මීට අමතරව Titanic නිර්මාණයේදී භාවිතා කළ ඉංජිනේරු තාක්ෂණික දෝෂයන්ද මේ අනතුරට වක්‍රව හේතු සාධක වූ බවයි විද්වතුන්ගේ අදහස.

අලුතෙන් ටයිටැනික් නිවුන් නැව තනන බ්ලූලයින් සමාගම ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානය පැරිස්වල පිහිටුවා තිබෙනවා. මෙවර මෙම නොගිලෙන සිහිනය සැබෑ කරගන්නට සිතට ගත් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මෙම ටයිටැනික් 02 ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දෙ 2012 වර්ෂයේදීය. මේ ව්‍යාපෘතියේ අවසානයත් සමග චීනයේ Jiangsuහි සිට ඩුබායි දක්වා පළමුවරට යාත්‍රා කිරීමට හැකිවනු ඇති බවයි ඔහුගේ බලාපොරොත්තුව. 1912 වසරේ අනපේක්ෂිත ලෙස මුළු ලොවම කම්පාවට පත්කරමින් අයිස් කුට්ටියක ගැටී ජීවිත විශාල සංඛ්‍යාවක් සමඟ මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේම සර්වසම ප්‍රතිනිර්මාණයක් ලෙසය මෙම අලුත් නෞකාවද සකස් කොට ඇත්තේ. නමුත් මෙවර එහි ආරක්ෂාව මෙන්ම මගී ආරක්ෂණය ගැනද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මගීන් 2700කට ප්‍රමාණවත් ලෙස මෙයට ජීවිත ආරක්ෂක යාත්‍රා පහසුකම්  සකසා තිබෙනවා.

මගීන් 1680කට පහසුවෙන් ගමන් කළ හැකි මෙහි උපරිම මගී ධාරිතාවය 2435ක් බවයි කියන්නේ. ඊට අමතරව නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සේවකයන් ගණන 900ක් වනවා. අති නවීන ඩිජිටල් තාක්ෂණයෙන් මෙහි පාලක මැදිරිය බලගන්වා ඇති අතර සැටලයිට් සහ රේඩාර් සඥා පද්ධතිය නවීනම තාක්ෂණික ප්‍රමිතීන් යටතේ සකස් කොට තිබෙනවා.

මීටර් 270ක් දිගින් යුතු මෙම නෞකාවේ උස මීටර් 53ක් වේ. බර ටොන් 40000කි. තට්ටු 9ක් ඇති ටයිටැනික් 02 නෞකාවේ මගී කාමර 840ක් ඇත. සුඛෝපභෝගී ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් මෙන්ම සුපිරිම ගණයේ භෝජන ශාලා සහ කාමර පිහිටා ඇත. මුල් ටයිටැනික් නැවේ පිටත හා අභ්‍යන්තර අලංකරණය කර තිබූ ආකාරයටම එම ටයිටැනික් නැවටම ආවේණික වූ ප්‍රධාන පඩිපෙළ පවා මෙම ටයිටැනික් II යාත්‍රාවේද නිර්මාණය කර තිබෙනවා. ටයිටැනික් II ට ආසන්න වශයෙන් මගීන් 2,400 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 ක් පමණ රැගෙන යාමට හැකියාව ඇති බවයි කියන්නේ. පළමු ටයිටැනික් නෞකාවේ ගිලාබැසීමෙන් වසර 106කට පසු යාත්‍රා කිරීමට සූදානම් මෙම නෞකාව 21 වන සියවසේ නෞකාව ලෙස හඳුන්වා දී තිබෙනවා. 

► සුගත් පී කුලතුංගආරච්චි

 

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30