රටේ ආරක්ෂාවට අදාළ වැදගත් තීන්දු කිහිපයක් ජාතික ආරක්ෂක මණ්ඩලය මේ වනවිට ගෙන තිබේ. එයින් වඩාත් කැපීපෙනෙන තීන්දුව වන්නේ ත්‍රස්ත මර්දන වගන්ති හදිසි නීතිය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමට සැලැස්වීමය. නිදහස් සාමකාමී රාජ්‍යයකට ත්‍රස්ත මර්දන වගන්තිවලින් වැඩක් නැත. එහෙත් ත්‍රස්තවාදයේ හා අන්තවාදයේ අවතාර හොල්මන් කරන විට එම වගන්ති නැවත ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම මර්දනය කළ අත්දැකීම් අපේ හමුදාවට තිබේ. තිස් වසරක යුද්ධයකට මුහුණදුන් අත්දැකීම් පොලීසියට තිබේ. මේ හැරෙන්නට අපේ රටේ ජනතාව ද විවිධ සිදුවීම්වලට මුහුණ දීමෙන් අත්දැකීම් ලබාගෙන සිටිති. අවට පරිසරය ගැන ඉතා හොඳ නිරීක්ෂණයකින් පසුවන්නට අපේ ජනතාව පුරුදු වී සිටියහ. එහෙත් යුද්ධය අවසන් වී දශකයක් ගෙවී යාමටත් පෙර ඒ සියල්ල අමතක කළ බවක් පසුගිය කාලයේ සිදුවීම් තුළින් දකින්නට ලැබිණි.
ත්‍රස්ත මර්දන වගන්ති හා හදිසි නීතිය උපයෝගී කරගෙන අවශ්‍ය සෝදිසි මෙහෙයුම් සිදුකළ හැකිය. යුද්ධය පවතින සමයේ එබඳු වැටලීම් දිගින් දිගටම සිදුකෙරිණි. ඒ මගින් බොහෝ විනාශ වළක්වාගත හැකි විය. එහෙත් පසුගිය කාලයේ එබඳු වැටලීම් සිදුකිරීමට අවශ්‍ය වූයේ නැත. එබැවින් අන්තවාදීන්ට සංවිධානය වීමට මෙන්ම පුපුරණ ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කිරීමට ද අවශ්‍ය පසුබිම සැකසී තිබිණි. හදිසි නීතිය යටතේ රටක් පාලනය වීම සුදුසු නැත. ඒ මගින් මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය වේ. එහෙත් ගැටුම් පවතින රටක් පාලනය කිරීම සඳහා තාවකාලිකව හෝ හදිසි නීතිය පැනවීම අවශ්‍ය වෙයි.
රටෙහි ජාතික ආරක්ෂාව පිළිබඳව මෙම සතියේ පාර්ලිමේන්තුව තුළ මෙන්ම විවිධ මාධ්‍ය හමුවලදීද දේශපාලන නායකයන් දැක්වූ අදහස් කිහිපයක් අපි මෙලෙසින් උපුටා ගනිමු.
රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ සමත්ව තිබුණද අනතුර මෙතෙක් පහව ගොස් නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
“මේ වනවිට රටේ ආරක්ෂක තත්ත්වය යහපත් තලයකට ගෙන එන්න ආරක්ෂක අංශ සමත්වෙලා තියෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ, දැනට ජීවතුන් අතර සිටින සියලු දෙනාම පාහේ නීතියේ රැහැනට කොටුකර ගන්නට සමත්වෙලා තියෙනවා. දැනට ඉතිරිව තිබෙන්නේ ප්‍රහාරකයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් විමර්ශනය කොට අත්අඩංගුවට ගැනීමයි. තරාතිරම නොබලා ඔවුනට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජයක් විදිහට අපි උපදෙස් ලබා දී තියෙනවා.”
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ (එජනිස)
“සභානායකවරයා ජනාධිපතිතුමාට විරුද්ධව කැලෑපත්තර ගහනවා. ජනතාව මෙහෙම ආණ්ඩුවක් විශ්වාස කරයිද? ජාතික ආරක්ෂාව තහවුරු කරන්න කලින් ආණ්ඩුව ස්ථාවර වෙන්න ඕන. මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ටත් චෝදනා තියෙනවා. ත්‍රස්තවාදියකු නිදහස් කරන්න කියලා ඇමැතිවරයකුත් බලපැම් කරලා තියෙනවා. අඩුම තරමින් ප්‍රකාශයක්වත් ගත්තද?”
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
“මේ ආණ්ඩුව යටතේ ආරක්ෂක රැස්වීම් 11ක් පැවැත්වුවා. ඒ රුස්වීම් 9කට රනිල් සහභාගි වුණා. ඒ රැස්වීම් 11දීම බුද්ධි අංශ මේ ප්‍රහාරය ගැන කිව්වා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වෙලා හිටපු කාලයේ කොටින් සමඟ සටන ඉවර වුණාට පස්සෙ තුන්වැනි බුද්ධි බලකාය පිහිටවූයේ මේ අන්තවාදී ත්‍රස්තවාදය පරද්දන්නයි. බුද්ධි අංශ මේ සංවිධානයේ වෙන්නෙ මොනවද කියලා නිරීක්ෂණය කළා. 2015 ජනවාරි 08න් පසු ඒ සේරම නැවතුණා. එහි ප්‍රතිඵලයක් හැටියට මේ අන්තවාදීන් වර්ධනය වුණා.”
