පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය මේ වනවිට නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහාය ඇතිව කඩිනමින් ප්‍රතිසංස්කරණය වෙමින් පවතී.
කිතුනු බැතිමතුන් පමණක් නොව ශ්‍රී ලාංකික අන්‍ය ආගමිකයෝ ද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණ පුද පූජා හා ඉටිපන්දම් පත්තු කර බාරහාර වෙති. මේ නිසා බොහෝ බෞද්ධයන්ගේ වැඳුම් පිදුම්වලට ලක්වන දේවස්ථානයක් ලෙසින් ද මෙය හැඳින්විය හැක.
ශාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් වැඳුම් පිදුම් කරන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුර එතුමන්ගේ පිහිට ආශිර්වාදය පතා පැමිණෙන, එතුමන්ට කැප වූ දේවස්ථානයකි.
මාටින්ස් ඩී. බුලෝනස් උන්වහන්සේගේ දයාබර පියාණන් වූ අතර ටෙවාරාහි මේරි උන්වහන්සේගේ මෑණියෝ වූහ. උසස් වංශවත් පවුලක උපත ලැබූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ උපන් නාමය වූයේ ෆ්‍රැනෑන්ඩු මාටින්ස් ය. ෆ්‍රැනෑන්ඩුගේ මව්පියන්ට අවශ්‍ය වූයේ තම පුතුට කුඩා කල සිටම හොඳින් ඉගැන්වීමට වුවද ඔහුට කුඩා කල සිටම අවශ්‍ය වූයේ පියතුමකු වන්නටය. මේ නිසාම ඔහු මව්පියන්ගේ අවසරය ඇතිව සෙමනේරියට ඇතුළත් වී එහි ඉගෙනීම් කටයුතුවල නිරත විය. පසු කාලයේ දී ශාන්ත අන්තෝනි මුනිඳුන් වන්නේ එතුමාය.
1195 වසරේ දී උපත ලද ශාන්ත අන්තෝනි මුනිඳුන් වසර 36ක් ආයු වළදා 1231 වසරේ දී පාදුවා හි දිළිඳු ක්ලාරා කන්‍යාරාමයේ දී ස්වර්ගස්ථ විය. ජීවත්ව සිටින කාලය තුළදී එතුමාගේ මැදිහත් වීමෙන් බොහෝ ප්‍රාතිහාර්යයන් සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මේ නිසාම ශාන්ත අන්තෝනි මුනිඳුන් ‘ප්‍රාතිහාර්යයේ සාන්තුවරයා’ (Saint of miracles) ලෙසින් ද ඇතැම්හු හැඳින්වූහ. ඉතිහාස පොත්පත්වල සඳහන් වන පරිදි එතුමන් මියගිය මොහොතේ දී පාදුවා නගරයේ ජීවත් වූ සියලුම දරුවන් එකවර හඬන්නට පටන්ගෙන ඇත. එපමණක් නොව පල්ලිවල සීනු ද එකවරම නාද වූ බව සඳහන් වේ.
ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිට පතා කොච්චිකඩේ පල්ලියට කිතුනු බැතිමතුන් මෙන්ම බෞද්ධයන් ද පැමිණීම සාමාන්‍ය සිදුවීමකි. විශේෂයෙන් එතුමා දුප්පතුන් වෙනුවෙන් පිහිට වන මුනිවරයෙකි. නැති වූ යමක් නැවත සොයාගැනීම සඳහා බොහෝ බැතිමත්හු කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට පිවිස බාරහාර වෙති. එමෙන්ම නාවිකයන් මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීහු ද තම රාජකාරිය ඇරඹීමට පෙර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ පිහිට පතති. කහ ඉටිපන්දම් දල්වා ඔවුන් මුනිඳුන්ගේ පිහිට පැතීම සාමාන්‍ය දසුනකි. විශේෂයෙන් ආරක්ෂක අංශවල නියැලුණු නිලධාරීන්, ඉහළ නිලතල දරන නිලධාරීන් කොච්චිකඩේ පල්ලියට පැමිණීම සාමාන්‍ය සිදුවීමකි. එය කතෝලික බැතිමතුන්ට පමණක් සීමා වූවක් නොවේ.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට ධීවරයන්ගේ පැමිණීම ද දක්නට ලැබෙන්නකි. විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ ජීවත් වන කතෝලික ධීවර ජනතාව පමණක් නොව මීගමුව ප්‍රදේශයේ ජීවත් වන බෞද්ධ ධීවරයෝ ද ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ආශිර්වාදය ලබාගැනීමට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට පැමිණෙති.
