2018 ජුලි 28 වන සෙනසුරාදා

උප්පැන්න කතා

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 257

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් යළිත් වරක් ජනාධිපති පදවියට තරග නොකරන බව කිව්වේ 2015 ජනවාරි 08 වැනිදා ඡන්දයෙන් දිනා පසුව මහනුවර දළදා මාලිගාව අභියසදී පැවැත්වූ ප්‍රථම කාතාවේදීය. පදවියේ ධූර කාලය වසර 05කට සීමා කරන බවත් විධායක බලතල කප්පාදු කරන බවත් ඔහු එදා කිව්වේය. හැබැයි දැන් සිරිසේන මහතා කරන කතාවලින් හා ගන්නා පියවරවලින් පෙනෙන්නේ යළි නොඉල්ලන කතාවට නැවැතීමේ තිතක් තබා ඇති බවකි. ඊළඟට ඡන්දයට අපේක්ෂකයකු හැටියට ඉදිරිපත් වීමට සූදානම් බවකි. ඡන්දයට තව වසර එකහමාරක් තිබුණත් මේ ගැන කාගෙ කාගෙත් අවධානය යොමු නොවෙනවා නම් විය නොහැක.

ජනාධිපතිවරයා පසුගිය සතියේදී පැවැති මොරගහකන්ද - කළු ගඟ ජලාශයේ උත්සවයේදී කිව්වේ මෙහෙම කතාවකි.

මේ ව්‍යපෘතියට උප්පැන්න දෙන්න අද ගොඩාක් දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මම කුලසිංහ මහත්තයා එක්ක මේ මහා වනාන්තරයට ආවේ 1994දියි. අද උප්පැන්න දෙන්න හදන අය මේවා දැකලා තිබුණෙත් නෑ. මම හිටපු ජනපති මහින්ද එක්ක මේ කටයුත්තට මුල් ගල තිබ්බා. අවුරුදු පහක් යනකම් මුදල් ලැබුණේ නෑ. මා මේ වෙනුවෙන් කඳුළු හෙළපු මිනිහෙක්. මම ආණ්ඩුවෙන් එළියට යන්න එදා තීරණය ගත්තේ මේ අසාධාරණය නිසයි. ගොවි ජනතාවගේ දුක නිවන්න අද උප්පැන්න දෙන්න හදන අයට උවමනාවක් තිබුණේ නෑ.

ජනාධිපතිවරයා මේ ගහන්නේ කාටද? වෙන කාටවත් නොව මහින්දටය. මහින්ද බලයේ හිටපු කාලයේදී මොරගහකන්දට ලොකු තැනක් දුන්නේ නැත. ඒකට එකම හේතුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සාධකයමදැයි කියන්න බැරිය. එහෙම වුණත් මහින්ද පොළොන්නරැව ඇතුළු උතුරු මැදට වඩා හම්බන්තොට ඇතුළු දකුණට සැලකූ බවනම් පැහැදිලිවම පෙනුණේය. අද සිරිසේන මහතා 1994 ගැන  කතා කරන්නත් කුලසිංහ මහතාගේ නමින් තමන්ගේ ලොකුම ප්‍රොජෙක්ට් එක නම් කරන්නත් ලොකු හේතුවක් තිබෙන බවත් පැහැදිලිය. 1994 කියන්නේ චන්ද්‍රිකා හා පුරා කියා ජාතික දේශපාලනයට අතපොත් තැබූ අවුරුද්දය. චන්ද්‍රිකා ජනාධිපති වීමෙන් පසුව මහින්දට කැබිනට් ඇමැතිකමක් ලැබෙන විට මෛත්‍රීපාලට ලැබුණේ නියෝජ්‍ය ඇමැතිකමකි. හැබැයි ඒක වාරිමාර්ග සංවර්ධනයට සම්බන්ධ විය. සිරිසේන මහතා එම එහි එල්ලී මොරගහකන්දට ගොඩවුණේ තමන්ට ඇමැතිකමක් ලැබෙනදාට රජරටට ජලය ගෙන යන සිහිනය සිතේ දරාගෙන විය යුතුය. ඒ වුණත් චන්ද්‍රිකා ඉන්න කාලයේදී ඒක හීනයක්ම පමණක් විය.

