2019 මැයි 11 වන සෙනසුරාදා

මැල්කම් කාදිනල් රංජිත්ට නොබෙල් තෑග්ග අකැපද?

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 158

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට මීළඟ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි දැන් හඬක් නැගෙමින් තිබේ. විවිධ ජාති සහ ආගම්වලට අයත් ආගමික නායකවරැ, ඇතුළු පුද්ගලයෝ රැසක් සමාජ මාධ්‍යජාලා ඔස්සේ මේ ගැන යෝජනා කරමින් සිටිති. මෙරට බහුතරයක් දෙනා පරිශීලනය කරන ෆේස්බුක්, ට්විටර්, වැනි සමාජ මාධ්‍ය සේවා භාවිත කරන බෞද්ධ, ඉස්ලාම්, හින්දු ආගමික නායකයින් හා සර්ව ආගමික බැතිමතුන් විසින් මෙම යෝජනා ඉදිරිපත් කිරීමද විශේෂත්වයකි. සියලු අහිමිවීම් දරාගෙන රට තුළ සාමය රුකීමට කැපකිරීම් රැසක් මධ්‍යයේ කළ මඟපෙන්වීම නිසාම එතුමන් මෙලෙස නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු පුද්ගලයෙකු ලෙස දක්වමින් ඔවුහු එම සමාජමාධ්‍ය තුළ විවිධ වැකි සහ ඡායාරෑප ඉදිරිපත් කරමින් හඬක් නගති. ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව කතෝලික බැතිමතුන් ප‍්‍රධානව රටේ සියලු ජනතාව තුළ සාමය ඇති කිරීම වෙනුවෙන් එතුමන් කළ විශේෂ කැපවීම ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේද ඇගැයුමට ලක් කළහ. මේ අතර ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක‍්‍රියාවෙන් අසරණ වී සිටින අහිංසක මුස්ලිම් ජනයාගේ හදවත් දිනාගත් අති උතුම් අගරදගුරු හිමිපාණන්ට සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු බව මුස්ලිම් සමාජය වෙනුවෙන් තමන් ඉල්ලා සිටින බව කියා තිබුණේ රාජ්‍ය අමාත්‍ය අමීර් අලීය. එසේම මේ යෝජනාව දැඩි ලෙස විවේචනයට ලක්කරන පිරිසක්ද දැන් කළඑළි බැස හමාරය

මේ නිසාම මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ගැනත්, නොබෙල් සාම තෑග්ග ගැනත්, එම සාම තෑග්ගට කලින් හිමිකම් කී පූජකවරය ලත් පිරිස මෙන්ම අනෙකුත් සාම ක්‍රියාකාරීන් ගැනත් කතාබහකට මේ සුදුසුම කාලයයි.

බොහෝවිට සරල ලෙසින්  මැල්කම් කාදිනල් රංජිත් නැත්නම් මැල්කම් රංජිත් ලෙසින් හැඳින්වෙන පටබැඳිගේ දොන් ඇල්බට් මැල්කම් රංජිත් උපත ලැබුවේ 1947 නොවැම්බර් 15 දාය. නිල බලයෙන් ශ්‍රී ලංකාවේ අග්‍රධරයා ලෙසින් සේවය කරන කතෝලිත සභාවේ ප්‍රධාන කාදිනල්වරයෙකි. එතුමා, කොළඹ අගරදගුරු පදවිය හොබවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කතෝලික රදගුරු වසම වන නිසා ශ්‍රී ලංකාවේ කොළඹ පළාතේ පුරවර අගරදගුරු වහන්සේය. (Metropolitan Archbishop)

කාදිනල් රංජිත් පියතුමන්, මින් පෙර කොළඹ සහායක රදගුරු ලෙසින් (1991–1995) කාලයේද, රත්නපුර රදගුරු ලෙසින් (1995–2001) කාලයේද, ජනතා ධර්මදානය පිළිබඳ සසුන් නියෝජනයේ සම ලේකම් ලෙසින් (2001–2004) කාලයේද, එමෙන්ම ඉන්දුනීසියාව සහ නැගෙනහිර තිමෝරය සඳහා අපෝස්තලික තානාපති ලෙසින් (2004–2005)ද, සහ ජන වන්දනාව හා සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් නියෝජනයේ මහලේකම් ලෙසින් (2005–2009)ද සේවය කර ඇත.

