2019 ජුනි 01 වන සෙනසුරාදා

විශ්වාසභංගය වටේ කැරකෙන දේශපාලන රැල්ල

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

21 වැනිදා පාස්කු ප්‍රහාරයත් සමඟ ඊට වගකිවයුත්තන් ලෙස බොහෝ දෙනකුට ඇඟිල්ල දිගුවිය. රටේ ඉහළ තැන සිට ආණ්ඩුව තෙක්ද ඊටපසු ආරක්ෂක ප්‍රධානීන්ටද මෙකී චෝදනා අඩු වැඩි වශයෙන් එල්ලවිණි. මේ සියල්ල ප්‍රහාරය එල්ලවීමට තිබූ ඉඩකඩ වළකාලීමට නොහැකි වීම ගැන එල්ල වූ චෝදනා විය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් පසුව තවත් දේශපාලන කණ්ඩායමකට පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන් චෝදනා එල්ලවන්නට පටන් ගත්තේය. ඒ මෙම ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට උදව් උපකාර කිරීමේ චෝදනාය. ඒ අතර නැගෙනහිර පළාත භාර ආණ්ඩුකාර එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත භාර ආණ්ඩුකාර අසාද් සාලි සහ කැබිනට් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වූහ. ඔවුන් සියලුදෙනා අතරින් වැඩිම චෝදනාවක් එල්ල වූයේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාටය .මේ නිසාම ඔහුව අත්අඩංගුවට ගතයුතු බව සියලුදෙනා කියා සිටියහ. ඒ ඔහුට එරෙහිව වූ චෝදනා බොහොමයක් සාක්ෂි සහිත වීම නිසා බව බොහෝ දෙනා කීහ. කෙසේ වෙතත් රීෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගැනීමක් හෝ ප්‍රශ්න කිරීමක් සිදුවූයේ නැත.

මේ නිසාම විපක්ෂයේ සියලුදෙනා එක්ව පසුගිය මැයි 16 වැනිදා කථානායකවරයා හමුවී අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංගයක් බාර දුන්නෝය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 64 දෙනකුගේ අත්සනින් යුත් මේ විශ්වාසභංගය තුළ චෝදනා දහයක් එල්ලකර තිබුණේය. එතනින් බරපතළම චෝදනාව වූයේ අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් මුදා ගැනීමට යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ගැනය. එම චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා සිටියේ බලපෑමකට වඩා ඉල්ලීමක් සිදුකළ බවය. එහෙත් එය රිෂාඩ් අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් මේ විශ්වාසභංගය අමාත්‍යවරයාට සුවදායක වුණේ නැත. එනම් එය ලබාදුන් සැණින් ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන තමන්ගේ ඡන්දය ජනතාව වෙනුවෙන් ලබාදෙන බව කීය. ඒ ආකාරයෙන්ම නියෝජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසා සිටියේ තමන්ද තීරණයක් ගන්නා බවය. කෙසේ වෙතත් විපක්ෂය නියෝජනය කරන මහින්ද රාජපක්ෂගේ පිල දිගින් දිගටම පාර්ලිමේන්තුවේ සංවාද කරමින් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් මෙය විවාදයට ගන්නා ලෙසය. එහෙත් සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසා සිටියේ මෙහි දිනයේ වරදක් නිසා මෙය වලංගු නොවන බවය. ඒ 2019 වර්ෂයට 2018 ලෙස සඳහන් වීම නිසාය. කෙසේ වෙතත් යෝජනාව කථානයකවරයා විසින් පිළිගනු ලැබීය.

මේ අතරතුර මෙම විශ්වාසභංගය සඳහා දින නියම කර ගැනීමට පක්ෂනායක රැස්වීමක් කැඳවූවත් එම ස්ථානයේද පිරිස වාද විවාද කරමින් මේ සඳහා දින වෙන්කර ගැනීම කල්දැමීමට උත්සාහ ගත්හ. ඒ ආණ්ඩුව විසිනි. එහෙත් අවසානයේ පිරිස එකඟතාවයකට පැමිණි අතර විශ්වාසභංගය ජූනි 18 සහ 19 යන දෙදින ගැනීමට තීරණය කළේය.

කෙසේ වෙතත් ආණ්ඩුව ඊටද යම් පොල්ලක් දමමින් රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහි චෝදනා විමර්ශනයට තේරීම් කාරක සභාවක් පත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළේය. එය සැබවින්ම විශ්වාසභංගය කල්දමන යෝජනාවක් විය. සියලු පක්ෂ නියෝජනය කරමින් මේ සඳහා මන්ත්‍රීවරුන් පත්කරන ලෙසත් එජාපයේ යෝජනාව විය. එහෙත් මෙයට විපක්ෂයේ එකඟත්වයක් තවම හිමිවී නැත. 

