ශ්‍රී ලංකාව ඓතිහාසික වූ ඡන්දයකට ලබන 06 වැනිදා, අඟහරුවාදා මුහුණ දෙයි. ඡන්දය ඓතිහාසික වන්නේ එය නියමිත කාලය තුළදී පැවැත්වීමට නොහැකි වූ ඡන්දයක් බවට පත්ව තිබූ බැවිනි. ඒ අනුව 2016 වසරේදී පැවැත්වීමට නියමිතව තිබියදී දෙවසරකට කල් දමනු ලැබ 2018 දී පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු යළිත් පුංචි ඡන්දයක් පැවැත්වෙන්නේ ලබන 06 වැනිදාටය. ඒ වසර 07කට පසුවය.
වසර 07 ක් දක්වා මේ පුංචි ඡන්දය නොපැවැත්වුණේ මේ රටේ ඡන්දදායකයන්ගේ වරදින් නොවේ. දේශපාලකයන්ගේ වැරැද්දෙනි. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක දීමට වඩා තමන්ගේ බලය පිළිබඳ පවතින්නා වූ කෑදරකම විසින් මේ තත්වය ඇති කරනු ලැබීය. එයින් අහිමිව ගියේ ජනතාවගේ අයිතිවාසිකම්ය. පාඩුව සිදුවුණේ පළාත් පාලන ආයතන මට්ටමින් සිදුවිය යුතු, ඉටුවිය යුතු සේවා රැසක් වළපල්ලට යාමයි. ජනතාවගේ අවශ්‍යතා ප්‍රශස්ත මට්ටමකින් ඉටු නොවීමයි. බිම් මට්ටමේ දේශපාලන නාඩිය වැඩ කරන හැටි ගැන දැනුමක් ඉහළ දේශපාලන අධිකාරියට නොලැබීමයි. ඒ සියල්ලේ ප්‍රතිඵල පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් දැකගත හැකි විය.
මෙවර පුංචි ඡන්දය ගැන අප කතා කළ යුත්තේ මේ පසුබිම පිළිබඳ අවබෝධයක් ඇතිවය. වෙනත් ප්‍රධාන මැතිවරණවලදී මෙන්ම මෙහිදී ද වඩාත් වැදගත් වන්නේ ජනතාවගේ සහභාගිත්වයයි. ඡන්දය “පුංචි” වශයෙන් හැඳින්වූවාට එහි වැදගත්කම පුංචි නැත. ගමේ ගොඩේ හැම වැඩකදීම පුංචි ඡන්දයෙන් ජයග්‍රහණය කරන මන්ත්‍රීලා අතින් ඉටුවිය යුතු කාර්යයන් බොහොමයකි. මහජනතාව නියෝජනය කරමින් එම වැඩ ඉටුකර දීමේ වගකීම පැවරෙන්නේ මේ පුංචි මන්ත්‍රීලාටය. මේ නිසා තමන්ට වැඩ ගත හැකි මන්ත්‍රීන් පිරිසක් පළාත් පාලන ආයතනවලට තෝරා පත්කර යැවීම සඳහා ඡන්දදායකයන් පෙරමුණ ගැනීම අවශ්‍යය. තමන් සහාය ලබාදෙන දේශපාලන පක්ෂය කුමක් වුවද එහි වෙනසක් නැත. අවශ්‍ය වන්නේ උදෙන්ම තමන්ගේ ඡන්ද පොළට ගොස් තමන්ගේ අභිමතය ඡන්ද පත්‍රිකාව මත සටහන් කිරීමයි. එය පුරවැසියකු වශයෙන් තමන් අතින් ඉටු කෙරෙන ලොකුම වගකීමකි.
මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වන “කැෆේ” හි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ මෙවර පුංචි ඡන්දය සඳහා අපේක්ෂකයන් හැත්තෑ එක්දහසකට අධික පිරිසක් ඉදිරිපත්ව සිටියත් ඒ අතුරින් සියයට 20 ක්වත් සක්‍රීයව ප්‍රචාරක කටයුතු නොකරන බවය. පක්ෂ කිහිපයක් පමණක් ජන රැලි පවත්වමින් ජනතාව දැනුවත් කළ ද සෙසු පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් තුළ එවැනි උනන්දුවක් දැකගත නොහැකි බවද ඔහු සඳහන් කර තිබිණි. මෙය යහපත් තත්ත්වයක් නොවේ. කොතරම් අපහසුතා තිබුණත් ඉතා අඩු වියදමක් දරමින් තමන්ගේ බල ප්‍රදේශය තුළ හෝ සක්‍රීය ප්‍රචාරක කටයුතු සිදුකිරීම අවශ්‍යය. එසේ දැනුවත් නොකර ඡන්දදායකයාගේ විශ්වාසය දිනා ගැනීම ඉතා අපහසු වනු ඇත. පළාත් පාලන මැතිවරණ බොහොමයකදී ප්‍රධාන මැතිවරණවලට වඩා අඩු ප්‍රතිශතයක් ඡන්දය භාවිත වීමට එය ද ප්‍රධාන හේතුවකි.
තත්වය එසේ වුවද තැපැල් ඡන්දය විමසීම රට පුරා ඉතා සාමකාමීව සහ ප්‍රශස්ත මට්ටමකින් පැවති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර තිබිණි. ඊට අදාළව කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු නොවූ බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. එය වසර 06 කට පසුව පැවැත්වෙන පුංචි ඡන්දය සම්බන්ධයෙන් යහපත් තත්වයකි. නමුත් වඩාත් අවශ්‍ය වන්නේ පුංචි ඡන්දය දිනයේදීත් ඡන්දදායකයන් විශාල වශයෙන් ඡන්ද පොළට ගෙන්වා ගැනීමයි. ඒ සඳහා ඡන්දයට ඉදිරිපත්ව සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම මැතිවරණ කොමිසම ද සියලු බර යෙදිය යුතුය.
පළාත් පාලන ආයතන ඇසුරින් ඉතා විශාල වශයෙන් නාස්තිකාර සහ දූෂිත ක්‍රියා සිදුවන බවට චෝදනා බොහොමයකි. ඒවායේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා රජය මගින් ලබා දෙන අරමුදල් පමණක් නොව ජනතාවගේ බදු මුදල් ද එවැනි ක්‍රියා හේතුවෙන් මකර කටට යන බවට බරපතළ චෝදනා එල්ල වී තිබේ. එයින් සිදුවන මුදල් හානිය ප්‍රතිශතයක් වශයෙන් සියයට 80 ක් තරම් එක්තරා කාලයක ඉහළ නැග තිබූ බවට ද චෝදනා නැගුණි. ඡන්දදායකයන්ගේ වගකීම වන්නේ හැකි තරම් ඡන්ද පොළට ගොස් තමන් කැමැති පක්ෂයක හෝ කණ්ඩායමක හෝ අවංකව, කාර්යක්ෂමව කටයුතු කළ හැකි අදූෂිත මන්ත්‍රීවරුන් පිරිසක් තෝරා පත් කර යැවීමයි.