2019 මාර්තු 23 වන සෙනසුරාදා

බිස්කට් - රසකැවිලි වලටත් &ට්‍රැෆික් ලයිට්”

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 121

ඔවුන්ගේ රසකැවිලි විවිධය. ඒ රසකැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම්, සහල් පිටියෙන් සහ පැණියෙන් සාදාගනු ලැබේ. සහල් පිටි, පැණි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ තබා පදමට කර වූ පසු තෙලෙන් එළියට ගනිති” සිංහලයන්ගේ රසකැවිලි පිළිබඳ රොබට් නොක්ස් විසින් එදා හෙළදිව ග්‍රන්ථයේ සඳහන් කොට ඇත්තේ එසේය. එයින් ගම්‍ය වන්නේ එදා සිටම ලාංකිකයන් රස වෑහෙන රසකැවිලි සෑදීමට රුසියන් බවය.

ලොකු පොඩි කාගේත් රස නහර පිනා යන රසකැවිලි සහ පැණිබීම අද වෙළෙඳපොළෙහි බෙහෙවින් විකිණීමට ඇත. දිව පමණක් නොව ගත සිතද අමන්දානන්දයට පත් කරන අන්දමින් රසකැවිලි සෑදීමට අද බොහෝ ව්‍යාපාරිකයෝ පෙළඹී සිටිති. එමෙන්ම පැණිරස මදිනම් කුමකින් හෝ පැණි රස දෙන්නට රූප පෙට්ටියෙන්, වෙළඳ දැන්වීම්වලින් ශිල්ප දැක්වීමට ඔවුන් දක්වන්නේ පුදුම උනන්දුවකි. අද බොහෝ මව්පියන් සැදී පැහැදී සිටින්නේ දරුවන්ට පැණි රස කැවීමට බව කීම නිවැරදිය. එය දරුවන්ගේ සෞඛ්‍යයට කොතරම් හිතකරදැයි ඔවුන් සිතන්නේ නැත.

රතු, කහ, කොළ වර්ණ සංකේත යනුවෙන් කෙනෙක් කියූ විට අපට මතක් වන්නේ ට්‍රැෆික් ලයිට් ගැනය. අප ගමන් ගන්නා මහමඟ ඇතිවන අවහිර, බාධක ඉවත් කිරීමට උදව් වන මෙම ට්‍රැෆික් සංඥා පුවරු දැකීමට ඇතැම් රියදුරන් මෙන්ම කාර්යබහුල මගීන්ද අකමැතිය. නමුත් එයින් සිදුවන්නේ පිටට නොපෙනෙන මහ මෙහෙවරකි. මෙරට ඝන ආහාර සහ අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, තෙල් සහ ලුණු සඳහා වර්ණ සංකේත ක්‍රමයක් ලබන අප්‍රේල් දෙවැනිදා සිට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ලබන්නේ ඒ අනුව යමිනි.

අප ගන්නා ආහාරපාන අනුව අපගේ අනාගතය රඳා පවතින්නේ යැයි කියමනක් ඇත. ශරීරයට අහිතකර වස විසක් අපගේ මුඛයෙන් ශරීරයට ඇතුළු වුවහොත් මරණය පවා එහි ලියැවී තිබිය හැක. පැණිරසක් එවැනි වසවිසක් බව බොහෝ දෙනා දන්නේ නැත. දැනගනු ලැබුවද ඒ ගැන වැඩිදුර සිතන්නේ නැත.

මීට පෙර 2016 වසරේ පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළවිට ඒ සඳහා වැඩි ප්‍රතිචාරයක් නොතිබුණ නමුත් මෙවර වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රචාරක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත. ඒ අනුව සෑම ග්‍රෑම් 100කටම සීනි ග්‍රෑම් 22කට වැඩි නම් රතු ලේබලයද, ග්‍රෑම් 8 සිට 22 දක්වා කහ ලේබලයද, ග්‍රෑම් 08ට අඩු නම් කොළ ලේබලයද බිස්කට් සහ රසකැවිලිවල ප්‍රදර්ශනය කළ යුතුවේ. ලුණු භාවිතය සඳහා වූ රෙගුලාසි යටතේ සෑම ග්‍රෑම් 100කටම ලුණු ග්‍රෑම් 12.5කට වඩා අඩංගු නම් රතු ලේබලයද, ග්‍රෑම් 12.5 සිට 2.5 දක්වා අඩංගු නම් කහ ලේබලයද, ග්‍රෑම් 2.5කට අඩු නම් කොළ ලේබලයද ප්‍රදර්ශනය කළ යුතුය.

මේදය සඳහා වූ රෙගුලාසි යටතේ සෑම ග්‍රෑම් සියයකම මේදය ග්‍රෑම් 17.5කට වඩා වැඩිනම් රතු ලේබලයද, ග්‍රෑම් 3 සිට 17.5 දක්වා අඩංගු නම් කහ ලේබලයද, ග්‍රෑම් 03කට වඩා අඩු නම් කොළ ලේබලයද ප්‍රදර්ශනය කළ යුතුය. සීනි මේදය සහ ලුණු අඩංගු ප්‍රතිශතද බිස්කට් සහ රසකැවිලිවලට ප්‍රදර්ශනය කළ යුතු බවත්, කිරි, එළවළු, පළතුරු, සහල් කුඩා වර්ගයේ පැකට් තුළ ඇති ආහාර තේ, කෝපි, වතුර බෝතල්, වෛද්‍යවරැන් නියම කරන ආහාර, විශාල ප්‍රමාණයේ ආහාර අසුරණ ළදරු කිරි ආහාර සඳහා මෙම රෙගුලාසි ක්‍රියාත්මක නොවන බවද සෞඛ්‍යය අමාත්‍යංශය සඳහන් කර ඇත. 1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කළ ආහාර ශ්‍රේණි මට්ටම සඳහා වන වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රියාවලියක්ද හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙර පියවර ගෙන තිබිණි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා:

