ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්වරයකු හැටියට කටයුතු කළ උපුල් ජයසූරිය මහතා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නිරන්තරයෙන් මැදිහත් වන්නෙකි. පැවැති ආණ්ඩුව පෙරළා දැමීමට මතවාදී වශයෙන් මැදිහත් වූ ඔහු නව ආණ්ඩුව ගැන මෙසේ කියයි.
ආර්ථික ක්ෂේත‍්‍රයෙහි ආණ්ඩුව ගන්නා උපායමාර්ගික තීන්දු අනුව ආණ්ඩුවවත් කටයුතු නොකරන බව විශේෂඥයන් පවසනවා. ගත වූ දෙවසරේදී ආණ්ඩුව ආර්ථික වශයෙන් ශක්තිමත් ගමනක නිරත වුණාද?
පැවැති රජය ගෙනගිය පාලනය හමුවේ ආර්ථික ක්ෂේත‍්‍රය මුළුමනින්ම අවුල් ජාලාවක් වී තිබුණා. අපට පළමුවෙන්ම සිදුවුණේ එම වියවුල් ලිහන්නයි. තාමත් ප‍්‍රශ්න තිබෙනවා. උදාහරණයකට ඉඩම් නීතිය බලන්න. විදේශිකයකුට ඉඩමක් මිලදීගැනීමට බැරි යැයි කියන්නෙ මොන රටේද? එහෙත් බොරු සටන් පාඨ මගින් කඩාකප්පල්කාරී වැඩ කරන්න හදනවා. හොර තක්කඩියන්ගේ අවසාන නිවහන දේශප්‍රේමය යැයි කියනවා. මේ වෙන්නෙ ඒකයි. ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටක් අද මේ තත්ත්වෙට ඇදලා දාලා තිබෙන්නේ මේ ව්‍යාජ දේශප්‍රේමය නිසයි. මීට දශක ගණනකට එපිටදී මහතීර් මොහොමඩ්ලා ලීක්වාන් යූලා ලංකාව දුටුවේ අවදි නොකළ යුතු නිදා සිටින මිනිසකු ලෙසයි. එහෙත් අපිට ආර්ථික සංවර්ධනය අත්පත් කරගැනීමට බැරිවුණා. දැන් තිබෙන්නේ ගෝලීයකරණය වූ ලෝකයක්. තනි පැවැත්මක් නෑ.
එහෙත් විපක්ෂය චෝදනා කරන්නේ විදේශීය ආයෝජකයන් කැඳවාගැනීම වෙනුවෙන් රට උකස් තබන පිළිවෙතක් අනුගමනය කරන බවටයි. මේ චෝදනාවට ඔබ දෙන පිළිතුර මොකද්ද?
ඩොලර් ලක්ෂ තුනක් රුගෙන එන ආයෝජකයන්ට ලංකාවේ වසර පහකට රැඳී සිටීමට වීසා දෙන බව මුදල් ඇමැතිවරයා පැවසුවා. මම කියන්නෙ එය ඉතාමක් කාලීන යෝජනාවක්. දැන් මැලේසියාව බලන්න. ඩොලර් 35,000ක් පමණ ආයෝජනය කරලා ගෙයක් ගන්න පුළුවන් නම් ඒ අවස්ථාව ලැබෙනවා. කැපී පෙනීමේ හා දේශපාලන වුවමනාවලට ඇතැමුන් මේ තීන්දු විවේචනය කරනවා. අපිට වැඩිපුර තිබෙන්නේ ගිලිහී ගිය අවස්ථා බව දැන්වත් අපි තේරුම් ගත යුතුයි. ජාතිවාදී, ආගම්වාදී හා භාෂා පදනම්වල සිට නියෝජනය කරන පුහු මත පැත්තකට දාලා කට්ටෙන් එළියට ආ යුතු කාලය දැන් එළඹ තිබෙන්නේ.
