2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

ජෝර්ජ් කීට් සමග හතර දෙනාගේ කල්ලිය

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

ජාත්‍යන්තර මට්ටමේ චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේ. පළමුවෙන්ම චිත්‍ර ප්‍රදර්ශනය කිරීමට සුදුසු ශාලාවක් තෝරාගත යුතුය. එය නරඹන්නන්ට පැමිණීමට පහසු තැනක් මෙන්ම ඔවුන්ට නිවී සැනසිල්ලේ චිත්‍ර බලා ගැනීමටද සුදුසු තැනක් විය යුතුය. එමෙන්ම චිත්‍ර හොඳින් බලා ගැනීමට එළිය ලබාගත හැකි තැනක් වීමද අත්‍යවශ්‍යය. බොහෝ චිත්‍ර එකතු කරන්නන් චිත්‍රයේ වර්ණ සංයෝගය මනාව හඳුනාගන්නේ එය ස්වභාවික එළිය හෙවත් හිරු එළියේ ආධාරයෙන්ය. ප්‍රදර්ශනයට උචිත වන පරිදි චිත්‍ර තේරිය යුතුය. එයට චිත්‍ර ශිල්පියා ඒ වනවිට රැස් කරගත් චිත්‍ර මෙන්ම දැනටමත් විකුණා ඇති චිත්‍ර කීපයක් ද එක්කර ගැනීමට අවශ්‍ය සාකච්ඡා හා ගනුදෙනු කළ යුතුය.  එපමණක් නොව ප්‍රදර්ශනය වන චිත්‍ර නියම ලෙස රාමු කර එක්තරා රටාවක් අනුව ශාලාවේ එල්ලිය යුතුය.  සිත්තරා තම චිත්‍ර මිල කළ පසු ඒවා සටහන් කරන “කැටලොග්” හෙවත් පොත් පිංචක් ද සකස් කළ යුතුය.

පැරීසියේ හා නිව්යෝර්ක්වල පවත්වන චිත්‍ර ප්‍රදර්ශන සැලසුම් කිරීමට සමහරවිට අවුරුදු හතරක් පහක් ගතවේ. සිත්තරාගේ හැකියාවන් ඉස්මතු කරන චිත්‍ර තේරීම හා ඒවා එක්කාසු කිරීම පමණක් නොව එම විෂය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් කලා විචාරකයන් විසින් රචිත වටිනා ග්‍රන්ථද ප්‍රකාශයට පත් කරනු ලැබේ. එම පර්ෙය්ෂණාත්මක නිබන්ධ හරහා සිත්තරා  සහ ඔහුගේ කෘති පිළිබඳ නව කෝණයක් අප හමුවට ගෙන එනු ලබයි.  මේ අතින් පැරිසියේ වාර්ෂිකව “ග්‍රෑන්ඩ් පැලේ” හා “පෙටි පැලේ” නමැති පැරැණි රජමාලිගා තුළ පවත්වන චිත්‍ර ප්‍රදර්ශන හා ප්‍රකාශිත ග්‍රන්ථ අනිවාර්යයයෙන්ම කලා ලෝකය තුළ ආන්දෝලනයක් ඇති කරයි. ඒ අනුව පිකාසෝ, ගොගැන් හා සෙසාන් නමැති නූතන චිත්‍ර ශිල්පීන් ගැන පමණක් නොව මධ්‍යතන යුගයේ චිත්‍ර ශිල්පීන් ගැනද කරන ලද පර්යේෂණ හා ඇගයීම් නිතරම නවීකරණය වෙයි. මම පැරීසියේ ජීවත් වූ කාලයේ එවැනි චිත්‍ර ප්‍රදර්ශන නැරඹීම සිරිතක් කර ගත්තෙමි. “ඔරෙන්ජරී” නම් වූ ශාලාව තුළ නූතන චිත්‍ර ශිල්පින්ගේ කෘති විදහා දක්වන ප්‍රදර්ශන නිතරම සංවිධානය කරනු ලැබේ.  

