2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

චරිත තුනක්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 227

යටත් විජිතයක ඉපදී එංගලන්තයට සංක්‍රමණය වී එහි සාහිත්‍ය ලෝකය දිනූ නයිපෝල් වැනි ලේඛකයන් ලංකාවෙන් ද එංගලන්තයට සංක්‍රමණය වී නැත්දැයි එක් පාඨකයෙක් මගෙන් විචාලේය.  ඒ පැනය ගැන සිතා මේ සතියේ ලිපිය සැපයීමට තීරණය කළෙමි.

කොන්රඩ් හා නයිපෝල් සමඟ හිටගත හැකි ලාංකික ලේඛකයෙක් තවම බිහිවී නැති නමුත් අපට ද සැලකිය යුතු කාර්යභාරයක් හිමිවේ. ඒ දක්ෂ ලේඛකයන් අතුරින් මෙරට ඉපදී කැනඩාවට සංක්‍රමණය වී “බුකර් තෑග්ග” දිනාගත් මයිකල් ඔන්ඩච්චී ගැන මීට පෙර සටහනක් තැබීමි.  නමුත් මයිකල් ගැන සාකච්ඡා කිරීමට පෙර නයිපෝල් ළඟටම පැමිණෙන සල්මන් රුෂ්ඩි ගැන මා ලිවිය යුතුයි. නයිපෝල් මෙන්ම සෑම සාහිත්‍ය තෑග්ගක්ම දිනාගත්තෙකි රුෂ්ඩි.  පාසි ජාතිකයෙක් වන ඔහු උපන්නේ බොම්බායේය.  ධනවත් පවුලක උපත ලත් ඔහු බොම්බායේ උසස් ඉංග්‍රීසි පාසැල්වලින් සාහිත්‍යය හැදෑරීමෙන් පසු එංගලන්තයට සංක්‍රමණය වී ආසියානු සමාජය පසුබිම් කරගෙන නවකතා ලීවේය.  ට්‍රින්ඩැඩ්හි ඉන්දියානු සම්භවයෙන් යුත් දුප්පත් ජනයා ගැන ලිවූ නයිපෝල් මෙන් නොව රුෂ්ඩි සිය අවධානය එල්ල කළේ ඉන්දියානු නාගරික මැද පන්තිය වෙතය. ඔහුගේ නවකතාවලින් හෙළි වන්නේ බොම්බායේ නිවස්නා පොහොසත් හා මැද පංතියේ ජනයා පමණක් නොව ඔහුගේම ජීවන අත්දැකීම්වලින් උපුටාගන්නා සිද්ධීන් හා උප කල්පනාවන්ය.  ඔහු ඉංග්‍රීසි සාහිත්‍යයට වැදුණු අකුණු සැරයක් සේ පැමිණියේ “මිඩ්නයිට්ස් චිල්ඩ්රන්” හෙවත් “මැදියමේ දරැවන්” නමැති කෘතිය තුළිනි.  විශ්මය නම් එහි නිරූපණයන් ද බොහෝ දුරට නයිපෝල් ලිවූ “අඳුරැ පෙදෙසක්” නම් ඉන්දියා සංචාරයකින් පසුව ලියූ චාරිකා කතාවට බෙහෙවින් සමීප වීමයි. සමහරවිට නයිපෝල්ට වඩා අඩු වයස්කරැවෙක් වන රෂ්ඩි නයිපෝල්ගේ ගමන් විස්තරය තුළින් ඔහුගේ පරිකල්පනය අවදිකර ගත්තා විය හැකිය. ඔහු “මැදියම” යනුවෙන් සනිටුහන් කරන්නේ ඉන්දියාවට නිදහස ලැබුණ වේලාවයි.  දිල්ලියේ දී හරියටම රූ දොළහේ කණිසම වදිද්දී අගමැති වශයෙන් පත්වීම ලද ජවහර්ලාල් නේරැ “රතු කොටුව” නමින් හඳුන්වන ලද ඉන්දියාවේ අන්තිම මූගල් රජවරැන්ගේ ප්‍රෞඪ බලකොටුවේ සඳලුතලයට සම්ප්‍රාප්ත විය. එහි ඉදිකෙරැන වේදිකාවේ සිට ඔහු ලෝකයම අමතමින් සිය දේශයේ නිදහස පිළිබඳව විශිෂ්ට දේශනයක් කළේය. (නේරු අනුකරණය කරමින් හරියටම මැදියම කණිසමට මහනුවර දළඳා මැඳුරේ පත්තිරිප්පුවේ සිට අපේ ජාතික කොඩිය අගමැති ඩී.ඇස් සේනානායක නිරාවරණය කළ හැටි මා කුඩා දරැවෙක් ලෙස මගේ පියාණන්ගේ උකුලේ හිඳ නැරඹුවෙමි. ඔහු ඉන් පසුව ඩී.ඇස්. එතැන් සිට ජාතිය ඇමතුවාද යන්න මට මතක නැත.) පත්තිරිප්පුවේ සිට ඉතාම ආකර්ෂණීය ලෙස පහත මැද මළුවේ සිටි ලක්ෂ සංඛ්‍යාත ජනතාව ආමන්ත්‍රණය කළේ 1977දී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ජේ.ආර් ය.  එම ඓතිහාසික සිද්ධියට පසු ආර්. ප්‍රේමදාස ද පත්තිරිප්පුවේ සිට ජනතාව ඇමතූ අතර පසුව විජේතුංග එම සිරිත අතහැර දැම්මේය.  ඉන් පසුව කිසිම ජනාධිපතිවරයෙක් පත්තිරිප්පුව ජනතාව ඇමතීමට යොදා ගත්තේ නැත.

