2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

බලිබිලි බුද්ධාගමට එරෙහිව විදුලකර සඟරුවන

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 101

බලිබිලි බුද්ධාගමට කෙළින්ම විරුද්ධ වූ උගත් සංඝයාවහන්සේ අතුරින් ප්‍රධාන තැනක් ගත්තේ විද්‍යාලංකාර පිරිවෙනේ උගත් බුද්ධිමත් සංඝ පීතෘවරුන්ය. ගිය සතියේ මවිසින් විස්තර කරන ලද හේන්පිටගෙදර ඥානසීහ හිමියන් විසින් එක්සත් භික්ෂු පෙරමුණ පිහිටුවීමට නායකත්වය ගත් නමුත් එහි ජීවනාලිය වූයේ කොළඹ හා දකුණු දිසාවේ සංඝයාවහන්සේයි. ඔවුන් අතුරිනුත් කැලණිය විද්‍යාලංකාර පිරිවෙන මුල් තැනක් ගත්තේය. එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් වූයේ පේරාදෙණිය සරසවියේ උපාධිධාරියකු වූ හැවැන්පොළ රතනසාර හිමියන්ය. පසුව උන්වහන්සේ ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ නිබන්ධනයක් ලියා ආචාර්ය උපාධියක් ද ලබා ගත්හ.  පසුව උන්වහන්සේ (කලකිරීම නිසා) අමෙරිකාවට සංක්‍රමණය වී එහි කලක් ජීවත් වී අමෙරිකාවේදීම අපවත් වූහ.  පෙනුමෙන් හා දැනුමෙන් මනා ආකර්ෂණයක් හිමි කරගත් රතනසාර හිමි 1956 කාලයේදී එක්සත් භික්ෂු පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකයා වී සිටියහ.

එකල විදුලකර පිරිවෙනේ විසූ භික්ෂුන් අතර කිට්ටු සම්බන්ධතාවයක් තිබුණේය.  වෙසෙසින්ම යක්කඩුවේ ප්‍රඥාරාම හා වල්පොල රාහුල හිමියන් අතර වූයේ සෙනෙහෙබර මිත්‍රත්වයකි.  රාහුල හිමි උන්වහන්සේගේ ග්‍රන්ථයක හැඳින්වීමේදී යක්කඩුවේ හිමියන්ගේ උපකාර ගැන සඳහන් කරයි. වරක් රාහුල හිමි බෞද්ධ සාහිත්‍යයේ එන නිදසුන් කිපයක් සටහන්කර දෙන ලෙස යක්කඩුවේ හිමියන්ගෙන් ඉල්ලා සිටියහ. විස්මයකි. පසුදා උදේ වනවිට රෑ තිස්සේ නිදිවරමින් ඒ විස්තර සියල්ලම ලස්සනට ලකුණු කර තමා අතට භාර දුන් බව රාහුල හිමි ගෞරව පූර්වකව සඳහන් කරති. (විදුලකරේ ප්‍රවාදය වූයේ යක්කඩුවේ හිමි මුළු රෑම ශාස්ත්‍රීය කටයුතුවල යෙදී දවල් කාලයේ නිදාගන්නා බවයි. ඒ අනුව උන්වහන්සේට රැවුල කැපීමටද වෙලාවක් නොතිබුණි)
ප්‍රඥාරාම සහ රාහුල හිමියන්ට අමතරව කොටහේනේ පඥ්ඥාකිත්ති, බඹරුන්දේ සිරි සීවලි, නාත්තන්ඩියේ පංඤාකර, කලල්ඇල්ලේ සාගර (පසුව සාගර පලන්සුරිය) වැනි හිමිවරු මිතුදමින් එක්ව බැඳී සිටියහ. ඒ හිමිවරැන්ට අමතරව බ්‍රාහ්මණ පඬිවරුන් කිහිප දෙනෙක්ද විදුලකර නිවාස කර ගත්තේ සංස්කෘත බස උගන්වන අතර බුද්ධාගම හා පාලි බස ගැන අපේ සංඝයාවහන්සේගෙන් ඉගෙන ගැනීමටයි.  මේ කිහිප දෙනෙක්ම භාරතීය නිදහස් සටනට එක්වී සිටියා පමණක් නොව එහි වාමාංශික දේශාපාලනයේ ක්‍රියාකරුවෝද වූහ. රාහුල සංකච්චායන එවැනි හිමිවරයෙකි. විදුලකරේ කලක් පදිංචිව සිටි උන්වහන්සේ පසුව උපැවිදිව ඉන්දියාවේ වාමාංශික ව්‍යාපාරයේ නායකයෙක් බවට පත් විය. ඔවුන් සියලුදෙනාම ජවහර්ලාල් නේරු හා ජයප්‍රකාශ් නාරායන් වැනි ඉන්දියන් නායකයන්ගේ අනුගාමිකයෝ වූහ.

