2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ජන්මයෙන් ආ පුරුද්ද නිසා සැප සම්පත් අහිමිවෙයි

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 10

දේවදත්ත හිමියන්ට බුදුන් වහන්සේ කෙරේ තිබුණේ නිස්කාරණේ බැන්ද වෛරයක්. ඒ වෛරය නිසා බුදුන්ට විදින්න දුනුවායන් එව්වා. රා පොවා නාලාගිරි ඇතු ඉදිරියට එව්වා. ගල් පෙරළෙව්වා. ඒ සියලු ක්‍රියා සම්බන්ධව ගම් නියම්ගම්වල මිනිස්සු කතාබහ වුණා. ඔවුන් දේවදත්ත හිමියන් පිළිකුල් කළා. මේ සෑම ක්‍රියාවකටම උදව් කළේ අජාසත් රජතුමා කියා ඒ අය කියන්න පටන් ගත්තා. ඒ රජතුමාට ඉන් වුණේ අගෞරවයක්. ඒ ගැන අජාසත් රජතුමා කල්පනා කළා. එතුමාටත් කරුණු කාරණා වැටහුණා. දේවදත්ත හිමියන්ට රජගෙදරින් යැවූ ආහාරපාන නතර කළා. කිසිම සහයෝගයක් දුන්නේ නෑ. රජතුමා හමුවීමට ඒමට අවසර දුන්නේ නෑ. මේ නිසා දේවදත්ත හිමියෝ අපහසුතාවයට පත් වුණා.

දෙව්රම් වෙහෙරේ දම් සභාවේදී හාමුදුරුවරු මේ දේවදත්ත හිමියන්ට වුණු අපහසුතාවය ගැන කතාබහ වුණා.

මහණෙනි! දේවදත්ත ස්ථවිර දැන් මතු නොව පෙරත් ඔය ලෙසට ලාභ සත්කාර නැතිකර ගත්තා.

ස්වාමිනී! එය අපට පහදා දෙන්න. රැස්වී උන් හාමුදුරුවරු ඉල්ලා සිටියා.

එවිට බුදු රජාණන් වහන්සේ මෙම කතාව ගෙනහැර පෑවා.

යටගිය දවස බරණැස් නුවර සතුන් ඇතිකිරීමට කැමති බඹදත් රජ කෙනෙක් උන්නා. මෙ රජතුමාට හිමාල වනයේ උන් වැද්දෙක් ගිරා පැටව් දෙන්නෙක් අල්ලා ගෙනත් දුන්නා. රජතුමා ඒ ගිරා පැටව් දෙන්නාට බොහොම කැමති වුණා. ටිකක් ලොකු ගිරා පැටියාට රාධා කියා නම් තැබුවා. පොඩි පැටවාට පොට්ටපාද නමින් ඇමතුවා. උන්ට විළඳ මී පැණි සකුරු නිතර කන්න දුන්නා. ගිරා පැටව් සැප සේ වැඩුණා.

මේ ගිරව් දෙන්නා රජගෙදර සියල්ලන්ටම හීලෑ වුණා. ඔවුන් ගිරව් සමඟ සුරතල් වුණා. රාජකුමාරයන් ද උන් දෙන්නා අතට අරන් කතා කළා. අතගෑවා. මේ නිසා ගිරව් දෙන්නා රජගෙදර සුරතල්ලු වුණා. සතුටින් විනෝදයෙන් කල් ගත කළා.
කාලය ගෙවී ගියා. හිමාලයේ උන්නු තවත් වැද්දෙක් වඳුරු පැටියෙක් රජතුමාට ගෙනත් දුන්නා. ඌ කළුම කළු එකෙක්. රජතුමා ඌත් ඇතිදැඩි කරන්න පටන් ගත්තා. ඌ කළු නිසාත් මහත නිසාත් කාලබානු කියා නමකුත් දැම්මා. බඹදත් රජතුමා කාලබානු සුරතල් කළා. ඒ ඌ පුංචි පැටියා නිසා. ඌත් සුරතලේට කීකරුව හිටියා. රජගෙදර දුව පැන සෙල්ලම් කළා. ඒ නිසා රජගෙදර සියල්ලෝම වඳුරු පැටියාට ඇළුම් කළා.

කෙමෙන් රජගෙදර හැමෝටම වගේ ගිරව් දෙන්නා අමතක වුණා. කෑම බීම දුන්නෙත් ඉඳලා හිටලා. වෙනදා වගේ රජතුමා උන් සමඟ කතාවට ආවේ නෑ. අහක බලාගෙන ගියා. විළඳ මී පැණි දීම සම්පූර්ණයෙන්ම නතර වුණා.
කාලය ගෙවුණා. ගිරව් දෙන්නා කෙසඟ වුණා. රාධා කල්පනා කර කර උන්නා. ඒ ඌ බුද්ධිමත් ගිරවෙක් නිසා.

