2019 මැයි 04 වන සෙනසුරාදා

බෝම්බ පිපිරවීම සහ මුස්ලිම් දේශපාලනය

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

කොළඹ හිටපු නගරාධිපති සහ මැලේසියාවේ හිටපු මහ කොමසාරිස් ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දරන අදහස් මෙසේ ප්‍රකාශ කරයි.

අන්තවාදී මුස්ලිම් සංවිධානයක සුළු පිරිසක් කතෝලික දේවස්ථාන තුනකට හා ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනකට එල්ල කළ තිරස්චීන ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව මම පළමුව හෙළා දකිමි. සාමයට ලැදි සමස්ත මුස්ලිම් ජනතාවත් මෙම මෘග ප්‍රහාරය කොන්දේසි විරහිතව හෙළා දැක ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මෙරට පුරවැසියන් මෙන්ම විදේශිකයන් 350කට අධික පිරිසක් මියගිය බව වාර්තා විය. 500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. මියගිය සියලු දෙනා වෙත අපගේ සංවේගය පළකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් නිරෝගී සුවය ලැබේවායි පතමි.

ශිෂ්ට සම්පන්න මානව සමාජය මත කළු කැළලක් එකතු කළ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තිබේ. ඒ වෙත අවධානය යොමු කළ යුතු වන්නේ නැවත මෙවන් අවාසනාවන්ත තත්ත්වයන් රට තුළ ඇති වීම වැළැක්වීම පිණිසය.

1983 කළු ජූලිය අපේ ඉතිහාසයෙන් කිසි දා අමතක නොවේ. යාපනයේදී හමුදා සෙබළුන් 13 දෙනකු ඝාතනය කිරීමෙන් කොටි සංවිධානය බලාපොරොත්තු වූයේ සමස්ත දෙමළ ජනතාවට එරෙහිව දකුණේ සිංහල ජනතාවගෙන් ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීමය. අවාසනාවකට රට එම උගුලේ වැටුණේය. එහි  ප්‍රතිඵලය වූයේ තිස් වසරක් පුරා දිගැස්සුණු යුද්ධයක් පවත්වාගෙන යාමටත් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ නිර්මාණය කර ගැනීමටත් ප්‍රභාකරන් සමත් වීමය. රට සියවස් ගණනාවක් ආපස්සට ගියේය. පාස්කු ඉරිදා ප්‍රහාරකයන්ගේ සැහැසි අරමුණ වූයේත් රට තුළ යළිත් එබඳු තත්ත්වයක් ඇති කරවීම බව පැහැදිලිය. එහෙත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමාණන්ගේ පරිණත නායකත්වයේ මැදිහත්වීම නිසා එම අරමුණ ව්‍යාර්ථ විය. සමස්ත මුස්ලිම් ජනතාව හා මුළුමහත් ජාතිය වෙනුවෙන් මම එතුමාණන්ට  ප්‍රණාමය  පුද කරමි.

පාස්කු ඉරිදා ප්‍රහාරය කිසිවකුත් බලාපොරොත්තු වූ බවක් නොපෙනේ. එහෙත් මෙබඳු අන්තවාදී ත්‍රස්ත සංවිධාන බිහි වීමට අවශ්‍ය පරිසරය මුස්ලිම් සමාජය තුළ වැඩෙමින් තිබූ බව එම ජනතාව සමඟ සමීපව දේශපාලනය කරන දේශපාලනඥයකු වශයෙන් මම දනිමි. විශේෂයෙන්ම සෙසු ජාතීන් සමඟ සාමයෙන් සමගියෙන් හා සහෝදරත්වයෙන් ජීවත් වූ මුස්ලිම් ප්‍රජාව තුළ මෙබඳු අන්තවාදී සංවිධාන බිහිවූයේ අහේතුකව නොවේ. පසුගිය කාලවකවානුව තුළ මුස්ලිම් දේශපාලනය සමඟ සමපාත වීම වෙනුවට එය ව්‍යාපාරයක් බවට පත් වූ බව පැහැදිලිය. මුස්ලිම් දේශපාලන පක්ෂ කණ්ඩායම් වශයෙන් බෙදී එක් එක් පැතිවලට මාරු වීමත් ඉටුකර ගැනීමට කටයුතු කිරීමත් අපට දැකිය හැකිය. මෙම බොහෝ පිරිස් පක්ෂ හා ආණ්ඩු මාරැ කරනු ලැබුවේ දේශපාලන ප්‍රතිපත්ති මත පිහිටා නොවන බව ඒකාන්ත සත්‍යයකි.