පේරාදෙණියේදි අප විසින් සංවිධානය කරන ලද ජෝර්ජ් කීට් චිත්‍ර ප්‍රදර්ශනය එවැනි මහ පරිමාණයේ එකක් නුවූවත් ජාත්‍යන්තර නිර්ණායකයන් අමතක කළ එකක් නොවේ.  ඒවා වඩාත් බලපෑවේ “කැටලොග්” එක සකස් කිරිමේදීයි. සංවිධායකවරුන්ට විශාල මුදලක් යට කිරීමට නොහැකි වූවා පමණක් නොව දැන් මෙන් ඔවුන්ට වෙළඳ ආයතනවලින් අනුග්‍රහයක් ද නොලැබුණේය. පේරාදෙණිය සරසවියේ කලා අරමුදලින් යම් සුළු මුදලක් ලැබුණාදැයි දැන් මට මතක නැත. චිත්‍ර කීට්ගේ සිරිමල්වත්තේ ගෙදර සිට පේරාදෙණියට ගෙන ඒම හා ඇතැම් චිත්‍ර රාමු කිරීම පවා සිදු කෙරුණේ ඉයන් ගුණතිලකගේ මැදිහත්වීම හා කැපකිරීම තුළිනි.

ඉයන් විසින් රචනා කරන ලද සටහනක් හා චිත්‍රවල මිල ගණන් දක්වන “කැටලොග්” එක අඩු මිලකට මුද්‍රණය කර දුන්නේ මහනුවර සිතුමිණ මුද්‍රණාලයයි. එය අයිතිව තිබුණේ මහනුවර ‍පෞද්ගලික වෙළඳ ව්‍යාපාරිකයෙකු මෙන්ම බණ්ඩාරනායක හා ඉලංගරත්න මහතුන්ගේ කිට්ටුම හිතුවතෙක් වූ ටී.බී.ඇස් ගොඩමුන්නේටය. එහි පිට කවරයට කීට් ගේ රේඛා චිත්‍රයක් යොදා ගත යුතුයැයි තීරණය කරන ලදින් ඒ සඳහා ඔහුගේ “වෙස්සන්තර” නමැති නිර්මාණය තෝරා ගන්නා ලදී. “වෙස්සන්තර” රේඛා සටහන ගැන රසවත් කතාවක් තිබේ. එකල අමෙරිකාවේ ස්ටුබන් නැමැති කලාත්මක වීදුරු භාණ්ඩ නිපදවන සමාගමක් විය. ඔවුහු ලෝකයේ දක්ෂම චිත්‍ර ශිල්පීන් කීප දෙනෙකුගේ රේඛා චිත්‍ර තෝරාගෙන ඒවා තමන්ගේ විසිතුරැ වීදුරු නිර්මාණ තුළ සනිටුහන් කළහ. ඒ විසිතුරු වීදුරු නිපදවීමේදී ගිනිවදින අවස්ථාවේදීම රේඛා චිත්‍රයද එයට බද්ධ කිරීම විශ්මයජනක හරඹයක් හැටියට සලකන ලදී. එම කටයුත්තට අප රට වෙනුවෙන් ජෝර්ජ් කීට්ගේ චිත්‍රයක් තෝරා ගන්නා ලදී. ඒ ඔහුගේ “වෙස්සන්තර” නැමැති රේඛා චිත්‍රයයි.  එම නිසා එම සටහනම කැටලොග් මුල් පිටුවට යොදා ගැනීමට තීරණය විය. ජෝර්ජ් කීට්ගේ අස්සන සහිත එම කැටලොගයේ මුල් පිටපතක් මා සතුව තිබේ. එය අපේ පේරාදෙණි වසන්ත කාලය පිළිබඳව වටිනා සිහිවනටයක් ලෙස සලකමි.

