2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

නායකයන්ගේ සුදු භාර්යාවෝ

 2017 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 327

තමාගේ අනන්‍යතාවය සුරක්ෂිත කර ගැනීමට අනෙකාගේ අනන්‍යතාවය මකා දැමිය යුතුද? එක ජාතියක අනන්‍යතාවය සුරක්ෂා කිරීමට තවත් ජාතියක අනන්‍යතාවය සුනුවිසුණු කළ යුතුද? මෙය අද ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම මතුව ඇති උභතෝකෝටික ප්‍රශ්නයකි. අයිසිස් නැමැති මුස්ලිම් අන්තවාදින් තවත් ආගමික කාණ්ඩයක අනන්‍යතාව විනාශ කිරීමට පෙළඹෙති. එපමණක් නොව මුස්ලිම් අන්තවාදය තුළම සුන්නි - ෂියා යන කොටස් දෙක අනෙකා නැතිභංග කිරීමට නොගන්නා වෙහෙසක් නැත. එම ගැටුම අද මුළු නූතන ලෝකයම අර්බුදයට යවා ඇත. හිට්ලර්ගේ කාලයේ අනෙකා වූ යුදෙව්වෝ දැන් ඔවුන්ගේ වධකයාගේම උපක්‍රම යොදා ගනිමින් පලස්තීන ජාතිකයින්ව විනාශ කරති. ට්‍රම්ප් මෑතකදී ජෙරැසලම ඊශ්‍රායල් අගනුවර බව පිළිගැනීම තුළින් මැද පෙරදිග සටන් නැවතත් අවුලුවා තිබේ.

“අනෙකා” පිළිබඳ සංකල්පය සිග්මන්ඩ් ප්‍රොයිඩ් නමැති මනෝවිද්‍යාඥයාගේ ගෝල බාලයින් විසින් ප්‍රචලිත කරන ලද සංකල්පයකි. එය බටහිර සාහිත්‍ය කලා ඉතිහාසය කෙරෙහි බෙහෙවින් බලපා තිබේ. ඇල්බෙයා කැමු ගේ “පිටස්තරයා” නවකතාව තේරැම් ගැනීමට “අනෙකා” හා “ඒලියනේෂන්” හෙවත් තනිවීම පිළිබඳව ජාන් පෝල් ශාත්‍රගේ භවසත්තාවාදය අපට උපකාරි වෙයි.  සිරි ගුණසිංහගේ “හෙවනැල්ල” නවකතාව තුළද මේ තනිවීම පිළිබඳ භවසත්තාවාදයේ ලක්ෂණයන් අපට දැකිය හැකිය.

මලලසේකර, කුලරත්න, එස්.ඒ. වික්‍රමසිංහ හා ඒ.පී. ද සොයිසා සිංහල අනන්‍යතාවය ගැන උනන්දු වූ අයයි. කොමියුනිස්ට් නායකයා වු වික්‍රමසිංහ දේශීය අනන්‍යතාවය ගැන එතරම් උනන්දුවක් දැක්වුයේ යැයි දැන් සිටින කොමියුනිස්ට් තරුණයන් සමහරවිට විශ්වාස නොකරනු ඇත. එහෙත් දොස්තර වික්‍රමසිංහ එංගලන්තයේ ඉගෙන ගන්නා කාලයේ ඉන්දියානු නිදහස් අරගලය නිසා කුල්මත් වූවෙකි. එපමණක් නොව ඔහු එහිදී පරමවිඥානාර්ථ සමිතිය සමඟ ළඟින් කටයුතු කළේය. ඔහු ලංකාවට ආපසු පැමිණි විට බෞද්ධ පරමවිඥානාර්ථ සමිතියේ පාසැල්වල සාමාන්‍යාධිකාරී වශයෙන් ද කටයුතු කළේය.  මුලින්ම ඔහු ලංකා සමසමාජ පක්ෂයට ළංව සිටියේය. එහෙත් දෙවෙනි මහා ලෝක යුද්ධය ඇවිලුණු පසු ඔහු ස්ටාලින්ගේ රුසියානු සටනට අනුග්‍රහය දැක්විය. එම සටනේදී ඔහු එංගලන්තය සමඟ සන්ධානගත වු රුසියාවට උදව් කිරීමට සිදුවිය. ඒ අනුව කලක් ඔහු ජේ.ආර්. ජයවර්ධන හා ඩඩ්ලි සේනානායක සමඟ එක්ව ලංකා ජාතික කොංග්‍රසයට ඇතුළු වීම ගැන ඩී.එස්. සේනානායකට දෝෂාරෝපණය කළේය.

දොස්තර වික්‍රමසිංහ හා රුසියාව මුල් කරගත් තුන්වෙනි ජාත්‍යන්තරයට පක්ෂ වු උඩකැන්දවෙල සරණංකර හිමි හා ඇම්.ජී. මෙන්ඩිස් වැනි අය ලංකා සමසමාජ පක්ෂයෙන් නෙරපා දැමූ පසු ඔවුන් එක්වී ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ජාතික සටනේ යෙදෙන ගමන් බටහිර හා ස්ටාලින්ගේ සන්ධානයට සහාය පළ කළහ.