මුස්ලිම් සමාජයට ආභරණයක්ව පැළඳිය හැකි සලකුණක් තිබේ. ඒ අෂ්රොෆ් සලකුණයි. මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ මුස්ලිම් දේශපාලන ගමන් මග ඉහළට ඔසවා තැබූ අෂ්රොෆ් දර්ශනය එයට නිසි බරින් හඳුනාගැනීමය. ඔහු මුස්ලිම් ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවා එයට නායකත්වය දුන්නේය. මුස්ලිම් ජනතාවගේ සැබෑ නායකයා වූ එතුමා මුස්ලිම් ජනයා විඳි පීඩා හොඳින් තේරුම්ගත්තේය. උතුරු නැගෙනහිර පදනම් කර ගනිමින් ඔහු ආරම්භ කළ එම ගමනේ අරමුණ වූයේ එම දෙපළාතේ මුස්ලිම් ජනයා මුහුණ දුන් ත්‍රස්තවාදී උවදුරෙන් ඔවුන් මුදා ගැනීමත් ජාතියක් වශයෙන් මුස්ලිම් ජනතාවට බලපෑ හිරිහැර පීඩා මෙන්ම නොසලකා හැරීම් ද වෙනස්ව සැලකීම් ද ඉවත් කර සමාන පුරවැසි අයිතිවාසිකම් ඔවුන්ට උරුම කර දීමත්ය. මෙම සටන මගින් ඔහු මුස්ලිම් සමාජයට බොහෝ ජයග්‍රහණ ලබාදුන්නේය. මෙරට මුස්ලිම් සමාජයට පළමු පන්තියේ පුරවැසියන් ලෙස ගොඩ නැගෙන්නට අවශ්‍ය පසුබිම ඔහු සකසා දුන්නේ දේශපාලනිකව සටන්කාමී වූත් ප්‍රායෝගිතක සාමකාමී වූත් ක්‍රියාමාර්ගයෙනි.

1988 ජනාධිපතිවරණයේදී අෂ්රොෆ් මහතා ආර්. ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට උර දුන්නේය. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට දෝශාභියෝගය එල්ල වූ අවස්ථාවේ අෂ්රොෆ් මහතා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ අභීතව සටන් කළේය. ඒ අන් කිසිවක් නිසා නොව මුස්ලිම් ජනතාවට තවත් බොහෝ ජයග්‍රහණ අත්පත් කර දීමට බව ප්‍රේමදාස ජනාධිපතිවරයා අෂ්රොෆ් අමාත්‍යවරයාට පිරිනැමූ කැබිනට් අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කිරීමෙන් පැහැදිලි වේ. අෂ්රොෆ් මහතා ක්‍රියා කළේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් නම් ප්‍රේමදාස ජනාධිපතිවරයා පිරිනැමූ ඇමැති ධූරය පැකිලීමකින් තොරව භාරගැනීමට ඉඩ තිබුණි. එහෙත් මුස්ලිම් සමාජයෙන් බිහි වූ අදටත් ගරු කොට ගත හැකි මෙම ආදර්ශමත් නායකයා එමග ප්‍රතික්ෂේප කළේය.

අෂ්රොෆ් මහතාගේ ඊළඟ අරමුණ වූයේ රටේ මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ශක්තිමත් දියුණු දේශපාලන ව්‍යාපාරයක් ජාතික මට්ටමින් ගොඩනැගීමයි. ඒ වෙනුවෙන් ඔහු ජාතික සමගි පෙරමුණ ගොඩනැගුවේය. ජාතික සමගිය වෙනුවෙන් සියලු ජන කොටස් අතර දේශපාලනයේ නියැලීමට නිර්මාණය කළ ජාතික සමගි පෙරමුණේ ලාංඡනය වූයේ ජනතාවගේ ජීවිතවලට වඩාත් සමීප ගසය. එතුමා ප්‍රදර්ශනය කළ ජාතික අධ්‍යාත්මය එයය. පටු අවස්ථාවාදී දේශපාලනයෙන් ඈත්ව ජාතික දේශපාලනය තුළ කටයුතු කිරීමේ අවශ්‍යතාව පළකළ එතුමා සියලු ජාතිකත්වයන්ට එම පක්ෂයේ දොර විවර කළේය. එහෙත් ඔහුගේ අනපේක්ෂිත මරණයත් සමඟ ඒ ගමන අතරමග නතර විය.

අෂ්රොෆ් මහතාගේ මරණයෙන් පසුව සිදුවූයේ කුමක්ද? ජාතික සමගි පෙරමුණ තුළ සිටි අවස්ථාවාදී බලලෝභී පටු දේශපාලනඥයන් තම තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් ජාතික සමගි පෙරමුණ කෑලි කෑලිවලට කඩා  විසිරවීමය. අෂ්රොෆ් මහතාගේ රෑපය පෙන්වමින් වෙන වෙනම කුඩා පක්ෂ සාදා ගැනීමය. එමගින් සිදු වූයේ තම මන්ත්‍රීධූර වෙන්දේසියේ දමමින් ආණ්ඩුවක් ආණ්ඩුවක් පාසා විවිධ වරදාන හා වරප්‍රසාද ලබා ගනිමින් මුස්ලිම් ප්‍රජාව අමතක කර දැමීමය. මේ කල්ලිවාදී මුස්ලිම් නායකයන්ගේ ක්‍රියා කලාපය නිසා මුස්ලිම් ජනතාව දේශපාලනික වශයෙන් අසරණ විය. ඔවුන් තුළ අනාරක්ෂාව පිළිබඳ භීතියක් ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තවාදී කණ්ඩායම්වලට සරු බිමක් බවට මුස්ලිම් සමාජය පත්විය. අද අප ගෙවමින් තිබෙන වන්දිය එයම විනා අන් යමක් නොවේ.