පේරාදෙණියේ පවත්වන ලද එම ප්‍රදර්ශනය නිසා කීට්ගේ අනුග්‍රාහක සංඛ්‍යාව වැඩි විය. කොළඹින් පැමිණි සහෘදයන් මෙන්ම මාධ්‍ය නියෝජිතයන් පුළුල් ප්‍රචාරයක් දුන් නිසා මෙම ප්‍රදර්ශනය මෙරට කලා ඉතිහාසයේ වැදගත් තැනක් දිනා ගත්තේය. එහි තවත් අතුරුඵලයක් වූයේ ජෝර්ජ් කීට්ගේ චිත්‍ර ලැදි ගුරු කණ්ඩායමක් පේරාදෙණි සරසවිය තුළ නිර්මාණය වීමයි. එය සරච්චන්ද්‍ර හා සිරි ගුණසිංහ මුල් වූ කණ්ඩායමට වෙනස් වුවකි. සරච්චන්ද්‍ර හා සිරි ගුණසිංහ කීට්ගේ චිත්‍ර නැරඹුවද ඒවා ගැන ඉහළ අගය කිරීමක් නොකළ බව මාගේ මතකයයි. සිරි ගුණසිංහගේ නිවසට මා නිතර ආගිය නමුත් එහි කීට්ගේ එකම චිත්‍රයක්වත් එල්ලා තිබුණේ නැත. ඔහු වඩාත්ම ප්‍රිය කළේ ඇබ්ස්ට්‍රැක්ට් ශෛලීයක් යොදාගත් එච්.ඒ. කරුණාරත්නගේ චිත්‍රවලටය. කරුණාරත්නගේ හැකියාවන් සිරි එකල පුවත්පත්වලට සැපයූ ලිපි තුළින් ප්‍රශංසාවට ලක් කළේය. සරච්චන්ද්‍රගේ නිවසේ වුවද කීට් ගේ චිත්‍ර එල්ලා තිබුණේ නැත.

එසේ වුවද, කීට් ලැදි සරසවි කල්ලියක් බිහිවූයේය. ඉයන් ගුණතිලක, රැල්ෆ් පීරිස්, ඇස්.බී. දිසානායක හා ඩොරික් ද සුසා වැනි ගුරුවරු එම කල්ලියට අයත් විය. ඔවුහු නිතර නිතර එකිනෙකා ආශ්‍රය කළ කණ්ඩායමක සාමාජිකයෝ වූහ. පේරාදෙණියේ එකල විසුවේ ඉතා කුඩා ගුරුවරු සමූහයක් නිසා ඔවුන් යහළු කණ්ඩායම් ඇති කර ගනිමින් තමන්ගේ සමාජ ජීවිත හැඩගස්වා ගත්තෝය. ඉහත සඳහන් කල්ලියේ සියලුදෙනාම වාගේ ලංකා සමසමාජ පක්ෂයේ හිතවතුන් වූහ. ඔවුහු සවසට සරසවි ගුරුවරුන්ගේ සමාජ ශාලාවේදී හෝ එකිනෙකාගේ නිවසේ රැස්වී සතුටු සාමිචියෙන් කල් ගෙවූහ. ඒ අය අතුරින් සුවිශේෂි තැනක් දරුවේ දන්ත විද්‍යාව පිළිබඳ මහාචාර්ය එස්.බී. දිසානායකය. පේරාදෙණියට නුදුරින් පිහිටි උඩුනුවර ප්‍රභූ පවුලකින් පැවත ආ ඔහු එකල සරසවියේ කඩවසම්ම පුද්ගලයා වු‍යේය. අයිරාංගනි සේරසිංහගේ පළමුවෙනි සැමියා වූයේත් ඔහුය. ඉතාම දැකුම්කළු ඇඳුමින් සැරසී අලුත්ම පන්නයේ මෝටර් රථයක් එළවාගෙන සරසවිය හරහා ගිය මහාචාර්යවරයා දන්ත වෛද්‍ය සිසුන්ගේ පමණක් නොව අන් ශිෂ්‍යයන්ගේද වීරයෙක් විය.

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00