2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

උඩකැන්දවල සරණංකර හා නාරවිල ධම්මරතන

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

විදුලකර හිමිවරු සමාජවාදයට නැඹුරු වූවද මාක්ස්වාදීන් නොවූහ. දේශපාලනික වශයෙන් ඒ හිමිවරුන් වඩාත් ළං වූයේ ලංකා සමසමාජ පක්ෂයට මිස කොමියුනිස්ට් පක්ෂයට නොවේ. විදුලකර පිරිවෙනේ අධිපතිව වැඩ සිටි ලුණුපොකුණේ නාහිමි ඇන්. ඇම්. පෙරේරාගේ කිට්ටුම ඥාතියෙක් වූහ. කුඩා කල සිය මව්තුමිය සමඟ ලුණුපොකුණේ නාහිමි මුණගැසීමට නිතර පෑලියගොඩට ආ ගිය හැටි ඇන්. ඇම්. ඔහුගේ ජීවිත කතාවේ මුල් කොටසේ සඳහන් කරයි. කෙසේ වුවත් ඇන්. ඇම්. කුඩා කල ජීවත් වූ තොටළඟ සිට පෑලියගොඩට ඇත්තේ කෙටි දුරකි. ඇන්. ඇම්. මුදල් ඇමති වූ පළමු වැනිදාම විදුලකරට ගොස් එහිදී වන්දනාමාන කළේය. එය දැඩි මාක්ස්වාදී මතධාරීන්ගේ විවේචනයට ලක්වූව ද අභිනව මුදල් ඇමැතිතුමා ඒවා ගණන් ගත්තේ නැත. සුපුරුදු පරිදි කොක් හඬලා සිනාසුණා පමණි. 

ඇන්. ඇම්.ගේ ලිපි එකතුවක් දැන් වසර දහයකට පමණ පෙර ප්‍රකශයට පත්කරන ලදි. එහි “මා හිතවත් රාහුල" යනුවෙන් ආමන්ත්‍රණය කරමින් ඔහු වල්පොල රාහුල හිමිට යැවූ ලිපිවල පිටපත් ද ඇතුළත් කර තිබේ. ඔවුන් දෙදෙනා අතර දේශපාලනය ගැන අදහස් හුවමාරුවක් තිබූ බවට සාක්ෂියකි එය. කොටහේනේ පඤ්ඤාකිත්ති හා බඔරැන්දේ සිරි සීවලී  වැනි හිමිවරුන් විසින් සාහිත්‍යය පිළිබඳ ලියන ලද සටහන්වල සමාජවාදී අදහස් ගැබ් වී තිබේ. සාහිත්‍ය මඟින් සමාජ මෙහෙවරක් කළ යුතු බව මේ හිමිවරු තරයේ ඇදහුවෝය. රාහුල හිමි කෙලින්ම සමසමාජ වේදිකාවලට නැගුණ අතර, ඒ නිසා උන්වහන්සේ ජේ. ආර්. ජයවර්ධන වැනි යූ. ඇන්. පී නායකයන්ගේ උදහසට ලක්වූහ.

පෑලියගොඩ සංඝයා වහන්සේට වෙනස්ව කෙළින්ම ලංකා කොමියුනිට්ස් පක්ෂයට බැඳුණ හිමිවරුන් දෙදෙනෙක් සිටියෝය. ඒ උඩකැන්දවෙල සරණංකර හා නාරවිල ධම්මරතන යන හිමිවරුන්ය. මේ දෙදෙනාම ධර්මපාලතුමාගේ අනුග්‍රහයෙන් ඉන්දියාවට ගිය අය වූහ. ටික කලක් මහාබෝධි සමාගම සමඟ කටයුතු කළ මේ හිමිවරු පසුව කල්කටා සහ බරණැස වාමවාදී කොටස්වලට එක්වී ඉන්දියානු නිදහස් සටනේ පෙරගමන්කරැවන් බවට පත් වූහ. තම සාමනේරවරුන් දේශපාලනයට සම්බන්ධ වීම අනගාරික ධර්මපාලතුමාට වහකදුරු වැනි විය. තමාගේ ධන පරිත්‍යාගයෙන් ඉන්දියාවට පැමිණ ධර්මදූත මෙහෙවර අමතක කර දේශපාලනයේ යෙදීම ඔහුට ඉවසාගත නොහැකි විය. සැඩ පරැෂ වචනයෙන් උන්වහන්සේලා ඇමතූ ධර්මපාලතුමා ඔවුන්ට මහාබෝධියෙන් ගෙවන සුළු වැටුප පවා නවතා දැමීය. වහාම මහාබෝධි නිවාසවලින් ඒ හිමිවරැන් පිටමං කරන ලෙස අණ කරන ලදි. 

මේ දෙදෙනාගෙන් දාර්ශනිකයා වූයේ නාරවිල ධම්මරතන හිමියන්ය. උන්වහන්සේ ද වාමාංශික වේදිකාවට නැග්ග නමුත් ප්‍රධාන කථිකයෙක් වූයේ නැත. කොමියුනිස්ට් පක්ෂයට හිතවත්ම භික්ෂුව වූයේ උඩකැන්ද‍වෙල සරණංකර හිමියන්ය. උන්වහන්සේ දොස්තර වික්‍රමසිංහ සමඟ ලංකා සමසමාජ පක්ෂයෙන් එළියට ආ කීපදෙනාගෙන් එක් අයෙක් වූහ. ඉන්පසුව උන්වහන්සේ නව කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුරට පත්කරනු ලැබූහ. සමාජවාදී කඳවුරට ජනප්‍රියත්වය ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද “නවලෝකය” සඟරාවේ කතුවරයා වූයේ සරණංකර හිමියන්ය. එම සඟරාවට සෝවියට් තනාපති කාර්යාලයෙන් ආධාර කරන ලදි. කොමියුනිස්ට් පක්ෂය සමඟ නොසෙල්වී සිටි උන්වහන්සේට ලෙනින් සාම ත්‍යාගය පිරි නමන ලදි. සමහර විට උන්වහන්සේ ලෙනින් සාම ත්‍යාගය දිනාගත් එකම ලාංකිකයා වීමට පුළුවන. සරණංකර හිමි කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රබල සාමාජිකයෙක් වූහ.