මේ පටු හා පවිටු දේශපාලනයෙන් රටට  ලබාගත හැකි කිසිදු ජයග්‍රහණයක් නැත. මේ තුළ සිදු වන එකම දේ මුස්ලිම් ජනතාව තමන් උපන් බිම තුළම තව තවත් අනාරක්ෂිත වීම පමණකි. එහෙයින් මේ දේශපාලනයට තිත තැබිය යුතු පැය එළැඹ තිබේ.
අප මුස්ලිම් දේශපාලන පක්ෂ ලෙස වෙන වෙනම අවස්ථාවාදීව ගොඩනැගීම වෙනුවට ප්‍රධාන පක්ෂ සමඟ සමගියෙන් යුතුව අපගේ දේශපාලන ගමන් මග සකස් කළ යුතුය. මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අප එම කැප කිරීම කළ යුතුය. මෙම කේවල් දේශපාලන ක්‍රමය සහමුලින් උපුටා දැමීමට කාලය එළඹ ඇත. අපි නැවතත් ජාතිකත්වයෙන් අත්වැල් බැඳ ගනිමින් සමාන පුරවැසියන් ලෙස නැගී සිටිය යුතු වෙමු. අන්තවාදයට ඉඩ නොදෙන පරිසරයක් බිහිකර ගත හැකි වන්නේ එමගිනි.

ජම්මියතුල් උලමා ඇතුළු සියලු මුස්ලිම් සංවිධාන පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගේ නම් ගම් වත ගොත ප්‍රචාරණ කටයුතු හා ඔවුන්ගේ රහස්‍ය ක්‍රියාකාරකම් ආරක්ෂක අංශවලට දැනුම් දෙමින් මෙය දිග්ගැස්සුණු යුද්ධයක් බවට පත් නොවීමට පිටු බලයක් විය. ඒ සියලු සංවිධානවලට මේ මොහොතේ මගේ ගෞරවය පිරිනමන්න කැමතිය.

මුස්ලිම් සමාජය තුළින්ම එවැනි සාධනීය මැදිහත්වීමක් සිදුකරද්දීත් එම සාධනීය මැදිහත්වීම් ප්‍රයෝජනයට නොගෙන රට තුළ ආරක්ෂාකව තහවුරැ කර ගැනීමට අපොහොසත් වීම ගැන අපි කනගාටු වෙමු. දැන් අප කළ යුත්තේ ඒ ගැන එකිනෙකාට ඇඟිලි දිගු නොකර රටේ උන්නතිය හා යහපත සඳහා ක්‍රියා කිරීමයි. මේ තුළින් දේශපාලන වාසි ලබා ගැනීම උත්සාහ කරන්නේ නම් එය මේ රටටත් ජාතියටත් කරන ද්‍රෝහීකමක් ලෙසයි මම දකින්නේ. ඇත්ත වශයෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන නායකයන් මේ තත්ත්වය සන්සුන් කිරීම සඳහා ක්‍රියා කළ ආකාරය ගැන සතුටු වෙමි.

මේ අවස්ථාවේදී රට තුළ සාමකාමී වාතාවරණයක් ඇති කිරීමට දිවි පරදුවට තබා ක්‍රියා කරන ආරක්ෂක අංශවලට මාගේ ප්‍රණාමය පුද කරන්නෙමි. මම මාගේ ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ මෙම අනපේක්ෂිත අවස්ථාවේදී දැඩි සංයමයකින් හා ඉවසීමෙන් යුතුව කටයුතු කරමින් ආරක්ෂක අංශවලට ලබාදුන් සහයෝගය ඉදිරියේත් අඛණ්ඩව ලබාදෙන ලෙසය.

අපට මේ ප්‍රපාතයෙන් ගොඩ ආ හැකිය. රට යළිත් ආර්ථිකය නවෝදයෙත් සහජීවනයේ මතු මහලටත් ඔසවා තැබිය හැකිය. ඒ සඳහා කළ යුත්තේ මේ තාක් මේ ඉවසීමෙන් මෙන්ම බුද්ධිමත්ව කටයුතු කිරීමෙන්ම පමණක් බව මම අවධාරණය කරමි.

  ඒ. ජේ. එම්. මුසම්මිල්

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30