නායක පිවිතුරු හෙළ උරුමය උදය ප්‍රභාත් ගම්මන්පිල
මේ දිනවල වැඩිපුර කතා වෙන්නේ ඔබ ගැන. ඒ පිල්ලෙයාන් හම්බවෙන්න වෙලාවක් ඉල්ලුවා සහ පිල්ලෙයාන් හම්බවෙන්න ගියා කියලා. ඇයි ඒ හම්බවෙන්න ගියේ?
පිල්ලෙයාන්ගේ නීතිඥවරයා මගේ පාසල් මිතුරෙක්. ඔහුගෙන් දැනගන්න ලැබුණා ඔහුගේ කනිෂ්ඨ නීතිඥයෙක් පිල්ලෙයාන් හම්බවෙන්න ගිය වෙලාවේ ඔහු හමුවීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කළා කියලා. ත්‍රස්තවාදී පනත අනුව රැඳවියෙක්ට නීතිඥයෙක් හමුවීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා පිල්ලෙයාන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක් තියෙන්නෙ. ඒ නිසා මම සී.අයි.ඩී අධ්‍යක්ෂවරිය අමතලා කිව්වා මමයි දැන් පිල්ලෙයාන්ගේ නීතිඥවරයා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 10(අ) වගන්තිය යටතේ ඒ අයිතිය තියෙනවා ඔබ කොහොමද ඒක ප්‍රතික්ෂේප කරන්නේ කියලා. එතකොට කිව්වා නෑ එහෙනම් ඔබතුමා ලිඛිතව දැනුම් දෙන්න කියලා. ඒ නිසා නීතිය අනුව මගේ ස්වභාවය සටහන් කරමින් මගේ අයිතිය ඉල්ලලා ලිපියක් යොමු කළා. ඒ අනුව තමා මට අවස්ථාවක් දුන්නෙ.
පිල්ලෙයාන්ගේ වටිනාකම මොකක්ද?
අවුරුදු 14 දී ළමා සොල්දාදුවෙක් හැටියට බලහත්කාරයෙන් ත්‍රස්තවාදියෙක් කරපු කෙනෙක් තමා පිල්ලෙයාන් කියන්නෙ. පස්සේ ත්‍රස්තවාදය අත්හැරියා විතරක් නෙවෙයි, රට සමඟ එකතුවෙලා ත්‍රස්තවාදය නැති කරන්නත් තීරණාත්මක දායකත්වයක් ලබා දුන්න කෙනෙක්. දකුණේ ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදී ක්‍රියා අත්හැරලා දේශපාලනඥයෝ වෙන්න, ව්‍යාපාරිකයෝ වෙන්න, එන්ජීඕ ප්‍රධානීන් වෙන්න පුළුවන් නම්, ත්‍රස්තවාදී ක්‍රියා අමතක කරලා රටේ දේශපාලනය කරන්න පුළුවන් නම්, අවසාන මොහොත වෙනකල් ත්‍රස්තවාදී මතයක ඉඳලා රටේ නායකත්වයට එනකල් එන්න පුළුවන් නම්, ත්‍රස්තවාදයට විරෝධය පාලා, එරෙහි වෙලා සටන් කරපු මනුස්සයට ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යෑම වරදක්. එහෙනම් ඔක්කොටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. නැත්නම් හැමෝටම සමාව දෙන්න ඕනෑ. 1987 දී අවි බිම තියපු සියලුම ත්‍රස්තවාදීන්ට සමාව දුන්නා. ඒත් මෙතැන වෙන්නේ අවි බිම තියලා විතරක් නෙවෙයි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ මිනිහට දඬුවම් දීලා ත්‍රස්තවාදී ක්‍රියා අවසන් වෙනකල් කරපු අය ඔසවලා තියෙන වැඩක්. ඒ අසාධාරණය වෙනුවෙනුයි මම පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී ඉන්නෙ.
ඔබ කියන කාරණයට එකඟයි කියමුකො. හැබැයි දේශපාලන බලය ලබාගෙනත් අපරාධමය වරදවල් කරනවා නම් ඒක වරදක් නෙවෙයිද? ඒ ගැන හොයන්න ඕනෑ නැද්ද?