පොට්ටපාද රාධා වගේ නොවේ නැණ මඳ ගිරවෙක්. ඌට මේ නොසැලකිල්ල ඉවසන්න බැරිව ගියා. කාලබානුට වෛර කළා. මූ ආවට පස්සේ අපට ලැබුණු සත්කාර නැතිව ගියා කිව්වා. රාධා වෙත ගියා. ළඟට වෙලා මුහුණ දෙස බලා සිටියා.
ඔබ ඇයි වෙනස්වෙලා වගේ. රාධා ඇසුවා.

වෙනස් වෙන්නේ නැද්ද? මේ වෙන දේවල් දැක්කම පොට්ටපාද කිව්වා.

කුමක්ද වෙලා තියෙන්නේ?

ඔබට තේරෙන්නෙ නැද්ද?

කුමක් ගැනද ඔබ කියන්නේ?

අර කළු වඳුරා ගැන.

ඌ ඔය හොඳට කාලා බීලා ඉන්නේ.

ඔව්. ඌ හොඳට කාලා බීලා සුරතල් වෙවී ඉන්නවා. අපට හරියට කෑමක් නෑ. ඉස්සර මේ රජගෙදර සියල්ලෝම අපිත් එක්ක සුහදව කතාබහ කළා. සුරතල් වුණා. දැන් කවුරුවත් අපි දිහා බලන්නේවත් නෑ. ආවට ගියාට කෑම දෙන්නේ. රජතුමා නිකමටවත් අප දෙස බලන්නේ නෑ. ඉස්සර අපි වඩාගෙන හිස අතගෑවා. විළඳ, මී පැණි කැව්වා. දැන් කාලෙකින් විළඳ මී පැණි ටිකක් ලැබුණාද? වැඩි හරියක් අපි ඉන්නේ බඩගින්නේ නේද? මොකක්ද මේ අපි ගෙවන ජීවිතය?
ඔබ කලබල වෙන්න එපා. මටත් ඔය ඔක්කොම තේරෙනවා. ටිකක් ඉවසන්න.

ඔව්. ඔබ වගේ ඉවසාගෙන හිටියොත් මැරෙන්න තමයි වෙන්නේ.

ඉතින් ඉවසාගෙන ඉන්නේ නැතිව අපි මොනවා කරන්නද?

ඇයි කරන්න දෙයක් නැත්තේ? අපි මේ රජගෙදර අතහැර අපි උපන් හිමාලයට යමු.

ගිහින් කුමක්ද කරන්නේ?

ගිහින් නිදහසේ ජීවත් වෙමු.

ඔබ හිතනවද එහේ අපට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියා.

ඇයි බැරි?

බෑ. අපට පුරුදු දෙන දේ කා ජීවත් වෙන්න. එහේ කවුද අපට කෑම දෙන්නේ. අපි සොයාගෙන කන්න ඕනෑ. සොයාගෙන කන්න අපට පුරුදු නෑ. එබැවින් එහේ ගියොත් අපට මීට වඩා කරදර ඇතිවෙනවා. මේ අහන්න පොට්ටපාද! සියලු සතුන්ට සැප සම්පත් හැමදාම ලැබෙන්නේ නෑ. දිළිඳු බවට පත්වෙනවා. ඒ තමයි අටලෝ දහම. ඒ නිසා වෙන දෙයක් නිහඬව බලා ඉන්න.

මේ කාලබාහු මෙහෙන් එළවන්න ක්‍රමයක් නැද්ද?

ඔය කාලබාහු වඳුරෙක්. උන් උපතින්ම චංචලයි. ඇඟට පනින්න හදනවා. විසුළු කරනවා. තව ටික දිනකින් කාලබාහුටත් ඒ පුරුද්ද එනවා. රාජකුමාරවරැ බිය ගන්වන්න ඒ විකාර කරනවා. එවිට කුමාරවරැ ඌට එරෙහි වෙනවා. ඔය දෙන සත්කාර නැති කරනවා. එතෙක් අපි බලා ඉම්මු. රාධා කිව්වා. පොට්ටපාද නිහඬ වුණා. 

ටික දිනක් ගෙවී ගියා. කාලබාහු ලොකු මහත් වුණා. ඌ කුමාරවරුන්ට නොයෙක් විකාර කළා. දිනක් කුමාරවරු බිය කර ඇඟට පැන්නා. කුමාරවරැ බියේ කෑගැසුවා. රජතුමා දුව ආවා. එතුමා කෝප වුණා. මේ කාලකන්නි වඳුරා රජගෙදරින් එළවා දමන්න රාජපුරුෂයන්ට නියෝග කළා. ඔවුන් වඳුරා කැලයට ගිහින් දැම්මා. කුමාරවරු යළි ගිරව් සමඟ මිතුරු වුණා. පෙර සේ මිහිරි කෑම ගිරවුන්ට ලැබුණා. ඒ කාලබාහු තමයි දේවදත්ත. බුදුන් වදාළා.

කාලබාහු ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:29
 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 06:07