මුලදි තරුණ ඉන්දීය වාමාංශිකයන් නේරු පසුපස ගියේ ඔහු කොංග්‍රසයේ සිටි ධනවාදීන්ට එරෙහි වූ නිසාය. එහෙත් ගාන්ධිගේ බලපෑම යටතේ නේරු දකුණට ගමන් කළේය. ඉන් සිත් තැවුලට පත් කොංග්‍රස්වාදීහු ප්‍රජා සමාජවාදී පක්ෂය පිහිටෙව්වෝය.  මෙම කණ්ඩායමට නායකත්වය දුන්නේ රාම් මනෝහාර් ලෝහියායි. (කටකතාව තිබුණේ ලෝහියා ඉන්දිරා ගාන්ධිට පෙම්බැඳ ආසාර්ථක වූ විට කොංග්‍රසය කඩාගෙන ගොස් නේරු විරෝධී පක්ෂයක් පිහිට වූ බවයි.)  විදුලකරට සම්බන්ධ වූ පඬිවරුන් කීප දෙනෙක්ම පෙරළා මව්රටට ගොස් ලෝහියාගේ පක්ෂයේ ප්‍රාන්ත නායකයන් බවට පත් වූහ.

ඉන්දියාවේ නිදහස් සටනේ ජයග්‍රහණය පෙනි පෙනී ඇති වූ ඉහත සඳහන් ගැටුම් විදුලකරට ද බලපෑවේය. විදුලකරේ නායක සංඝයාවහන්සේ නේරැතුමාට බෙහෙවින් ගරු කළ හිමිනමකි. අනගාරික ධර්මපාලතුමාත් ඔහුගේ සාමනේරුවරු නේරුගේ ආකර්ෂණයට ලක්වු අය වූහ. ධර්මපාලතුමා වරක් කල්කටාවේ සිට බොම්බායට රේල්ලුවෙන් යන ගමන් නේරු පවුලේ මුලස්ථානය වූ අලහබාඩ්හි දී මොටිලාල් හා ජවහර්ලාල් නේරු හමු වු හැටි ඔහුගේ දිනපොතේ සඳහන් කරයි. තරුණ නේරු කලක් පරම විඥානාර්ථ සමිතියේ සාමාජිකයෙකුව සිටි බැවින් ධර්මපාලතුමා හැඳිනගෙන සිටියේය. නේරුවරුන් තමන්ගේ සුවිසල් මැඳුර වූ “ආනන්ද භවන්” හි තමා රඳවාගෙන ආදර සත්කාර කළ බව ධර්මපාලතුමා සඳහන් කරයි.  