මැල්කම් රංජිත් පියතුමන්, පොල්ගහවෙලදී දොන් විලියම් සහ ඔහු බිරිය මේරි විනිෆ්‍රිඩාට දාව උපන්නේ පවුලේ එකම පිරිමි දරුවා ලෙසිනි. 1956 දී බොරැල්ලෙහි ශාන්ත ඇලෝසියස් දේවධර්ම ශාස්ත්‍රාලයට ඇතුළු වීමට පෙර එතුමා අධ්‍යාපනය ලැබූයේ මෝදර ලා සාල් විද්‍යාලයෙහිදීය. 1966 සිට 1970 දක්වා, එතුමා මහනුවර ජාතික දේවධර්ම ශාස්ත්‍රාලයෙහි දේවධර්මය සහ දර්ශනවාදය පිළිබඳ හැදෑරීය. ඉන්පසුව, එවකට අගරද ගුරුතුමාණන්ව සිටි තෝමස් කාදිනල් කුරේ පියතුමන් විසින් මෙතුමාව වැඩිදුර පූජක අධ්‍යාපනය සඳහා රෝමය වෙත යවන ලදුව, එහිදී එතුමාණන් පොන්ටිෆිකල් උර්බානු විශ්ව විද්‍යාලයයෙන් දේවධර්මවේදී (B.TH) උපාධියෙන් පුදනු ලැබීය.

සෑම වසරකම නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිදුවන්නේ දෙසැම්බර් 10 වැනිදාය. ඒ නොබෙල් කමිටුව පිහිටුවීමේ පුරෝගාමියා වූ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් අනුස්මරණය කරමිනි. සාම ත්‍යාගය පිරිනැමීම සිදුවන්නේ නොර්වේහි ඔස්ලෝ නුවරදීය.

නොබෙල් සාම ත්‍යාගය ලබාගත් පිරිස අතර ආගමික නියෝජිතයන් කිහිපදෙනෙක්ම වෙති. අපට මුලින්ම සිහිවන්නේ මාර්ටින් ලූතර් කිං (කනිෂ්ඨ) ගැනය. තෙරේසා මවුතුමිය, ඩෙස්මන් ටුටූ අගරදගුරැ මෙන්ම පූජනීය දලයි ලාමා තුමන්ද ඒ අතර කැපී පෙනෙන චරිතය. මාර්ටින් ලූතර් කිං ගේ ජීවන චරිතය ඒඅතරින් වඩාත් විචිත්‍රය.

1929 ජනවාරි 15 වැනි දින ජෝර්ජියාහි උපත ලබන මාර්ටින් ලූතර්ගේ පියා බැප්ටිස්‌ට්‌ පූජකවරයෙකි. ඔහුගේ පියාගේ නම මයිකල් කිං වූ අතර, එමනිසාම ඔහු සිය පුතාගේ උපන් නම ලෙස භාවිතා කරන ලද්දේ මයිකල් කිං (කනිෂ්ඨ) ලෙසටය. ඒ 1935 වනතුරැය. ඔහුගේ පියා විසින් පසුව දෙදෙනාගේම නම් ජර්මානු රෙපරමාදුකරැවකු වූ මාර්ටින් ලූතර්ට ගරු කිරීමක් ලෙස වෙනස් කර ගැනීමෙන් පසු, අපේ කතානායකයාගේ නමද මාර්ටින් ලූතර් කිං (කනිෂ්ඨ) ලෙස වෙනස් විය. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල කළු ජාතිකයන්ට පමණක් වෙන් වූ පාසලක් වූ අතර, ඔවුන් ගමන්ගත් බස්රථවල අසුන්ගත හැකිව තිබුණේ සුදු ජාතිකයන්ට පමණක් විය. කුඩා කාලයේදී කළු ජාතික දරැවන් හා ක්‍රීඩා කිරීමට සුදු ජාතික දරැවන් නොපැමිණීමද ඔහුට ප්‍රහේළිකාවක් විය. සුදු ජාතිකයන්ට පමණක් වෙන්වූ වෙළඳසැල් හා ආපනශාලා බොහෝ ප්‍රමාණයක් තිබූ අතර, ඔවුන්ට ඒ තුළට ඇතුළුවීම තහනම් විය.