2005දී මහින්ද ජනාධිපති වන විට මෛත්‍රීපාල සිරිසේනට එම ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකමක් හිමිවිය. එයට මහවැලියද අයත්විය. එහෙත් වැඩක් නොවීය. පසුකලෙක මහින්දගේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වී තීන්දු තීරණ ගන්නා තැනක සිටියත් තමන්ට අවශ්‍ය වූ මොරගහකන්ද ජලාශය පුරවාගන්නට මුදල් වෙන් කිරීමට තමන්ද සිටි ආණ්ඩුවෙන් මුදල් නොලැබෙන බව සිරිසේන මහතාට දැනුණි. සමහර විට කවදා හෝ තමන් මේ රටේ නායකයා වුණොත් මේ ව්‍යාපෘතිය ඉටු කරන බවට දෙවියන්ට බාරහාර පවා වෙන්න ඇත. ඔහු එදා කළ චෝදනාවේ තවදුරටත් සඳහන් වූයේ අඩුම තරමින් මොරගහකන්ද ව්‍යාපෘතිය විදේශ ණය අවශ්‍ය ව්‍යාපෘතියක් වශයෙන් හෝ මහින්දගේ රජය මගින් නම් නොකළ බවය. ජනාධිපතිවරයා මේ කාරණා සියල්ලම මතක් කරන්නේ නිකම්ම නොවන බව සිතාගැනීමට අපහසු නැත.

මොරගහකන්දට මහින්දගේ සංවර්ධන ව්‍යාපෘතිවලදී තැනක් නොලැබීමට හේතු කිහිපයක්ම තිබුණි. හම්බන්තොට වඩාත් දියුණු දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට තමන් තුළ තිබූ කැමැත්තට වැඩිපුර කාලයක් සහ මුදලක් වෙන් කිරීමට සිදුවී තිබීම එකකි. තව එකක් වූයේ දකුණේ දේශපාලනයේ කවදාවත් කඩා දැමිය නොහැකි ප්‍රතිරෑපයක් ගොඩනැගීමට නම් තමන්ගේ පක්ෂයේ වුවද පොදු ජනතාවට කැපී පෙනෙන විශේෂත්වයක් දැනෙන ව්‍යාපෘති තමන්ගෙන් පිටට යා නොදීමට සිදු කෙරෙන අභ්‍යන්තර දේශපාලන බලපෑම්ය. කොටින්ම අනාගතයේ දවසක ශ්‍රීලනිපයේ ඉහළම ජ්‍යෙෂ්ඨත්වයට පත්විය හැකි දේශපාලනඥයකු බවට හඳුනාගෙන සිටි මෛත්‍රීපාල සිරිසේනට රජරට ඡන්ද ආකරයක් විය හැකි ජලාශ ව්‍යාපෘතියක් ලබා නොදීමට ඒ කාලයේ මහින්දට අනන්තවත් බලපෑම්  තිබෙන්නට ඇත. මහින්ද ඇත්තටම ඒ බලපෑම්වලට එදා යට විය. එසේ නොවන්නට රටේත් ශ්‍රීලනිපයේත් වර්තමානය ලියැවෙන්නේ ‍අදට වඩා වෙනස් විදිහටකය.

තමන්ට කවදාවත් අහිමි නොවන ජනප්‍රියත්වයක් ජනතාවගෙන් ලැබෙන බව යුද්ධයේ ජයග්‍රහණයෙන් පසුව මහින්ද දැන සිටියේය. ජනතාවට ඉතා සමීපයෙන් සිටිමින් දේශපාලනය කරන මහින්ද තවදුරටත් දැන සිටි කාරණයක් වුණේ හැමදාමත් නියඟයෙන් බැටකන රජරටට ජලය කොයිතරම් සම්පතක්ද යන්නයි. ඒ සම්පත ලබාදෙන දේශපාලනඥයා රජරට ජනතාවගේ වීරයකු වන බවත් ඒවාට හවුල්කාරයන් වන උතුරු මැද සෙසු දේශපාලන බලධාරීන් ජනතාවගේ පැසසුමට ලක්වන බවත් මහින්දට අමුතුවෙන් තේරැම් කර දිය යුතු නැත. මේ ගණන් ටික ඔක්කොම හදාගත් විට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මොරගහකන්ද ව්‍යාපෘතිය මහින්ද දවසින් දවස කල් යැව්වේ ඇයිදැයි යන ප්‍රශ්නයට උත්තරය සොයා ගැනීම අපහසු නැත.
ඒ අතීතයයි. මේ අතීත කතාවේ අලුත් පරිච්ඡේදයක් වර්තමානයේ ලියැවෙමින් පවතින බව මොරගහකන්ද උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් පැහැදිලි වෙයි. ඔහු කෙළින්ම මහින්දට කියන්නේ එදා හරස් කැපූ තමන්ගේ රජරට ව්‍යාපෘතියට අද ඔහුගෙන් උප්පැන්න අවශ්‍ය නැති බවය. මේ උප්පැන්න කතාවට  කෙළින්ම උත්තර දීමට මහින්ද ඉදිරිපත් නොවූවද මහින්දට සහාය දක්වන මන්ත්‍රීවරුන් ලවා එයට පිළිතුරැ සපයන බවද පෙනී යයි. එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා පසුගියදා මොරගහකන්ද ගැන ප්‍රකාශයක් කළේ ඊට පිළිතුරක් වශයෙන් බව පැහැදිලිය. නමුත් මෙහිදී වඩාත්ම වැදගත් කාරණය වන්නේ ජනාධිපතිවරයා හදිසියේම උප්පැන්න කතාවක් ඇදගත්තේ ඇයි කියන එකය. හේතුව අප මුලින්ම සඳහන් කළ පරිදි මීළඟ ජනාධිපතිවරණ සටනද?