මලලසේකර, කුලරත්න හා ඒ.පී. ද සොයිසා වමට ලැදිව දේශපාලනය කිරීමට මැලි විය.  ස්වාධීන ලිබරල්වාදියෙක් වශයෙන් සොයිසා රත්මලාන ආසනයට තරග කර රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූයේය. එහෙත් ඔහු එකල පැවති පක්ෂ දේශපාලනයට හවුල් නොවූ නිසා වැඩිදුර දේශපාලනයේ රැඳී සිටීමට නොහැකි විය. කුලරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වුවද බණ්ඩාරනායක ඝාතනයෙන් පසු දේශපාලනයෙන් ඈත් වී සිට පසුව එක්සත් ජාතික පක්ෂයට බැඳී සුළු කලකට අම්බලන්ගොඩ මන්ත්‍රීවරයා හැටියට කටයුතු කළේය. මලලසේකර පමණක් පක්ෂ දේශපාලනයෙන් මිදී සිටියේය.

කවර දේශපාලන මත දැරුවද හතර දෙනාම මෙරට ජනතාවගේ, වෙසෙසින්ම සිංහල ජන කොටසේ, අනන්‍යතාවය ගැන ආඩම්බර විය හැකි සංස්කෘතියක් සමඟ ඉදිරියට යෑමට පසුබට වූයේ නැත. වික්‍රමසිංහ, කුලරත්න හා මලලසේකර එක්ව ජාතික ඇඳුම නිර්මාණය කළේ දකුණු ඉන්දියානු චිරාගත ඇඳුම් අනුකරණය කරමිනි. වික්‍රමසිංහ කොමියුනිස්ට් පක්ෂය තුළ දේශීය හැඟීමක් ඇති කිරීමට සමත් විය. එපමණක් නොව ඔහු සිංහල සිරිත් විරිත් ද අනුගමනය කළේය. මාතර ඉහළ පන්තියේ නැදෑ පිරිසක් ඔහුට සිටිය මුත් ඔහු සෑම විටම පොදු ජනතාව අතර රැඳී සිටියේය. මේ අනුව පක්ෂයේ සාමාජිකයින් අතර ඔහු වඩාත්ම ජනප්‍රිය නායකයා බවට පත්වෙමින් මාතර හා හම්බන්තොට ප්‍රගතිශීලි පිලේ මර්මස්ථාන බවට පෙරළීමට සමත් විය. ගිරුවාපත්තුවේ රාජපක්ෂ පරපුර දේශපාලනයට ඈඳා ගන්නට වඩාත්ම මහන්සි වූයේ වික්‍රමසිංහයි. ඩී.එම්. රාජපක්ෂ දේශපාලන පොරපිටියට මුලින්ම පැමිණියේ වික්‍රමසිංහගේ ආධාරකරුවෙක් වශයෙනුයි.

මේ හපනුන් හතර දෙනාගේ තවත් ලක්ෂණයක් වූයේ එංගලන්තයේදී හඳුනාගත් ඉංග්‍රීසි යුවතියන් හතර දෙනෙක් සමඟ විවාහ වීමයි. විවාහ ඡායාරෑපයට පවා ජාතික ඇඳුම හැඳ ඔවුන් මුහුණ දුන් බව රහසක් නොවේ. මේ විවාහ සියල්ලම වාගේ සාර්ථක ඒවා විය.  දොස්තර සමඟ විවාහ වූ ඩොරීන් සූරියමල් ව්‍යාපාරයේදී කැපී පෙනුන විශිෂ්ට පාසැල් ගුරුවරියක් විය. ඇයගේ දියණියක වු සූරියා (සූරිය මල් ව්‍යාපාරය මතක් කරමින්) ලංකාවේ මානව හිමිකම් කේන්ද්‍රයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළාය. කුලරත්න මැතිනියගේ දියණිය වූ මායා පොලිසියේ අධිපතියා වූ ස්ටැන්ලි සේනානායක මහතා විවාහ කර ගත්තේය.  ඔවුන්ගේ තවත් දරුවෙක් වූ පරාක්‍රම ගුවන්යාත්‍රා නියමුවෙක් ලෙස බ්‍රිතාන්‍යය වෙනුවෙන් සටනට ගොස් ජීවිතක්ෂයට පත් විය. ඒ.පී. ද සොයිසාගේ දියණිය සුප්‍රසිද්ධ ආර්ථික විද්‍යා හා සමාජ විද්‍යා මහාචාර්යවරියක් වූ කුමාරි ජයවර්ධනය. මලලසේකර මහතාගේ මුල් බිරිඳගේ දියණිය චිත්‍රා ලංකාවේ දක්ෂ පියානෝවාදිනියක් වූ අතර, ඇය ලංකා ගුවන් විදුලි සේවයේ උසස් තනතුරක් දැරුවාය. ඇගේ මව ද එංගලන්තයේ දක්ෂ පියානෝවාදිනියක් වූ බව කුමාරි විසින් ලිපියක සඳහන් කර තිබේ. ඔවුන් සියලුදෙනාම ලාංකික සමාජයට සුපිරි මෙහෙවරක් කළ කාන්තාවෝ වූහ. ඔවුන් සියලුදෙනාගේම ස්වාමි පුරුෂයන් ජාතික අනන්‍යතාවය වෙනුවෙන් කැප වුවද එය පටු ජාතිවාදයකට හැරවූයේ නැත.  ඉහත සඳහන් හපනුන් හතර දෙනාගේ බිරින්දෑවරුන් මෙරටට අමිල සේවයක් කළ කාන්තාවන්ය. ඒ තුළ ජාතික අනන්‍යතාවය ආගම, කුලය හෝ සුදු කළු භේදයට සීමා කළ නොහැකි බව ඔප්පු වෙයි.

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00