උඩකැන්දවෙල සරණංකර හිමිගේ ජීවිත කතාව පළකර ඇති බැවින් උන්වහන්සේ ක්‍රියාදාමයන් ගැන හොඳ අවබෝධයක් අපට ලබා ගත හැකිය. කුඩා වයසේදීම  ධර්ම දූත සේවය සඳහා සාමනේරවර වශයෙන් උන්වහන්සේ භාර ගත්තේ අනගාරික ධර්මපාලතුමායි. එම මුල් හමුවේදීම සරණංකර හිමි මුරණ්ඩු බවේ ලකුණු පෙන්වූහ. ඉන්දියාවේ ධර්මදූත වැඩ සඳහා තරුණ භික්ෂූන්ගේ සහාය පතමින් ධර්මපාලතුමා “සිංහල බෞද්ධයා” පුවත් පතේ දැන්වීමක් පළකළේය. කුරැණෑගල දිස්ත්‍රික්කයේ දුප්පත් ගම්මානයක විසූ ලාබාල සරණංකර හිමියෝ තම නායක හිමියන්ට ද නොදන්වා ඉන්දියාවට යෑමට කැමති බව ලිපියකින් ධර්මපාලතුමාට දැන්වූහ. මුල් හමුවීමේදී ධර්මපාල කියා සිටියේ සරණංකර හිමි අඩු වයස්කරැවෙක් නිසා දැනට ඉන්දියාවට නොගොස් තම මව වූ මල්ලිකා මැතිණියගේ නිවසේ කලක් ගත කළ යුතු බවයි. මෙම උපදෙස් පිළිගැනීමට කුඩා සරණංකර හිමි කැමති නොවූහ. හඬාදොඩා වහාම ඉන්දියාවට යවන ලෙස ධර්මපාලට බල කරන්නැයි මල්ලිකා මැතිනියට ඇවටිලි කළහ. කාරැණික ඇය ද සාමනේර හිමිගේ ඉල්ලීමට සවන් දී ධර්මපාලතුමාට සිය හිත වෙනස් කරන ලෙස දන්වා සිටියාය. ආදරණීය මව්තුමියගේ ඉල්ලීම ඉවත නොදැමිය හැකි නිසා සරණංකර හිමියන් වහාම ඉන්දියාවට ගෙන යාමට එකඟ වූවද සාමනේර හිමි ඒ වනවිටත් මුරණ්ඩු දරැවෙක් බව ධර්මපාල තුමාට වැටහෙන්නට ඇත. ධර්මපාලතුමා ලේසියෙන් සිත වෙනස් කරගන්නා කෙනෙක් නොවීය.

සරණංකර හිමිගේ ජීවිත කතාව කියවන විට ධර්මපාලතුමාගේ මනුෂ්‍යත්වය ගැනත් අපට දැනගත හැකිය. දෙදෙනා කල්කටාවට රේල්ලුවෙන් යන අතර දවල් දානය පිරිනමන ලදි. කෑම කටට ගත් සරණංකර හිමිට එහි එළු මස් කෑල්ලක් තිබුණ බවට දැනුණි. “කන්න එපා! කන්න එපා! මස් දාලා තියෙනවා” යැයි කුඩා හිමියෝ කෑගසන්න පටන් ගත්හ. ගෝලයාගේ සොයා ගැනීම ගැන විනෝද වුණ ධර්මපාලතුමා “ළමයෝ කෑ ගහන්නේ නැතිව ලැබුණ දේ වළඳනවා” යැයි සිනාමුසු මුහුණින් කිවේය. ඒ වනවිට සෞඛ්‍ය හේතු නිසා ධර්මපාලතුමා නිතරම එළු මස් වැළඳූ බව තරැණ සරණංකර හිමි දැන සිටියේ නැත.

ධර්මපාලතුමා පසුව සරණංකර හිමි සහ නාරවිල ධම්මරතන හිමි සමඟ උරණ විය. දෙදෙනාම ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවට මාක්ස්වාදය කරපින්නාගෙන සිටීම ඔහු ඉවසුවේ නැත. ධර්මපාලතුමාගේ දිනපොත් සටහන්වලින් පෙනෙන්නේ ඔහු මාක්ස්වාදය ලොකු කොට නොතැකූ බවයි. සරණංකර හිමි දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ අතර නාරවිල හිමි බුද්ධිමතෙක් වූහ. උන්වහන්සේ විසින් රචිත “බුද්ධාගම හා මාක්ස්වාදය” යන්න එම විෂය පිළිබඳව සිංහලෙන් ලියන ලද හොඳම පොත් අතරට අනිවාර්යයෙන් එක් වෙයි. ජේ.ආර්. ජයවර්ධන විසින් “බුද්ධාගම හා මාක්ස්වාදය” ගැන කරන ලද දේශන මාලාවක් අනුව පළකරන ලද ග්‍රන්ථයට පිළිතුරක් වශයෙනි නාරවිල ධම්මරතන හිමියන්ගේ පොත රචනා කරන ලද්දේ.

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00