2019 මැයි 11 වන සෙනසුරාදා

සැණකෙළි නැතිව වෙසක් චාමෙට!

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 148

“වෙසක් උත්සවය පසුගිය කාලයේ ලොකු වෙනසකට ලක් වුණානේ. පන්සල් ආශ්‍රිතව වැඩවසන හාමුදුරුවරුන්ගෙන්, සැදැහැවතුන්ගෙන් ඉවත් කරලා ව්‍යාපාරිකයන් වෙසක් උත්සවය තමාගේ අතට අරගෙන තිබුණේ. මාධ්‍ය ආයතන සහ ව්‍යාපාරිකයන් වෙසක් උත්සවය හැසිරවීමට පටන් ගත්තා. ඒ අතරට දේශපාලනඥයන් තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමටත් වෙසක් යම් ප්‍රමාණයකින් උපයෝගී කර ගත්තා. මෙවර රටේ ඇතිවී තිබෙන අවාසනාවන්ත ඛේදජනක තත්ත්වයත් සමඟ සැණකෙළි ස්වරූපයෙන් සෙනඟ එකතුවීම ඉතා භයානකයි. දැනට දශක කිහිපයකට පෙර පැවතියේ ගමේ පන්සල්වලට ගිහින් සිල් සමාදන් වෙලා අධ්‍යාත්මික පැත්ත වර්ධනය කරගෙන ආමිස පූජාත් ඇතිව වෙසක් සැමරීමයි.

පසුගිය කාලයේ අධ්‍යාත්මික ගුණ වගාව 20%ක්ද, සැණකෙළි හා ආමිස පූජා 80%ක්ද වගේ මට්ටමකින් එක්වී වෙසක් උළෙල වෙනස් වී තිබුණා. ඒ මට්ටමෙන් මිදිලා තමන්ගේ පන්සලේ ආගමික උත්සවයක් පැවැත්වීම තමයි වඩාත් යහපත් වන්නේ”

අප සමඟ එලෙස අදහස් දැක්වූයේ අනුරාධපුර රුවන්වැලි සෑ විහාරාධිකාරී පල්ලේගම හේමරතන නායක හිමියෝ වෙති. වෙසක් උළෙල දිනවල අනුරාධපුරයට ලක්ෂ ගණනින් සැදැහැවතුන් ඇදී එති. මෙවර එවැනි තත්ත්වයක් දැකගැනීමට නොහැකි වනු ඇත. මේ වනවිටත් රටේ ප්‍රධාන පූජනීය ස්ථාන වන මහනුවර දළදා මාලිගය, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු විහාරස්ථාන, පොළොන්නරුව, දකුණේ කතරගම කිරිවෙහෙර හා තිස්සමහාරාමය වැනි ස්ථාන පාළු ස්වභාවයකට පත්ව තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේ කතෝලික දේවස්ථාන ද තවමත් ඉබියතුරු දැමූ ගමන්ය. විහාරස්ථාන විවෘත කර තිබුණද ඒවාට සැදැහැවතුන්, නරඹන්නන් එතරම් නොපැමිණේ. වෙනදා පෞරාණික උරුමය දැකගැනීමට එන විදේශීය සංචාරකයන් නම් ඇත්තේම නැති තරම්ය.

“මේ අවස්ථාවේ තමන්ගේ ළඟම තිබෙන පන්සලට ගිහින් ආගමික වතාවත්වල යෙදිලා මේ ව්‍යසනවලින් ආරක්ෂා වීමට අධ්‍යාත්මික ශක්තිය පුරන එක තමයි වඩාත් හොඳ. විච්චූර්ණ දේවල්වලින් ඈත්වෙලා අධ්‍යාත්මික පැත්තට නැඹුරු වීම ඉතා යහපත්.” හේමරතන නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

වෙනදා වෙසක් ලබන විටම තැන තැන දැකගත හැකි වෙසක් කලාප පිළිබඳ දැන්වීම් පුවරු, ඉදිකරන තොරණ, මහා වෙසක් කූඩු පමණක් නොව, දන්සල් ද මෙවර නැවතී තිබේ. බොහෝ තොරණ සඳහා චිත්‍ර නිර්මාණය ආරම්භ කරන්නේ ජනවාරි - පෙබරවාරිවල පටන්ය. ඒ නිසා බාගෙට හදපු තොරණ රැසක් තිබෙන බව පෙනේ. වෙසක් කූඩු ද එලෙසය. වෘත්තීයමය තොරණ නිර්මාණකරුවන් රැසක් ද මේ නිසා විශාල අමාරුවක වැටී සිටින බව රහසක් නොවේ. කෙසේ වුවත් කණේ ඇඟිලි ගහගන්න තරමට මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන නිසැක ධාතු ප්‍රදර්ශන සහිත වෙසක් කලාප නැතිවීම නම් එක් අතකින් සැනසීමකි.

බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරැම අප සමඟ පැවසුවේ ද වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් පැවැත්වීමට රජය තීරණය කළ බවයි.