මෙම දෙව්මැඳුරට බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන්නේ අඟහරුවාදා දිනයන්හිදීය. විශේෂයෙන් සෑම මසකම පළමු අඟහරුවාදා කිතුනු බැතිමතුන් මෙන්ම අන්‍යාගමිකයෝ පවා මෙම දේවස්ථානයට පිවිසෙති. එයට ප්‍රධාන හේතුව ශාන්ත අන්තෝනි මුනිඳුන් මියගොස් ඇත්තේ අඟහරුවාදා දිනයක වීමයි. මේ නිසා එදින එතුමන්ට කැප කළ දිනයක් ලෙස ද සැලකේ.
ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේ මාර්ගය ඉදිරිපිට අපට දක්නට ඇත්තේ මල්මාලා ගොතන්නන් මෙන්ම ඉටිපන්දම් විකුණන්නන්ගෙන් සැදුම්ලත් කුඩා ප්‍රමාණයේ කඩ පේළියකි. ඉතා වේගයෙන් මලින් මල අමුණා සකසන එක් එක් ප්‍රමාණයේ මල්මාලා ද මෙහි දකින්නට ලැබේ. එපමණක් නොව කහ පැහැති කුඩා ඉටිපන්දම් පමණක් නොව විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ඉටිපන්දම් ද දෙව්මැඳුර අවට කඩ පේළිය තුළින් මිලදී ගත හැක.
අලුත විවාහ වූවෝ මෙන්ම විවාහ වන්නට බලාපොරොත්තු වන පෙම්වතුන් ද කොච්චිකඩේ පල්ලියට පැමිණ බාරහාර වෙති. ඇතැම්හු ඉටිපන්දම් දල්වා, මල්මාලා පූජා කර බාර ඔප්පු කරති. තම උසට සරිලන ඉටිපන්දම් මෙන්ම, උසට සරිලන මල්මාලා පූජා කිරීමට බාරවන බැතිමත්හු ද මේ අතර වෙති.
පසුගිය 21 වැනිදා පාස්කු ඉරිදා දිනය දා ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමෙන් කිතුණු බැතිමතුන් බොහෝ දෙනකුට ජීවිතය අහිමි විය. අදටත් පිරිසක් රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් සිටිති. මෙම ප්‍රහාරයෙන් ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට සිදු වූයේ විශාල හානියකි. මේ නිසාම දින කිහිපයක්ම කිතුනු බැතිමතුන්ට පමණක් නොව අන්‍යාගමිකයන්ට ද පුද පූජා පැවැත්වීම, බාරහාර වීම හා ඒවා ඔප්පු කිරීමට නොහැකි විය.
නමුත් ප්‍රහාරය සිදුවීමෙන් පසුව නාවික හමුදාව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහාය ඇතිව නැවත ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරයි. අනතුරුව පසුගිය අඟහරුවාදා (මැයි 07 වැනි දින) සිට වතාවත් සිදුකිරීමට දේවස්ථානය නැවත විවෘත විය. එදින උදෑසන හතේ සිට රාත්‍රී අට දක්වා ආගමික වතාවත් සිදුවුවද දිව්‍ය පූජාවක් නොපැවැත්වුණි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට පැමිණි කිතුනු බැතිමතුන් මෙන්ම අන්‍යාගමිකයන්ගේ ආරක්ෂාව ද තහවුරු කරනු පිණිස දැඩි ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක වී තිබුණි. ශාන්ත අන්තෝනි ප්‍රධාන දෙව්මැඳුරට යාබද කොටස තුළ බැතිමතුන්ට තම ආගමික වතාවත් සිදුකිරීමට ඉඩහසර ලැබුණි. මීට අමතරව පූජකතුමෝ බොහොමයක් දෙව්මැඳුර අසල පිරී සිටි බැතිමතුන්ට ආශිර්වාද පැන් ලබා දුන්හ. කහ පැහැති ඉටිපන්දම් දැල්වූ ඒ සෑම බැතිමතකුගේම බලාපොරොත්තුව වූයේ නැවත මෙවන් ඛේදනීය දසුනක් කිසිම දිනක සිදුනොවේවා යන්නයි. එමෙන්ම ඔවුහු තවමත් රෝගීව සිටින සියලු බැතිමතුන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමට ද අමතක නොකළහ.
►දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