2018 මැයි 05 වන සෙනසුරාදා

මැයි රැලි: එජාපය අද ශ්‍රීලනිප ඒකාබද්දය හෙට

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

I රජිත ජාගොඩආරච්චි

ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් අද (06) සහ හෙට (07) දිනයන්හි මෙවර මැයි රුලි පැවැත්වීමට සූදානමින් සිටී.ඒ අනුව මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය පැවැත්වෙන්නේ හෙට 7 වැනිදා මඩකලපුව චෙන්කලාඩිහිදී ය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රීලනිප රැලියට සමගාමීව පෙළපාළියක් නොපැවැත්වීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂය මැයි රැලිය, එජාප නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සවස 3ට පැවැත්වේ. එජාපයද මෙවර මැයි දින පෙළපාළියක් නොපැවැත්වීම කැපී පෙනේ.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලිය පැවැත්වෙන්නේද හෙට 7 වැනිදා ගාල්ලේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පස්වරු දෙකට ගාලු පාරේ සිට ආරම්භ කරන මැයි දින පෙළපාළිය කිලෝමීටරයක් දුර පැමිණ සමනළ ක්‍රීඩාංගණයේදී මැයි රැලිය පැවැත්වීමට නියමිතය. බදු බර පහත හෙළීම සහ රට විදෙස් ජාතීන් හමුවේ පාවාදීම වහා නතර කරනු යන තේමා පාඨ ඔස්සේ ඒකාබද්ධ විපක්ෂය මැයි රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය මෙවරත් පැවැත්වෙන්නේ කොළඹ බී.ආර්.සී. පිටියේදීය. හෙට 7 වැනිදා සවස 01ට බොරැල්ලෙන් ආරම්භ වන එම මැයි පෙළපාලිය සවස 4ට රැලිය පැවැත්වීමට සූදානම් කොට තිබේ. සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනඟන ජනතාවාදී පාලනයක් යන මැයෙන් මෙවර ජවිපෙ රැළිය සංවිධානය කර ඇත.