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත
“මහජනතාව ආරක්ෂා නොකර පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා වැඩක් නැහැ. කාදිනල්තුමාට දුන්න වෙඩි නොවදින රථය එතුමා භාරගත්තෙ නැහැ. ආදර්ශමත් නායකයෙක්. අපි යුද සමයේත් නියමිත පරිදි පාසල් පැවැත්වුවා. අපිට රටේ ආරක්ෂාව හා අනෙකුත් ක්‍රියා සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් තිබුණා. රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන්නේ ආණ්ඩුවට. හැමදාම පාසල් වහලා තියන්න බැහැ. මේ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.”
මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක (එජාප)
“අප්‍රේල් 21න් පසුව රටේ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අප බුද්ධිඅංශ අකර්මණ්‍ය කරන්නේ නැහැ. ප්‍රතිත්‍රස්ත පනතට අලුත් සංශෝධන ඇතුළත් වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් සංශෝධනත් ඊට ඇතුළත් වෙනවා. අපි ඉදිරිපත් කරන්නේ රටට උචිත පනත් විතරයි.”
රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුව තුළදී මෙන්ම මාධ්‍ය හමුවලදී දැක්වූ මෙම අදහස් පිළිබඳව ‘දේශයේ’ අපි පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්ගෙන් විමසීමක් කළෙමු.
නිමල් ලංසා - ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
“රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට මේ රජය අපොහොසත් වෙලා තියෙනවා. මේ විපත සිදුවීමට ප්‍රථම මෙරට ආරක්ෂක අංශ විසින් දැනුවත් කිරීම් සිදුකරලා තිබුණා. නමුත් ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම රජයේ වගකිව යුතු ඇමැතිවරු මේ වගකීම කරඇර තිබුණා. ඇත්තටම රටේ ජනතාවට රටේ ආරක්ෂක අංශ ගැන පැහැදීමක් තියෙනවා. නමුත් මේ රජය පිළිබඳව කිසිම විශ්වාසයක් ජනතාවට නැහැ. දැන් දෙවැනි පාසල් වාරය ආරම්භ කරලා තියෙනවා. නමුත් සැලකිය යුතු සිසුන් පිරිසක් පාසල් වෙත මුල් දින කිහිපය තුළ පැමිණියේ නැහැ. ඇත්තටම මව්පියන් පවා තමන්ගේ ළමයින්ව පාසලට යවන්න බයයි. මේ රජයට රටේ ජාතික ආරක්ෂාව ගැන කිසිම වගක් නැති බව පේනවා. දශකයකට පස්සෙ තමයි රට තුළ මේ විදියේ තත්ත්වයක් නිර්මාණය වුණේ. යුද්ධය අවසන් කරලා දස වසරක් යනතුරු කිසිම ත්‍රස්තවාදී සෙවණැල්ලක් මේ රටට වැටුණේ නැහැ. ඒ නිසා සම්පූර්ණයෙන්ම රටේ ජාතික ආරක්ෂාව තර කිරීමට මේ ආණ්ඩුවට නොහැකිවෙලා තියෙනවා.”
බන්දුල ලාල් බණ්ඩාරිගොඩ - එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
“ඇත්තවශයෙන්ම මේ ප්‍රශ්නයෙදී පාට පක්ෂ, ජාති ආගම් භේද නොසලකා අපි එක්විය යුතුයි. ඒ වගේම රටේ ආරක්ෂාව මේ වනවිට ඉතාම හොඳ මට්ටමක පවතිනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක අංශ රටේ ආරක්ෂාව වෙනුවෙන් නිරතුරුවම කැපවෙනවා. ඒ වගේම තමයි බුද්ධිඅංශ මේ ගැන දැනුවත් කරලා තියෙනවා. නමුත් රටේ ආරක්ෂක ඇමැතිවරයා වන ජනාධිපතිවරයා මේ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී රට තුළ හිටියෙත් නැහැ. ඉන් අනතුරුව තමයි ජනාධිපතිවරයා පැමිණ අගමැතිවරයාට සහ ආණ්ඩුවට මේ පිළිබඳව ඇඟිල්ල දිගු කළේ. ඒ නිසා එකිනෙකාට ඇඟිල්ල දිගු නොකරමින් මේ ප්‍රශ්නය විසඳාගැනීමට අපි කටයුතු කළ යුතුයි.”
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්දිරන් කෝඩීස්වරන්
“රටේ ආරක්ෂාව පිළිබඳව මේ වනවිට කතාබහක් මතුවෙලා තිබෙනවා. පෙර සිදු වූ සියල්ල දැන් සිදුවී හමාරයි. නැවත මේ වගේ තත්ත්වයක් ඇති නොවීමට සියලු දෙනා වගබලාගත යුතුයි. ඒ නිසා රටේ ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවට ආණ්ඩුව ආරක්ෂාවක් ලබාදිය යුතුයි.”
► සටහන - හසිත් අංජන