2019 මාර්තු 16 වන සෙනසුරාදා

මහනුවර රත් කරන නයිට් මාකට් ගින්න...

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

මහනුවර නගරයට නිරන්තරයෙන් විදේශීය සංචාරකයෝ පැමිණෙති. ලොව විවිධ රටවලින් ඔවුන් මහනුවර නගරයට අනිවාර්යයෙන්ම පැමිණෙනනේ එය ලෝක උරුම නගරයක් බැවිනි. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවත් සිංහලේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා මෙම පුරවරය පාලනය කිරීමත්, ඉන් අනතුරැව ඉංග්‍රීසි පාලකයන් මෙම පුරවරය මූලික කර ගනිමින් ඔවුන්ගේ බලය රට තුළ ව්‍යාප්ත කිරීමත් ඒ හා ඓතිහාසික තොරතුරැ විදේශීය සංචාරකයන්ට මැනවින් දැන ගැනීමට අවස්ථාවක් වීමත් තවත් හේතු අතර වෙයි.

එසේ වුවද මෙම ඓතිහාසික නගරය සවස 7න් පසු ජනශූන්‍ය තත්ත්වයකට පත්වී නිදිගත් නගරයක් වන බවටද පත්ව තිබෙන බවට බොහෝ දෙනකුගේ මතයකි. ඒ බොහෝ වෙලාවට නගරයට විවිධ රැකියා සඳහා පැමිණෙන ජනතාව නගරයෙන් ඉවත්ව යාමත් ඒ සමගම නගරයේ ව්‍යාපාරික ස්ථාන වැඩි සංඛ්‍යාවක් වසා දැමීමත් නිසාය. නිදිගත් බව කියන මෙම නගරයට ඒ වනවිට පැමිණෙන විදේශීය සංචාරකයන්ට සිදුවන්නේ වැව රවුමේ ස්ථාපිත කර තිබෙන බංකු මත වාඩි වී වැවේ දිය රැලි දෙස බලා සිටීමට පමණකි.

රජ සමයේ ඉදිකරන ලද බව ඉතිහාසයෙහි සඳහන් වන මහනුවර නගරය මැද පිහිටි සුන්දර නුවර වැව හෙවත් කිරිමුහුද ඇරෙන්නට විනෝදයක් සුවයක් ලබාගත හැකි ස්ථානයක් ලෙස හිරැ අවරට ගියවිට ඇති එකම ස්ථානය මෙම ස්ථානයයි.

පේරාදෙණිය මල්වත්ත (ජාතික උද්භිද උද්‍යානය) තිබුණද රාත්‍රී කාලයට විදේශීය සංචාරකයෝ එහි නොයති. නගරයේ සුපිරි සංචාරක හෝටල් කීපයක් ඇතත් ඒවා තුළද විදේශීය සංචාරකයන් අපේක්ෂා කරන සුන්දර අවස්ථාවන් සිත් ඇදගන්නා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්නා වැඩසටහන් එතරම් සාර්ථක වී නැත. මෙම තත්ත්වය යටතේ මහනුවරට පැමිණෙන විදේශීය සංචාරකයෝ එක් දිනකට වඩා නුවර පුරවරයේ රුඳී නොසිටිති. ඔවුන් ඇතැම් අවස්ථාවල දිනක්වත් රුඳී සිටින්නේ නැත. ඔවුන් බොහෝ විට දඹුල්ල, සීගිරිය, හබරණ, පොළොන්නරැව සහ නුවරඑළිය වැනි ප්‍රදේශවලට ඇදී යති.

එම විදේශිකයන් නගරය තුළ රඳවා ගැනීමට නිද්‍රාශීලී මහනුවර පුරවරය අවදියෙන් තබා ගැනීමත් සංචාරක ආකර්ෂණය වර්ධනය කර ගැනීමත් යන කරැණු මූලික කර ගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මහනුවර නගරය තුළ විනෝදාත්මක පිබිදීමක් ඇතිකරලීම සඳහාත් දේශීය ආහාර වර්ග දේශීය සංස්කෘතික, නර්ථන අංග විදේශිකයන්ට ඇස ගැස්සවීමටත් අරමුණු කර ගනිමින් නගරයේ සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පෞද්ගලික ව්‍යාපාර හිමියන් පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන් සැම ඒකරාශී කර ගනිමින් ඔවුන් දැනුම්වත් කරමින් නගරය තුළ රාත්‍රී වෙළෙඳපොළක් (නයිට් මාර්කට්) ආරම්භ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙම අවස්ථාවන්ට මහනුවර පුරපති කේසර සේනානායක මහතාගේ උපදෙස් පරිදි නාගරික කොමසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රුසක් සහභාගී වූහ. ඒ අනුව දින තුනක් මහනුවර නගරයේ දළදා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය වෙන්කරවා ගනිමින් වෙළෙඳ කුටි ඉදිකිරීමටත් යෝජනා විය.

මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතාද මහනුවර නගරය සංචාරක ආකර්ෂණයෙන් යුත් නගරයක් බවට පරිවර්තනය කරලීම සඳහා කොන්දේසි හතකට යටත්ව, අදාළ කාර්යය පැවරී ඇති මධ්‍යම කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත (පළාත් සභාව යටතේ පවතින ආයතනයකි) ලිඛිත අවසරයද ලබාදෙන ලදී. එහි ප්‍රධාන කොන්දේසි අතර මාර්ගයේ ධාවනය වන වාහනවලට හා මහ ජනතාවට බාධාවක් නොවීම, පූජනීය ස්ථානවල ආගමික වතාවත්වලට අවහිරයක් නොවන පරිදි කටයුතු කළයුතුය යන්නද ඇතුළත්ව තිබිණි.

මේ සියලු කරුණු එසේ තිබියදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයක් පරිදි පසු පෙබරවාරි 22, 23 සහ 24 යන දිනයන්හි මහනුවර නගරයේ දළදා වීදිය සහ කොටුගොඩැල්ල වීදිය කේන්ද්‍රකොට ගනිමින් මධ්‍යම පළාත් රාජ්‍ය සේවාවේ සියලු ආයතන සම්බන්ධ කර ගනිමින් එම වීථිවල රාත්‍රී වෙළෙඳසල් ව්‍යාපෘතිය (නයිට් කඩ) ආරම්භ කිරීම සිදුවිය. මෙම කාර්යයට විවිධ පුද්ගලයෝ එක්වූහ. ඇතැමුන්ට ඓතිහාසික පූජනීය මහනුවර පුරවරයේ අතීත සංස්කෘතික හා ආගමික සබඳතා සම්බන්ධයෙන් එතරම් දැනුමක් අවබෝධයක් ඇති නොවී තිබෙන්නට ඇත.

කෙසේ වෙතත් මහනුවර මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වූ විපුල රණසිංහ මහතා (එජාප) නගර සභා මාසික රුස්වීමේදී එයට දැඩි විවේචනයක් එල්ල කරමින් කොටුගොඩැල්ල වීදියේ ශ්‍රී කතරගම දේවාලය ඉදිරිපිට පාරේ නයිට්කඩවල මස් පුළුස්සා (බාබකිව් ක්‍රමයට සැකසූ මාංශ) ඇතැම් පිරිස් මහපාරේ පුටුවල වාඩි වී අනුභව කළ බවට චෝදනා කළේය.

ඓතිහාසික දළදා පෙරහර වීථි සංචාරය කෙරෙන කොටුගොඩැල්ල වීදියේ මස් මාළු පුළුස්සා ආහාරයට ගැනීම (බාබකිව්) නුසුදුසු බවත් පූජනීය දළදා පුදබිමේ මෙවන් කටයුතු සිදු කිරීමට අවසර නොදිය යුතු බවටත් නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා (එජාප) නගර සභාවේදී ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුව තුළද මහනුවර නගරයේ රාත්‍රී කඩ ව්‍යාපෘතිය විවේචනයට ලක්කරමින් ආණ්ඩුවේ අමාත්‍යවරුද මත පළකළහ. ඇතිවූ එම සිද්ධීන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විවිධ මත පළකරද්දී මහනුවර නගරයේ නයිට් කඩ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලික වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පළකළේ මෙවන් අදහසකි.

මම ආරම්භ කළ රාත්‍රී වෙළෙඳපොළ (නයිට් මාර්කට්) නවත්වා දමන්න උත්සාහ දරන දේශපාන ලොක්කෝ එකපාරටම නිදාගෙන ඉඳල නින්දෙන් නැගිටලා තියෙනවා. දළදා වීදියේ නයිට් කඩවල මස් පුච්චන් කනවා කියල. ඒක පට්ටපල් බොරැවක්. ජනාධිපතිතුමාගේ ඉල්ලීම මතයි මම වැඩ කරන්නේ. මම ආරම්භ කළ සෑම ව්‍යාපෘතියක්ම නවත්වන්න මේ පළාතේ දේශපාලනඥයන් කටයුතු කළා. මම මේ ධුරයේ වැඩ බාරගත්තට පසු මට කතා කළේ මේ පළාතේ දේශපාලනඥයන් දෙන්නයි. ඒ එස්.බී. දිසානායක සහ මහින්දානන්ද අලුත්ගමගේ යන අයවලුන් පමණයි. අනෙක් අය වැඩ කරන්න නොදී කකුලෙන් අදිනවා.

මේ නයිට් මාර්කට් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර මම මහානායක හිමිපාණන් වහන්සේලා හමුවූවා. උන්වහන්සේලා දැනුවත් කළා. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගත්තා. මේ පළාතේ දේශපාලනඥයෝ බයවෙලා කලබල වෙලා බොරැ ප්‍රචාර පතුරැවා හරිනවා. දළදා වීදියේ මස් පුච්චගෙන කෑවා කියලා...