යම් කෙනෙක් ත්‍රස්තවාදී ක්‍රියා අත්හැරලා ඔහු රණවිරුවෙක් වේවා, ත්‍රස්තවාදියෙක් වේවා, ඕනෑම කෙනෙක්ට වරදක් කර ඇත්නම් දඬුවම් හිමිවිය යුතුයි. ඔහු රට වෙනුවෙන් කළ දේ අපරාධ කරන්න බලපත්‍රයක් නෙවෙයි. ඒත් මේ මොහුට චෝදනා නගන්නේ ත්‍රස්තවාදයේ සිටියදී සිදුවූ සිදුවීමක් හැටියට. ත්‍රස්තවාදය අවසන් වෙන්නේ 2009 මැයි 18 වැනිදා මේ චෝදනාවට අදාළ අතුරුදන් වීම සිද්ධ වෙන්නේ 2006 දෙසැම්බර් 16 වැනිදා. එහෙම නම් උතුරේ දකුණේ සියලුම ත්‍රස්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. මොකද කොටි ත්‍රස්තවාදයට එරෙහි වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට සමාජගත නොවෙන්න ඕනෑ. මට පොඩි සංසන්දනයක් කරන්න දෙන්න. පිල්ලෙයාන් කියන්නේ අවුරුදු 14 දී බලහත්කාරයෙන් ත්‍රස්තවාදියෙක් කරපු ළමා සොල්දාදුවෙක්. පිල්ලෙයාන් කියන්නේ ත්‍රස්තවාදය අත්හැරලා ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරපු කෙනෙක්. දඬුවම් දෙනවා නම් දඬුවම් දෙන්න ඕනෑ කාටද කියලා හිතන්න.
ඔබ කිව්වා පිල්ලෙයාන්ගේ නීතිඥවරයකුට ඔහුව හමුවෙන්න අවස්ථාව දුන්නේ නෑ කියලා. ඒත් අපිට ලැබුණු ආරංචිය අනුව ඔබ විතරයි පිල්ලෙයාන් හම්බවෙන්න ඉල්ලීම් කරලා තියෙන්නෙ?
බොරුවක් නෙවෙයි. අදාළ නීතිඥවරයා දිවුරුම් ප්‍රකාශයක් හරහා මේකේ ඇත්ත ඉදිරියේදී හෙළි කරයි.
කාලයක් ත්‍රස්තවාදයට එරෙහිව විශාල විරෝධයක් කළ ඔබ එකපාරම වෙනස් වෙලා. ඔබ මේ පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී ඉන්න පටන් අරන් තියෙනවා. ඒක හැමෝටම ප්‍රශ්නයක්?
ඇත්තටම මම හැමදාම හිටියේ ත්‍රස්ත විරෝධී පිලේ. මම හැමදාම හිටියේ රටේ පැත්තේ. ඒ නිසා තමයි අනිත් අය බෙදුම්වාදය පිටුදකින්න, ත්‍රස්තවාදය නැති කරන්න කටයුතු කළ පිල්ලෙයාන් බෙදුම්වාදීන්ගේ ගොදුරක් කරන්න ලෑස්ති වෙනකොට ඊට විරුද්ධව තමා මම ඉන්නෙ. මම හැමදාම ත්‍රස්ත විරෝධියෙක්, දේශප්‍රේමියෙක්. ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කරපු අය බේරගන්න එක ත්‍රස්ත විරෝධියෙක්ගේ යුතුකමක්.
ඔබ කියනවා පිල්ලෙයාන් මේ ත්‍රස්තවාදය මැඩලන්න විශාල කාර්යයක් කළා කියලා. ඒත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා කියනවා කවදාවත් කරුණා අම්මාන්වත්, පිල්ලෙයාන්වත් යුද්ධයේදී කිසිදු තොරතුරක් දුන්නේ නෑ කියලා?