රුෂ්ඩිගේ කතානායකයන් වන්නේ එදා හරියටම දොළහේ කණිසමට උපන් දරුවන් කීපදෙනෙකි.  ඒ චරිත කතා තුළින් ඔහු මුලු පශ්චාත් නිදහස් ඉන්දියාව මනා සාහිත්‍යමය ගවේෂණයකට ලක් කරයි.  ඔහු මුස්ලිම්වාදියෙක් නොවූ නමුත් එම ආගමට ලැදි කෙනෙක් විය.  එහෙත් ඔහු “සාතන්ගේ කවි” නමැති ග්‍රන්ථය සම්පාදනය කළ නිසා මුස්ලිම් ලෝකයම ඔහුට එරෙහි විය.  අල්ලාට අපහාස කළේ යැයි ඔහුව මරා දැමීමට ඉරානයේ නායක මුල්ලාවරැන් “ පට්වා” යැයි නම් කරන මරණ වරෙන්තුව නිකුත් කළහ.  එම ආගමික නියෝගයේ අදහස “දුටු තැන මරනු” යන්නයි. රුෂ්ඩි වර්ෂ ගණනාවක් රට රටවල්වල සැඟවී සිටියේය.  ඔහුව ආරක්ෂා කිරීමට එංගලන්ත රජය පොලිස් හමුදාවක් යැවීය.  ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය නිර්දය ලෙස හෙළා දුටු රැෂ්ඩීට ඉංග්‍රීසි රජය විසින් පොලිස් ආරක්ෂාව සැපයීම දෛවයේ සරදමක් වශයෙන් සැලකිය හැකිය.  ඒ කෙසේ වුවද මේ මරණ වරෙන්තුව නිසා රුෂ්ඩිගේ පුද්ගලික ජීවිතය කැඩී බිඳී ගියේය.  ඔහු බිරිඳගෙන් දික්කසාද විය. දරුවන් දුරස්ථ විය. රුසියාවේ කොමියුනිස්ට්වාදීන් සොල්සෙනිට්සින්ට මානසික පීඩනය එල්ල කළ අයුරින්ම ඉස්ලාම්වරු රුෂ්ඩිගේ පුද්ගලික ජීවිතය ද අවුල් කළෝය. මේ තාඩන පීඩන ගැන අපේ සාහිත්‍යකරැවෝ කිසිවක් නොදනිති. ඔවුහු සුපුරැදු පරිදි තමන්ට දොළ පිදේනි දෙන දේශපාලන බල කඳවරු වෙනුවෙන් කඹුරති.