බොහෝදුරට හේතුව එය වීමට ඉඩ තිබේ. නමුත් තමන් නායකත්වය දෙන ශ්‍රීලනිපය වඩාත් දුර්වල කරමින් 16 දෙනාගේ කණ්ඩායම ඉවත්ව යෑමෙන් පසුවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වෙයිද? මේ ගැන මහින්දත් නොසිතනවා නම් පුදුමය. නමුත් ජනාධිපතිවරයා මොරගහකන්ද උප්පැන්නය ගැන කතා කරන්නේ ඒ 16 දෙනාගේ කණ්ඩායමට පොදුජන පෙරමුණෙන් සිදුවෙන කෙනෙහිලිකම් ගැන බලා සිටීමෙන් පසුව බව පැහැදිලිය. මේ 16 දෙනා බදාගෙන පිළිගත්තා නම් මෛත්‍රීපාල ජනාධිපතිවරයා වැටෙන්නේ අලි අමාරුවකය. එසේ වී නම් ඉතිරිව සිටින 23 දෙනා නවත්වා ගැනීමටද ජනාධිපතිවරයාට සෑහෙන සටනක් දීමට සිදුවන තත්ත්වයක් මතුවිය හැකිව තිබිණි. එහෙම වුණත් බදාගෙන පිළිගැනීම වෙනුවට ඕන නම් වරෙල්ලා පිළිවෙතට පොදුජන පෙරමුණ තල්ලුවීම නිසා මෛත්‍රීපාල පාර්ශ්වයට පොඩි හයියක් ලැබුණේය. ඔවුන් අද 16 කණ්ඩායම කියනවා ඇත්තේ ඕක තමයි අපි කිව්වේ කියලාය. බැසිල් කියා තිබුණේ මේ 16 දෙනාගේ කණ්ඩායමට පොදුජන පෙරමුණට එක ඡන්දයක් හෝ වැඩිපුර ගෙන එන්නේ නැති බවය. නමුත් දේශපාලන කරළියේ ඡන්ද වෙන්දේසිය පටන්ගත් විට මේ 16 දෙනාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය දෙන ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසේත් ඡන්දවලට වටිනාකමක් ලැබෙන්නේ ඉබේටමය. මහින්ද නායකත්වය දුන් පොදුජන පෙරමුණ මුළු රටෙන්ම පුංචි ඡන්දය දිනා ගනිද්දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය තුන්වැනි තැනට වැටුණත් ඔවුන්ට ඡන්ද ලක්ෂ 13කට ආසන්න සංඛ්‍යාවක් ලැබුණ බව නම් අමතක කළ යුතු නැත.

මේ අනුව දැනට පෙනෙන හැටියට මෛත්‍රීපාල මහතා ජනාධිපතිවරණයට ඇවිත් තරග කර තුන්වැනි තැනට වැටුණත් ඔහු වැටෙන්නේ ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ ගාණකුත් සමගය. පුංචි ඡන්දය මෙන් නොව ජනාධිපතිවරණ තීරණය එකම ඡන්ද කොට්ඨාසයක ආකාරයට ලැබෙන්නකි. එහිදී ශ්‍රීලනිපය හැම ඡන්දයක්ම මහින්දලාගේ අපේක්ෂකයාට වටින්නේය. යූ.එන්.පී.ය. වෙනම තරග කරන තත්ත්වයක් තුළ මෛත්‍රීපාල මහතාගේ ඡන්ද ටික නැතුව ජයගත හැකි යැයි දැන් මහින්දලා සිතනවා විය යුතුය. මොරගහකන්දේ දී ජනාධිපතිවරයා උප්පැන්න කතාව ඇද්දේ මේ පසුබිමේ සිටිමිනි.

ජනාධිපතිවරයා පසුගිය සතියේ ඇමැති අකිලගේ දේශපාලන පළිගැනීමට ලක්වූවන්ගේ උසස්වීම් ලැයිස්තුව අත්හිටුවමින් අගමැතිවරයාටද සංඥාවක් ලබාදුන්නේය. තමන් සටනට සූදානම් බවටත් එහිදී තමා තනි නොවන බවට ඉඟියකුත් ඔහු ලබාදී තිබේ. එකම සතියක් තුළදී මහින්දටත් රනිල්ටත් දෙදෙනාටම මෛත්‍රීපාල ජනාධිපතිවරයා තම බලය පෙන්වා ඇත්තේ ඇයිදැයි ඉදිරි දිනවලදී බලාගත හැකිවනු ඇත.

- ශශීන්ද්‍ර