ඔබ ඒ ගැන පුදුම වෙන්න එපා. බ්‍රිතාන්‍යය විසින් හිටපු හමුදාපති දෙදෙනකුටත්, නාවික හමුදාපතිවරයෙක්ටත් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරලා ගමන් තහනමක් සහ දේපළ තහනමක් සිදුකළ අවස්ථාවේ ඔය හමුදාපති කිව්වේ ඔවුන් යුද අපරාධ කළා, ඒ අයට දඬුවම් දිය යුතුයි කියලා. 2010 බෙදුම්වාදයට උදව් කළ අය තමා එතුමා සමඟ ඡන්දයෙදී හිටියෙ. ඒ වගේම බෙදුම්වාදය වෙනුවෙන් කටයුතු කළ ඇමෙරිකාව එතුමට ග්‍රීන් කාඩ් ලබා දුන්නා. එතුමාගේ සුදු කොඩි ප්‍රකාශය වගේ දේවල් දකිද්දී එහෙම පුදුම වෙන්න දෙයක් නෑ. එතුමා යුද්ධයේදී විශිෂ්ඨ කාර්යයක් කරපු නායකයෙක්. ඒත් යුද්ධයෙන් පස්සේ දේශපාලනික ප්‍රකාශ තමයි එතුමා කරලා තියෙන්නෙ.
ඔබ පිල්ලෙයාන් වෙනුවෙන් ගියේ වාත්තීය නීතිඥයකු හැටියට. හැබැයි එහෙම ගිය ඔබ එළියට ඇවිත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා දේශපාලනඥයෙක් වගේ ප්‍රකාශ නිකුත් කළා. ගොඩක් අය කිව්වේ මේක වෘත්තීමය සදාචාරය බිඳ දැමීමක් කියලා?
ඇත්තටම නීතිය ගැන, නීතිඥ සදාචාරය ගැන නොදන්න අය ඒ ගැන කතා කරන්න ගිහින් තමා මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ. මම පිල්ලෙයාන්ගේ නීතිඥයා. ඔහු රැඳවියෙක් විතරක් නෙවෙයි, දේශපාලන නායකයෙක්. ඒ නිසා ඔහු පිළිබඳ සමාජයේ වැරදි මතයක් ප්‍රචාරය වීම ඔහුටත් ඔහුගේ පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයන්ටත් අසාධාරණයක්. ඒ නිසාම ඔහුගේ පැත්තෙන් කතාව කීම ඔහුගේ ඉල්ලීමක්. මොකද මම පිල්ලෙයාන් හමුවෙන්න යන්න ඉන්න කොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියල්ල වමාරයි කියලා සමාජ මාධ්‍ය තුළ පුවත් ගියා. ඒ නිසා තමන් එහෙම දෙයක් කියා නැති බවත්, ඒ සියල්ල බොරු බවත් රටට කියන්නැයි මගේ සේවාදායකයා ඉල්ලලා තිබුණා. මම ඔහු හමුවුණු එකම පුද්ගලයා හැටියට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම මගේ යුතුකමක් සහ මගේ වෘත්තිය. මගේ සේවාදායකයාට අසාධාරණයක් වුණා කියන චෝදනාව කරන්න පුළුවන් පිල්ලෙයාන්ට විතරයි.
ඔබ දිගින් දිගටම රහස් පොලිසියේ ඇතැම් තනතුරුවලට දිගින් දිගටම චෝදනා කළා, රහස් පිට යනවා කියලා. ඔබ ඊට නීති ක්‍රියාමාර්ග ගත්තද?
මට කලින් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනෑ ආණ්ඩුව. මට කරන්න පුළුවන් පැමිණිලි කරලා තියෙනවා. උප පොලිස් පරීක්ෂක ඒ.එල්.එම්. ෆාහිම් මගේ පැමිණීම ෆේස්බුක් ගිණුමේ සටහන් කළා විතරක් නෙවෙයි, ඔහුගේ මතයත් ලියලා තියෙනවා. ඒ වගේම තෝරාගත්ත යූටියුබ්කරුවන් කිහිප දෙනෙක්ට පොලිසියේ විස්තර එළියට යන්නේ කොහොමද කියලා මම පැමිණිලි කළත් නැතත් සොයා බැලීම පොලිසියේ වගකීමක්. මොකද පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වැඩ වෙනත් අය බාරගෙන තියෙනවා නම් පොලිසියේ පැහැදිලිවම විනය පිරිහීමක්.
