2023 අප්‍රේල් 30 වන ඉරිදා

වෙනසක තරම

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 134

''මූල්‍ය අරමුදලේ ගිවිසුම හැර අපට වෙන විකල්පයක් නෑ. කිසිවකුත් වෙන එකක් යෝජනා කරලත් නෑ. වෙනම ක්‍රියාකාරී විකල්පයක් නැත්නම් අපට තිබෙන්නේ මේ ගිවිසුම අනුමත කිරීමයි. සජබේ මන්ත්‍රීවරැන්ටත් එය කියන්න මා කැමතියි. ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ සිටි සමයේ පටන් හැම වෙලේම කිව්වේ අයි.එම්.එෆ්. සමඟ එකතුවෙලා වැඩ කරන්න කියලා. දැන් වැඩසටහනක් පැමිණ තිබෙනවා. දෙපැත්තම පිළිගැනීමට සූදානම් තැනක තිබෙන්නේ. එසේ නම් අපි සියලු දෙනා එකතු වී මෙය සම්මත කරමු. බදු ප්‍රශ්න සියල්ල සාකච්ඡා කර මාස හයෙන් හයට ඒ ප්‍රශ්න විසඳාගමු. ඊටපස්සේ අප සියලු දෙනා එක්වී එක ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදමු.''

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය බදාදා (26) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශයෙන් අයි.එම්.එෆ්. ගිවිසුමට විපක්ෂයේ සහාය ඉල්ලුවේ එහෙමය. ජනාධිපති රනිල් තමන්ගේ විශේෂ ප්‍රකාශයේදී අයි.එම්.එෆ්. ගිවිසුමට අදාළ බරපතළ ප්‍රතිවිපාක ඇතිවීමට හේතු විය හැකි කරැණු කාරණා බොහොමයක් සරලව විස්තර කිරීමෙන් පස්සේ මේ ඉල්ලීම කළේය.

ඊටපස්සේ ජනාධිපතිවරයා මෙහෙමත් කීවේය.

''මේ වැඩ කටයුත්ත නොකළොත් අප කිසිවකුටත් තව වසර දෙක තුනකින් ඉන්න බැරිවේවි. ඒ නිසා අප සියලු දෙනාම එකතු වී මේක සම්මත කර ගනිමු.''

ජනාධිපතිවරයා මෙහෙම කිව්වත් විපක්ෂයෙන් නම් ඒ කතාවට සහායක් දෙන පාටක් පෙනෙන්නට නැත. විපක්ෂ නායක සජිත් ප්‍රකාශ කළේ අයි.එම්.එෆ්. ගිවිසුම තවම විපක්ෂයට ලබා දී නැති බවය. මන්ත්‍රීවරැන්ගේ ඇස් වසා රටට ඉතාම අහිතකර එකඟතා ඇති කරගෙන සිටින බවය. ඒ එකඟතා මොනවාදැයි හෙළි නොකර විපක්ෂයෙන් සහාය ඉල්ලීම වැරදි බවය.

සජබ මාධ්‍ය ප්‍රකාශක මරික්කාර් මන්ත්‍රීවරයා චෝදනා කළේ නිධානයක් වගේ තිබුණු රට හිඟන තත්ත්වයට පත් කළේ රාජපක්ෂලා බවය. ගෝඨාභයට අයි.එම්.එෆ්. යන්න නුදුන්නෙත් ඔය ආර්ථික ඔස්තාර්ලා බවය. අපි කියපු කාලේ අයි.එම්.එෆ්. ගියා නම් මෙවැනි කොන්දේසිවලට එකඟ වීමට සිදු නොවන බවද ඔහු කීවේය.

ආණ්ඩුවේ පොහොට්ටුවෙන් කැඩී වෙන්වී ගිය මහාචාර්ය ජී.එල්. පීරිස්ලා, චරිත හේරත්ලාගේ ප්‍රකාශවලින් පැහැදිලි වෙන්නේත් ඔවුන්ගේ සහාය අයි.එම්.එෆ්. ගිවිසුම සම්මත කර ගැනීම සඳහා නොලැබෙන බවය. කොටස් වෙළෙඳපොළ වසා දැමීමෙන් බැංකු වැහෙනවා නම් කරන්න දෙයක් නැති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ඔවුන්ගේ දැඩි විරෝධය පළ විය.

මේ කතාවලින් පේන්නේ මුළු පාර්ලිමේන්තුවම එක්වී අයි.එම්.එෆ්. ගිවිසුම සම්මත කර ගන්නා ජනාධිපතිගේ අපේක්ෂාව ඉටු නොවන බවය. එය සම්මත කර ගන්නා මන්ත්‍රීවරැන්ගේ ඡන්දය විමසන අවස්ථාව තීරණාත්මක වන බවට සිකුරාදා (28) වනවිට පැහැදිලි වෙමින් තිබිණි. කොහොම වුණත් පොහොට්ටුවේ මන්ත්‍රීවරැන්ගේ සහාය ලැබුණොත් එම පනත සම්මත කර ගැනීම ගැටලුවක් නොවනු ඇත. ඡන්දය විමසන අවස්ථාව වර්ජනය කිරීමට සජබ සිකුරාදා (28) පස්වරැවේ තීරණය කර තිබිණි. අදාළ ගිවිසුම සහ ඇමුණුම් සභාගත කර නොතිබීම ඊට හේතුව විය.