කිතුනු පූජනීය ස්ථානවලට හා හෝටල්වලට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය බෞද්ධයන්ගේ කිතුනුවන්ගේ මෙන්ම මුස්ලිම්වරුන්ගේ ද සිත් වේදනාවට පත්කර ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතෝලිකයෝ ඉල්ලා සිටින්නේ දුක්බර අවස්ථාවේ තමන් සමඟ සිටි බොදුනුවන් සැමරීමට සෑම කතෝලික නිවසකම වෙසක් පොහෝ දින පහනක් දල්වා රටම වෙසක් කලාපයක් කරමු කියාය. වෙසක් තොරණ සහ දන්සල් ආදියට එකතු කළ මුදල් විපතට පත් කතෝලික ජනතාවගේ යහපතට යෙදවිය හැකි නම් එයත් මහා පින් රැසක් කරනා පූජාවක් වනු ඇත.

මේ අතර බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පසුගිය 07දා පැවසුවේ රට තුළ ඇතිවී තිබෙන අනාරක්ෂිත වාතාවරණය මත 17-18 දින දෙකට පමණක් වෙසක් සැමරීම සීමා කරන ලෙසයි. එම දින දෙකේ දී විහාරස්ථාන භූමිවල පමණක් දන්සල් හා තොරණ පැවැත්වීමට අවසර ලබාදෙන බවත්, ඉන් පිටත සිදුකෙරෙන එවැනි කටයුතුවල වගකීම රජයට බාරගත නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

“වෙසක් උත්සවයට සමගාමීව සියලු විහාරස්ථානවල ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. සෑම විහාරයකටම පොලීසිය, ත්‍රිවිධ හමුදාව, කොමාන්ඩෝ හෝ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ ආරක්ෂක වැඩපිළිවෙල විස්තර කෙරෙන උපදෙස් පත්‍රිකාවක් ද විහාරස්ථාන වෙත ඉදිරියේ දී ලබාදෙනවා.” අමාත්‍යවරයා පැවසුවේය.

අත්අඩංගුවට පත්වූ සැකකටයුතු පුද්ගලයන් සතුව සුදු කාන්තා ඇඳුම්, පාත්‍ර, සිවුරු ආදිය ද හමුවී තිබීම නිසා වෙසක් උළෙල ත්‍රස්තවාදී ඉලක්කයක් වේද යන කුකුස බොහෝ දෙනා තුළ පවතී. මේ නිසා වෙසක් සමයේ විහාර භූමි ද දැඩි සෝදිසියකට ලක් කිරීමට රජය තීරණය කර තිබේ.

පසුගිය අවුරුදු 30ක කාලයක් තිස්සේ ජනතාව පීඩාවට පත්කළ කොටි ත්‍රස්තවාදයවත් වෙසක් උළෙල නවතා දැමීමට හැකි වූයේ නැත. ඒ කාලයේ ද වෙසක් තොරණ, පහන් කූඩු, වෙසක් කලාප ආරක්ෂාව යටතේ පැවැත්විණි. එහෙත් අයි.එස්. අන්තවාදී ත්‍රස්තවාදය හමුවේ උද්ගත වී ඇත්තේ එලෙස වෙසක් සැමරිය හැකි වාතාවරණයක් නොවේ.

වෙසක් උළෙල අතිපුරාණ බෞද්ධ උත්සවයක් වන අතර, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා වෙසක් සැමරූ බව චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවලින් පැහැදිලි වේ. අප රටේ වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම ඓතිහාසික වාර්තාව ලැබෙන්නේ දුටුගැමුණු (ක්‍රි.පූ. 101-77) රජ සමයේදීය. මහාවංශය සඳහන් කරන්නේ දුටුගැමුණු රජු වෙසක් උත්සව විසිහතරක් පැවැත්වූ බවයි. බොහෝ දේවල් විචිත්‍රවත් අන්දමින් කරන බෞද්ධ වීරයා වූ ගැමුණු රජු වෙසක් උළෙල අලංකාරවත් ලෙස කරන්නට ඇති බව අපට සිතාගත හැකිය.

භාතිකාභය (ක්‍රි.ව. 38-67) රජු වෙසක් උත්සව විසිඅටක් පවත්වා තිබේ. ඒ රජු බුද්ධ රූපයක් සහිත රථයක වීදි සංචාරය කරමින් දුගී, මගී යාචකාදීන්ට ආහාරපාන පිරිනමමින් වෙසක් සමරා ඇත. වසභ රජු ද ඔටුනු පළන් වර්ෂයේ සිට (ක්‍රි.ව. 67-111) අඛණ්ඩව වෙසක් උත්සව විසිහතරක් පැවැත්වීය. වෝහාරිකතිස්ස රජු (ක්‍රි.ව. 269-291) වෙසක් උත්සව සංවිධානය කර භික්ෂූන් වහන්සේට තුන් සිවුරු පිදීය. ගෝඪාභය (ක්‍රි.ව. 323-333), ජෙට්ඨතිස්ස (ක්‍රි.ව. 611-617), මොග්ගල්ලාන (ක්‍රි.ව. 487-515), 2 වැනි සේන (ක්‍රි.ව. 853-887) යන රජවරු පැවැත්වූ වෙසක් උත්සව පිළිබඳව මහාවංශ කතුවරයා වර්ණනා කරයි. රාජ චාරිත්‍රයක් ලෙස සෑම රජ කෙනකුම අනිවාර්යයෙන් පැවැත්වූ වෙසක් උත්සවය පොළොන්නරැ හා දඹදෙනි යුගවලදී තවදුරටත් දියුණුවට පත් විය.