සමහර සමාජ මාධ්‍යවල ගියේ නම් ෆාහිම් කියලා එස්.අයි. කෙනෙක් රහස් පොලිසියේ නෑ කියලා?
මම සියලු තොරතුරු සහිතවයි කිව්වේ. ඒක බොරු නම් මම ඔහුගේ ඡායාරූප එක්ක සමාජ මාධ්‍යට මුදාහරින්නම්. අනික එක එක්කෙනාට කියන්න බෑ .එහෙම කියනවා නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්න ඕනෑ. දැන් වෙලා තියෙන්නේ රටේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු බුරුතු ගණන් ඉන්නෙ.
දැන් ඔබ කියනවනේ මේ වෙන අය කතා හදන්නේ කියලා වගේ එකක්. හරි දැන් ඒවා බොරු නම් රජයේ නිල මාධ්‍ය ප්‍රකාශකවරු කවුරුන් හෝ මේවා බොරු කියලා කියන්නෙත් නෑනේ?
ඔබ හරි. පොලිසිය දේශපාලනික වෙලා ඉන්නෙ. මැතිවරණ වේදිකාවේ හිටිය චරිත දෙකක් තමයි දැන් පොලිසිය පාලනය කරන්නෙ. එහෙම කවදාවත් වෙලා නෑ. වේදිකාවේ හිටිය අය නිල ඇඳුම් ඇඟලා නෑ.
දැන් ඔබ ඔහොම කිව්වට පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් කියලා කිව්වේ මහජන ආරක්ෂක ඇමැතිවරයා?
ඇත්තෙන්ම මා ගාව තියෙනවා පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චෝදනා සහිත පිටපතක්. ඒ වගේම ජනාධිපතිවරයා අත්සන් කළ දින 90 නියෝගය. ඒ දෙකේම කොහේවත් ඔහුව අත්අඩංගුවට ගැනීමේ හේතුව ලෙස පාස්කු ප්‍රහාරය සටහන් වෙලා නෑ. මහාචාර්යවරයෙක් පැහැර ගැනීම සඳහන් කරලත් නෑ. ඔහුව අත්අඩංගුවට ගන්නේ අප්‍රේල් 8 වැනිදා, අප්‍රේල් 10 දා මහජන ආරක්ෂක ඇමැතිවරයා කියනවා ඔහු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් හෙළිදරව් කිරීම් සිද්ධ කළා කියලා. අප්‍රේල් 11 දා රැඳවුම් නියෝගයට අත්සන් කළ ජනාධිපතිවරයා 12 දා මඩකලපුවෙදී කියනවා පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය සඳහා කියලා. අප්‍රේල් 13 දා මම පිල්ලෙයාන් හම්බවුණාම කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න කළෙත් නෑ, ප්‍රශ්න කළාට ගැඹුරට කියන්න දෙයකුත් නෑ කියලා. එතකොට මට මේකෙන් පේන්නේ ජනාධිපතිවරයත් ඇමැතිවරයත් හිතාමතාම බොරු කරමින් ජනතාව අන්දවන බවයි.
පිල්ලෙයාන් ඔබ හම්බවුණේ වෘත්තීමය කාර්යයක් සඳහා කියමුකෝ. දැන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් කියන කෙනෙක් පිල්ලෙයාන් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයට කතා කරන්න ඕනෑ කියලා තිබෙනවා. ඒ සිදුවීම් සියල්ල රේල් පාරේ පීලි දෙක හා සමානයි?
දැන් මම යන මළගෙදරට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියොත් ඒකෙන් කියවෙනවද අපි දෙන්නා සම්බන්ධයි කියලා. ඒකෙන් කියවෙන එකම දේ පිල්ලෙයාන්ව මම වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයත් අඳුරනවා කියන එක විතරයි. ඔහු දේශපාලනඥයෙක් වශයෙන් හොයන්නෙ. මේකට කලබල වෙලා මතයක් හදන්නේ ආණ්ඩුව. මම පිල්ලෙයාන් හමුවෙන්න යන්නේ නීතිඥයෙක් හැටියට. ඒකේ මොකක්ද වරද? මොකක්ද ඒකේ ප්‍රවෘත්තිය. වෙනදාට එහෙම වෙනවද?