ජාතික ජන බලවේගය ප්‍රකාශ කර තිබුණේ මෙම යෝජනාවලට විරැද්ධව ඉතා නිශ්චිතවම ඡන්දය ප්‍රකාශ කරන බවය.

එහෙම තත්ත්වයක් තුළ අයි.එම්.එෆ්. ගිවිසුමේ එකඟතා අනුව ක්‍රියා කිරීම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව හමුවේ ලොකු අභියෝගයක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. මුලදී ප්‍රකාශ වී තිබුණේ අයි.එම්.එෆ්. විවාදය ආරම්භ වන අවස්ථාවේ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට සහාය පළ කරනු ඇති බවය. එහෙම මන්ත්‍රීවරැන් කිහිප දෙනකු සිටින බවට සිදුවූ ප්‍රචාරය ඊටපස්සේ විපක්ෂයෙන් 40 ක් ආණ්ඩුවට එකතු වනු ඇති බවට දක්වා පුළුල් විය. හැබැයි විවාදය අවස්ථාව වනවිට එකම විපක්ෂ මන්ත්‍රීවරයකුවත් ආණ්ඩුවට එක්වුණේ නැත. සජිත් කිව්වේ ආණ්ඩුවේ පිරිසක් විපක්ෂයට එන බවය.

අමාත්‍ය ධූරයක් දෙනවා නම් ආණ්ඩුවට එකතු වනු ඇති බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ රාජිතත් ආණ්ඩුවට ගියේ නැත. ඒකට ප්‍රධාන හේතුවක් වුණේ පොහොට්ටුවෙන් ජනාධිපතිට දැමූ කොන්දේසියයි. රාජිතට දෙනවා නම් රෝහිතටත් අමාත්‍ය ධූරයක් දිය යුතු බවට වූ එම කොන්දේසිය ඉටුකිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බවක් පෙනෙන්නට නොතිබිණි. මේ නිසා රාජිත පත්ව සිටින්නේ දේශපාලන වශයෙන් අනාථ වී ඇති තත්ත්වයකය.

ගිවිසුම සම්මතයට සහාය දුන්නත් පොහොට්ටුව ඊළඟට මුහුණදෙන බරපතළ ගැටලුවක් තිබේ. අයි.එම්.එෆ්. කොන්දේසි යටතේ රාජ්‍ය ආයතන 52 ක් ප්‍රතිව්‍යුහගත කළ යුතු වන බවට ඇති කොන්දේසිය පොහොට්ටුවේ දේශපාලන ප්‍රතිපත්තිවලට මුළුමනින්ම පටහැණිය. ඔවුන් බලය ලබාගැනීමේදී දේශපාලන වේදිකාවේ ප්‍රබලම සටන් පාඨයක් වූයේ රාජ්‍ය සම්පත් විකිණීමට ඉඩ නොදෙන බවටය. ප්‍රතිව්‍යුහගතකරණය යන වචනයට මුවා වී සිදුවෙන්නේ පෞද්ගලීකරණය කිරීමේ ව්‍යාපෘතියම බව යථාර්ථයයි. මෙම රාජ්‍ය ආයතන අතර ලාභ ලබන ආයතනද තිබීම හේතුවෙන් ගැටලුව වඩාත් බැරූරැම් වී තිබේ. රාජ්‍ය සම්පත් විකිණීමට ඉඩ නොදෙන බවට වන ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කිරීමකින් තොරව අයි.එම්.එෆ්. යෝජනාවලට සහාය දැක්වීම දේශපාලන වශයෙන් ''හරාකිරි'' කර ගැනීමක් බව පොහොට්ටුව නොදන්නවා නොවේ. එහෙම වුණත් පොහොට්ටුවේ දේශපාලන බලය සම්පූර්ණයෙන් රුඳී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය ආරක්ෂා වීම මතය. එසේම ජනාධිපතිවරයාට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාදෙන්නේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමය.