නමුත් හම්බන්තොට ඉඩම් බදුදීම වැනි කාරණයකදී ආණ්ඩුව අභ්‍යන්තරයෙනුත් ආණ්ඩුවට වෙඩි පහර එල්ලවුණා. ඇයි එහෙම වෙන්නේ?
මම නම් දන්න තරමින් ආණ්ඩුව අභ්‍යන්තරිකව එවැනි විරෝධතාවක් ඇවිත් නෑ. වැඩිපුර ඔය විවේචනය කර කර යන්නේ ඒකාබද්ධ විපක්ෂෙ කට්ටියනෙ. ඒ අය ඒ තැන සිටිය යුතුයි. නැත්නම් අනාගතයක් නෑ. කොහොම වුණත් විරෝධය දැක්වීමට ඕනෑම කෙනකුට අයිතියක් තිබෙනවා. නමුත් ඔවුන් එදා කළේ මොකද්ද? සියලුම විදේශීය තානාපතිවරුන්, සිය ගණනක ආයෝජකයන් සහභාගී වූ තැනට ඇවිත් ගල් ගහලා ආක්‍රෝෂ පරිභව කළා. ජනතාවට රැකියා ආදායම් ලැබිලා මේ රටේ ප‍්‍රශ්න විසඳෙනවා නම් එවැනි ව්‍යාපෘති නතර කළ යුතු යැයි ඔවුන් සිතනවා. නිර්මල බුදු දහම පවා විනාශ කරමින් ඒ සඳහා ඇතැම් භික්ෂූන් පවා මෙහෙයවන ත‍්‍රාඩ දේශපාලනයකට ඔවුන් අවතීර්ණ වී සිටිනවා. මහානාහිමිවරුන් පවා මේ ගැන කනස්සල්ලෙන් ඉන්නේ.
ඒකාබද්ධ විපක්ෂය මේ වැඩ කරන්නේ දූෂණ, අපරාධ පරීක්ෂණ යටපත්කරගැනීමට යැයි ඔබ කීවත් ආණ්ඩුව ගෙනඑන්නට වැඩ කළ සිවිල් සමාජයම නිවේදන පළ කරමින් විවේචනය කරන්නේ ආණ්ඩුව එම පරීක්ෂණ යට ගසා ඇති බවයි. ඇත්ත කියන්නෙ කවුද?
පුරවැසි සමාජයේ කවුරු මේ විවේචනය කළාදැයි මම දන්නේ නෑ. හැබැයි අපි මේ දෙස මීට වඩා පුළුල්ව බැලිය යුතුයි. චෝදනා ඇතත් නැතත් මිනිස්සු රිමාන්ඩ් බාරයට ගෙන හිරිහැර කරන්න පරණ ආණ්ඩුව පුරුදු වෙලා තිබුණා. අදාළ මනුස්සයා නීතිය හමුවට ගෙන ආ හැකි චෝදනා මොනවාද කියන එක පවා හෙව්වේ රිමාන්ඩ් කළාට පසුවයි. හොඳම උදාහරණය ජෙනරාල් ෆොන්සේකා මහතායි. හැබැයි දැන් තුන් හතර වතාව එෆ්.සී.අයි.ඩී යනවා. කටඋත්තර ගන්නවා. නීතිපතිට යවනවා. ආයෙ කටඋත්තර ගන්නවා. හැබැයි අද වනතුරු ඒ පිරිස්වලට පහරදුන්නාය, වදහිංසා කළාය, බලෙන් කටඋත්තර ගත්තාය කියලා චෝදනාවක් ඇවිල්ලා තිබෙනවද? යහපාලනය කියන එකේ වෙනස මේකයි. රාජපක්ෂවරුන්ගෙ ගිණුම්වලට මිලියන ගණනින් ආපු සල්ලි ගැන අහද්දී ඒවා දැම්මේ කවුද කියලා දන්නැහැයි කියනවා. මෙච්චර සල්ලි කොහෙන්ද කියලා ඇහුවාම ඩේසි ආච්චි කියන්නෙ නාඳුනන කෙනෙක් මැණික් මල්ලක් දීලා ගියා කියලයි. මැණික් මල්ල කෝ කියලා ඇහුවාම තව කෙනෙක් මුදල් දීලා ඒකත් අරන් ගියා යැයි කියනවා. මේවා රට හිනස්සන කතා වුණත් ඒවා වුණත් හොයන්න වෙන්නේ ක‍්‍රමානුකූල විද්‍යාත්මක පරීක්ෂණවලින් පමණයි.