ආණ්ඩුවට චෝදනා කරනවා නම් ඔබ, එහෙනම් ඇයි පිල්ලෙයාන්ව ආණ්ඩුව ගොදුරක් කරගත්තෙ. මොකක්ද ආණ්ඩුවට වාසිය?
ආණ්ඩුව කරන්නේ පිල්ලෙයාන්ගෙන් විලි වසාගන්න එක. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වා අප්‍රේල් 21 ට කලින් පාස්කු ප්‍රහාරයේ මොළකරු හෙළි කරනවා කියලා. දැන් මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු ඇමෙරිකාවේ එෆ්බීඅයි ආයතනය එරට අධිකරණයකට කියනවා මේකේ මහ මොළකරු මියගිය සහරාන් හෂීම් කියලා. දැන් ආණ්ඩුව කියන්නේ මහ මොළකරුවෙක් ඉන්නවා කියලා. දැන් 21 ට කලින් නමක් කියාගන්න ඕනෑ නිසා පිල්ලෙයාන් අත්අඩංගුවට අරගෙන පීඩනයක් එල්ල කරලා ඔවුන්ට අවශ්‍ය පාපොච්චාරණයක් කරන්න.
දැන් පිල්ලෙයාන්ට විරුද්ධව ඔහුගේ සාමාජිකයෙක් ස්ව කැමැත්තෙන් ගිහින් ප්‍රකාශයක් ලබාදුන්නද රහස් පොලිසියට?
අපි නම් ඒවා දන්නේ නෑ. ඒවා දන්නේ රහස් පොලීසිය. දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකලා රොත්තක් ඉන්නවා. ඒ අයගේ ප්‍රකාශ තමා මේ. අපේ පොලීසිය ප්‍රසිද්ධයිනේ හාවගේ කතාවලට. අන්න ඒ වගේ කතාවක් තමා මේ.
ඔබ දේශපාලනික වශයෙන් ඇයි මේ වගේ රිස්ක් එකක් ගත්තේ පිල්ලෙයාන් වෙනුවෙන් මෙච්චර පෙනී ඉඳගෙන?
සෑම දේශප්‍රේමියෙක්ම, ත්‍රස්ත විරෝධියෙක්ම ත්‍රස්තවාදය ඉවර කරන්න උදව් කළ අය ගැන කෙළෙහිගුණයක් තියෙන්න ඕනෑ. නැති වුණොත් අපි කතා කරන උරුමය බොරුවක්, දේශප්‍රේමය බොරුවක් වෙනවා. ඒ නිසයි මගේ දේශපාලන ප්‍රතිපත්තිය අනුව මේ කරන්නෙ. කොටියා අත්හැරලා ආපු කෙනා කොටියට බිලි දෙනවා නම් මේ රටේ අනාගතයේ කවුරුවත් ත්‍රස්තවාදයට එරෙහිව හිටගන්නේ නෑ.
අද ඔබ ඉන්න ඔය මතය පිල්ලෙයාන් සැකකරුවෙක් නිසා. කවදා හරි අනාගතයේ පිල්ලෙයාන් වැරදිකරුවකු වුණොත් ඔය දේශපාලන මතයේම ඉන්නවද?
අනිවාර්‌යෙන්ම. එක්කෝ දඬුවම් කරනවා නම් දකුණේ ත්‍රස්තවාදීන්ටත් දඬුවම් දෙන්න ඕනෑ. නැත්නම් සමාව දෙන්න ඕනෑ. ලෝක සම්මතය තමයි ත්‍රස්තවාදය අත්හැරලා ත්‍රස්තවාදය වෙනුවෙන් සටන් කළ කෙනාට සමාවක් දෙන්න ඕනෑ ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන්.
• ගයාන් ගාල්ලගේ