16 වැනි සියවසේ දී මුහුදුබඩ පෙදෙස් පෘතුගීසීන්ට යටත් වීමෙන් පසු මුහුදුබඩ පළාත්වල වෙසක් උළෙලට තහංචි වැටුණි. ඊට පසු ඕලන්දයන් (1658 සිට) මුහුදුබඩ පෙදෙස් යටත් කරගත් අතර කලින් පැවති නිදහස ක්‍රමයෙන් යටපත් වී ගියේය. ඕලන්ද ආණ්ඩුකාර විලියම් ෆ්ලැක් 1770 සිට වෙසක් උත්සවය තහනම් කර තිබේ. වර්ෂ 1815 දී රට ඉංග්‍රීසින්ට යටත් වූ අතර, ඊට පසු දිගු කලක් වෙසක් උළෙල තහනම් කර තිබුණි.

වර්ෂ 1880 හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ නායකත්වයෙන් දියත් කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1886 අංක 4 දරන පනත මගින් ඉංග්‍රීසි ආණ්ඩුකාර ජෝර්ජ් ගෝර්ඩ්න් වෙසක් පොහොය නිවාඩු දිනයක් කර එය සැමරීමට අවසර දුන්නේය. වෙසක් පොහොය ලෝකයට නිවාඩු දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ 1999දීය. හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් ඒ සඳහා මැදිහත් විය.

එලෙස වර්ධනය වූ වෙසක් සැමරීම පසුව බෞද්ධ අරමුණු වෙනුවට වාණිජ අරමුණු මතුවී තොරොම්බල් වූ බවද සත්‍යයකි. මෙවර හැමෝටම මානසික සුබසිද්ධිය වගාකර ගැනීමට වෙසක් යොදාගැනීමට පවත්නා වාතාවරණය විසින් ජනතාව යොමුකර තිබේ. ඒ නිසා මෙවර ලවුඩ්ස්පීකර්, රූපවාහිනී කැමරා, දැවැන්ත බැනර්වලින් තොර නිස්කලංක වෙසක් දිනයක් අප රටට උදාවනු ඇත.

ත්‍රෛනිකායික මහානායක හිමිවරු නිකුත් කළ නිවේදනය

ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ, අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන, අමරපුර නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ නිකායේ මහනායක නාපාන පේමසිරි යන මහනායක හිමිවරු අත්සන් කර නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය මෙසේය.

පසුගිය අප්‍රේල් මස 21 දින ශ්‍රී ලංකා ද්වීපය තුළ සිදුවූ රුදුරු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේ බියජනක ඡායාවන්ගෙන් පීඩිතව සිටින සමස්ත ලංකාවාසීන් හට චිත්ත ශාන්තිය උදාකිරීමට කටයුතු කිරීම මෙවර සම්බුදු තෙමඟුල සිහිපත් කරන අප සැමගේ වගකීමයි.

ඡන්දය, ද්වේශය, භය, මෝහය යන සතර අගතීන්ගෙන් වියුක්තව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සුපෝෂිතව ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීමට අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම බෞද්ධ පිළිවෙත බව සිහිපත් කරනු කැමැත්තෙමු. එහෙයින් මෙවර වෙසක් පුන්පොහෝ දින සැමරීමේදී අධ්‍යාත්මික සුපෝෂණය උදෙසා ප්‍රමුඛත්වය ලබාදෙමින් ජනතාව ඒකරාශී කරන බාහිර සැණකෙළි හා උත්සව ආදියෙන් වැළකීමට කටයුතු කිරීම වඩාත් සුදුසුය.

තවද, මෙම තීරණාත්මක අවස්ථාවේ මහජන ආරක්ෂාව තහවුරු කරමින් සියලු බෞද්ධ සිද්ධස්ථානයන්ගේ සුරක්ෂාව උදෙසා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යෙදීම රජය සතු වගකීමකි. මෙවර වෙසක් පුන්පොහෝ දින නිමිත්තෙන් පුණ්‍ය ක්‍රියා හා වෙනත් වැඩසටහන් සංවිධානය කිරීමේදී ආරක්ෂක අංශයන්ගේ උපදෙස් මත මහජන ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් කටයුතු කරන ලෙස සමස්ත බෞද්ධ මහජනතාවට දන්වා සිටිමු.

එසේම, මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් රට මුදවාගැනීමට සියලු දේශපාලනික නායකයන් දේශපාලන භේද පසෙකලා අන්තවාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට තිරසර ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව හා සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තූන් මත රාජ්‍ය පාලනය ගෙන යාමට කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කර සිටිමු.

►කුසුම්සිරි විජයවර්ධන

 

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05