නයිපෝල්ගේ පෙරගමන්කරුවන් ගැන සැලකීමේ දී යටත් විජිත යුගයක පද මෙහෙය වූ සාහිත්‍යකරුවන් ගැන සඳහන් කළ හැකිය.  ඔවුන් අතරින් වඩාත්ම ප්‍රසිද්ධ වූයේ ලෙනාර්ඩ් වුල්ෆ්ය. වුල්ෆ් ගැන චරිත කතා කීපයක්ම ලියැවී තිබේ.  ඒවායින් නවතම රචනය කර ඇත්තේ මයිකල් ඔන්ඩච්චිගේ වැඩිමහල් සහෝදරයා වූ ක්‍රිස්ටෝපර් ඔන්ඩචච්චි විසිනි.  ක්‍රිස්ටෝපර් ඔන්ඩච්චි  මගේ මිතුරෙකි.  ඔහු ජනාධිපති විජේතුංගගේ කාලයේ ලංකාවට පැමිණ විවිධ වෙළහෙලදාම්වල යෙදුණේය.  ඔහු කැනඩාවේ සුප්‍රකට ධනපතියෙකි. ලංකාවේ එක් යුගයක මෙරට අද්විතීය නායකයෙක් වූ ග්‍රේෂන්ගේ පවුලේ ප්‍රබල සාමාජිකාවකි ඔවුන්ගේ මව.  පියාද සුප්‍රකට වතු අධිකාරිවරයෙක් විය.  එහෙත් දෙදෙනාම එකල උසස් සමාජය උඩු යටිකුරැ කළ විනෝදකාමී චරිත වූහ. ඔවුන් ගැන දැන ගැනීමට නම් මයිකල්ගේ “රනීං ඉන් ද ෆැමිලි” නමැති මනරම් කතාව කියැවිය යුතුය.  ලාංකික මැද පංතිය ගැන ලියැවුණු කතා අතුරින් එක හුස්මට මා කියැවූ නවකතාවක් වූයේ නම් ඒ මයිකල්ගේ පොතයි.  දිනපතාම වාගේ පෙළපාලි යන හීනමානයෙන් පිරි අපේ තරැණයන් මේ සමාජ ඉතිහාසය ගැන දන්නේ මොනවාදැයි කෙනකුට සිතේ. ඔවුන් පුංචි ළිඳක බක බක ගාන ළිං මැඬියන් නොවේද?  

ලෙනාර්ඩ් වුල්ෆ් ලංකාවට ආවේ තරුණ සිවිල් සේවකයෙක් හැටියටය. හේ යුදෙව් ජාතිකයෙක් විය. ඔහු ඉංග්‍රීසි උසස් පංතියේ විචාරයට ලක් වූවකි.  එහෙත් ඔහුගේ දක්ෂකමත් ආශ්‍රය කළ බොහිමියානු සමාජයේ පුළුල් දර්ශනය නිසාත් ඔහුව සමාජය විසින් පිළිගන්නා ලදී. ඔහු සාමාන්‍ය ගනයේ ලංකාවට ආ සිවිල් සේවක සුද්දෙක් නොවීය. ඔහුගේ “බැද්දේගම” නවකතාව තුළ අපේ අනුකම්පාව ඇදී යන්නේ සිළිඳු හා ඇගේ පියා කෙරෙහිය. මා පේරාදෙණිය සරසවියේ සිසුවෙක්ව සිටි කාලයේ එහි කලාගාරය අසල පිහිටා ඇති තාප්පයේ හිඳගෙන සිටියෙමි.  හදිස්සියේම කාර් එකක් නැවතී කෙසඟ සුදු මිනිහෙක් එළියට බැස්සේය.  ඔහු සමග ගාම්භීර ලාංකිකයෙක් ද විය.  ඔවුන් ඉතා කරුණිකව මගෙන් උප කුලපතිතුමාගේ නිවස කොතන දැයි විමසීය. මම ඇඟිල්ල දිගු කොට යාබඳව තිබු උපකුලපති නිවස පෙන්නුවෙමි. ඔවුන් රථයට නැගී ඒ නිවස වෙත ගමන් ගත්හ.  පසුව මට දැනගන්නට ලැබුනේ ගාම්භීර ලාංකිකයා ටිරෝන් ප්‍රනාන්දුගේ පියා ද වූ එකල ප්‍රබල ස්ථිර ලේකම්වරයෙක් වූ ෂෙල්ටන් ප්‍රනාන්දුය.  ඔහු සමඟ පැමිණි මහලු සුදු මහතා ලෙනාර්ඩ් වුල්ෆ් විය.

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00