මේ දේශපාලන සුසංයෝගයට පක්ෂවල ප්‍රතිපත්ති යටවීම එක පැත්තකින් පුදුම විය යුතු නැත. අයි.එම්.එෆ්. යාමට තදින්ම විරැද්ධ වී සිටි රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රීලා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන විදියට අයි.එම්.එෆ්. හැර වෙනත් විකල්පයක් නැතැයි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන විට අත්පොළසන් දෙන මට්ටමට පත්වී සිටීම පෙන්වා දෙන්නේ එම යථාර්ථයයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන් මේ දක්වා පැමිණි කෙටි කාලය තුළදී තමන් තීන්දු තීරණ ගන්නේ කොහොමද කියන එක රටටම පෙන්වා දී තිබේ. තමා ගන්නේ ජනප්‍රිය තීරණ නොව නිවැරදි තීරණ බව ඔහු දිගින් දිගටම කියමින් සිටී. ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ කවදාවත් එම ප්‍රතිපත්තියෙන් බැහැරව ගියේ නැත. ඔහුට 2001 දී 2015 දී බලය ලැබුණු විට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේද එම ආර්ථික ප්‍රතිපත්තිය. ඇතැම් ඒවා සාර්ථක විය. 2001 දී චන්ද්‍රිකාගේ හරස් කැපීම් නිසාත් 2015 දී මෛත්‍රීපාල සහ රාජපක්ෂලාගේ හරස් කැපීම් නිසාත් රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණියේය. ආර්ථිකය හරි මගට ගැනීමට නම් තිත්ත කසාය බොන්න වෙන බවත් කටු අත්තේ මල් පුබුදුවාගත යුතු බවටත් රනිල් කිව්වේ 2001 ඉඳන්මය. ශ්‍රී ලංකන් එයාර් ලයින් වැනි ආයතන නඩත්තු කිරීමට ලංකාවේ ජනතාවගේ බදු මුදල් යෙදවීම අපරාධයක් බව ඔහු 2015 දී කීවේය.

මේ හැම වෙලාවෙදීම ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ඔහුට එරෙහි දේශපාලන බල කඳවුරේ ආකර්ශනීය සටන් පාඨ බවට පත් වුණේය. මෙන්න රනිල් රට කෑලිවලට කඩනවා, රාජ්‍ය සම්පත් විකුණනවා යන්න රාජපක්ෂ ආණ්ඩුව හැම ඡන්දයක්ම දිනාගැනීමට භාවිත කළ සටන් පාඨයක් විය. ඒ සටන් පාඨ ඉතාම සාර්ථකව තලු මර මර ජනගත කිරීමට විමල් වීරවංශලා වැනි දැඩි මතධාරී දේශපාලනඥයෝද ඒ කඳවුරේ සිටියෝය.

ඒ දේශපාලනයේ අවසානය රට ආර්ථික වශයෙන් බංකොළොත් වීමය. රාජපක්ෂලාගේ ආණ්ඩු රටේ කොතරම් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළත් තමන් ලබාගත් අධික ණය කන්දරාව හේතුවෙන් ආර්ථිකයට සිදුවන හානිය ගැන හොඳ තක්සේරැවක සිටියේ නැත. ඔවුන්ගේ දැඩි වාමාංශික අදහස් මත ගොඩනැගුණු ආර්ථිකයට විදෙස් ආයෝජන ආකර්ශනය නොවන විට චීනයේ ආයෝජන බදාගන්නවා හැර වෙනත් විකල්පයක් නොතිබිණි. අන්තිමට ගෝඨාභය බලයට පත්වී කෘෂි කර්මාන්තයෙන් ඇනගන්නා විට රටේ මහජනතාව පාරට බැස්සේ රාජපක්ෂලා හොරා කෑ බවත් රට බංකොළොත් කළ බවටත් චෝදනා කරමිනි.

මේ සියල්ල පසෙකට වී බලා සිටි රනිල් වික්‍රමසිංහට ඒ වෙලාවේ කවදාවත් මහජන ඡන්දයකින් නොලැබෙන බලය ලැබුණේ ව්‍යවස්ථානුකූලය. රට කවදා හෝ එතැනට පත්වන බව රනිල්ගේ තියුණු දේශපාලන ඉවට නොතේරැණා විය නොහැක. ඔහු දැන් ප්‍රයෝජනයට ගන්නේ එම අවස්ථාවය. ජනප්‍රිය ඡන්දයකින් බලයට පත්වී හොට බිම ඇනගත් පොහොට්ටු ආණ්ඩුවේ පිරිසක් ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනුවට තමන්ගේ ප්‍රතිපත්තිවලට නම්මවාගෙන මේ හැර වෙනත් විකල්පයක් නැති බව කියන විට ඔවුන් ලවා අත්පොළසන් ලබාගැනීමට තරම් රනිල් උපායශීලී වී සිටියි. පොහොට්ටුවට දැන් ඒ මග යනවා හැර වෙනත් මගක් නැත.

ප්‍රශ්නය තිබෙන්නේ සජබ සහ ජා.ජ.බ. ඇතුළු විපක්ෂය තවමත් රනිල්ට අවනත නොවීමය. ආර්ථික ප්‍රතිපත්ති අතින් රනිල්ගේ යූ.එන්.පිය සහ සජිත්ගේ සජබ අතර ලොකු වෙනසක් නැත. හැබැයි රනිල් ආණ්ඩුව ගෙනියන්නේ අහසට පොළොව වගේ ප්‍රතිපත්තිමය වෙනසක් ඇති පොහොට්ටුව සමඟ වීම දෛවයේ සරදමක් නොවන්නේද?

I ශශීන්ද්‍ර