කෙසේ වෙතත් මේ වනවිට බොහෝදෙනා බලාසිටින්නේ විශ්වාසභංගය සඳහා කවුරු සහය දෙයිද නැද්ද කියාය. විශේෂයෙන් බොහෝදෙනා බලා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ කුමක් සිදුකරයිද යන්නය. එම පක්ෂය මේ අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ නිසා බොහෝ දෙනා පැවසුවේ ආණ්ඩුව රැකගැනීම සඳහා ජවිපෙය පෙරමුණ ගෙන ඇති බවය. ඒ හරහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා රැකෙනු ඇතැයි බොහෝදෙනා සිතූහ.

මේ සියලු සැක සංකා මැද හදිසියේම ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියේ තම කණ්ඩායම රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයට සහාය දක්වන බව කියාය. මේ හරහා ආණ්ඩුවේ බොහෝදෙනෙක් ගැස්සී ගියහ. ජවිපෙ මන්ත්‍රී සංඛ්‍යාව 6කි. මීට අමතරව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරයකුත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුත් මෙයට පක්ෂව ඡන්දය දීමට කැමැත්ත පළ කර ඇත. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයට අයත් ටෙලෝ සංවිධානයේ මන්ත්‍රීවරු දෙදෙනාද විශ්වාසභංගයට සහාය දැක්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ආර්. සම්පන්දන් සහ සුමන්තිරන් මේ ගැන තවමත් නිසි ප්‍රතිචාරයක් දක්වා නැත.

මේ අතර බොහෝ දෙනා බලා සිටින්නේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරැන් කුමක් කරයිද යන්නය. කෙසේ වෙතත් කාවින්ද ජයවර්ධනත් නිරෝෂන් පෙරේරාත් මේ වනවිට සිය ඡන්දය ප්‍රකාශ කිරීම ගැන ප්‍රකාශ නිකුත් කර ඇත. ඒ ඔවුන් විශ්වාසභංගයට සහයෝගය දක්වනවා කියාය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා බහුතර කතෝලික ප්‍රජාවක් නියෝජනය කරමින් ආ නිසා ඔවුන් පවසන්නේ තමන්ගේ මියගිය සහ අසරණ වූ ජනතාව වෙනුවෙන් මේ තීරණය ගත් බවය. එවැනි තීරණයක් ගන්නේ ඔවුන් දෙදෙනා විතරමද?

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා ජාතික හෙළ උරුමය නියෝජනය ගැන මාධ්‍ය හමුවක් පවත්වමින් සිය ස්ථාවරය පැවසීය. එනම් ඔවුන්ගේ අදහස වූයේ අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීමට සහාය දීම සඳහා රිෂාඩ් බදියුදීන් සිය අමාත්‍යධූරයෙන් ඉවත් විය යුතු බවය. එහෙත් එම විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්දය ලබාදීමක් සිදුවනවාද යන්න ඔවුන් නිශ්චිතව කිව්වේ නැත. දැනගන්නට ඇති පරිදි එම පක්ෂයේ ස්ථාවරයද අමාත්‍යවරයා ඉවත් නොවුවහොත් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමය. එහෙත් ඔවුන් සිය ස්ථාවරය පවසන්නේ නැත.

කෙසේ වෙතත් මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන හිමියෝ පසුගිය සිකුරාදා දළදා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ. එම උපවාසයට අනුව උන්වහන්සේ පවසා සිටියේ ආණ්ඩු පක්ෂයේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ආණ්ඩුකාර අසාද් සාලි, හිස්බුල්ලා යන අය සිය තනතුරැ වලින් ඉවත් කළ යුතු බවය. ඒ අනුව එන්න එන්නම ආණ්ඩුවට එරෙහිව නැගෙන රැල්ල වැඩි වී ඇත.

මේ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ දිනවල තමන් නිර්දෝෂි බව ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරැන් හමුවීම සඳහා යන බව දැනගන්නට ඇත. ඒ බව රංජන් රාමනායක මහතා සාක්ෂි ඇතිව පෙන්නුවේය. එපමණක් නොව රිෂාඩ් ඇමතිවරයාට හිතවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනකුද ඔහුට සහාය දැක්වීම සඳහා යන එන බව දැනගන්නට ඇත. එන්න එන්නටම උණුසුම් වන විශ්වාසභංගය පිළිබඳ බොහෝදෙනා ඉන්නේ සැඟවුණු ප්‍රතිපලයක් අපේක්ෂාවෙන්ය. මෙම විශ්වාසභංගය විරුද්ධ පක්ෂය හඳුන්වන්නේ ත්‍රස්තවාදයට සහය දක්වනවාද නැද්ද යන්න තහවුරැ කරගත හැකි අවස්ථාවක් ලෙසය

 ගයාන් ගාල්ලගේ