කුඩා මාර්ටින්ගේ පියා මේ ආකාරයට කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණයට එරෙහිව නොබියව කතා කළ අතර, ඔහු ඇට්ලන්ටාවේ කළු ජාතික රාජ්‍ය සේවකයන්ගේ වැටුප සුදු ජාතිකයන්ගේ වැටුපට සමාන කරන ලෙස බල කෙරෙමින් සිදුකරන ක්‍රියාමාර්ගයන්ට නායකත්වය දුන් අයෙකි. තවද, ප්‍රදේශයේ කළු ජාතිකයන්ට හා සුදු ජාතිකයන්ට වෙන වෙනම සේවා සැපයීමට එරෙහිව සිදු වූ අරගලවලටද ඔහු මූලිකත්වය දී ඇත.

තම පියාගේ අඩි පාරේම ගමන් කරමින් දේවගැතිවරයෙක් වීමට අදහස් කරගෙන සිටි මාර්ටින් 1948 දී පෙන්සිල්වේනියාවේ වෙස්‌ටර්හි ක්‍රෝසර් දේවධර්ම විද්‍යාලයට පිවිස දේවධර්ම ශාස්‌ත්‍රය පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගත්තේය. 1955දී බොස්‌ටන් විශ්ව විද්‍යාලයෙන් දේවධර්ම ශාස්‌ත්‍රය පිළිබඳව ආචාර්ය උපාධිය ලබාගත් ඔහු, වයස අවුරුදු 24 වනවිට ඩෙක්‌ස්‌ටර් ඇවෙනිව් බැප්ටිස්‌ට්‌ පල්ලියේ (Dexter Avenue Baptist Church) පාදිලිවරයා (pastor) බවට පත්වෙයි. ඒ කාලයේදී මෙවැනි තනතුරකට කළු ජාතිකයෙකු පත්වන්නේ ඉතා කලාතුරකිනි.

1955 දෙසැම්බර් 1 වැනිදා මාර්ටින් වාසය කළ මොන්ට්ගොමරි ප්‍රදේශයේ සුදු ජාතිකයන්ට පමණක් අසුන් ගැනීමට හැකි බස් රථයක හිස්ව තිබූ අසුනක කළු ජාතික කාන්තාවක් වාඩිවී, එම අසුන සුදු ජාතිකයෙකුට දීම ප්‍රතික්ෂේප කළාය. එබැවින් ඇය වැරදිකරැවෙක් බවට පත්වන අතර ඒ සඳහා ඩොලර් 14ක ‌දඩයක්ද ඇයට නියම වෙයි.