අපරාධ පරීක්ෂණ යට ගොස් ඇති බවට නැගෙන චෝදනාවට පිළිතුරක් දියහැකිද?
උදාහරණයට තාජුඩීන් නඩුවම ගමු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතිශය ප‍්‍රශංසාත්මක ලෙස සිය පරීක්ෂණ මෙහෙයවමින් සිටිනවා. ඒකට තව කිසියම් කාලයක් අවශ්‍යයයි. ඒ පරීක්ෂණ ආරම්භ කරන්න සිදුවුණේ එය හදිසි අනතුරක් හැටියට තීරණය කරලා සිදුවීම අමතක කරපු පරිසරයක සිටයි. ඒ මිනීමරුවන් පරිවේෂණීය සාක්ෂි මගින් ඔප්පු කිරීමට කිසියම් කාලයක් ඕනෑ. භාරත ලක්ෂ්මන් ඝාතනයම බලන්න. ලඝු නොවන මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අවසන් වෙලා නඩු වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට එන්නට අවුරුදු දෙකක් ගියා. හැබැයි දුර මීටර සීයක්වත් නෑ. මේ නඩුත් එහෙමයි. සමහරු සතුටුවන්නේ ක්ෂණිකව කෙනකු අල්ලලා රිමාන්ඩ් කළාමයි. හැබැයි නීතිඥවරු හැටියට අපට ඒකට එකඟවෙන්න බෑ. ඒක හරි ක‍්‍රමය නෙවෙයි. මිලියන ගණනින් හොරකම් කළ අයට පවා අද සාධාරණයක් ඉටුවෙනවා. ඒක දුර්වලකමක් ලෙස පෙනෙද්දී ජනතාවට යම් නොඉවසිලිමත්භාවයක් එනවා. ඒකත් අසාධාරණයි කියන්න බෑ.
ඒත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළීමට මුල් වූ පිරිස් මේ ආණ්ඩුවට එල්ල කරන විවේචන සරල නෑ. ඩීල් නිසා පරීක්ෂණ හිර වෙලායැයි ශිරාල් ලක්තිලක කියද්දී යුද්ධයට දායක වූ අය අල්ලලා ජී.එස්.පී ප්ලස් ගන්න ඕනෑ දැයි රතන හිමි අහනවා. මේ ප‍්‍රකාශ ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වයට බලපාන්නේ නැද්ද?
අපි හැමෝම මනුෂ්‍යයොනෙ. එතකොට දුර්වලතා වෙන්න පුළුවන්. එවිට ඒවා විවේචනය කරලා හරි මඟට යොමුකරන්න අයිතියක් තිබෙනවා. හැබැයි අපි හරි මඟ කියන්නෙ අර හොර කල්ලිය නැවත බලයට ගෙනඒමට උත්සාහ දැරීම නෙවෙයි. අද රජයේ පුවත්පත්වලින්ම රජය විවේචනය කරන තත්ත්වයක් තිබෙනවා. භාෂණයේ ප‍්‍රකාශනයේ නිදහස ඒකයි. අද රාජ්‍ය නිලධාරින්, මහේස්ත‍්‍රාත්වරැන් නිදහසේ තීන්දු ගන්නවා.
අධිකරණයේ ස්වාධීනත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම ගැන ප‍්‍රමුඛ ලෙස හඬ අවදි කළ කතිකයකු වූ ඔබ අද නිහඬ වෙලාද? නිහඬ කරලාද?