විදුලකර භික්ෂුන් සම්බන්ධතා පැවැත්වූයේ කල්කටාව සමඟයි. ධර්මපාලතුමාගේ මැදිහත්වීම තුළින් සුප්‍රසිද්ධ කල්කටා විශ්වවිද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ උපාධි පාඨමාලාවක් ආරම්භ කරන ලදී. ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත් පළවෙනි භික්ෂුව හැටියට වල්පොල රාහුල හිමි වැඩිදුර ඉගෙන ගැනීමට කල්කටාවට යෑමට බලාපොරොත්තු වූහ. සිංහල පඬිවරුන් වූ බාරොන් ජයතිලක හා ඩී.ඊ. හෙට්ටිආරච්චි වැනි අය පෙරදිග භාෂා පිළිබඳ උපාධි ලැබුවේ කල්කටා විශ්වවිද්‍යාලයෙනි. වල්පොල රාහුල හිමියන්ට කල්කටාවට යෑමට නොහැකි වූයේ ඒ වනවිට පැතිර තිබු දෙවැනි ලෝක යුද්ධය නිසයි. පෙරදිගින් පැමිණි ජපන් සේනා බෙංගාලය ආක්‍රමණය කිරීමට ආසන්නව සිටි බැවින් කල්කටාව සුරක්ෂිත තැනක් නොවීය. එම නිසා රාහුල හිමියෝ සිය ආචාර්ය උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්හ.

ප්‍රථම උපාධිලාභි භික්ෂුව වූ රාහුල හිමි නිර්මල බුද්ධාගම මුළු ලෝකයටම හඳුන්වා දුන්හ. ඒ උන්වහන්සේ විසින් රචිත “බුදුන් වදාළ ධර්මය” නමැති ග්‍රන්ථය තුළිනි. උන්වහන්සේ විස්තර කළ හැටියට බලිබිලි බුදුන්ගේ ධර්මයේ කොටසක් නොවේ “සත්‍යෝදය කතා” හා තම දේශනා තුළින් ථෙරවාදී බුද්ධාගමේ ඉහළ පෙළේ බුද්ධිමතෙක් ලෙස උන්වහන්සේ ප්‍රසිද්ධ වූහ.  රාහුල සහ ක්‍රිෂ්ණමූර්ති අතර ඇති වු සංවාදයේදී උන්වහන්සේ ක්‍රිෂ්ණමූර්ති දහම තුළ ගැබ් වී ඇති බෞද්ධ අදහස් මනා ලෙස හෙළිදරව් කළහ. විදුලකර සංඝයා අතර එකල ජනප්‍රිය චරිතයක් වූයේ බඹරුන්දේ සිරි සීවලි හිමියන්ය. ඉතාම ප්‍රසන්න පෙනුමකින් යුතු වූ උන්වහන්සේ දක්ෂ කථිකයෙක් වූහ. එකල පැවති සාහිත්‍ය උත්සවවලදී සිරි සීවලි හිමි ප්‍රධාන දේශකයෙක් වූහ. විදුලකරේදී මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව බරණැස හින්දු විශ්වවිද්‍යාලයට ඇතුල් වී සංස්කෘත හා පාලි භාෂා ප්‍රගුණ කළහ. එපමණක් නොව උන්වහන්සේ හින්දි හා මරාති වැනි භාෂාවන්ද හොඳින් ඉගෙන ගත්හ. එහිමියන් හින්දි ප්‍රකාශන කීපයක්ම සිංහල බසට පෙරලූහ.

“සංස්කෘතිය” යන වචනය සිංහල භාවිතයට එක් කළේ සිරි සීවලි හිමියන්ය. භාරතීය දර්ශනය හා ඉතිහාසය අනුව යමින් ඒ හිමියෝ භාෂා, කලා ශිල්ප හා ආගමික දර්ශන සියල්ලම එක්තැන් කරන වචනයක් හැටියට “සංස්කෘතිය” යන්න නිර්මාණය කළහ. ඉතාම කෙටි කලෙකින් ඒ භාවිතය සිංහල උගත් මැද පංතිය විසින් පිළිගන්නා ලදින් එය අද සුලභ යෙදුමක් බවට පත්ව තිබේ. තමන්ගේ අනන්‍යතාවය හඳුන්වා දීමට මෙරට දේශපාලන පක්ෂ “දේශීය සංස්කෘතිය” යන යෙදුම ජන විඥානයට එකතු ක‍ළේය.

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00