බසයක වාඩිවී ගමන් කිරීම තීරණය විය යුත්තේ හමේ පැහැය මත නොව, බසයට ගොඩවූ අනුපිළිවෙල අනුව බව පවසමින් මෙම තීරණයට එරෙහිව කළු ජාතිකයන්ව මෙහෙයවීම සඳහා නායකත්වය ගනු ලබන්නේ තරුණ මාර්ටින්ය. ඒ සඳහා පිහිටුවා ගන්නා සිවිල් සංවිධානයේ නායකත්වය හිමිවෙන්නේද ඔහුටය. සුදු ජාතික බස් හිමියන්ගේ බස් රථ වර්ජනය කිරීම මෙම අරගලයේ ප්‍රධාන ලක්ෂණය ලෙස දැකිය හැකි අතර, ඉන් නොනැවතෙන ඔවුන් ඒ සඳහා අධිකරණයේ සහායද පතන්නේය. දින 381ක් පුරාවට පැවති අරගලය නිමකරමින් අධිකරණය විසින් බසයක අසුන් ගැනීමට සමේ වර්ණය බල නොපාන බව ප්‍රකාශ කරනු ලබයි. එලෙස  ජාතිවාදයට, ත්‍රස්තවාදයට හා වර්ගවාදයට එරෙහිව හඬක් නැගූ මෙන්ම කළු ජාතිකයන්ට ඡන්ද අයිතිය දිනා දුන් ඔහු 1964දී නොබෙල් ත්‍යාගය දිනාගන්නා ලාබාලතමයා වීමට තරම් භාග්‍යවන්ත වූයේය. මාර්ටින් ලූතර් 1968 අප්‍රේල් 4 වැනි දින මෙම්ෆිස්හි දී අන්තවාදියෙකුගේ වෙඩි පහරින් ඝාතනය වන අතර, ඔහුගේ මරණින් පසු ජනාධිපති ජිමී කාටර් විසින් 1977දී ඔහු නිදහස සඳහා වූ ජනාධිපති සම්මානය Presidential Medal of Freedom ද පුදනු ලැබීය... ඔහු ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් රන් Congressional Gold Medal සම්මානයෙන්ද පුදනු ලැබීය. මාර්ටින් ලූතර් කිං ඝාතනය කරන ලද දිනය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික දිනය වශයෙන් 1986දී සම්මත කරන ලදී. මේ අසහාය විප්ලවකරැවාගේ ජන්ම දිනය සැමරීම වාර්ෂිකව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදටත් සිදුවෙයි.

තෙරේසා මවුතුමිය සාමය වෙනුවෙන් සහ දුප්පතුන් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන්  1979 දී නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබූවාය. 2003 වර්ෂය අග භාගයේදී ඇය භාග්‍යවන්ත තනතුරට උසස් කරනු ලැබූවාය. 1948 සිට ඉන්දියාවේ පුරවැසියෙක් ලෙස ජීවිතයේ වැඩිකාලයක් ගත කළ කල්කටාවේ ශුද්ධවූ තෙරේසා මවුතුමිය ලෙස විරුදාවලිය ලත් ඇල්බේනියානු සම්භවයක් තිබූ තෙරේසා මවුතුමිය රෝමානු කතෝලික ආගමික පූජකවරියක් සහ ධර්මධාරියෙකු ද වූවාය. තෙරේසා මවුතුමිය විසින් අසරණ සරණ ධර්මධාරීහු නමින් රෝමානු කතෝලික ආගමික සභාවක් පිහිට වු අතර 2012 වන විට එහි ක්‍රියාකාරී රටවල් 133ක් සාමාජිකාවන් අතර 4500ට වැඩි වූ ආගමික පූජකවරියන් ප්‍රමාණයක් අන්තර්ගතය. ඔවුහු අසරණ පුද්ගලයින් වන HIV/AIDS අසාදිතයින්, ලාදුරැ සහ ක්ෂය රෝගයන් වැළඳී සිටින පුද්ගලයින් වෙනුවෙන් ගෙවල් සහ රෝහල්වල ඇවිදිමින්, දුප්පතුන්ට ආහාර සපයන ස්ථාන, බෙහෙත් ශාලා සහ ජංගම සායන, ළමා සහ පවුල් උපදේශන වැඩසටහන්, ළමා නිවාස සහ පාසල්වලටද මහත් සේවයක් ඉටු කළහ.

හෙන්රි පයිරේ බෙල්ජියම් ජාතික පූජකවරයෙකි. අධ්‍යාපනවේදියකු වන එතුමන් දෙවැනි   ලෝක යුද්ධයේ අවසාන සමයේ යුරෝපයේ සරණාගත සුබසාධනය වෙනුවෙන්  කැපවිය. බෙල්ජියමේ තැන් හතරක “පිළිගැනීමේ නිවාස” තනා වයස්ගත සරණාගත පිරිස රුක ගන්නට කටයුතු කළේය. ඕස්ට්‍රියාව බෙල්ජියම සහ ජර්මනියේ යු‍රෝපීය සරණාගත ගම්මාන 7ක්ද බිහි කළේය. මේ අසමාන සහන සේවාව අගයා 1958දී නොබෙල් සාම ත්‍යාගය ඩොමිනික් ජෝර්ජ්ස්  පියනම වෙත පිරිනමන ලදී. ඉන්පසු 1960දී තෑග්ගට ලද මුදලද එක්කර අන්තර්ජාතික මහත්මා ගාන්ධි සාම ආයතනය ඇරැඹූ අතර පසුව එය සාම සරසවිය බවට පත්විය. අප්‍රිකා ආසියා සබඳතා නංවන ලෝක මිත්‍රත්වය සංවිධානයද ඇරඹූවේ එතුමන්ය.