2016 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කළා. එහිදී ප්‍රධාන පෙළේ බහුජාතික පැණිබීම සමාගම් සීනි භාවිතය සියයට 10කින් අඩු කිරීම ප්‍රගතිශීලී පියවරක්. 2018 වසරේ සි පැණිබීම වර්ගවල සෑම සීනි ග්‍රෑමයකටම සත 50ක බද්දක් අයකළා. මේ නිසා පැණිබීම වෙළෙඳාම අඩු වූ නිසා සීනි රහිත බීම වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සුරක්ෂතා ඒකකය විසින් 2018 වසරේ සිට බිස්කට් සහ රසකැවිලි සඳහාද වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තොරතුරු රැස් කළා. බිස්කට් සහ රසකැවිලි කර්මාන්තය සංවිධානාත්මක කර්මාන්තයක්. තවත් අතෙකින් සුළු පරිමාණ මට්ටමින් රසකැවිලි නිෂ්පාදන සමාගම් විසින් වසරකට අලෙවි කරන බිස්කට් තොගය ටොන් 80000ක් පමණ වෙනවා. එහිදී සීනි භාවිතය අඩුකළ යුතුයි. මේ පිළිබඳව නිෂ්පාදකයන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අපේ රටේ දේශීය නිෂ්පාදන කර්මාන්තයක් වන බිස්කට් නිෂ්පාදකයින් රටවල් 55කට සිය නිෂ්පාදන අපනයනය කරනවා. එම නිසා ජාත්‍යන්තරයත් පිළිගන්නා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීමට ඔවුන් එකඟතාවයකට පැමිණියා. මෙම නීතිය අප්‍රේල් 02 සිට ක්‍රියාත්මකයි. ඒ වගේම මෙවර අපි වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රචාරක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා.

විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා - නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආහාර පාලන) සෞඛ්‍ය අමාත්‍යංශය -

බෝ නොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තමයි සෞඛ්‍ය අමාත්‍යංශය මෙම පියවර ගනු ලබන්නේ. විශේෂයෙන් හෘදයාබාධ සහ පිළිකා ඇතුළු තවත් රෝගාබාධ රැසකට බලපාන රෝග කාරක වන සීනි, තෙල් සහ ලුණු භාවිතය අවම කළ යුතුයි. ඝන ආහාර සහ අර්ධ ඝන ආහාරවල සීනි, තෙල්, ලුණු සඳහා වූ වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ:

2016 වසරේ සිට බෝ නොවන රෝග ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදුවී තිබෙනවා. රෝග පාලනය කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අයහපත් වූවා නම් එම රෝගීන් ජීවිතක්ෂයට පත්වෙලා. නව වැඩපිළිවෙළ හේතුවෙන් ආයු අපේක්ෂාවද වැඩි වී තිබෙවා.  බෝ නොවන රෝග පාලනය කිරීම තුළින් ආර්ථික වාසියක්ද හිමිවෙනවා. මූල්‍ය සම්පත් ඉතිරි වෙනවා. රසකැවිලි සඳහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මහජන සෞඛ්‍යයට අදාළ කරුණක්.

ශ්‍රී ලංකා බිස්කට් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සූර්යකුමාර් මහතා:

බිස්කට් සහ රසකැවිලි සඳහා වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව වසර 02ක් පුරා සාකච්ඡා පැවැත්වූවා. ව්‍යාපාරික ප්‍රජාව ලෙස අපට අවාසියක් සිදුවුවත්, ජනතාව දෙස බලා මෙම තීරණයට එකඟ වුණා. දේශීය බිස්කට් නිෂ්පාදකයන් 25ක් පමණ සිටින අතර ඔවුන් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 80000ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරනවා. වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීම ජාතික අවශ්‍යතාවයක්. ව්‍යාපාර පවත්වාගෙන යාමට පාරිභෝගිකයන් අත්‍යවශ්‍යයි. නමුත් අනාගත දරු පරපුර සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව අපගේ පිළිගැනීමයි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ආරම්භ කළ මෙම වැඩසටහනට අපි පූර්ණ සහායක් ලබාදෙනවා.

කෙසේ වෙතත් ස්ථුලභාවය, දියවැඩියාව සහ දත් දිරායාම අවම කිරීම සඳහා පළතුරැ සහ කිරිවල අඩංගු ස්වභාවික සීනි හැරුණු විට ආහාරයේ අඩංගු අනෙක් සියලුම ආකාරයේ සීනි (Free Sugar) පරිභෝජනය අවම කිරීමට පියවර ගතයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකද දැක්වේ.

උත්සව සමයේදී මෙම රසකැවිලිවලට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. එමෙන්ම උත්සව සමයන් තුළදී රසකැවිලි විවිධ අසුරණයන්හි දවටා වෙළෙඳපොළට පැමිණෙයි. සෞඛ්‍ය අමාත්‍යංශයට ඇත්තේ 2030 වසර වනවිට සමස්ත රටේ ජනගහනයෙන් තුනෙන් එකකට බෝ නොවන රෝග අවම කර ගැනීම අපේක්ෂාවය.

►සටහන - හසිත් අංජන