2019 ජුනි 15 වන සෙනසුරාදා

ජනාධිපතිවරණය නොවැම්බර් 30!

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 568

I දේශපාලන වාර්තාකරු

ඉදිරි ජනාධිපතිවරණය දෙසැම්බර් 07 සෙනසුරාදා පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාට යෝජනා කර තිබුණද ජනාධිපතිවරණය පැවැත්වීම නොවැම්බර් මස 30 දින සිදුවිය හැකි බව ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඊට හේතුව වත්මන් ජනාධිපතිවරයා හැර වෙනත් අපේක්ෂකයකු ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු ජයග්‍රහණය කළ දිනයේම දිවුරුම් දී රාජකාරි ආරම්භ කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති නිසාය. වත්මන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කළහොත් ඔහු දිවුරුම් දිය යුත්තේ ඔහුගේ වසර 5ක නිල කාලය අවසන් වන දිනයට අනුරූප වන 2020 ජනවාරි මස 09 දිනය.

ජනාධිපතිවරණය වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට අවම වශයෙන් මසකට පෙර පැවැත්විය යුතු යැයිද ව්‍යවස්ථාවේ සඳහන්ය. ඒ අනුව 2019 දෙසැම්බර් 09දාට පෙර ජනපතිවරණය පැවැත්විය යුතුය.

මැතිවරණ කොමිසම යෝජනා කළ දෙසැම්බර් 07දා ඡන්දයට දින නියමකොට කිසියම් දේශපාලන අර්බුදයක් හෝ කාලගුණ දේශගුණ ප්‍රශ්නයක් මත නිසි ලෙස ඡන්දය පවත්වන්නට නොහැකි වුවහොත් බරපතළ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවන නිසා ජනපතිවරණය දෙසැම්බර් 07ට කලින් සතියේ සෙනසුරාදා පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.