නැගෙනහිර ටිමෝරයේ අර්බුදය සඳහා විසඳුම් සෙවීමට කැපවූ කාර්ලෝස් ෆීලිප්පේ ෂීමෙනෙන්ස් බෙලෝ යනු ටිමෝරයේ කතෝලික බිෂොප්වරයාය. 1996දී එතුමන්ට නොබෙල් තෑග්ග හිමිවූයේ ටිමෝරයේ සාමයට මුල්වූ ජොසේ රාමෝස් හොර්තා සමඟ බෙදාගන්නටය. ස්විඩනයේ උප්සලාහි ආච්බිෂොප් ධූරය දැරු ලාර්ස් ඌලෝෆ්  ජොනතන් සොඩර්බ්ලොම් පියනමට 1930දී නොබෙල් තෑග්ග හිමිවිය. පළමු ලෝක යුද සමයේ ලොව සියලු කිතුණු නායකයන් වෙතින් සාමය සහ සාධාරණත්වය ගොඩනැඟීමට එක්වන ලෙස හඬක් නැගු තැනැත්තා ඔහුය. ඔහු රුව ලූතරන් සාන්තුවර දිනදසුනටද එක්ව තිබේ. නොබෙල් තෑග්ග ඇරඹූ ඇල්ප්‍රඩ් නොබෙල් ගිය පල්ලියේ පුජකවරයකු ලෙසද ඔහු කටයුතු කර තිබේ.

මෑත කාලයේ අප කවුරැත් දන්නා ප්‍රසිද්ධියට පත්වූ නොබෙල් ත්‍යාගලාභී අගරද ගුරුවරයා ඩෙස්මන් ටුටු පියනමය. 1984 සාම තෑග්ග එතුමන්ට පිරිනැමුණේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි කැපවීම සඳහාය. සෑම අයෙකුටම වර්ණභේදයකින් තොරව සලකන සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා ඔහු කැපවී සිටියේය.

තිබ්බතයේ අධ්‍යාත්මික නායකයා ලෙස පිළිගැනෙන දලයි ලාමා තුමන්ට 1989දී නොබෙල් තෑග්ග පිරිනැමිනි. හිමාලයට උතුරැ දිගින් පිහිටි ටිබෙට් රට, හැමවිටම සිය දේශපාලන හා ආගමික නායකයා ලෙස සැලකුවේ ගෙලුග් නිකායේ සම්ප්‍රදායන්ට අනුව පත්කෙරෙන දලයි ලාමාය. එහෙත් 1950දී චීනයේ නායකයා වූ මා ඕ සේතුං ඔහුගේ සංවර්ධන ව්‍යාපෘතිය වූ ‘සංස්කෘතික විප්ලවය’ ටිබෙට් රටට බලෙන් හඳුන්වාදීමට උත්සාහ කළ මොහොතේ 14 වැනි දලයි ලාමා වන ටෙන්සින් යැටිසෝ ඊට විරෝධය පළකළේය. වත්මනෙහි 84 වැනි වියේ පසුවන 14 වැනි දලයි ලාමා චීන නායකයන්ට තවමත් නයාට අඳුකොළ බඳුය. උන්වහන්සේට නොබෙල් පිරිනැමෙන්නේ චීනයේ මෙම ප්‍රකෝපකාරී බලපෑම මැද තිබ්බතයේ නිදහස දිනාගැනීම වෙනුවෙන් සාමකාමි විසඳුමක් සොයා ගැනීම උදෙසා දරන්නා වූ උත්සාහය වෙනුවෙනි.   