මහනුවර මහ නගර සභාවේ විපක්ෂනායක සේන දිසානායක මහතා (හිටපු පුරපති - වත්මන් නාගරික මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)

මහනුවර නගරයේ පෙරහැර ගමන් කරන වීථිවල නයිට් කඩ දාන එකට අපි එකඟ නැහැ. පෙරහර ගමන් කරන මාර්ගයන්හි මේවගේ රාත්‍රී තාවකාලික කඩ ඉදිකරන එක කිසිසේත් සුදුසු නැහැ. රාත්‍රී කඩ ව්‍යාපෘතිය නිසා නගරය තුළ අධික රථවාහන තදබදයක් ඇතිවුණා. දළදා වීදිය සම්පූර්ණයෙන්ම වසා දැම්මා.

සංචාරක ප්‍රවර්ධනය කියල මේ වගේ වැඩසටහන් කරනවා නම් ලංකාවට එන විදේශිකයෝ සේරම මෙහි එයිද? නුවර නගරයේ නතර වෙයිද? මේ රාත්‍රී කඩ ව්‍යාපෘතිය කරන්නට අවශ්‍ය නම් ආණ්ඩුකාරවරයාට නගරයෙන් පිට වෙනත් ස්ථානයක් තෝරාගෙන ඒ කටයුත්ත කරන්න තිබුණා. මේ රාත්‍රී කඩ ව්‍යාපෘතිය තුළින් මහනුවර මහනගර සභාවට ශත පහත ආදායමක් ලැබුණේ නෑ. සිද්ධ වුණේ නගරය තුළ එක් රැස්වුණු කසළ ඇදීමයි.

පාරේ මස් පුච්චගෙන කන වැඩසටහනක් මම දුටුවේ නැහැ. නමුත් එවැනි කඩයුත්තක් සිදුවූවා නම් දළදා පෙරහර කරඬුව වඩම්මවන වීථියක, එවැන්නක් සිදුනොවිය යුත්තක්.

නාගරික මන්ත්‍රී සිදත් නිරෝෂන් අබේසේකර මහතා (ශ්‍රීලනිප):

මේ ඓතිහාසික නගරයේ පෙරහැර පවත්වන වීථිවල නයිට් කඩ දාන එකට අපි එකඟ නැහැ. මේ රාත්‍රී කඩ ව්‍යාපෘතිය නිසා නගරය තුළ අධික රථවාහන තදබදයකුත් ඇතිවූවා.

කතරගම දේවාල තුළ ආගමික වතාවත් සවස සිදුවෙමින් තිබියදී ඒ ඉදිරිපිට පාරේ මස් මාංශ වෙළෙඳාම සිදුවනවා නම් ඒක සුදුසු නැහැ. 

උඩුදුම්බර පාරම්පරික දුම්බර රටා රෙදි නිර්මාණ ශිල්පියෙකු වූ චන්දන යාපා මහතා:

මටත් මෙම රාත්‍රී වෙළෙඳ පොළේ (නයිට් මාර්කට්) වෙළඳ කුටියක් ලැබුණා. එය ලබාදුන්නේ මුදල් අයකිරීමකින් තොරවයි. අපේ දේශීය නිෂ්පාදන විදේශිකයන්ට හඳුන්වා දී අලෙවි පොළක් සාදා ගන්නට අවස්ථාව උදාවුනේ මේ රාත්‍රී කඩ ව්‍යාපෘතිය නිසයි. මෙම වැඩසටහන අත්හිටුවන්න එපා කියා ඉල්ලා සිටිනවා. උඩදුම්බර වැනි දුෂ්කර ප්‍රදේශයක අපේ දේශීය කලා නිර්මාණ පාරිභෝගික ජනතාවට හඳුන්වාදීමට මට අවස්ථාවක් උදාවූයේ මහනුවර නගරයේ ඇතිකළ රාත්‍රී කඩ ව්‍යාපෘතිය නිසයි. සුළු සුළු අඩුපාඩු වැරදි තිබුණත් පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහාතගේ සංකල්පයක් මත ආරම්භ වූ මෙම නයිට් කඩ ව්‍යාපෘතිය අපි වගේ පුංචි කර්මාන්තකරැවන්ට ඉතාමත් වටිනා සේවාවක් ඉටුකරනවා. මේ වැඩසටහන නවත්වන්න එපා කියා මා ඉල්ලීමක් කරනවා.

මධ්‍යම පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ ආචාර්ය අසංග තිලකරත්න මහතා:

මහනුවර නගරයේ රාත්‍රී වෙළෙඳ කුටි ව්‍යාපෘතිය ටිකක් හොඳයි. ඒත් දළදා වීදිය සහ නගරයේ ආයතන අවහිර වන පරිදි කුටි ඉදිකර එය පැවැත්වීම සුදුසු නැහැ. හැමදේටම විරැද්ධ නොවී හොඳ දේට අපි එකඟත්වය පළකළ යුතුයි. ආණ්ඩුකාරවරයා කළේ හොඳ දෙයක්. අඩුපාඩු තිබිය හැකියි. ඒවා හදාගෙන ඉදිරියට යා යුතුයි. රාත්‍රියට මේ නගරය තුළ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය සඳහාත් යම් යම් ව්‍යාපෘති පැවැතිය යුතුයි. එය මේ නගරයට ගැලපෙන අයුරින් සිදු විය යුතුයි.

ජේ.ඒ.එල්. ජයසිංහ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00