2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

කැබිනට් වර්ජනයක්?

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 545

ගයාන් ගාල්ලගේ l

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රීල.නි.ප. කැබිනට් ඇමැතින්ට එරෙහිව එ.ජා.ප.ය විසින් විශ්වාසභංග භාරදීමට තීන්දු කිරීමෙන් අනතුරුව සම්මුතිවාදී රජය තුළ අමාත්‍ය මණ්ඩල අර්බුදයක් නිර්මාණය වී තිබේ.

මෙම අර්බුදය හටගත්තේ අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප කැබිනට් ඇමතිවරුන් ගණනාවක් තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කරන බව ප්‍රකාශ කිරීමත් සමඟය. ඉන් අනතුරුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පැවති එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවේදී එම අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයාට එරෙහිව ඡන්දය දුන් ඇමතිවරුන් සමඟ තවදුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කිරීමට සූදානම් නැති බවය. යම් හෙයකින් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙකී අමාත්‍යවරුන් සහභාගි වුවහොත් තමන් කැබිනට්ටුව වර්ජනය කොට පිටව යන බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ගණනාවක් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

මේ ගැන අද හෙටම ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයා සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දැනගන්නට ඇත. විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිව ඡන්දය දුන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරුන්ට මෙබඳු විරෝධයක් එල්ල වුවත්, එදින අගමැතිවරයාට පක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණි ශ්‍රීලනිප මහලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ට එජාප ඇමැතිවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී නැත.