නොබෙල් තෑග්ග පිළිබඳ ඉතිහාසය විචිත්‍ර සිදුවීම්වලින් ගහනය. ඒ අතර නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශිත නමුත් එය හිමි නොවූ නාම අතරේ ලෝකයේ ප්‍රසිද්ධ නම් තුනක් වෙති. ඒ නම් තුන ජෝසෆ් ස්ටාලින්, මහත්මා ගාන්ධි සහ ඇඩොල්ෆ් හිට්ලර් යන ත්‍රිත්වයයි. එයින් දෙදෙනකුහට මේ සම්මානය හිමි නොවීමත් එක්තරා ආකාරයක හොඳක් ලෙසින් දැකිය හැක්කේය. ඒ ඔවුන් නිසා මගින් පසුකලෙක සම්මානයේ ගරැත්වය කෙලෙසීමට පවා ඉඩ තිබුණු නිසාය. දෙවැනි ලෝක යුද්ධය නැවැත්වීමට සිදුකළ කැප කිරීම් නිසාම 1945දී සහ 1948දී ජෝසෆ් ස්ටාලින්හට නොබෙල් සාම ත්‍යාග නිර්දේශයන් ලැබුණි. 1939දී ඇඩොල්ෆ් හිට්ලර් නොබෙල් සම්මානයේ නිර්දේශිත ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ ස්වීඩනයේ පාර්ලිමේන්තු සභිකයෙකු අතින් උපහාසාත්මක ක්‍රියාවක් ලෙසිනි. මහත්මා ගාන්ධිතුමන් 1937, 1938, 1939, 1947 සහ ඔහු මියයන්නට කිහිප දිනකට පෙර 1948 දී ලෙස වසර 5 ක්ම සම්මානයට නිර්දේශ වන නමුත් මියගිය අයවළුන්ට සම්මාන ලබා නොදෙන ප්‍රතිපත්තිය නිසා ඔහුට අවසන් අවස්ථාවේදීත් සම්මානය නොලැබුණි. පසුව නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් ඔහුට නොබෙල් ත්‍යාගය ලබාදෙන්නට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටු වන බව ප්‍රකාශයට පත් කරන ලදී. නෝර්වීජියානු නොබෙල් කමිටු සාමාජික ජියර් ලන්ඩෙස්ටාඩ් (GeirLundestad) විසින් 2006 වසරේදී &කිසිදු සැකයකින් තොරව වසර 106 වන අපගේ ඉතිහාසය තුළ සිදුවූ විශාලතම අත්වැරදීම වන්නේ මහන්මා ගාන්ධිතුමාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නොහැකි වීමයි.* යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේය. මහත්මා ගාන්ධි තුමා මියගිය 1948 වසරේදී එවර නොබෙල් කමිටුව සාම ත්‍යාගය පිරිනැමීම &මේ වසරේදී නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කිව හැක්කෙක් ජීවතුන් අතර නොමැත යනුවෙන් ප්‍රකාශ කරමින් අත්හිටුවන ලදි. පසුව 1989 දී දලයි ලාමාතුමාට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන විට නොබෙල් කමිටුවේ සභාපති එය මහත්මා ගාන්ධි තුමා සිහි කිරීමක් ලෙසද සලකන බව ප්‍රකාශ කරන ලදී.

මෙලෙස ඔවුන්ගේ සාම දායකත්වය උදෙසා පිළිගැනීමට පත් උසස් පුද්ගලයින් රාශියක් නොබෙල් වෙත මඟහැරී ඇත. මහත්මා ගාන්ධිතුමා ලෙසම, එලිනෝර් රෑස්වෙල්ට් (Eleanor Roosevelt), වාක්ලව් හැවෙල් (Vaclav Havel), කෙන් සාරෝ-විවා (Ken Saro-Wiwa), සාරි නස්සෙයිබෙහ් (Sari Nusseibeh) සහ කොරාසොන් ඇකිනෝ (Corazon Aquino) යන පුද්ගලයින්ද මෙලෙස නොබෙල් ත්‍යාගය කිසිදා නොලද නමුත් ලැබීමට සුදුසු බවට සමාජ කතිකාවකට ලක්වූ පුද්ගලයෝ වෙති. ඒ අතරට දැන් සමහරවිට අපේ කොළඹ අගරදගුරැතුමන්ගේ නමද එක්වීමට හැකිය.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00