නිහඬ වෙලත් නෑ. නිහඬ කරලත් නෑ. නමුත් ආයෝජන මණ්ඩලයේ සභාපති හැටියට මම යම් රාජකාරියක් කරනවා. ඒ රාජකාරිය නීතිගරුකව හිතට එකඟව කරගෙනයෑමට මට ඉඩ ලැබිලා තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සංවිධානය කළ සම්මන්ත‍්‍රණයටත් මම සම්බන්ධ වුණා. මාධ්‍ය මගෙන් අහන දේට මම උත්තර නොදී ඉඳලා නෑ. හරි දේට හරි කියන්න වගේම වැරැදි දේට වැරැදි කියන්න මටත් අයිතියක් තිබෙනවා.
සංවර්ධන විශේෂ විධිවිධාන පනත බැලූ බැල්මටම අවුල්සහගතයි. ආයෝජන මණ්ඩල නීතිය ගැන හොඳ අවබෝධයක් ඔබට තිබෙනවා. ඔබ මේවා එක්ක එකඟද?
ඕනෑම පනතක් ධනාත්මක වගේම සෘණාත්මක පැති තිබෙන්න පුළුවන්. හොඳ දේ ගෙන නරක දේ බැහැර කිරීමට සාකච්ඡා කිරීම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදී සිදුවන්නේ. 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත මහ කොළඹ ආර්ථික කොමිසම හැටියට පැමිණෙද්දී ඒ වෙලාවෙත් මේ රට විකුණන්න යනවායැයි බරපතළ විවේචනයක් තිබුණා. එතකොට මම හිටියෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ. ඒ නීති හදන්න මාත් දායක වුණා. ඒ වෙලාවෙ උපාලි විජයවර්ධන මහතා සියැට් එකලස් කම්හලක් පටන්ගත්තා. මාධ්‍යත් එකතු වෙලා විවේචනය කරලා අන්තිමේදී එතුමා ඒක අත්හැරලා දැම්මා. විවේචනයට කැමැති අය අදත් එදා වගේමයි. මේක මකරාක්ෂයෙක් නෙවෙයි. දෙයක් වෙන්න පොඩ්ඩක් ඉවසන්න ඕනෑ.
ඔබ ඉවසන්නයැයි කිව්වත් දේශපාලන විචාරකයන් අහන්නේ ජාතික ආණ්ඩුවේ පක්ෂ දෙක සිදුකරගන්නා විවේචන දිහා බැලුවාම ආණ්ඩුවට වැඩි ආයුෂක් හිමිවේදැයි කියලයි. ඒ සැකය වැරදිද?
නායකයන් දෙදෙනාගෙන් නම් එවැන්නක් පේන්නේ නෑ. අනෙක් අතට මේ පක්ෂ දෙකේ ඉන්නේ අවුරුදු තිහ හතළිහ එක පක්ෂෙකට වැඩ කළ අයයි. එනිසා අපි ධනාත්මකව බැලිය යුතුයි.
ජී.එස්.පී ප්ලස් ගැන ආණ්ඩුව සතුටින් කතා කරනවා. එහෙත් ඊට විපක්ෂ මත දක්වන්නන් කියන්නේ ඉහළ මැදි ආදායම් ලබන තත්ත්වයකට ඇවිත් නොබෝ දිනකින්ම මේ සහනය අපට අහිමි වෙනවා කියලයි. මේ කතාවල ඇත්ත නැත්ත මොකද්ද?
1994 දි අපි ඇඟලුම් කර්මාන්තයෙන් අපනයනය කළේ ඩොලර් මිලියන 4000යි. අපි අද කරන්නෙත් ඒ ගාණමයි. නමුත් මීට වසර දහයකට පමණ ඉහත පටන්ගත් බංගලාදේශය අද වනවිට ඩොලර් බිලියන 25 යි.
♦ සංවාදය:- බිඟුන් මේනක ගමගේ
සේයාරුව | සුමුදු හේවාපතිරණ