2025 අගෝස්තු 30 වන සෙනසුරාදා

පාතාලය දැන්වත් ඉවරයක් කරමු

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 37
පසුගිය කාලය මුළුල්ලේම කෙහෙල්බද්දර පද්මේලාගේ නම සඳහන් සිදුවීම් උණුසුම් පුවත් මැවීය. ඒ සමඟම දිනපතාම පාහේ තැන තැන පත්තු වූ තුවක්කු මිනිස් ජීවිත බිලිගනිමින් තිබිණි. ඒ ජීවිත පාතාලයට සම්බන්ධ වූ චරිත වුවද හැම වෙඩිල්ලකින්ම අහිමිවූයේ මිනිස් ජීවිතයකි. එම ක්‍රියාවලිය මුළු මහත් සමාජයම බියගැන්වීමට සමත් විය. උදෑසන වැඩ ඇරඹීමට පෙර වෙඩිල්ල පත්තු වුණේ කොහේදැයි සොයන තරමට මේ වැඩේ දුරදිග ගොස් තිබිණි. පාතාල ක්‍රියා සමාජය තුළ ප්‍රධානම “කටගැස්ම’ බවට පත්විය.
 
ඉන්දුනීසියාවේදී රටට වඩාත්ම අවශ්‍ය කර තිබූ කෙහෙල්බද්දර පද්මේලා ඇතුළු නම් දැරූ පාතාල නායකයන් කිහිප දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වීම රටේ මිනිසුන්ට සැනසුම් සුසුමක් හෙළිය හැකි පුවතක් වන්නේ ඔවුන් පසුපස සටහන් වූ එකී භයානක මිනීමැරුම් සහ කුඩු ජාවාරම් ලැයිස්තුව දිගු එකක් වූ බැවිනි. ලංකාවෙන් පිට පැන වෙනත් රටවල සැප සේ ඉඳිමින් මෙරට සමාජය බියෙන් ත්‍රස්ත කළ මේ පාතාලයන් ඉන්දුනීසියාවේ නොව ලොව මොනම රටකදී හෝ අත්අඩංගුවට පත්විය යුතු බව මෙරට සාමකාමී ජනතාවගේ පැතුම වී තිබිණි. එම පැතුම ඉටුකරදීමට සාර්ථක මෙහෙයුමක් දියත් කළ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් පිරිසටත්, ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු මැනවින් සම්බන්ධීකරණය කළ පොලිස්පති ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ටත් ජනතාවගේ ප්‍රශංසාව හිමිවෙයි. එහි ප්‍රධානත්වය ගෙන ක්‍රියා කළ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා සහ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු ද එම ප්‍රශංසාවේ හිමිකරුවෝ වෙති.
 
පාතාල නායකයන් එතෙර සිටිමින් අණ දෙනතුරු මෙරට දිනපතා සිදුකෙරෙන වෙඩි තබාගැනීම් නතර වෙන්නේ නැත. විපක්ෂයේ ඇතැම් නායකයන්ට මෙය ආණ්ඩුවේ නොහැකියාව සහ ජාතික ආරක්ෂාව අනතුරේ දැමීමක් වශයෙන් නිර්වචනය කළ හැකි වුවද, සැබෑ සත්‍ය පාතාලයේ මරාගැනීම් නැවතීමට නම් ඒවාට අණදෙන නායකයන් අල්ලාගත යුතු බවය. ඒ වැඩේ කියන තරම් පහසු නැති බව ඉන්දුනීසියාවේ සිදුකළ මෙහෙයුම හොඳම උදාහරණයකි.
 
මෙම අපරාධකරුවන් අල්ලාගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ඔවුන් ආරක්ෂා කර අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදිය යුතුය. මෙවැනි පාතාලයන් සැඟවූ අවි පෙන්වීම සඳහා කිසිසේත් රැගෙන යා යුතු නැත. ඔවුන් එවැනි අවස්ථාවල පැනගතහොත් හෝ මාංචු පිටින් ගඟකට පැන්නොත් හෝ පොලිසියේ අවි උදුරා ගැනීමෙන් හෝ මරණයට පත් වුණොත් බොහොමයක් අපරාධවලට සම්බන්ධ තොරතුරු වැළලී යනු ඇත. එම අවදානමට මේ පාතාලයන් යොමු නොකිරීම බලධාරීන්ට පැවරෙන වගකීමකි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයට ඉහළ වටිනාකමක් ලැබෙන්නේ මීට පෙර ඉහත කී අවදානමට ගොදුරු වී මෙලොව හැරගිය දරුණු අපරාධකරුවන් හේතුවෙන් පාතාලයට පණ දෙන බලවත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද වැළලී ගොස් ඇති බැවිනි. අමාත්‍යවරයා කියා තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් විශේෂිත මහාධිකරණ පිහිටුවා දීර්ඝ කාලයක් යන නඩු කටයුතු වෙනුවට ඉක්මනින් දඬුවම් ලබාදීමට කටයුතු කරන බවය. එය කාලෝචිත යෝජනාවකි. එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය ද තිබෙන බැවින් අප්‍රමාදව අදාළ විශේෂිත මහාධිකරණ පිහිටුවීමට පියවර ගත යුතුය. පාතාලයන්ගේ ඝාතන හේතුවෙන් බියගැන්වී සිටින සමස්ත සමාජය මුදාගත හැක්කේ එවැනි ක්‍රියාවකින් පමණි.
 
ඔබට ස්තූතියි!
වසර 13 ක කාලයක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටිමින් දේශය පුවත්පතේ අප ධෛර්යවත් කළ සහෘද පාඨක ඔබට තුති පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමු. ඔබ සියලු දෙනාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් අපි මේ සතියෙන් සමුගනිමු.